02 October 2012

අධ්‍යාපනය, රට සහ අනාගතය






අපේ රටේ අධ්‍යාපනය ගැන ලොකු ලොකු පොරවල් මේ දවස්වල  කතා කරන නිසා මා වැනි ඇටිකිච්චෙකුගේ අදහස් ප්‍රකාශය හුදෙක් ප්‍රහසනයක් සේ පෙනී යාමට ඉඩ ඇති මුත් මට දැනෙන දේ ප්‍රකාශ කිරීමේ ආශාව, පච වීමට ඇති අවධානම මැඩගෙන නැග ආ නිසා අධ්‍යාපනය ගැන මගේ සරළ, කුඩා, පුළුල් නොවූ දෘෂ්ඨි මානයට වැටහෙන සේ මෙසේ පැවසීමට තීරණය කර ගත්තෙමි.

අධ්‍යාපනය යනු මට වැටහෙන ආකාරයට පෙර විසූවන් විසින් නිපදවූ දැනුම ඊළඟ පරම්පරාවට දායාද කිරීමේ ක්‍රමවේදයයි.සමාජය සංකීරණ වත්ම අධ්‍යාපන ක්‍රමවේදයන්ද සංකීර්ණ වූත් කූඨ වූත් ස්වරූප ගෙන ඇතැයි මගේ පුංචි මොළයට වැටහේ.

අධ්‍යාපනයේ අරමුණ දැනුම පරම්පරාගත කිරීම නම් (මා වැරදිනම් නිවැරදි කරන්න ) එසේ පරම්පරාගත කිරීමේ අරමුණු දෙකක් දැකිය හැක.

1. සමාජය ආපස්සට ගමන් නොකොට සොයාගත් දැනුම මත පදනම්ව සමාජයේ කටයුතු කිරීම සහ අවශ්‍යතා සපුරා ගැනීම පහසු කර ගැනීම.එනම් සොයාගත් දැනුම නොනැසී පවත්වා ගැනීම.

2. පවත්නා දැනුම මනාව අධ්‍යයනය කොට එම දැනුම උපයෝගී කොට ගෙන නව දැනුම නිර්මාණය කිරීම.

ලංකාවේ අධ්‍යාපනයේ අරමුණ වන්නේ උක්ත පළමු කාරණය ඉටු කිරීම පමණය.අපි දැනුම නිර්මාණය නොකරමු.හැකියාව ඇත්තෝ කම්මැලි ය.හැකියාව නැත්තෝ ඉරිසියා කරති.බලය ඇත්තෝ බලයට තර්ජනයක් වෙතියි සිතති.ප්‍රශ්නයක් ඇසූ විට දෙන පිළිතුර ස්වයං නිර්මාණයක් නම් 'කවුද එහෙම කිව්වේ? මොන පොතේද එහෙම තියෙන්නේ? නිකං හිතට ආව පලියට දොඩවන්ඩ එපා දැනගෙන කතා කරන්ඩ' ආදී ලෙස අවඥාවෙන් කතා කරනා ගුරුවරුන් මම දැක ඇත්තෙමි.


අපේ රටේ තවමත් ඇත්තේ සුද්දන් උන්ගේ පාලන ක්‍රමයට ඇවැසි වෘත්තිකයින් නිපදවූ ක්‍රමවේදයම යැයි ලොකු ලොකු ඇත්තෝ මොර දෙනු මම අසා ඇත්තෙමි.එය සත්‍යයකැයි සිතෙන්නේ රාජ්‍ය අධ්‍යාපනයෙන් මූලිකව ඉලක්ක කරනුයේ වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ හා ගුරු යන වෘත්තින් පමණක් වීම නිසාය.ඒ හැර වෙනත් පාඨමාලා ආරම්භ කර ඇතත් ඒවා සමාජගත කරවීම නිසි පරිදි සිදුවී ඇත්දැයි යන්න ගැටළුවකි.උපාධිධාරී වඩු කාර්මිකයින්, මේසන්වරුන් නිපදවීමක් සිද්ද වේද යන්න සලකා බැලිය යුතු නොවේද?රජය යටතේ ක්‍රියාත්මක වන කාර්මික අධ්‍යාපනය ඔහේ කෙරෙන්නන් වාලේ කෙරෙන්නක් මිස නිසි ඉලක්කයක් හෝ දැක්මක් සහිතව සිදුවන්නක් බව නොපෙනේ.

