
අපේ ගෙදර ඉන්න බල්ලා හොඳ පැටිකිරියක් ඇති එකෙක් නෙමෙයිය.ඌ වල්බල්ලෙක්ය.වල් කියන්නේ වල්ම වල් බල්ලෙක්ය.හැබැයි උගේ පරම්පරාවේ කොහේ හරි වැදගත් බල්ලෙක් හෝ බැල්ලියෙක් ඉඳලා තියෙනවා වෙන්ඩ ඕනේය.මොකද ඌ බත් කන්නේ බිම ඉඳගෙන බත් පිඟාන දෙපැත්තෙන් අත්දෙක තියාගෙන බොහොම නිවි සැනසිල්ලේ නිසාය.කන වෙලාවට බලු ගති නැත.හැඳි ගෑරුප්පු දුන්නොත් ඒකෙන් උනත් අපහසුවක් නැතුව කන්ඩ තරම් සංයමයක්ය ඌ කන වෙලාවට පෙන්නන්නේ.නමුත් අවාසනාවට අපේ ගෙදර හැඳි ගෑරුප්පු නැත.කොහොම නමුත් උගේ පරම්පරා ඉතිහාසය හාරා අවුස්සා බැලුවොත් දුටුගැමුණු රජතුමාගේ බල්ලාගෙන් පැවත එන බවට ඔප්පුකර ගන්ඩ තිබුණ නමුත් ජැක්සන් ඇන්තනී මහතාට වෙන වැඩ ඇති නිසා අපේ බල්ලා තවම නිකම්ම නිකං පර බල්ලෙක් ලෙස දිවි ගෙවන්නේය.
අපේ බල්ලාව ගෙදරට අරගෙන ආවේ මම නෙමේය.අපේ අයියා කාරයාය.ඒකා මේකා කුක්කා කාලේ පාරේ ඉන්නවා දැකලා උස්සාගෙන ආවේය.මේකා කලුපාට පුළුං බෝලයක් වගේ ඉන්නවා දැක්කාම ආසාවේ බැරිය.හැබැයි එතකොටත් ඌට 'කේනයින් ස්කේබීස්' කියලා පොෂ් විදිහට කියන ගමේ විදිහට 'කටුවා කාලා ' කියන ලෙඩේ හැදිලා තිබ්බේය.කටුවා කෑ බල්ලෝ ඔබ හැමෝම දැකලා ඇතුවාට සැක නැත.ඒ ලෙඩේ හරියට මිනිස්සුන්ට හැදෙන 'හොරි' වගේමය.ලෙඩේ හදන්නේත් මිනිස්සුන්ට හොරි හදවන ජාතියේම පරපෝෂිතයෙක්ය.ලෙඩේ හැදුනාම ඇඟේ මයිල් හැලෙනවාය.හම හරියට ටිංකරිං කරපු ලොරි බොඩියක් වගේ වෙනවාය.ඒ දවස්වල අපි ඒ වගේ බල්ලන්ට 'අනර්කලීගේ බල්ලෝ' කියන්ඩ පුරුදු වී සිටියෙමු.ඒ අනර්කලී 'වීට්' පාවිච්චි කරපු කාලේය.දැං නං එයා මයිල් කෙළිං කරගත්තු ගමංමය.වම්බටු දැක්කත් මළ පනිනවාය.
මේ අපේ බල්ලා ගෙනාව දවස්වලය.ඇස් වටේට මවිල් නැත්තේ 'කටුවා කෑම' එහෙම නැත්තං 'කේනයින් ස්කේබීස්' හින්දාය.
අපි ආයෙත් කතාවට හැරෙමු.අපේ කුක්කාට මේ ස්කේබීස් ලෙඩේට ප්‍රතිකාර ගන්නට පශුවෛද්‍යවරිය ළඟට එක්කාගෙන ගියේ මගේ පෙරැත්තයටය.බල්ලා ගෙනාවාට අපේ අයියා ඌ ගැන ඉන්පසු සැළකිල්ලක් දැක්වූයේම නැත.කුක්කාට පශුවෛද්‍යතුමිය පරපෝෂිතයෝ මැරෙන්ඩ එන්නතක් දුන්නාය.ආපහු ගෙදර එනකොටත් බල්ලා හිටියේ පැත්ත වැටිලාය.පහුවදා වෙනකොට ඌ හිටියේ එහා ලෝකේට වීසා ඉල්ලමින්ය.මම වහාම පශුවෛද්‍යතුමිය දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමි.'පිරිටන් පෙති බාගයක් දීලා බලන්ඩ' ඒ ඇගේ උපදෙසයි.මම වටේ පිටේ ගෙවල් ගානේ ගොස් පිරිටන් පෙත්තක් සොයාගෙන බාගයක් පෙව්වෙමි.එවර මාරයාට ඌව ගෙන යාමට නොහැකි විය.බල්ලා පණ ගහලා නැගිට්ටේය.
