08 November 2011

දැනුම එපා ද?




මේක මේ ටිකක් දවසකට කළිං සිද්ද උන වැඩක්.වැඩ හින්දා ලියන්න ඕනෙ කම තිබ්බත් ලියන්න වෙලාවක් හම්බ උනේ නෑ.

අපි ඉතිං වෛද්‍ය ශිෂ්‍යයො කිව්වත අපිනෙ දන්නෙ අපේ දැනුම ගැන.අපේ ගෙවල් ළඟ කට්ටිය හිතං ඉන්නෙ ඉතිං මූ තරං පොරක් තව නෑ කියන ගාණට.ඔය එක එක ජාතියෙ ලෙඩ ජාති ගැන කියාගෙන එන අයට මම ඕක ගැන දන්නෑ කියලා කෙළිං කියන්න මමත් කැමති නෑ.මොකද ඊට පස්සෙ කියන්නෙ "අපෝ ඌ වෛද්‍ය විද්‍යාලෙ කියලා බොරුද කොහෙද බොලව් කියන්නෙ.ඌ මොකුත් දන්නෙ නෑ." කියලනෙ.


ඉතිං දැංම ඉඳං මගේ අනාගත කස්ටමර්ස් ලා නැතිකරගන්නෙ මොකටද කියලා හිතලා මමත් හොඳට විස්තරේ අහං ඉඳලා මම දන්න මොනවා හරි කියලා දොස්තර කෙනෙක් ගාවට ගිහිං වැඩි විස්තර අහගන්න කියලා පිටත් කරවනවා.මොකෝ ඉතිං හරියට විස්තරයක් කියන්නෙත් නැතුව, වැඩිය මොකුත් දන්නෙත් නැති මගෙං අහනවා ඩයග්නොසිස්.මේක අවුරුදු පහක ඩිග්‍රියක් දෙයියනේ අවුරුදු පහක් උගන්නන්නෙ අවුරුදු පහක් ම උගන්නන්න දේවල් තියෙන හින්දනෙ.අපේ මිනිස්සු හිතන්නෙ හරි දැං ඌ ඔක්කොම දන්නවා කියලා.

ඉතිං කතාව මේකයි.අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අපේ අම්මට කියලා එයාගෙ පුතා රෑට ඇඳේ චූ දානවා කියලා.කොල්ල ලබන අවුරුද්දෙ සා\පෙ කරන්ඩ ඉන්න එකෙක්.එච්චර වයසක එකෙක් ඇඳේ චූ දාන එක ප්‍රශ්නයක් නේන්නං.ඉතිං ඕක අපේ අම්මට කියලා තියෙන්නෙ මට කියන්ඩ කියලා.ඉතිං හත් ඉළව්වේ අසරණ මම මක්කරන්ඩද?. කොල්ලට රෑට පැම්පස් එකක් අන්දවන්න කියන්වා ඇරෙන්න.ඒත් මමත් අත ඇරියෙ නෑ වැඩේ.මෙතුවක් කාලයක් ලබාපු වෛද්‍ය විද්‍යා දැනුම සහ සායනික පුහුණුව අතැඹුලක් සේ දත් එකෙක් වගේ මම ගියා කොල්ලත් එක්ක ටිකක් ශේප් එකේ කතා කරලා හරියටම මොකක්ද වැඩේ කියලා දැනගෙන එන්න.

මගෙත් ඇඟේ දුවන්නෙ වීරෝධාර ජාතියක අභිමානවත් ලේ නෙ.ඒ රුධිරයේ වීරත්වයට පිටුපාන්න මම වගේ ඇටිකිච්චෙක්ට පුළුවන්ද? මම නිකං බුද්ධදාස රජ්ජුරුවො නයාට බේත් කරන්ඩ කතා කළා වගේ කොල්ලත් එක්ක කතාවට සෙට් උනා.චූ කතාවක්නෙ, එක පාරටම අහන්ඩත් මොකක්ද වගේ.කොහොම හරි මම සම්පූර්ණ රෝග ඉතිහාසයක් අටුවා ටීකා ටිප්පනි එක්කම ගත්තා.ඔන්න මට තේරුණා අනේ මේ අසරණයට චූ යනවා කියලා මුගේ අම්මා අපහාසයක්නෙ කරලා තියෙන්නෙ කියලා.කොල්ලගෙ මෙව්වා එක වැඩ කරන්ඩ පටං අරං.ඌට ස්වප්න මෝචනය කියන තත්වෙ තියෙන්නෙ.ඕක ඉතිං බය වෙන්ඩ දෙයක් යැ.

