18 October 2011

අසිරිමත්ම සිදුවීම




පහුගිය සතිය හරිම කාර්ය බහුලව තමයි ගත උනේ.අත්දැකීම්, කකුල්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවං උනා.ජීවිතේට වටින කියන පාඩම් රැසක් එක්ක මිනිස්සු අඳුර ගන්න, ජීවිතේ තේරුම් ගන්න වැදගත් සිදුවීම් බහුල සතියක්.

ඇත්තටම කියන්න හැදුවෙ පහුගිය සතියේ මගේ ඇස් දෙකෙන් ලෝකේ සිද්දවෙන අසිරිමත්ම සිදුවීම දැකගන්න මට වාසනාව ලැබුණා කියලා.දරු ප්‍රසූතියක් හැබෑවට දකින්න ලංකාවෙනං ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ.අපි පහුගිය සති දෙකේම හිටියෙ දි සොයිසා කාන්තා රෝහලේ.දරු ප්‍රසූතියක තියෙන ඒ ආශ්චර්යමත් බව ගැන කතන්දර අහලා තිබුණට සහ පොත්වලින් කියවලා තිබුණට ඒක මොනවගේද කියලා දැකගන්න මම පුදුම කුතුහලයකිං හිටියෙ.ඒක ඉටු කරලා දීපු සොයිසා රෝහලට දීර්ඝායු වේවා!!!!


අපි යනකොට ඒ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙං හිටපු විසිහැවිරිදි මුස්ලිම් තරුණියට විලිරුදාව, එහෙම නැත්තං පොෂ් විදිහට කියන 'ලේබර් පේන්ස්' පටං අරං.ඇයට සින්ටොසින් කියන කෘත්‍රිම හෝමෝනය දීලා තිබුනෙ ප්‍රසූතිය වේගවත් කරන්න.

ඇත්තටම මම ප්‍රසූතිය ගැන වෛද්‍ය විද්‍යාත්මකව නොකියා සාමාන්‍ය මනුස්සයෙක්ගේ දෘෂ්ඨි කෝණයෙන් කියන එක හොඳයි.මොකද ඒක හුදී ජනයාට තේරෙන්නෙ හුදී ජනයෙක්ම කිව්වොත්නෙ.අනික වෛද්‍ය දේශනයක් කරන්න තරං ලොකු දැනුමකුත් මට නෑ.

ඇයගේ දරුවා බිහිවෙනකන් අපිට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න සිද්ද උනා.සාමාන්‍යයෙන් දරු උපතකට මුල්ම වෙදනාව පැමිණීමේ සිට පැය පහළවක්, දහ අටක් විතර යනවා කියලා තමයි අපිට එතන හිටපු නර්ස් කෙනෙක් කිව්වෙ.නමුත් සින්ටොසින් කියන හෝමෝනය මගින් ඒක පැය බාගයත්, පැය හතරත් අතර කාලයකට අඩු කරනවාලු.මේක ඇහුවම මට මතක් උනේ ඉස්සර කාලෙ ගෑනුන්ට ළමයි හම්බ උනු හැටි.පැය ගාණක් අර ළමයි වදන කාමරේට වෙලා වහලෙන් එල්ලෙන කඹයක් අල්ලගෙන ගැම්ම අරං ළමයා එළියට දාන්න දත කන හැටි.අර පොඩි ජනේලයක් තියෙන කරුවල මූසල පාට කාමරේක යාන්තං ඇවිලෙන පහන් දැල්ලක් වෙව්ලනවා මම හිතන්නෙ ඔයාලත් දැකලා ඇති ෆිල්ම්වල, නාට්‍යවල එහෙම.