අපේ බල්ලාට පිස්සුය.ඒ කියන්නේ ජලභීතිකාව නොවේ.ජලභීතිකාවද තියෙනවාය.ඒ නාවන්ඩ ගෙනිච්චාමය.ඌට පිස්සු කියන්නේ ඌ කකුල් හපන්ඩ දක්වන රුචිය නිසාය.මිදුලට බහින නිවැසියන් අමුත්තන් ආදී සියල්ලන්ටම එකසේ සළකන අපේ බල්ලා අඩුම තරමේ කෙළ බින්දුවක් හෝ කකුලක ගාන්නට නොලැබුණොත් උගේ මුළු දවසම අපතේ ගියා සේ සළකයි.ඌ අපේක්ෂා භංගත්වයට පත්වේ.ඉන්පසු දෙගුණ තුන්ගුණ වූ උනන්දුවකින් හා කැපවීමකින් දුවගෙන විත් කෙසේ හෝ කලිසමක හෝ කමිසයේ එසේත් නැත්නම් කමිස කොලරයේ උගේ පා සටහනක් මඩ ආධාර කොටගෙන සලකුණු කොට යන්නේ භාරයක් ඔප්පු කළා වාගේ සතුටකින්ය.උගේ අනිත් සතුට කකුල් මාට්ටු දැමීමය.දුවගෙන ඇවිත් උගේ පූර්ව ගාත්‍රා දෙකෙන් අපේ එක් කකුලක් බදා අල්ලා ගනී.ඇවිදිමින් සිටියේ නම් යන්නේ හොම්බෙන්ය. කොච්චර බැන්නත් ගැහුවත් වැඩක් නැත.ආණ්ඩුවට බණිනවා වාගේය.අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නේ නැත.
අපේ ගෙදර පිටිපස්ස පැත්තේ තාප්පය කැඩිලාය.ඒක හදාගන්ඩ වත්කමක් නැති නිසා පරණ නටඹුන් රැසක් මෙන් සංරක්ෂණය කර තිබෙනවාය.පෙරලී ඇති බ්ලොක් ගල් එක පිට එක තබා තාවකාලිකව ෂේප් වෙන්ඩ හැදුවත් වැස්සට හෝ අපේ බල්ලා විසින් හෝ එය පෙරලා දැමෙයි.අපේ බල්ලා මේ කැඩුණු තැනින් පැනගොස් අනිත් බල්ලෝ එක්ක රස්තියාදුවේ යන්නේය.කෙල්ලෝ (බැල්ලියෝ ) බලන්ඩ යන්නේය.මේවාට වඩා ඌ ආසා කරන්නේ වෙලට පැන මඩ නෑමය.ඌ වෙලට ගොස් කොරවක්කන් පසුපස පන්නයි, මී හරකුන්ට නක්කලේ දමයි.ඉන්පසු මඩ් ගාඩ් එකක් හයි කරන්ඩ හිතෙන තරමට මඩ විසි කරමින් වෙල පුරා දුව හති වැටුණු විට මඩ පිටින්ම ගෙදර දුවගෙන එයි.
අපේ අයියාගේ ජීවිතය 'වාහන' වේ.ඔහුට ඇත්තේ වෑන් එකකි.එයින් ඔහු බීමටත් රස්තියාදු ගැසීමටත් අදායමක් හොයා ගන්නේ හයර් ගිහිල්ලාය.ඉඳ හිට මතක් වූ විට අම්මාට කීයක් හරි දෙන්නේය.පස්සේ එයිට වඩා අම්මාගෙන් ඉල්ලා ගන්නේය.දවසක් ඔහු වෑන් එකට අලුතින්ම නලාවක් එනම් හෝන් එකක් සවි කරගෙන ඇවිත් තිබුණේය.පහුවදා උදේ බලද්දී වාහනය යට රිංගා සිටි බල්ලා හෝන් එක කාලාය.බල්ලාගේ කෙළ ගෑමටත් වද දීමටත් මළ පැන සිටි ඔහු බල්ලාව අල්ලාගෙන වාහනයේ දමාගෙන ගොස් කොහෙදෝ ඈත පැත්තකට දමා ආවේය.මම වර්ජනයක් ඇරඹුවෙමි.බල්ලා ගේන තුරු නිවැසියන්ට බ්‍රහ්ම දණ්ඩනය දීමට තීරණය කළෙමි.දින දෙකකට පසු අයියාම ගොස් බල්ලා ආපසු ගෙනාවේය.එවරද බල්ලා බේරුණේය.ඒ කිව්වේ ඌ ගිය දිහාවක කාගේ හෝ කකුලක එල්ලුනානම් ඌ මරා දමන එක නියත නිසාය.
