29 October 2012

වැදගත් විශයය....11 ( Sex Education in Sinhala )



ඔසප් චක්‍රය

බොහෝ ආගම් සහ සංස්කෘතිවල ස්ත්‍රීන්ගේ ඔසප් වීම අශුද්ධ දෙයක් විදිහටනේ සළකන්නේ.අනේ මන්දා ඉතිං රුධිරය එක්ක පටක ටිකක් තමයි පිට වෙන්නේ.ඒක ඉතිං තුවාලයක් තියෙන එකෙක්ටත් පොදුයි නොවැ.ඒ විදිහට බැලුවම ආගමික ස්ථානවලට, උත්සවවලට තුවාලකාරයින්ටත් සහභාගි වෙන්ඩ නොදී ඉන්ඩ ඕනෑ.

ඔසප් චක්‍රය, ආර්ථව චක්‍රය මේ කොයි විදිහට කිව්වත් කියවෙන්නේ එකම දෙයක් ගැන.ඒ ස්ත්‍රීන්ගේ ගර්භාශයේ ඇතුළු බිත්තිය සාමාන්‍යයෙන් දින 28කට පාරක් ගැලවිලා රුධිරය එක්ක පිටවෙලා යන එකට.

මේක ගෑනු ළමයි ලැජ්ජා හිතන්ඩ දෙයක්වත් පිරිමි අමුතු විදිහට බලන්ඩවත් අවශ්‍ය දෙයක් නෙමෙයි.මේක ස්වභාවධර්මයේ විශිෂ්ඨ ක්‍රියාවලියක්.ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම ඩිම්බයක්ම සංසේචනය වෙලා ආවොත් පැලවෙලා වර්ධනය වෙන්ඩ අබාධවලින් තොර සරු පටකයක් ලබා දෙන එක.

වටෙන් වටෙන් කියලා තේරුමක් නෑනේ.ඔන්න එහෙනම් පටං ගම්මු මේක ගැන හරියට කතා කරන්ඩ.

ගැහැනු අයගේ ජනක සෛල ඒ කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කරන්ඩ දායක වෙන සෛල හැදෙන්නේ ඩිම්බ කෝෂයේ කියලා දන්නවනේ.පිරිමින්ගේ වෘෂණවල දවස ගානේ අළුතෙන් ශුක්‍රාණු හැදුනට ඩිම්බ කෝෂවල ඩිම්බ එහෙම හැදෙන්නේ නෑ.ගෑනු දරුවෙක් ඉපදෙනකොට එයාගේ ඩිම්බ කෝෂවල ඩිම්බ විශාල ප්‍රමාණයක් තියෙනවා.හැබැයි මේවා පරිණත වෙලා නෑ.සංඛ්‍යාත්මකව කිව්වොත් ඉපදෙන්ඩ කළිං මිලියන 7ක් විතර වෙන මේ අපරිණත ඩිම්බ සංඛ්‍යාව විවිධ හේතු නිසා තෝරාගැනීම්වලට ලක් වෙලා ඉපදෙන කොට ඉතුරු වෙන්නේ මිලියන 2ක් විතර.මේ මිලියන දෙකෙනුත් බාගයක්ම වැඩ කරන්නේ නෑ.ඒ කියන්නේ හොඳ ඒවා ඉතුරු වෙන්නේ මිලියන එකක් විතර.මේ ඩිම්බ ඌණන විභාජනයෙන් බෙදිලා පරිණත වෙලා එපායෑ සංසේචනය වෙන්ඩ.ඉතිං ඒවා මුල් කාලෙම පරිණත වීමේ පළමු පියවර තියනවා.ඒ කියන්නේ ඌණන විභාජනයේ මුල් අවස්ථාවකට ඇවිල්ලා නවතිනවා.මේ ඌණන විභාජනයේ අවස්ථාවට කියන්නේ 'ප්‍රාග් කලාව' කියලා.මේකෙදි ඩිම්බ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාව දෙගුණ වෙලා ලෑස්තිවෙලා ඉන්නවා වාරය ආව ගමන් ඉතුරු ටික කරගෙන යන්ඩ.