මේ අම්මටත් ටිකක් වේදනාව විඳින්න උනා ප්‍රසූතිය නිසි විදිහට පටන් ගන්නකන්.ඒ කාලය අතරතුරදි නර්ස්ලගේ අකාරුණික කතා අහං ඉන්නත් මේ ලෝකෙ ඉහලම වේදනාව විඳින්න සූදානම් වෙන අම්මලට සිද්ද වෙන බව කියන්නම ඕනෙ.කොහොම හරි ප්‍රසූතියට හෙදියන්ගේ මැදිහත් වීම අවශ්‍යවෙන වෙලාව වෙනකොටනං ඒ අය කරුණාවෙන් කතා කරලා උපදෙස් දෙන්න පටං ගත්ත.අනේ මන්දා ගෑනුංගෙ හැටි.මුල ඉඳංම කරුණාවෙන් කතා කළානං මොකද වෙන්නෙ.මගෙ මිත්‍රයෙක් කිව්වා අම්මලට හොඳිං කිව්වම කියන දේ අහන්නෑලු.ඒකලු බණින්නෙ.මම උගෙන් ඇහුවා එතකොට ප්‍රයිවට් හොස්පිට්ල්වලට එන අම්මලා මේ වගේ නෙමෙයිද?උන්ටනං මොනවා කළත් හරි ආදරෙං කතා කරන්නෙ කියලා.ඇත්ත තමයි කියලා ඌත් කියනවා එතකොට.

ඔන්න දැං අම්මගේ වෝටර් බෑග් එක කැඩිලා ඒකෙ තියෙන දියරය වෑස්සෙන්න පටන් ගත්තා.නර්ස් කෙනෙක් ඇවිත් දරුවා බිහිකරන්න අම්මා තටමන්න ඕනෙ විදිහ කියලා දුන්නා.කට්ටිය මේක බලලා ඕනෙනං නිකං ඉන්න වෙලාවට පුරුදු උනත් පාඩුවක්නං වෙන්නෙ නෑ.ඇඳේ උඩු අතට නිදාගෙන කකුල් දෙක දණහිසෙන් සහ ඉණෙන් නමලා, අත් දෙක කකුල් දෙකට දෙපැත්තෙන් යවලා යටි පතුල් දෙක අල්ලගන්න ඕනෙ.ඊට පස්සෙ කකුල් දෙක පුළුවන් තරම් දෙපැත්තට ඈත් කරලා තටමන්න තමයි නර්ස්නං කිව්වෙ.හැබැයි ළමයාව එළියට දාන එකත් අම්මට ඕනෙ ඕනෙ විදිහට කරන්න බෑ.වේදනාව දැනෙන කොට තමයි ගර්භාශය සංකෝචනය වෙන්නෙ.අන්න ඒ වෙලාවට විතරයි අම්මත් තටමලා ඒ ක්‍රියාවට සහයෝගය දෙන්න ඕනෙ.

ටික වෙලාවකිං අපිට දරුවගෙ කොණ්ඩය පේන්න පටං ගත්තා.මුළින් යන්තමට පෙණුනෙ.වේදනාවත් එක්ක අම්මා තටමද්දි යන්තං පේන්න ගන්නවා.වේදනාවයි තැටමීමයි නවත්තපුවාම ආයෙත් ඇතුලට යනවා.බොහොම වෙලාවක් මේ ක්‍රියාව සිද්ද වෙවී තිබ්බා.හැබැයි ටික ටික දරුවාගේ ඔළුව පේන එක වැඩි උනා.

ඒක සෑහෙන්න පේන්න ගත්තට පස්සෙ තමයි 'එපිසියොටොමි' කියන යෝනි මාර්ගය විශාල කිරීමේ කැපුම නර්ස් කෙනෙක් දැම්මෙ.ඒකෙං රුධිර වහනයක් සිද්ධ උනත් ඒක නිසා දරුවා බිහි වීම පහසු වෙනවා වගේම අම්මාගේ පටකවලට සිද්ධ වෙන හානියත් අවම වෙනවා.

දරුවා එළියට ගන්න කට්ටිය සෑහෙන කට්ටක් කෑවා.අපි බලං හිටියා.පොඩි එකා සෑහෙන්න ලොකුයිලු.ඒකලු ගන්න අමාරු.නර්ස්ලා ඇඟිලි දාලා මාර්ගය ලොකු කරලා දරුවව ගත්තා.අලි සයිස් කොලු පැටියෙක්.කොල්ලාව ගත්ත ගමං ඌව අම්මගෙ බඩ උඩින් තිබ්බා.ඒක තමයි මම බලාගෙන හිටපු මොහොත.අම්මගෙ මූණෙ වේදනාව ඔක්කොම එක පාරට අතුරුදහන් වෙලා යන හැටි, අති මහත් වෙහෙස මැද්දෙන් උතුරලා දෝරෙ ගලන සතුටක් එක්ක වෙහෙසකර හිනාවක් මතුවෙච්ච හැටි මට වචනවලින් නං ලියන්න තේරෙන්නෙ නෑ.අර අපිට ඇඬෙන්න එනකොට උගුරෙ ගුලියක් හිරවෙනවා වගේ දැනෙන ගතියක් මට ඒ වෙලාවෙ දැනුණා.