ඔන්න දැං තමයි මාතෘකාවට එන්නෙ.

දැං මූ පරිණත කොල්ලෙක්නෙ.ඉතිං පරිණත දැනුමත් ඌට දෙන්න ඕනෙනෙ.කෙල්ලන්ටනං දවස් හතක සම්පූර්ණ සවිස්තර පාඨමාලාවක් නැන්දලා, ආච්චිලා, පුංචිලා එකතුවෙලා දෙනවනෙ.කොල්ලන්ට කොහෙද එහෙම පිනක්.ඉතිං ඒ භාරධූර කර්තව්‍යය මගේ අයෝමය උරපිට මම ම දාගත්තා.මම බලාපොරොත්තු උනේ මූට උපත් පාලනය ගැන පොඩි දේවල් ටිකක් කියලා දෙන්න.ඒක හරි වැදගත්.මොකද මගේ මිත්‍රයො ගොඩ  දෙනෙක් "මචං මිස් ෆයර් එකක් උනා.මොකද කරන්නෙ?"කියලා මගෙං අහලා තියෙනවා.ප්‍රොස්ටිනොර් 2 ගැන කියලා දෙනවට වඩා මිස් ෆයර් වලක්වගන්න කියලා දෙන එක වැදගත් කියලයි මම හිතුවෙ.


ඔන්න ඉතිං මමත් පුළුවං තරං සභ්‍ය වචනවලිං කතාව කරගෙන යනකොට මට තේරුණා වැඩේ අවුල් කියලා.මූට මොකුත්ම තේරෙන්නෑ.අග්ගලා ගිලපු අලියා වගේ ඔහේ ඉන්නවා.

"උඹ දන්නවද සංසර්ගය කියලා ක්‍රියාවක් තියෙනවා.උඹේ මෙව්වා එක එව්වා එකකට..................." කියලා මම බැරිම තැන ඇහැව්වා.

"මොකක්" මුගේ ඇස් දෙක ලොකු උනා.

"අඩුම තරමේ උඹ ළමයෙක් හම්බවෙන විදිහවත් දන්නවද?" දැං  මට ඇඬෙන්න වගේ.ඇයි යකෝ මූ මේ ලෝකෙ නෙමෙයිද මෙච්චර කල් අවුරුදු පහළවක්ම ඉඳලා තියෙන්නෙ?

"ඔව්, දෙන්නෙක් බැන්දට පස්සෙ බඩේ බබෙක් හැදෙනවා.ඊට පස්සෙ බඩ කපලා බබාව ගන්නවා."

"සාමාන්‍ය විදිහට යෝනි මාර්ගයෙං ළමයි හම්බවෙනවා කියලා උඹ දන්නෑ??????" යකෝ අපි මේවා දැනගත්තෙ කොච්චර පොඩි කාලෙද?

"නෑ"

"යකෝ ශුක්‍රාණුවක් යෝනි මාර්ගෙං ඇතුළට යැව්වාම ඒක ඩිම්බයක් එක්ක පැලෝපීය නාලයෙදි එකතුවෙලා හැදෙන යුක්තාණුව ගර්භාශෙදි බබෙක් විදිහට වැඩිලා යෝනි මාර්ගෙංම එළියට එනවා කියලා උඹලට නමය වසරෙ සෞඛ්‍යට කියලා දුන්නැද්ද???" මම කිව්වෙ දත්මිටි කකා.

"ඔය ඔක්කොම කිව්වෙ නෑ.ශුක්‍රාණු ඩිම්බ ගැනනං කිව්වා.ඒ කියපුවත් දැං තමයි තේරුණේ." එහෙම කියලා මූ කල්පනා කරන්ඩ පටං ගත්තා.කල්පනා කරලා කරලා මූ මගෙං අහනවා,
"එතකොට බබාලා හම්බවෙන්ඩ බඳින්නම ඕනෙ නැද්ද?" මට ඇඬුණා.