ඔන්න ඉතිං ඔය විදිහට ඩිම්බ තියෙන වගක්වත් දන්නැතුව ගෑනු දරුවො වැලිබත් උයනවා, බෝනික්කො නලෝනවා, මොන්ටිසෝරි යනවා, ඉස්කෝලෙ යනවා අර මෙව්වා දවස එනකං.අන්න එදාට මේ කෙල්ලව ලෝකෙං වහලා කාමරේකට දාලා හංගගෙන උපදෙස් දෙනවා කොල්ලො ආශ්‍රය කරන්ඩ එපා, දැං ඉතිං පරිස්සං වෙන්ඩ, ලෝකෙ හරි කෲරයි, උඹ මලක් වගෙයි ආදී විදිහට.ඔන්න ඉතිං උදේ පාන්දර නාවලා, කොස් අත්තකට කැත්තෙං කොටලා, නාවපු කළෙත් බිඳලා, අළුත් රත්තරං කරාබු ජෝඩුවක් එහෙම දාලා ගමටම කියලා හෙන උත්සවයකුත් ගන්නවා.මේ උත්සවයේ අරමුණ විදිහට මම දකින්නේ 'ඔන්න බොලව් අපේ එකී දැං බඩ වෙන්ඩ ලෑස්තියි.ඇහැක් එකෙක් ඉන්නවානං ඇන්න පලයවු' කියලා කෑගහලා කියන්නැතුව කියන විදිහ කියලා.

මේ විදිහට පළමු ඔසප් රුධිරය පිට වීමට මල්වර වීම, ලොකු ළමයෙක් වීම, ගෙට වීම වගේම සමහර පැතිවල *ක මල පීදීම කියලත් කියනවා කියලයි සන්නස්ගල සර් කියලා දුන්නේ.ඔය ඉතිං මගෙත් සිහිය වෙන වෙන පැතිවලටමනේ යන්නේ.කොහොම හරි මේ වෙද්දි ඒ කියන්නේ මල්වර වෙනකොට ඩිම්බ ඉතුරු වෙලා තියෙන්නේ ලක්ෂ තුනක් විතර.

ඔසප් චක්‍රය සාමන්‍යයෙන් දවස් 28ක චක්‍රයක් විදිහට සැළකුවාට ඒක දවස් 21-35 අතර වෙනස් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ඔසප් රුධිරය පිට වීම සාමාන්‍යයෙන් දවස් 3-5 අතර පැවතුනාට දවස් 1-8 අතර රුධිරය පිටවීම සාමාන්‍යයි කියලයි සළකන්නේ.දවස් 8ට වැඩිනම් පොඩ්ඩක් සළකලා බලන්ඩ.ඔසප් රුධිරය පිට වීම සාමාන්‍යයෙන් ඉතා සුළු බින්දු කිහිපයක සිට මිලි ලීටර් 80ක් විතර වෙනකන් වෙනස් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ඔසප් රුධිරයත් එක්ක රුධිරය කැටි ගැසීම වලක්වන රසායනිකයක් පිට වීම නිසා රුධිරය කැටි ගැහෙන්නේ නෑ.එහෙම නැත්තං ඔසප් රුධිරයට පිට වෙන්ඩ බෑනේ.ඒ නිසා ඔසප් රුධිරය එක්ක රුධිර කැටි පිට වෙනවා කියන්නේ අධික රුධිර වහනයේ ලක්ෂණයක්.මොකද අර ප්‍රථිකැටිකාරකයේ ක්‍රියාකාරීත්වයේ සීමාවට වැඩියෙන් රුධිරය පිට වෙනවා කියන එකනෙ.


ඔසප් චක්‍රයක පළවෙනි දවස විදිහට සාමාන්‍යයෙන් අපි සළකන්නේ ඔසප් රුධිරය පිටවීම ආරම්භ උන දවස.ඒක නිසා මේක සිද්ධවෙන විදිහ ගැන කතා කරන්ඩ ඒ තැනින් පටං ගම්මු.හැබැයි ඔසප් චක්‍රයකදී ඩිම්බකෝෂයේත්, ගර්භාශයේත් වගේම ඇඟේ හෝමෝන මට්ටමේත් වෙනස්කම් සිද්ධ වෙනවා.ඒ නිසා ඒ ඔක්කොම ගැන සරළව කතා කරගෙන යමු.