ලංකාවේ අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්නකි.එය උසස් අධ්‍යාපනය දක්වාම ලබා දෙන අතර පශ්චාත් උපාධි ආදිය සඳහා අපේක්ෂකයා වියදම් කළ යුතුය.හැම දෙයම පිනට ඉල්ලන මහජනයා මෙන්ම දෙන හැම දෙයම ස්වකීය පුද්ගලික ධනයෙන් ජනතාඅ කෙරේ අනුකම්පාවෙන් දෙන්නාක් සේ කතා කරන අමාත්‍යවරුන්ද කරන්නේ එකිනෙකා නොමග යැවීමකි.අධ්‍යාපනය අයිතිවාසිකමක් සේ සැලකෙන බැවින් එය නොමිලේ ලබා දිය යුතුය යන මතයේ මම සිටිමි.එවිටය සෑම අයෙකුටම සමාන අවස්ථාවක් ලැබෙන්නේ.එමෙන්ම එක්වරම රජයකට රටේ සමස්ත ආදායමෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමද කළ නොහැක්කක් බව පිළිගත යුතුය.


ඔබ ඔහොම කිව්වට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ
කැඳවුම්කරු සංජීව බණ්‌ඩාරල කරන සටන් වලට පාසල් අයත් නෑ ඒ වගේම පාසල් වල නොමිලේ අධ්‍යාපනය දෙන එක සියල්ලටම පාසල් අධ්‍යාපනය ලැබීමට තියන අයිතියට කවුරුත් විරුද්දත් නෑ. මෙතන යන්නේ වෙන ගේමක් නිදහස් අධ්‍යාපනය කියන වචනයට ඕනම අර්ථයක් දෙන්න පුලුවන් නිසා රටේ යම් පිරිසකට විතරක් බදුමුදල් වල අයිතිය පැහැර ගැනීම. හැමෝම වි.විධ්‍යාලයට යන්නේ නෑ නේ ඇයි හැමෝගෙම බදු මුදල් තෝරගත් පිරිසකට විතරක් දෙන්න ඕන? ඔයි සමස්ථ අධ්‍යාපනයට කතාව පොරු කවරයක් විතරයි

නිදහස් අධ්‍යාපනය කියන වචනයට විශ්ව විද්‍යාලත් අයිතියි නේද? පාසල් වල හැමට සමානව ප්‍රතිලාභ ලැබෙනවා මං පොඩ්ඩක්වත් විරුද්ධ නෑ එයට. උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය හැමෝටම සමව ලැබෙන එක සහ රජයේ විශ්වවිද්‍යාල වල සීමිතඉඩකඩ සදහා තෝරාගත් ටිකකට අනුන්ගේ සල්ලි වලින් විශ්වවිද්‍යාලයට යවන එක දෙකක්. ඒ මදිවට අනිත් අයට ඕනෑනම් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නත් තහනම්. කැකිල්ලේ සටන් පාඨයක් නේද?


කෙසේ හෝ මගේ මෙම ලිපියට ප්‍රස්තුතය වූයේ මාරයාගේ බ්ලොගේ පලවූ මෙම කොමෙන්ටුවය.මම එය කොපි කොට මගේ ලිපියේ පලකිරීම පිළිබඳව ඔහු මට සමාව දෙනු ඇතැයි සිතමි.