පහුගිය බලු කාලයේ (බල්ලන් රමණය කරන කාලය ) මූ ගෙදර සිටියේ බොහොම ස්වල්ප වේලාවක්ය.අපේ අයියා ගෙදරින් පිටවීමට පෙර පිටත්වන මූ ආපසු ආපේ අයියාද ගෙදර ආ පසුය.මේ කාලයේදී ඌ රමණය සඳහා අනිත් බල්ලන් හා පොරකා ගැනීමෙන් පූර්ව ගාත්‍රයක තරමක තුවාලයක් සාදාගෙන ආවේය.තුවාලය බලන්නට ගිය අම්මාටද බුරා පැන්න මූ මම තුවාලය පිරිසිඳු කරද්දී වේදනාවෙන් දැඟලුවා පමණි. ඇමොක්සිසිලීන් ගිල්ලවීමේ මහා කර්තව්‍යය ඊළඟට ඇරඹුනේ තුවාලය පැසවා බල්ලාට උණද ඇති වීම නිසාය.බලෙන් කට ඇර බෙහෙත් කරල උගුරටම දමා ගිලින තුරු උගෙ කට වසාගෙන සිටීමේ කාර්යයේදී බලු කෙළ නෑවෙමි.එවරද මාරයා පරදා බල්ලා ජයගත්තේය.
ගෙදරින් පැනගොස් රවුමක් ගසා එන මුගේ ඇඟේ කිනිතුල්ලන් රැසක් හැමවිටම දක්නට ලැබේ.නාවන විට කෙතරම් ගලවා ඉවත් කළද ඊළඟ රස්තියාදුවෙන් පසු නැවත කිනිතුලු ප්‍රජාව පෙර ගණනටම වර්ධනය වී තිබෙන්නේ අනවසර සංක්‍රමණ නිසාය.කිණිතුල්ලන් සඳහා බෙහෙත් ගෙනත් දැමූ විට බල්ලාගේ ඇඟෙන් බහින උන් අපේ ඇඟට නගිති.ඒ නිසා මම නිවසේ ඉන්නා දිනවල දී කිණිතුල්ලන් ගලවා පොල් ලෙල්ලකට එකතු කොට එහා වත්තට විසි කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹුවෙමි.(අපේ ඉඩම පර්චස් 20ක් බවත් පිටිපස්සේ වත්ත අක්කර දෙකක් පමණවන වල් වැදී ඇති ඉඩමක් බවත් සළකන්න )
මේ ක්‍රියාමාර්ගය ගැනීමට මාගේ චිත්ත සන්තානය පෙළඹවනු ලැබුවේ කිණිතුල්ලා කෙරේ මා තුල ද්වේශය කොපමණ වූවත් හැදී වැඩුණු පරිසරය මඟින් සත්ත්ව අවිහිංසාව මාගේ සංජානනයේ රෝපණය කොට තිබූ බැවිනි.එනිසා මගේ අතින් කිණිතුල්ලන් මරා දැමීම මග හැර ස්වභාවධර්මයට කිණිතුල්ලන් බාර දීමට මම වඩා කැමති වීමි.නමුත් මාගේ ක්‍රියාවේ මුග්ධ භාවය තේරෙන්නට මට වැඩි කල් ගියේ නැත.බල්ලා තාප්පයෙන් පැන යන්නේ මේ වත්තටමය.මම මහත් වැර වෑයමෙන් ගලවා දමන කිණිතුල්ලන් නැවතත් උගේ ඇඟේම එල්ලී අපේ ගෙදරට එමින් සංචාරක දිවියක් ගත කරති.උන්ට නොමිලේ වීසා ලබා දී ගුවන් ටිකට් පත් ද ලබා දෙන්නේ මා ය.මේ සංචාරක කිණිතුල්ලෝ උන්ගේ සංචාරක ජීවිතය ගැන මැක්කන්ට පොර ටෝක් දෙනවා ඇත.අපේ බල්ලා මී හරකුන් හා වෙලේ දුව පැන උන්ගෙන් නොමිලේ ලබාගෙන එන මිදි ගෙඩි තරම් වන යෝධ කිණිතුල්ලන්ට සංචාරක ජීවිතය ගැන පාඩම් කියා දෙනවා ඇත.පොල් ලෙල්ලත් සමඟ ගුවන් ගතවී නැවත පොළොවට ඇද වැටෙන කෙටි කාලය තුලදී දැනෙන ගුරුත්වය රහිත තත්ත්වය යටතේ පොඩි එවුන් අභ්‍යාවකාශයට යවන්නට පුරුදු කරනවා ඇත.සමහරවිට මේ අභ්‍යාවකාශ පුහුණුව දෙනවා ඇත්තේ උන්ගේද නායකයන්ගේ දරුවන්ට පමණක් විය හැක.එවිට අනිත් කිණිතුලු පැටවුන් ඉරිසියාවේ පැලෙනවා ඇත.