ඔන්න ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම බිඳවැටිලා රුධිරය සහ පටක කොටස් යෝනි මාර්ගය හරහා පිට වෙලා යනවා.ඔන්න මේ කාලෙම ඩිම්බකෝෂයේ අර අපරිණත ඩිම්බ කීපයක් පරිණත වෙන්ඩ පටන් ගන්නවා.මේ ඩිම්බ තියෙන්නේ ශුක්‍රාණු වගේ තනියම නෙමෙයි.ගෑනු කොහොමත් ඉන්නේ ආරක්ෂාවට වටේට මුර දාලනේ.ඩිම්බයත් ඒ වගේම තමයි.ඩිම්බය වටේට පුංචි සෛල රාශියක් එකතුවෙලා හැදිච්ච ආවරණයක් තියෙනවා.මේ ඩිම්බය පරිණත වෙනකොට මේ සෛල ආවරණයේ තැනක පොඩි කුහරයක් හැදිලා ඒක ඇතුලේ තරලයක් එකතු වෙන්ඩ පටං ගන්නවා.පස්සේ මේ කුහරය සෑහෙන්ඩ ලොකු වෙනවා.ඒ කියන්න අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකිං බලාගන්ඩත් පුළුවං.මේ විදිහට කුහරයක් හැදිච්ච ඩිම්බයක් ඇතුලත් ව්‍යුහයට කියන්නේ ස්‍යුනිකාවක් කියලා.



අපේ මොළයේ තියෙන හයිපොතැලමසයේ සහ පිටියුටරියේ නිපදවෙන හෝමෝන යටතේ ශරීරයේ අනිකුත් බොහෝ හෝමෝන පාලනය වෙනවා කියලා කලිං ලිපියක කිව්වා වගේ මතකයි.ඔන්න මේ හයිපොතැලමසයෙන් GnRH කියලා හෝමෝනයක් නිදහස් වෙනවා.මේ හෝමෝනය මගින් පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන නිපදවෙන එක උත්තේජනය කරනවා.මේ FSH ගිහිල්ලා ඩිබකෝෂ මත වැඩ කරලා තමයි ස්‍යුනිකා නිපදවීම සහ ඒ ස්‍යුනිකා මගින් හෝමෝන නිපදවීම උත්තේජනය කරන්නේ.

ඉතිං මේ විදිහට එක ඔසප් චක්‍රයකට ස්‍යුනිකා කීපයක් වර්ධනය වෙන්ඩ පටං ගන්නවා.මේ ස්‍යුනිකා වල වටේ තියෙන සෛල ස්ථරයෙන් ඊස්ට්‍රජන් කියන හෝමෝනය වැඩිපුරත් ප්‍රොජෙස්ටෙරොන් කියන හෝමෝනය ස්වල්ප වශයෙනුත් නිශ්පාදනය කෙරෙනවා.මේ ඊස්ට්‍රජන් මගින් ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ සෛල ගුණනය වෙලා එන්ඩොමෙට්‍රියම නැවත වර්ධනය වෙන එක උත්තේජනය කරනවා.ඊට අමතරව මේ ඊස්ට්‍රජන් ගිහිල්ලා පිටියුටරිය සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා LH ස්‍රාවය වීම අඩු කරනවා.ඊට අමතරව තව ඉන්හිබින් කියලා හෝමෝනයක් හැදෙනවා මේ එක්කම ඩිම්බකෝෂවල.ඒකෙන් ගිහිල්ලා FSH ස්‍රාවය වීම පාලනය කරනවා.

මේ හැදෙන ස්‍යුනිකා කීපයෙන් එකක් විතරක් අන්තිමට ඉතුරු කරගෙන අනිත් ඒවා සාමාන්‍යයෙන් විනාශ වෙලා යනවා.මේ විදිහට ඉතුරු වෙච්ච ස්‍යුනිකාව හොඳටම පරිණත වෙනවා.මේ පරිණත ස්‍යුනිකාවට කියන්නේ ග්‍රාෆීය ස්‍යුනිකාව කියලා.ඒකෙන් ඊස්ට්‍රජන් විශාල ප්‍රමාණයක් ස්‍රාවය කරනවා.මේ ස්‍යුනිකාවේ තියෙන ඩිම්බ සෛලයේ න්‍යෂ්ඨිය ඌනන විභාජනයේ පළමු පියවරෙන් බෙදෙනවා.බෙදිලා න්‍යෂ්ඨි දෙකක් හැදෙනවා.ඒක න්‍යෂ්ඨියක් සෛලයෙන් පිටතට තල්ලු වෙලා යද්දි අනිත් න්‍යෂ්ඨිය විතරක් සෛලය ඇතුලේ ඉතුරු වෙනවා.මේ ඩිම්බ සෛලය ඌණන විභාජනයේ දෙවෙනි පියවරේ අතර මැද්දේ නතර වෙනවා.මේ අදියරට කියන්නේ ඌණන විභාජනයේ දෙවෙනි පියවරේ යෝග කලාව කියලා.