අම්මට තමන්ගෙ සිරුරට තවමත් පෙකණිවැලෙන් සම්බන්ධවෙලා ඉන්න කොලු පැටියව මේ ඔයාගේ දරුවා කියලා පෙන්නලා තමයි පෙකණි වැල කපන්නෙ.ඊට පස්සෙ අම්මගෙයි දරුවගෙයි එකම සළකුණු දෙකක් අත්වල ගැටගහලා කොල්ලව අරගත්තා පිහදාලා පිරිසිඳු කරන්න.කොල්ලගෙ බර කිව්වට විශ්වාස කරන්න කිලෝ 3යි ග්‍රෑම් 680ක්!!!!.  රජ කොලු පැටියෙක් තමයි.දාරක ස්නේහයක්ද කොහෙද මටත් ඇති උනා.අපේ රටේ තාත්තලට තමංගෙ දරුවා මේ ලෝකෙට බිහිවෙද්දි ළඟ ඉන්න දෙනවනං කොච්චර වටිනවද කියලා මට හිතෙනවා.මොකද මේ අහක ඉන්න මටත් එච්චර හැඟීමක් ආව එකේ තාත්තා කෙනෙක්ට කොච්චර සෙනෙහසක් ඇතිවෙයිද?

13 comments:

  1. දරුවව ලැබිලා ඒ දරුවව අම්මට දෙන මොහොත තමා බලාගෙන ඉන්න අමාරුම මොහොත. ගොඩක් සංවේදි අවස්ථාවක් ඒක. අම්මා අච්චර වෙලා දරපු වේදනාවන් සේරම අමතක වෙලායනවා දරු පැටියගේ මූනු පොඩිය දැක්කට පස්සේ.

    ඇත්තටම සහෝදරයා අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්න කොච්චර නම් වේදනාවක් දරනවද. ඒත් ඒ දරුවා ලොකු උනාම අම්මලාව මහළු මඩම් වලට දානවා. හැමෝම නෙමෙයි ටික දෙනෙක්. මේක සහ ගහන අපරදයක් !!!

    ReplyDelete
  2. අම්මො මේක කියවද්දි මගෙ ඇගත් සීතලවෙලා යනව.මට අපේ අම්මට තියන ආදරේ තවත් වැඩි උනා.අපි වෙනුවෙන් කොච්චර දුකක් වේදනාවක් විදිනවද අම්මලා.අයි ලමයින්ට මේවා තේරෙන්නෙ නැත්තෙ?

    ReplyDelete
  3. දැන් ඉන්න සමහර ගෑනු සීසර් කරන්න බලන්න ඉන්නේ ලමයි හදන්න හිතන්නත් කලින්!ඒකත් ෆැෂන් එකක් වෙලා!

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත දැන් සීසර් කිරිල්ල ෆැෂන් එකක් වෙලා තමා.මොකද සමහර නෝනලා ඔය වේදනාව විඳින්න කැමති නෑලුනේ .....