පස්සෙ මම අසරණයට කොළේකුයි පෑනකුයි අරගෙන රූප සටහන් ඇඳ ඇඳ සම්පූර්ණ විස්තරයක් කියලා දුන්නා.මට පුදුම අවුරුදු පහළවක් මූ කොහොමද මේ විස්තරයක් කණට නොවැටි ජීවත් උනේ කියන එක.මුගේ යාළුවොත් මූ වගේම අහිංසක බෝ පැළ වෙන්නැති.ගෙදර උං ගැන කතා කරලා වැඩක් නෑ.

මේක ගැන මගේ විචාරයක් මම දෙනවට වඩා මේ එක වාක්‍ය සෑහෙයි කියලා මම හිතනවා.

අපේ රටේ උන්ට හරි හමං ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවානං මේ බෞද්ධයො මහ ගොඩක් ඉන්න, මේ පුණ්‍ය භූමියේ සිද්ද වෙන ගබ්සා කොච්චරක්නං අඩු වෙයිද??????

17 comments:

  1. ඕක ඇත්තටම ප්‍රශ්ණයක්... ඔය තරුණ අවදියට පත්වෙනකොට වෙන වෙනස්කම් ගැන දැණුම නම් විධිමත් විධියකට ලැබෙනව හොරයි...

    පහුගිය දවසක චාන්ස් එකකින් ලැබුණා මට ලීලානන්ද ගමාච්චි මහත්තය පරිවර්තනය කරපු "මොකක්ද මට මේ වෙන්නේ?" කියන පොත් පිංච. ඒක නව යොවුන් විය ඇතිවෙන විධිය ගැන උපරිම ශිෂ්ඨ, ඒත් සාමාන්‍ය වචන වලින් පැහැදිලි කරපු පොතක්. මුලින් මටත් අවුල් වුණා සමහර වචන නිසා... නමුත් ඒකෙ තියෙන විධියට හැර වෙන විධියකට ඔය වැ‍ඩේ සරලව පැහැදිලි කරන්න බෑ...

    විදේශීය රටක ඔය ගැන කතාකරන්න තරම් අයිතියක් තියෙන උදවිය කීපදෙනෙක් තමයි ලියල තියෙන්නේ... ගාණත් ඒ තරම් නැද්ද කොහෙද... මීට පස්සෙ ඔය විෂය ගැන ප්‍රශ්ණ තියෙන අයට ඒක ගැන කියන්න පුළුවන්....

    ReplyDelete
  2. මූව මරන්න එපැයි බං!හැබැයි ඕ ලෙවෙල් සෞඛ්්ය නොකරන ඒ ලෙවල් බයෝත් නොකරන කෙනෙක්ට ඉස්කෝලෙන් දැනුම මග හැරෙන්න පුලුවන්!ඒත් සමාජීයව??
    නිකන් හරි උඹව හම්බු උනේ නැත්නම්???

    ලිංගික අධ්්යාපනය අනිවාර්්යයෙන් විෂය පතයට ඇතුල් කල යුතුමයි!හරී හැටි දැනුම නොලැබී බාගෙට දැනගෙන කුතුහලය වැඩි වුනාම තමා ඔය කැෆේ ගානේ රිංගන්නේ!ඒ නිසා කල යුත්තේ අස්භ්්ය වෙබ් අඩවි තහනම් කරන එක පැත්තක තියල මුන් ඒවා බලන්න හේතු හොයල ඒවට පිලියම් යොදන එක!

    ReplyDelete
  3. ඒ පවුලේ ඒ ළමය විතර ද ඉන්නේ. මේවා ස්කෝල ගුරුවරුන්ගෙත් වැරදි. හැබැයි මට මේක විස්වාස කරන්නත් බැහැ. කියල තියන විදිහට විශ්වාස නොකරත් බැහැ.

    වාසල බස් එකේ දාපු ලින්ක් එකක් දිගේ ආවේ මම..

    ReplyDelete
  4. හරි පුදුමයි මේ බ්ලොග් එක මඟ ඇරුන එක. ඔන්න ආයෙත් මඟ ඇරෙන එකක් නැහැ... ෆලෝවර් වුනා..

    ReplyDelete
  5. මේක මේ රටේ තත්වෙ මල්ලි....
    මේක හැබැයි කන්ද උඩරට , ඕනෙවටත් වඩා අමු සභ්‍ය පරිසරයක , කුල කාන්තාවන්ගේ ඉස්කෝලෙක , කියා දිය යුතු හැම දේම හංගලා හදපු පරිසරයක ගෑනු ලමෙක් ඔය සිද්දිය හරියටම දැන ගන්නෙ අවුරුදු 24දි කියන එක අදහන්න පුලුවන්ද?