කෙසේ නමුදු අද සවස මාගේ අවිහිංසාව පරදවා ද්වේශය ජය ගත්තේය.පොල් ලෙල්ලට එකතු කළ 50ත් 75ත් අතර සංඛ්‍යාවක් වූ කිණිතුලු රොත්ත දෙස මම ප්‍රචණ්ඩ බැලුම් හෙලුවෙමි.මගේ හදවත ක්‍රෝධයෙන් බිහිසුණු ලෙස ස්ඵන්දනය වන්නට පටන් ගත්තේය."මාගේ හිතෛශී සුනඛයාගේ රුධිරය උරා බොන පාහරයිනි, බල්ලාගේ රුධිරය උරා බීමෙන් නොනැවතී අපේ ඇඟටද ගොඩ වී අපේ නිර්මල රුධිරයද පානය කොට අපට ලයිම් රෝගය සාදවන්නටත්, ටයිෆස් උණ සාදවන්නටත් මෙනින්ගො එන්කෙෆලයිටිස් සාදවන්නටත් ටික් පැරලයිසිස් නම් ව්‍යාධිය ජනනය කරවන්නටත් වෙර දරන පරපෝෂී අමනයිනි අද උඹලාගේ අවසානයයි" යනුවෙන් මාගේ හදවතේ කෲරත්ත්වය ගොජ දමන්නට විය.
පොල් ලෙල්ලත් රැගෙන නයි කුහුඹුවන් වෙසෙන ගුලක් අසලට ගොස් පොල් ලෙල්ල ඒ අසල බිමින් තබා බලා සිටියෙමි.මුළින් ආවේ කූඹින් එකා දෙන්නාය.කුහුඹුවෙක් එක් කිණිතුල්ලෙක් මත නැගී හිස් මොළයටම දළ පහර ගසනු මම කෲර තෘප්තියකින් යුක්තව බලා සිටියෙමි.කිණිතුල්ලා දඟලන්නට විය.කුහුඹුවා පැත්තකට වීසි විය.ආපසු ගුල දෙසට දිව යන කුහුඹුවා දුටු මගේ හිතේ කුහුඹුවා කෙරේ අවඥා සහගත හැඟීම් පළ විය.නමුත් කුහුඹුවා සටන අතහැර නැත.ඌ ගොස් ඇත්තේ ඌට වඩා තරමින් විශාල කිණිතුල්ලා මෙල්ල කිරීමට සඟයින් එක්ක ඒමටය.ඉන්පසු යුද්ධය ආරම්භ විය.ප්‍රමාණයෙන් කුඩා කුහුඹුවෝ තමුන් මෙන් දස ගුණයක් පමණ විශාල කිණිතුල්ලන් හා ධෛර්යයෙන් යුතුව සටන් වැදුනෝය.කිණිතුල්ලා මත නැගී උගේ හිස් මොළයටම දළ ගසාගෙන ඌ අඩපණ වන තුරු සිටින නිර්භීත කුහුඹුවන් දෙස මම විශ්මයෙන් යුතුව බලා සිටියෙමි.
මරණ ලද හෝ අඩපණ කරන ලද කිණිතුල්ලන් සියල්ලම සිය ගුලට ගෙන යෑමට කුහුඹුවන්ට එතරම් වෙලාවක් ගත වූයේද නැත.මට කිණිතුල්ලන් කෙරේ යම් ශෝකයක් පහළ වූ මුත් කිණිතුල්ලන් කොටි ත්‍රස්තයින්ට සම කොට මගේ සිත ප්‍රහර්ෂයෙන් පුම්බා ගතිමි.
සැ.යු : සත්‍ය සිදුවීමකි.කුහුඹු අරගලය දුටු විට කුහුඹුවෝ කෙටි කතාව සිහිපත් විය.මාගේ මීළඟ උත්සාහය වන්නේ බල්ලාගේ ඇඟේම ලැග ඉන්නා කිණිතුල්ලන් අල්ලා ගැනීමට කුහුඹුවන් පුහුණු කිරීමය.සාර්ථක වුවහොත් එම ක්‍රමවේදයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අදහස් කරමි.




