    ReplyDelete
  5. මං නං ඉතිං සීසර් කලත් නොර්මල් වුනත් කමක් නැහැ කියලා හිටියේ. වෛද්‍යතුමා ම තීරණය කලා සීසර් කල යුතුයි කියලා. බබා ලොකු නිසා. මට එක් පවුල් සෞඛ්‍ය සේවිකාවක් කිව්වා, අම්මලා නෝර්මල් බබාව ලැබෙද්දින් කෑ ගහන එක නිසා බබාගේ මොළයේ පටක වලට හානි විය හැකියි කියලා. හේතුව අපි කෑ ගහද්දි හුස්ම ගන්නේ නැහැනේ. එතකොට බබාට ඔක්සිජන් මදි වෙනවාලු. ඒ සඳහා පුහුණුවක් මූලික සායන වලදි මුල ඉඳන්ම දෙන්නේ ඒකලු.‍ අම්මලා ඒවාට සහභාගී නොවීම නිසා මේ ගැන නොදැනුවත්. බොහොම විට සීසර් කරන දරුවන්ට ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ කියලා ඇය කිව්වා. අලුත් කාලේ අලුත් පැට්න් කියලා හිතෙන්න පුලුවන්. ඒත් ඒකෙත් ඇත්තක් නැත්තේ නැහැ නේද කියලා කල්පනා කලාම හිතෙනවා.

    ReplyDelete
  6. @මධුරංග : ඒක තමයි සහෝදරයා මේ ලෝකෙ තියෙන අවුල.අම්මලා තමන්ව බිහිකරන්න විඳින දුක ළමයින්ට පෙන්නන්න ඕනෙ වීඩියෝ කරලා හරි.එතකොට උන්ට හිතෙයි අපි මෙයිට වඩා අම්මලාට සළකන්න ඕනෙ කියලා.

    @නදී : ඒකනං එහෙම තමයි.අම්මා කෙනෙක් පූජනීය වෙන්න ඒ විඳින දුකම ඇති.

    @Sabith, The Lion, RanDil : සීසර් ගැන කියද්දි දෙපැත්තක් තියෙනවා කියලා මට හිතෙනවා.ඔය කියන විදිහෙ අනතුරක් වෙන්න සාමාන්‍ය ක්‍රමේදි ඉඩක් තියෙනවා තමයි.ඒත් සාමාන්‍ය ක්‍රමේ කියන්නෙ අවුරුදු ලක්ෂ ගාණක පරිණාමීය ප්‍රථිපලයක්නෙ.නමුත් සීසර් කියන්නෙ මේ ළඟදි හොයාගත්තු (රෝම යුගයෙ ) ක්‍රමයක් නෙ.තවම මේ වගේ දේවල්වල අහිතකර තත්වයන් අපි හරියට දන්නෙ නෑ.උදාහරණයක් විදිහට ක්ලෝරොෆ්ලෝරො කාබන් මුලින්ම හොයාගත්තම ඒක කර්මාන්තවලට කොච්චර වාසිදායක උනාද කිව්වොත් මිනිස්සු කිව්වෙ ඒක දෙවියන් දීපු තෑග්ගක් කියලා.පස්සෙ ඕසෝන් වියන හිල්වෙනකංම කට්ටිය ඒකෙ අහිතකරභාවය දැනගත්තෙ නෑ.අනිත් එක තමයි උපත් පාලනය.අපි දැනට ඒක ඉතාම වැදගත් දෙයක් විදිහට පාවිච්චි කළාට ඒක මිනිස් සමාජයට කොහොම බලපායිද කියලා තව අවුරුදු දාහක් විතර යනකන් කියන්න බෑ කියලා තමයි විද්‍යාඥයො කියන්නෙ.හැබැයි සීසර් කළාම අම්මට දැනෙන වේදනාව එහෙම ගොඩක් අඩු කරගන්න පුළුවන් තමයි.ඒත් දීර්ඝකාලීන බලපෑම් ඇතිවෙන්න පුළුවන්.අම්මට සනීප වෙන්නම කාලයක් යනවා.අනික හර්නියා වගේ තත්වත් ඇතිවෙන්න පුළුවන්.

    අනික Sabith සීසේරියන් නං කමක් නෑ කියමු.සමහර බටහිර රටවල අම්මලා සිගරැට් බොනවලු ඒකෙන් ළමයාගෙ වර්ධනය අඩු වෙන නිසා.ඒතකොට ප්‍රසූතිය පහසුයි කියලා.උන්ටනං කියන්න වෙන්නෙ උංගෙ අම්මලට................. කියලා තමයි.