    මේ රටට හෙණ ගැහිල තියෙන්නෙම කතා කල යුතු දේ විවෘතව කතා නොකරන එකයි, කුහක කමයි නිසා.

    ඔයා කලේ නම් ජාතික සේවයක්. කොල්ලෙක් සාමාන්යයෙන් ඔය වයස වෙද්දි යාලුවන්ගෙන් හරි ඔය සිද්දිය මේ වෙනකොට දෑනගෙනනේ....

    හනේ සන්සාරේ.....

    මේ රටේ මිනිස්සුන් හිතන්නෙ ඕක කතාකලාම පිරිසිදු කමත් නැතිවෙනව කියලානේ.... ඒත් හරි ජීවවිද්යාත්මක ප්‍රොසෙස් එක ලමයින් දැන ගන්නවනම් ඕකෙ ඔය තියන සාටෝප අරුමය හිතේ තියාගෙන අනතුරුදායක අත් හදාබැලීම් කරන එකත් අඩු වේවි නේද??? මේ මට හිතෙන විදිය ...

    ReplyDelete
  6. සේරමත් හරි අන්තිමට,

    අපේ රටේ උන්ට හරි හමං ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවානං මේ බෞද්ධයො මහ ගොඩක් ඉන්න, මේ පුණ්‍ය භූමියේ සිද්ද වෙන ගබ්සා කොච්චරක්නං අඩු වෙයිද??????


    :)

    ReplyDelete
  7. මටත් ප්‍රශ්න ගොඩයි.ස්වප්න මෝචනය,මිස් ෆයර්,ප්‍රොස්ටිනොර් 2 ගැන පොඩ්ඩක් කියල දෙන්න.හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ.මම්ත් හිතන්නෙ ඉස්කෝලෙන් දෙන ලිංගික අධ්‍යාපනය මදි කියල.කුතුහලය නිසා වෙන වෙන අනවශ්ය දේ කරලා,බලලා තමා අන්තිමට ලමයි ඕවා දැනගන්නෙ.

    ReplyDelete
  8. ඕක තමයි සමාජෙත් එක්ක නොගැටෙන්න හදන ළමයින්ගේ ඇත්ත තත්වේ. බොරු කියන්නේ මොකටද අපිටත් ඔව්වා ඉස්කෝලෙන්නම් කියලා දුන්නේ නෑ. අපේම යාළුවෝ එක්ක කතා වෙලා ඉගෙන ගත්තා මිසක්.
    විශේෂයෙන් මම ගියේ මිශ්‍ර පාසලකට නිසා ගුරුවරු කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඉස්සරහා ඕවා කියලා දෙන්න මැලි වෙනවා...

    ReplyDelete
  9. ඕව ඉස්කෝලේ කියල දුන්නේ නෑ.... අපි තමයි මිස්ටත් ඉගැන්නුවේ...:D

    ReplyDelete
  10. කාලේ හැටියට වටින ලිපියක්.. හැබැයි ඔය කරුණු අතින් අපිනං බොහෝම සන්නද්ධව හිටියේ අපරාදේ කියන්න බැහැ අවුරුදු 13ක් 14ක් වෙනකොටම සම්පූර්ණ පාඩම් මාලාවම රූප සටහන් ඇඳලා කියා දෙන්න තරං අවබෝධයක් තිබුනා.. ඒකට පින් දෙන්න ඕන පංතියේ හිටිය කොල්ලන්ට තමා..දස අතින් දැනුම ගලා ආවා.. අපිට තිබුනේ ඒවා එක් රැස් කරලා සාකච්ඡාවට භාජනය කරලා හොඳම හරිය පෙරලා ගන්න විතරයි...

    ReplyDelete
  11. @hare : එළ එළ මචං ඔහොම සරළව විස්තර තියෙන පොතක් හරි වැදගත්.ඉස්කෝලවල පුස්තකාලවලට දාන්න ඕනෙ.