ඉහත ඔහුගේ තර්කය සලකා බලන්න.අපේ රටේ සියළුම දෙනා අඩු වැඩි වෙමින් බදු ගෙවති.වැඩි ආදායම් ලබන්නෝ ආදායම් බදු අමතරව ගෙවන අතර සියළුම දෙනා මිලදී ගැනීම් සහ සේවා හරහා රජයට බදු ගෙවති.එකී බදු මුදල් ආයෝජනය කරන ආකාර රජය තීරණය කරන්නේය.ඒ සඳහා අයවැය පත්‍රයක් පිළියෙල කොට පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු රජයට එකී මුදල් වැය කිරීමේ අවසරය හිමි වේ.ඇමතිවරුන්ගේ බොහොමයක් විය හියදම් (ගෙවල් කුලී, දුරකතන බිල්, ඉන්ධන දීමනා ආදිය ), රාජ්‍ය ආයතනවල ලොක්කන් බොහොමයකගේ මෙවන් වූ දීමනා ආදියද ගෙවන්නේ මෙලෙස රටේ සෑම දෙනාගෙන්ම එකතු කොටගත් බදු මුදලෙනි.ඔවුන්ගේ විදෙස් සංචාර ආදිය සියල්ල කපා හැරීමට යෝජනා නොකරන ඒ මහතා උසස් අධ්‍යාපනයට රජයේ වියදම් ඉවත් කළයුතු යැයි යෝජනා කරයි.එසේනම් සමෘද්ධි දීමනා, මෙන්ම ගැබිණි මව්වරුන්ට දෙන යකඩ පෙතිද, ත්‍රිපෝෂ ද නවතා දැමිය යුතුය.මන්ද ඒවා හැමෝටම නොලැබෙන නමුත් ඒවා දෙන්නේ හැමෝගෙන්ම එකතු කරනා බදු මුදල්වලින් බැවිනි.

පුද්ගලික විශ්වවිද්‍යාල තිබීමේ ගැටළුවක් නැත.ගැටළුව මතුවන්නේ දැනටද සිදුවෙමින් යන ආකාරයටම රාජ්‍ය අධ්‍යාපනයට එය තර්ජනයක් වීමය.රාජ්‍ය අධ්‍යාපනයට ඇති වැය කපා හරින රජය පුද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ප්‍රසිද්ධියේ කඩේ යන්නේය.


2005 දී 4%ක්ව පැවති අධ්‍යාපන ප්‍රතිපාදන වත්මන් රජය යටතේ 1.86%ක් දක්වා පහත වැටී ඇති බව කණගාටුවෙන් උවද සඳහන් කළ යුතුය.නමුත් මෙහිදී තවත් කරුණක් සැළකිල්ලට ගත යුතුය.රාජ්‍ය ආදායම (රජය පවසන පරිදි ) සීඝ්‍ර ලෙස වැඩි වීම නිසා අධ්‍යාපනයට කෙරෙන වියදම නිශ්චිත අගයක පවත්වාගෙන යාම නිසා ප්‍රතිශත අගය පහළ ගියා වන්නටද පුළුවන.කෙසේ නමුත් පාසැල් වැසී යාමත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අනෙකුත් අර්බුධත්, රජය පැවසූ බොරු කීපයක්ම අතේ පත්තු වීමත් (හම්බන්තොට වරායේ ගල, Z ස්කෝර් ගැටළුවක් නැත යන්න ) නිසා එසේ රාජ්‍ය ආදායම ඉහල යාම නිසා ප්‍රතිශත අගය පහළ ගියේ යැයි සිතීම මටනම් අපහසුය.


අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවී ඇති ගැටළු රජය පවසන පරිදි රජය අපහසුතාවයට පත් කිරීමට සිදු කරන කුමන්ත්‍රණයන්ය.නමුත් එකී තර්කය එක එල්ලේම බැහැර කිරීමට නොහැකි නමුත් එය පිළිගැනීමටද අපහසු වේ.පවතින රජයකට සිය පාලනය පෙරලීමේ අපේක්ෂාවෙන් සිදු කරන කුමන්ත්‍රණවල සුලමුල හෙළි කරගත නොහැකිද? අඩුම තරමින් ප්‍රශ්න පත්තරවලට කුණුහරප දැමූවන් අත් අඩංගුවට ගත්තාද? Z ගැටළුවේ වගකිවයුත්තන්ට දඬුවම් දුන්නාද? කෞතුකාගාරයේ හොරුන් ඇල්ලූ අයට මේවා කජ්ජක්ද? (එකී හොරකම ශ්‍රී ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම හොරකම්වලින් එකක් වන බැවිනි.මනාව සැලසුම්කොට ක්‍රියාත්මක කළ එකී සොරකම ඇසූ මට සිහි වූයේ 'ඕෂන්ස් 11' චිත්‍රපටයයි.) නමුත් එවැනි කිසිවක් වාර්ථා වුනේ නැත.