    ReplyDelete
  7. දිනුක,
    ලංකාවෙදිත් ළමයාගෙ තාත්තාට දරු ප්‍රසූතිය වෙන වෙලාවෙ ඒ තැන ඉන්න අවසර දෙන්න යනවා කියලා කාලෙකට කලින් ආරංචියක් ගියා නේද? ඒක තවම වෙලා නැද්ද?

    තමන්ගෙ දරුවා බිහිවන මොහොත දකින්න තාත්තාටත් අයිතියක් තියෙනවා......

    ReplyDelete
  8. මෙහෙ නම් තාත්ත සහභාගි වෙන්න වෙනවා බබා ලැබෙනකොට. බැරි වෙලා නොහිටියොත් පවුලේ හිතවත් කෙනෙකුට. government hospital වල බොහෝම ආදරෙන් කරුනාවෙන් දේවල් කියලා දෙනවා. මේ රටේ තවම වැඩ කරන එකම දේ සෞඛ්‍යය විතරමයි. මාතෘ කාලයේ සියළුම ටෙස්ට්/ පරික්ශන නොමිලේ. මේ දේවල් කියන්නේ වගකීමෙන්. මාත් social worker කෙනෙක් විදියට free of charge වැඩ කරනවා family consultancy වල.

    අර සිගරට් කතාව මම ඇහුවමයි. ඔය බටහිරින් නරක දේම වෙනවා කියන එකේ කතාවක් නෙමෙයිද ඕක? මම දන්න තරමින් නම් මේ රටවල ස්මෝක් කරන්න එපා කියනවා බබාල ලැබෙන්න ඉන්දෙදි. බර වැඩිවෙනවා බබා ලොකු වෙනවා වගේ නම් ඒවට වෙනම dieting programme වලට involve කරවනවා. මෙහේ දරුවෙක් හම්බවෙන අම්මා කෙනෙකුට තියෙන තැන නම් මම ලංකාවෙදි දැකලා නෑ. ආදරෙත් ඒ වගේමයි. නීතියෙන්ම එහෙම අයිතිවාසිකම් ගොඩකුත් තියෙනවා.
    මම ලංකාවෙදි මගේ සහෝදරියගේ බබා ඩෙලිවර් කරන වෙලාවේ හොස්පිටල් එකට ගියා. එයා ළඟ හිටියා. එයාව emergency state වල බබාව ඩිලිවර් කරලා එයා දවස් දහයක් හොස්පිටල් ඉඳන් ගෙදර එද්දි බිලත් මිලියන් 1.5ක්. මම එදා හිතාගත්තා මම නම් පාරේ මැරුනත් ලංකාවේ නම් ලෙඩ වෙලා හොස්පිටලයිස් වෙන්නේ නෑ කියලා. ආදරේ කියලත් ප්‍රයිවට් හොස්පිටල් කියලා මහ ලොකු වෙනසක් තිබ්බේ නෑ. මගෙන් වෝඩ් එකේ ඩොක්ටර් නර්ස් ඉඳන් හොස්පිටල් එකම බැනුම් නම් ඇහුවා. ලොකුකමට නෙමෙයි ආන්ඩුවේ ඉස්පිරිතාලවල මෙහේ තියෙන ෆ්‍රී සර්විස් එකටයි එහේ ගෙවන ඉස්පිරිතාලෙකයි තිබ්බේ අහසට පොලොව වගේ වෙනසක්.

    ReplyDelete
  9. @විසිතුරු | visituru : අපෝ තවම නෑ.අයිතියක් තිබුණට කරන්ඩ දෙන්නැති ඒවා කොච්චර තියෙනවද සහෝ මේ රටේ...

    @Il mondo di una povera pazza : ලෝකෙ ගොඩක් රටවල එහෙම දෙනවා තමයි.මෙහෙ තමයි දෙන්නැත්තෙ.මෙහෙත් පරීක්ෂණනං නොමිලේ කරනවා.ඒකත් කියන්න ඕනෙනෙ.සිගරැට් කතාව බටහිර හැමෝම කරන දෙයක් නෙමෙයි.කොහොමත් ඔය වගේ දේවල් හොයාගන්නෙනං එයාල තමයි.අපේ උන්ට පුරුදු උනාම ඉස්මුදුනෙන් පිළිඅරං කරගෙන යනවා.තවම අපේ රටටනං ඇවිත් නෑ.අපේ හොස්පිටල් ගැන කතා කරල වැඩක් නෑ බූරු.