    @Sabith : අපේ රටේ ලොකු තැංවල ඉන්න මිනිස්සු කරන්න තියෙන ඔක්කොම කරලා හැසිරෙන්නෙ මාර සිල්වත්වනෙ බං.ඉතිං උං කෑ ගහනවා ඕක ගැන කතා කරන එකටයි කට්ටියට දැනුම හොයාගන්න තියෙන පාරවල් තියෙන එකතයි.අනේ මන්දා ඕක ඔය උං කියන තරං අරුමයක් නෙමෙයි කියලා තේරුම්ගන්නැති හැටි

    @සොඳුරු සිත : ඌට තව නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා.මමනං කියන්නෙ තනිකරම වගේ ගුරුවරුංගෙ වැරදි.ඉස්තූතියි ෆලෝවර් කෙනෙක් උනාට...

    @ජීවිතේ මල් : අනිවාර්යයෙංම.දෙයක් ගැන බාගෙට දැනගන්න එක සම්පූර්ණයෙංම දැනගන්න එකට වඩා අනතුරුදායකයි මම හිතන්නෙ.කෙල්ලෙක්ගෙ පැත්තෙං ගත්තොත් මට හිතාගන්න බැරි කොහොමද කෙල්ලෙක් නොදන්න අනතුරකිං වැළකෙන්නෙ කියලා.උංට මොකුත් කියලා දෙන්නෙත් නෑ.නොදැන් මොනවා හරි කර ගත්තොත්...#@%%$#*!!*

    @RanDil : ඉස්තූතියි ඉස්තූතියි

    @Anonymous : හ්ම්ම් තව ක්ලාස් එකක්.
    ස්වප්න මෝචනය :- නින්දේදි පිරිමින්ගේ ධාතු පහ වීමයි.මෙය ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරීත්වය හා හෝමෝනමය බලපෑම මත ඉබේ සිදුවන ස්වාභාවික ක්‍රියාවලියකි.රෝගී තත්වයක් නොවේ.
    මිස් ෆයර් :- මෙම වචනය මෙම ලිපියේ යොදා ඇත්තේ අනාරක්ෂිත එනම් උපත් පාලන ක්‍රමයකින් තොරව සිදු කරන්නාවූ ලිංගික සංසර්ගයයි.
    ප්‍රොස්ටිනෝර් 2 :- මෙය අනාරක්ෂිත සංසර්ගයකින් පසු ගැබ් ගැනීම වැලැක් වීමට භාවිතා කරන්නා වූ පෙති වර්ගයකි.අනාරක්ෂිත සංසර්ගයකින් පසු පැය 72ක් තුල ගැනීමෙන් මෙයින් ප්‍රථිඵල ලැබෙන මුත් මුල් පැය 12 තුල ගැනීම මෙහි උපරිම ප්‍රථිඵල ලබාදේ.මෙහි පෙති 2ක් අඩංගුවන අතර එක් පෙත්තක් හැකි ඉක්මනින් හා අනිත් පෙත්ත, පළමු පෙත්ත ගෙන පැය 12කට පසුද ගත යුතුය.සාමාන්‍ය උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතුය.හැකි සෑම විටම වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.ඕනෑම ෆාමසියකින් මිළදී ගත හැකි අතර මිළ රු. 100ක් වේ.

    @පූසා : ඒ උනාට මචං කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ඕක දැනගන්න ඕනෙනෙ.මම ගුරුවරයෙක් උනානං මම කියලා දෙනවා සවිස්තරව.ආයෙ වෙන කොහෙංවත් හොයන්න ඕනෙ නැතිවෙන්න.අපිත් ඉගෙනගත්තෙ යාළුවංගෙන් තමයි.හැබැයි මම පස්සෙ සෑහෙන්න පොත් කියෙව්වා ඔය සම්බන්ධයෙන්.පරිණාමය,මනෝවිද්‍යාව,සමාජවිද්‍යාව වගේ හැම පැත්තකින්ම.දැන්නං ඕනෙ එකෙක්ට කියල දෙන්නං මුළ සිට සරළව.

    @Soda ගුනේ : එළ එළ.මොකද උඹලටත් හිටියෙ අර අළුතෙං පත්වෙලා ආපු තරුණ හුරතල් මිස් කෙනෙක්ද??? ඇත්තටම කිව්වත් වගේ ඔය කට්ටිය දන්නෙත් නෑ ඕක ගැන හරියට

    @amila chathuranga : ඉස්තූතියි සහෝදරයා

    @මාරයාගේ හෝරාව : කොල්ලො සෙට් එකක් කියන්නෙ අර ඉස්සර තිබ්බ යුනිවසිටා ගම්මාන වගේ.කොහෙං කොහෙං හරි අහුළගන්න දැනුම සාකච්ඡා කරලා හැමෝම බෙදාහදාගෙන දැනුමෙන් සන්නද්ධ වෙනවා.කෙල්ලොනං ඒ අතිං සෑහෙන්න පහළයි.