මගේ විශ්වාසයනම් (මා වැරදි වීමට ඉඩ ඇත ) මේ සිදුවන්නේ පුද්ගලික පාසල් හා විශ්ව විද්‍යාල පචලිත කරනු වස් රාජ‍ය අධ්‍යාපනය කෙරේ ඇති ජනතා විශ්වාසය බිඳ හෙලීමට රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන්නා වූ දැවැන්ත ක්‍රියාවලියකි.කිසිඳු විභාගයක් කෙරේ විශ්වාසයක් දැන් ජනතාව කෙරේ නැත.ඒ දවස්වල විභාගයක් සම්ත් වූ විට දරුවන්ට තෑගි අරන් දුන් දෙමව්පියන් දැන් ටික දිනක් විමසිල්ලෙන් පසුවන්නේ ප්‍රථිපලය වෙනස්විය හැකි නිසාය.රජයේ විශ්වවිද්‍යාලවල උපාධි ගුණාත්මක නැතැයි කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාමය.ඒ ගැන පියවරක් ගනු වෙනුවට එය ප්‍රසිද්ධියේ කීමෙන් ඔහු සෑහීමට පත්වේ.


ලිපිය දිගින් වැඩි උවත් වත්මනේ උණුසුම් ම පුවත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුව සලකා බලමු.

ඔවුන් ඇරඹුවේ ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැන්මටය.එහෙත් එහි ඇති කුහක චේතනාව සමාජගතවීම වැළැක්වීමට ඔවුන් 6% ඉදිරියට දමාගත් හ.ඒ ඔස්සේ විශ්වවිද්‍යාල සිසුන්ගේද සහයෝගය ඔවුන්ට ලැබිණි.එමෙන්ම යම් ජනතා මතයක් ගොඩ නැගීමටද ඔවුන්ට හැකි වීය.ඔවුන්ගේ පමණක් වැටුප් වැඩි කිරීම ප්‍රායෝගික නොවේ.එවිට ඔවුන්ගේ තලයේ අන් අයගේද වැටුප් වැඩි කිරීමට සිදුවේ.අපේ රටේ බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු කරනා කෙහෙල්මලක් නැත.ඔවුන් කරන පර්යේෂණයක්, දැනුම නිර්මාණය කිරීමක් ඇත්තේ නැත.විශ්ව විද්‍යාලවල විශය නිර්දේශ යාවත්කාලීන් නොවීමටද මෙය හේතුවක් යැයි සිතමි.ආචාර්යවරයා යාවත්කාලීන නොවී විශයය කෙසේ යාවත්කාලීන කරන්නද?

රජය මෙහිදී ගත් ක්‍රියාමාර්ගය කෙසේවත් අනුමත කළ නොහැක.රජය උත්සාහ කළේ ඔවුන්ටද කොටි ලේබලය ඇලවීමටය.එය පරණ සූත්තරයක් නිසා එතරම් ජනතා අවධානයක් ඒ කෙරේ යොමු කරවා ගන්නට රජය අසමත් වූයේ යැයි හැඟේ.

රජය ඉන්පසු ඉදිරිපත් කළ විසඳුමද තව තවත් ගැටළුව තීව්‍ර කරන්නක් වේ.රජය කළ යුතුව තිබුනේ යැයි මට හැඟෙන්නේ එකවර 6% දීම අපහසු බවත් 2% දක්වා වැඩි කර පසුව ක්‍රමයෙන් 6% දක්වා වැඩි කරන බවත් ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් දක්වා ප්‍රතිඥාවක් දීමය.ඉන්පසුව වැටුප් වැඩි කිරීම කළ නොහැකි යැයි කීවද ආචාර්යවරුන්ට වර්ජනය නවත්තන්නට සිද්ධ වෙනවාය.නමුත් රජය ක්‍රියා කළේ ආචාර්යවරුන් සහමුලින්ම බිඳ හෙළීමටය.ඔවුන් වැටුප් වැඩි කළ අතර ආචාර්යවරුන් වර්ජනය අතහැර යනු ඇතැයි බලාපොරොත්තු වූහ.ඒ ඔස්සේ ආචාර්යවරුන්ගේ මූලිකාභිලාශය සිය වැටුප් වර්ධකය බව පෙන්වීමට රජය උත්සාහ කළේය.මේ තත්ත්වය නිසාම ආචාර්යවරුද සිර වී සිටිති.

අපේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් කීපයක් ගැන මගේ මතයක් ඇත.මගේ මතය කවුරුවත් ගණන් ගන්නේ නැති වුවත් කවුරුන් හෝ ඒ පිළිබඳව විවේචනයක්වත් එල්ල කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩි කොට සියලුම දරුවන්ට ද්විතීක අධ්‍යාපනය සමව ලැබිය හැකි දියුණු ද්විතීය පාසැල් ස්ථාපනය කළ යුතුය.ඒ මගින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර දැමිය හැකි අතර ළමුන් යාන්ත්‍රික වීමත්, ළමා කාලයක් ලැබීම නිසා අත්දැකීම් බහුල නිර්මාණශීලී පරපුරක් බිහිවනු ඇත.

සාමාන්‍යපෙළින් පසු උසස් අධ්‍යාපනය හෝ වෘත්තිය අධ්‍යාපනයක් ලැබීමට තීරණයක් ගැනීමට හැකිවන පරිදි වෘත්තිය අධ්‍යාපනය පුළුල් කළ යුතුය.පිළිගත් ක්‍රමවේදයක් යටතේ නිපුණතාවෙන් යුතු කාර්මික ශිල්පියෙකු බිහි කළ හැකි පාඨමාලා ඇති කළ යුතුය.

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඉහළ සුදුසුකම් ඇත්තවුන් ගුරු වෘත්තියට බඳවා ගත යුතුය. (සුදුසුකම් යනු ඉගැන්වීමේ හැකියාවය )

ගුරුවරුන්ටද වාර්ෂිකව විභාග පැවැත්විය යුතු අතර ඔවුන්ට දැනුම යාවත්කාලීන කරගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය,

ඉහළ විදෙස් ඉල්ලුමක් ඇති වෘත්තිකයින් ( භෞතවේදීන්, හෙදියන්,වෛද්‍යවරුන්, විදුලි කාර්මික ශිල්පීන් ) බිහි කොට විදෙස් රැකියා සඳහා රාජ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ යොමු කිරීම කළ යුතුය.

සෑම වෘත්තියකටම ගෞරවයක්, වටිනාකමක් දීම සඳහා ජනතාවගේ මතයයන් වෙනස් කිරීමට රාජ්‍ය මාධ්‍යයන් භාවිතා කළ යුතුය.(මෙයිට වඩා දේවල් ගැන  ජනතා මතය වෙනස්කොට මෙය කළ හැකි බව රජය විසින් පෙන්වා දී ඇත.)

ඉහත යෝජනා දුටු සැනින් කළ නොහැකි ඒවා යැයි කියන්නන්ට පවසන්නට ඇත්තේ මේ යෝජනා කරන්නේ හෙට ක්‍රියාත්මක කිරීමට නොව කාලයක් තිස්සේ ක්‍රමයෙන් ක්‍රියාත්මක කළ යුතු ඒවා ලෙසය.අපේ රට වැඩිම විදේශ විනිමයක් ලබන්නේ විදෙස්ගත වී ඇති ගෘහ සේවිකාවන්ගෙන් යැයි මම අසා තිබේ.ගෘහ සේවිකාවන් 20කගෙන් ලැබෙන විදෙස් විනිමය  එක් හෙදියකගෙන් ලැබිය හැකි බවත් අසා ඇත්තෙමි.දැනට ඔය ඇතිය.දිගම දිග ලිපියකි.මටත් හති ය.







6 comments:

  1. 1) නිදහස් අද්‍යාපනය රැක ගන්නා අතර තුර, අද්‍යාපනය සඳහා කරන රාජ්‍ය මැදහත් වීම අඩුකළ යුතුය
    2) විශ්ව විද්‍යාල මෙයට වඩා ස්වාදීන ආයතන (පරිපාලනය හා මුල්‍යමය) කල යුතුය
    3) අද්‍යාපන ආයතන වල ඇති නාස්තිය අවම කල යුතුය (පාසල් වල ගුරු අතිරික්ත හා විශ්ව විද්‍යාලයන්හි ඇති අණදයන කාර්ය මණ්ඩල අතිරික්ත, උදාහරණ වශයෙන්)
    4) රජය විසින් උපාදි දාරයන්ට රැකීයා දීම වැනි යල්පැන ගිය ප්‍රති පත්ති වලින් ඉවත් විය යුතුය.
    5) විශ්ව විද්‍යාල ගුරු වැටුප් තීරණය කීරීමේ බලතල විශ්ව විද්යලන්ට පැවරිය යුතුය, එමගින් ඉහල ඉල්ලුමක් ඇති ඇදුරන්ට ඉහල වැටුපකුත් අන් අයට පහල වැටුපකුත් පිරිනැමිය හැක.
    6) මහපොළ වැනි ශිෂ්‍යත්ව සඳහා දෙන මුදල, ලබා ගන්නා ප්‍රතිපල වලට අනුලෝමව සමාන පාතික වන අයුරෙන් වරින් වර වෙනස් කල යුතුය
    7) සිසුන්ට ණය අදාර ලබාදී, රැකියාවක් ගත් පසු එය නැවත අය කල යුතුය.

    තව ගොඩක් තියනවා ලියන්න කම්මැලි ...

    ReplyDelete
    Replies
    1. 1. එකඟයි
      2. ගැටළු ඇත.උපකුලපතිවරුන් ආදීන් දේශපාලනිකව පත් කිරීමනම් වැලැක්විය යුතුයි කියලයි හිතන්නේ.
      3. ඉතාමත් එකඟයි.උගන්නන්ඩ පන්ති නැතුව රස්තියාදු වෙවී ගුරුවරු ඉන්නවා දැකලා තියෙනවා.ඒ වගේම සමහර ඉස්කෝලවල ගුරුවරු නෑ කියලා අහලා තියෙනවා.
      4. ඇත්ත.ඒ වෙනුවට දැක්මක් සහිතව අනාගතයේ ඇතිවිය හැකි රැකියා අවස්ථා සළකා බලා පාඨමාලාවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණ තීරණය කළ යුතුයි.
      5. මෙයනම් ගැටළු සහගතයි.කවුද මේ තීරණ ගන්නේ?? අනිවාර්යයෙන්ම අර්බුධයක් හටගන්නවා නේද??
      6. වරදක් නැහැ.
      7. ඔය ක්‍රමය කළින් මහජන බැංකුවෙන් ක්‍රියාත්මක කර ඇති බවත්, ණය ලබාගෙන ඉගෙනගත්තවුන් ණය නොගෙවා රටින් බැහැර වීම නිසා විශාල පාඩුවක් සිදු වීමෙන් එම ක්‍රමය නවතා දමා මහපොළ ක්‍රමය ඇරඹූ බවත් අසා ඇත්තෙමි.

      Delete
  2. "ඉහළ විදෙස් ඉල්ලුමක් ඇති වෘත්තිකයින් ( භෞතවේදීන්, හෙදියන්,වෛද්‍යවරුන්, විදුලි කාර්මික ශිල්පීන් ) බිහි කොට විදෙස් රැකියා සඳහා රාජ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ යොමු කිරීම කළ යුතුය"

    ලංකාවේ වෛද්‍ය වරුන්ට ඉහල ඉල්ලුමක් ඇත්තේ මොන රටේද ?

    ReplyDelete
    Replies
    1. මුළු ලිපියෙන්ම ඔබට අහු වුනු කොටස!! අපොයි...

      ලංකාවේ වෛද්‍යවරුන්ට ඉල්ලුමක් නැතැයි ඔබ කියන්නේ ඇයි??එසේනම් වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් විදේශගතවන්නේ ඇයි?ඔවුන් වෙනත් රැකියා සඳහා විදෙස්ගතවනවා දැයි නොදනිමි.

      Delete
  3. mewata comment karannata tharam adyapanayak maa laba nethi nisa akalata kes sudu unaden.

    Aaaa nehene. Wede goda gihin.

    ReplyDelete
    Replies
    1. මේවා ගැන හිතන්ඩ අධ්‍යාපනයේ එච්චර දුර යන්ඩ ඕනෙ නැහැ සහෝදරයා.අනාගත පරපුරට මොනවා වෙයිද කියලා හිතුවොත් ඇති

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...