    ReplyDelete
  10. දිනුක මල්ලී - අපිට නම් එක වතාවක් බීඩි බොන, සූර් වෙන්න මත්පැන් බොන P7C6 අම්මා කෙනෙක් මුණගැහුනා. නමුත් බහුතරයක් දෙනා එසේ නොවේ. අන්තිමේ දරුවා බිහි කරන වෙලාවේ රුධිර වහනය වැඩි වෙලා ගර්භාෂය ඉවත් කරන්න සිදු වුනා.ඉන්ටර්න් කරද්දි තමයි තේරුනේ... දරුවෙකුගේ හැඬුම් හඬේ තියෙන සුන්දරත්වය. සමහර විට එක දිගට උදේ ඉඳන් රවුන්ඩ්ස් 2 විතර induce කරපු අම්මලා ළමයින් ප්‍රසූත කරනවා. සම්පත් හා මානව කළමණාකරනය අඩු. දොස්තරලා සහ සුව සේවිකාවන් අඩු නිසා රටේ බොහෝ තැන් වල ගැටලු සහගත තත්ව ඇතිවෙනවා. ලංකාවේ ලේබර් රූම් වල එක දීගට එකපෙලට දරුවෝ ප්‍රසූත කරන නිසාත් පුද්ගලික කාමර නැති නිසාත් තාත්තලාට ළඟ ඉන්න දෙන්න වෙලා නැත්තේ.

    පුද්ගලික රෝහල්වල මිල අධිකයි. ආණ්ඩුවේ රජයේ රෝහල් වල සියල්ල නොමිලේ. ඒත් අගනුවර රෝහල් හැර පහසුකම් අඩුයි. පුහුණූ සේවක පිරිසක් ඉන්නවා.

    ReplyDelete
  11. ඔන්න අදමයි ආවේ පෑල දොරට... මේ අසිරිමත් සිදුවීමට දෙවතාවක් මුහුණ දුන්නා...

    මුල්ම සිදුවීම ගැන ලීවෙ මෙහෙමයි..
    http://thanojar.blogspot.com/2011/08/blog-post.html

    කමෙන්ට් එකට ලින්ක් එක දාන විදිය දන්නෙ නෑ...

    ReplyDelete
  12. ඉස්තූතියි ආවට මේ පැත්තෙ.ඔන්න මම ඔබතුමීගේ පෝස්ට් එකත් කියෙව්වා.මරු.

    ReplyDelete
  13. ඔය තාත්තලාට ළඟ ඉන්න දෙන එක එතරම් හොඳ දෙයක් නෙවේ කියලයි මගේ මතය මොකද දරුවෙක් බිහි කිරිම කියන්නේ ප්‍රාථමික කාර්යක්. එතැනදී කාන්තාව අර ප්‍රාථමික සත්ව ලක්ෂණ පෙන්නුම් කරන්න ඕන හයියෙන් කැ ගහලා තටමන්න ඕන. තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟ ඉද්දි කාන්තාව මේ දේවල් කරන්නේ ලජ්ජාවත් එක්ක නිසා. අර ප්‍රාථමික කාර්යට එක බාදාවක්. ඔය වැඩේ කරන්න ඕනවට වැඩිය ශිෂ්ට වෙලා බැ.
    අනිත් එක ඔතන ඉන්න පිරිමි කෙනාටත් ඕක බලපෑම් කරයි කියලයි මට හිතෙන්නේ. මොකද සංවේදී කෙනෙක්නම් පසු කාලීනව ලිංගිකව එක්වීමේදී මේ සිදුවීම් මතක් වෙන්න පුළුවන්.එහෙම උනොත් වෙන වැඩේ හිතා ගන්න පුළුවන්නේ. ඔය සත්තු උනත් දරුවන් බිහි කරන කොට ගොඩක් වෙලාවට ගැහැණු සත්තු තමයි වට කරගෙන ඉන්නේ. පිරිමි සත්තු ටිකක් ඇතට වෙලා ආරක්ෂාව ගැන බලා ගන්නවා.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...