    ReplyDelete
  12. කිව්වත් වගේ අපේ ඉස්කෝලේ ඔය ප්‍රජනනය පාඩම මිස් ස්කිප් කරලා දාන්න හැදුවා. ඒවා කොහෙද අපිත් එක්ක. අපි බලෙන්ම වගේ මිස්ට කියලා උගන්න ගත්තා.


    ඒක නෙමේ ටැංකිය උතුරලා යනකන්ම පිරෙන්න නොදී ටික ටික පාවිච්චි කරා නම් ඔය ලෙඩේ නැතුව යනවා. කොහෙද ඉතින් මේ කොල්ලා ඒ වගක් දන්න එකක් යෑ.

    ReplyDelete
  13. අන්න බලන්න අධ්‍යාපනේට උනන්දුවක් තියෙන ළමයි.ඒක නේන්නං කවුද අප්පා ටැංකි පිරිලා උතුරණකං ඉන්නෙ.පවු අසරණයා.

    ReplyDelete
  14. මට මෙහේ කොමන්ට් එකක් දාන්න අමතක වෙලානේ.
    ලිංගික දැනුම ලංකාවේ ටැබූ සබ්ජෙක්ට් එකක් වෙන තරමටම වෙන අපරාධ වගේම මෙකී නොකී කීයක් දේවල් වෙනවද?
    මම නම් හිතන්නේ නෑ ඔය කියන සෙල්ෆ් එඩියුකේශන් සාර්ථකයි කියලා. ඒ දේවල් පොඩි කාලෙ ඉඳන්ම නිසි විදියට කියලා දෙනවා නම් කොයි තරම් හොඳද?
    මට මතකයි මම ඔය පාමසි එකකට ගිහින් කොන්ඩම්ස් ඉල්ලුවා ලංකාවෙදි. අර ඉන්ග්ලිශ් පන්නෙට තියෙන ඒවා. මම නොදන්නා බ්‍රෑන්ඩ් වල නම් තිබුනම මම ඒ ඒ ලේඩි පාමසිස්ට් ගෙන් ඇහුවා මට ඕනේ මේ මේ විදිහේ දේවල් මොකක්ද ඔයාට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් කියලා. ඒ කෙල්ල ඇඹරෙමින් මම පාවිච්චි කරලා නෑ කියලා කීවේ නිකම් මම ලොකු අපරාදයක් ගැන ඇහුවද වගේ. මට නම් හිතුනේ ලංකාවේ ටැබූ සබ්ජෙක්ට් විතරයි කියලා ඒ දේවල්.
    මට මේක අලුත් දෙයක් හින්දා මම යාළුවෝ එක්ක කීවම උනුත් හිනා වුනා.
    ඒ වගේම තමයි ප්‍රොස‍්ටිනෝ 2 ගැන. මට තේරුන විදියට ලංකාවේ බොහෝ අය ඒක පාවිච්චි කරන්නේ උපත් පාලන ක්‍රමයක් විදියට. අර safe sex කියන වචනේ ඒකේ තියෙනවා කියලා හිතන්නේ. මේ රටවල prostinor 2 ගන්න නම් medical receipt එකක් අත්‍යාවශ්යයි. ලංකාවේ ඒ මොනවත් නෑ. ඒක හින්දාම මිනිසුන් ඒ වගේ ක්‍රම වලට ඇඩික්ට් වෙලා. side effects බැලුවම එහෙම තොග ගනන් පාවිච්චි කරන එක අනුමත කරන්නත් බෑ. අනේ මන්දා ඔයාලා වගේ අයවත් මේ දේවල් ගැන මෙහෙම දැනුවත් කරන එක ලොකු දෙයක්.

    ReplyDelete
  15. බොහොම ඉස්තූතියි විවෘතව කතා කරපු එකට.ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මේවා හොරෙං කරන්න හොඳයි.ඒත් කතා කරන්න හරිම බයයි.හංවඩු ගැහෙයි කියලා.අපේ රටේ ගොඩක් ඉන්නෙ බෞද්ධ අයනෙ.ටිකක් ආශ්‍රය කරලා බලද්දි තේරෙණවා බෞද්ධකම.ඒ උනාට හැසිරෙන්නෙ 'අපොයි අපි ඔය විරුද්ධ ලිංගෙ අයව දන්නෙ නෑ' වගේ.............මේවට ඉතිං හතර හිනා තමයි.

    ReplyDelete
  16. yaluvanee matath thiyenava loku prashnayak ,, oya condoms, tablet use nokara f karanna barida habai doi doi doiya babala anne nathuva , mata oka hari prashnayak date aka balala karanava kiyanne mokakda , a pilibandath post akak dannakoo, okath godak ayata godak vadaath vei ,

    ReplyDelete
    Replies
    1. මේකයි සහෝදරයා/සහෝදරිය,

      ලිංගික ක්‍රියාව කියන දේ තියෙන්නේ ස්වභාවිකව දරුවන් හදන්ඩනේ.අපි ඒකේ තෘප්තිය විතරක් අරගෙන දරුවෝ පිළිසිඳ නොගන්වන්ඩ තමයි උපත්පාලන ක්‍රම පාවිච්චි කරන්නේ.ඉතිං ඒ එක ක්‍රමයක්වත් භාවිතා නොකර දරුවො පිළිසිඳ ගන්නෙත් නැතුව කොහොමද ලිංගිකව එක්වෙන්නේ.ඔය ස්වාභාවික ක්‍රම කියලා තියෙන ක්‍රම දෙකම එච්චර සාර්ථක ක්‍රම නොවෙයි.

      එක ස්වභාවික ක්‍රමයක් තමයි ශුක්‍ර තරලය පිටවීමට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීම.නමුත් මේ ක්‍රමය අසාර්ථක වෙන්නේ සාමාන්‍යයෙන් පිරිමියෙක් සංසර්ගීය ක්‍රියාවේ යෙදෙන කාලය පුරාම ටික ටික ශුක්‍ර තරලය නිදහස් වෙන නිසයි.ඒ නිසා ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙනවා මිසක් නැති වෙන්නේ නෑ.අනිත් එක තමයි සංසර්ගීය ක්‍රියාව එක පාරට නතර කරන නිසා ලිංගික තෘප්තිය අඩුවෙන්ඩත් පුළුවන්.

      අනිත් ක්‍රමය තමයි ගැහැනු කෙනාගේ ඔසප් චක්‍රයේ දින බලලා නිසරු කාලයේදී එක් වෙන එක.මේකත් එච්චර හොඳ ක්‍රම්යක් නෙමෙයි.මොකද ගොඩක් ගැහැනු අයගේ ඔසප් චක්‍රය ක්‍රමාණුකුල නෑ.ඒ නිසා මෙ ක්‍රමයෙනුත් ගැබ් ගැනීමේ හැකියාව වැඩියි.ඔසප් චක්‍රය අනුව දින ගණන් කරගන්නේ මෙහෙමයි.

      වැඩිම කාලයක් ගත වෙච්ච ඔසප් චක්‍රයේ දින ගණනින් දින දහයක් (10) අඩු කරන්න.එවිට ඔබට අනාරක්ෂිත කාල සීමාවේ අවසාන දිනය ලැබේවි.
      අඩුම කාලයක් ගත වුනු ඔසප් චක්‍රයේ දින ගණනින් දින දහ අටක් (18) අඩු කරන්න.එවිට ඔබට අනාරක්ෂිත කාල සීමාවේ ආරම්භක දිනය ලැබේවි.
      ඒ කාල සීමාව මග හැර ලිංගික එක්වීම් කළ හැක.

      උදා-

      කාන්තාවගේ ඔසප් චක්‍රය දින28ත් 32ත් අතර වෙනස් වේ නම්,

      වැඩිම දින ගණන (32) - 10 = 22 (අනාරක්ෂිත කාලයේ අවසාන දිනය.)
      අඩුම දින ගණන (28) - 18 = 10 (අනාරක්ෂිත කාලයේ මුල් දිනය.)

      එනම් මෙම ස්ත්‍රියගේ ඔසප් චක්‍රයක ඔසප් වීම ඇරඹුනු දිනය පළමු දිනය ලෙස ගත් විට එම දිනයේ සිට දහවන (10) දිනය දක්වා ලිංගිකව එක්වීම ආරක්ෂිත ලෙස සැලකේ.ඉන්පසු දින විසි දෙකෙන් (22) පසුවද ලිංගික එක්වීම ආරක්ෂිතය.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...