ඊස්ට්‍රජන් මගින් LH ස්‍රාවය කරන එක අඩු කරනවා කිව්වනේ.ඒකත් ඇවිල්ලා හරියට කොල්ලෙක් යාලු වෙන්ඩ අහද්දි කෙල්ල බෑ කියනවා වගේ වැඩක්.කොල්ලා නිකං ඇවිල්ලා ඇහුව ගමං 'බෑ' කියලා කෙල්ල කියනවා.කොල්ලා ඊළඟට චොක්ලට් එකක් අරං එනවා.ඒත් බෑ කියනවා.ඔය විදිහට කොච්චර බෑ කිව්වත් කොල්ලා අත අරින්නෙම නෑනේ.එතකොට කෙල්ලගේ හිතේ දෙගිඩියාවක් එනවා.කොල්ලා ගැන පැහැදීමක් එනවා.ඔන්න එක දවසක කෙල්ල පැනපු ගමං 'හා' කියනවා.මේ හොමෝන වැඩෙත් ඒ වගේම තමයි.මුලිං ඊස්ට්‍රජන් තියෙද්දි LH ස්‍රාවය අඩු වෙනවා.ඒත් ඊස්ට්‍රජන් එන්ඩ එන්ඩ වැඩි වේගන යද්දී LH ස්‍රාවය අඩුවෙන්නැතුව එක පාරටම වැඩි වෙන්ඩ පටං ගන්නවා.ඒ කියන්නේ ඊස්ට්‍රජන් පොඩ්ඩක් තියෙද්දි LH ස්‍රාවය අඩු කළා වගේම ගොඩක් තියෙද්දි LH ස්‍රාවය වීම වැඩි කරනවා.



මෙන්න මේ වෙලාවේ වැඩිපුර තියෙන LH වල ක්‍රියාකාරීත්වයෙන් ඩිම්බකෝෂ බිත්තිය සහ ස්‍යුනිකා බිත්තිය පුපුරලා ඩිම්බය උදර කුහරයට නිදහස් වෙනවා.මේකට තමයි කියන්නේ ඩිම්බ මෝචනය කියලා.මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දවස් 28ක ඔසප් චක්‍රයකනං 14 වෙනි දවසේ විතර.ඉතිං මෙච්චර දවසක් ඩිම්බකෝෂවල තිබුනේ ස්‍යුනිකා හින්දා ඔසප් වීමේ සිට මේ ඩිම්බ මෝචනය දක්වා අවධියට 'ස්‍යුනිකා අවධිය' කියලා කියනවා.ඒ වගේම ඊස්ට්‍රජන්වල ක්‍රියා කාරීත්වය යටතේ ඔසප්වීම නතර උනදා ඉඳං ගර්භාශ බිත්තිය වර්ධනය උන හින්දා ඔසප් වීම නතර උන දා ඉඳං ඩෛම්බ මෝචනය දක්වා කාලයට 'ප්‍රගුණන අවධිය' කියලත් කියනවා.

ග්‍රාෆීය ස්‍යුනිකාව පුපුරලා ඩිම්බය පිට උනාට පස්සේ ස්‍යුනිකාවේ ඉතුරු වෙච්ච සෛල ටික එකතු වෙලා ඩිම්බ කෝෂය ඇතුලේ 'පීත දේහය' කියන ව්‍යුහය බවට පත් වෙනවා.මේ පීත දේහය ඊස්ට්‍රජන් අඩුවෙනුත් ප්‍රොජෙස්ටෙරොන් වැඩිපුරත් ස්‍රාවය කරනවා.

මේ ප්‍රොජෙස්ටෙරොන්, ඊස්ට්‍රජන් වල ක්‍රියාකාරීත්වයෙන් වර්ධනය වෙලා තියෙන ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ක්‍රියා කරලා ඒකේ රුධිර නාල වැඩි කිරීමත්, ඒ රුධිර නාල විශාල කිරීමත් දඟර ගැසීමෙන් වැඩි රුධිර පරිමාවක් එන්ඩොමෙට්‍රියට ලැබීමටත් සලස්වනවා.එයිට අමතරව එන්ඩොමෙට්‍රියමේ ඇති ග්‍රන්ථි සංඛ්‍යාවෙන් වැඩි කරලා ඒවා ප්‍රමාණයෙන් විශාල කරලා ඒවායේ ස්‍රාවයන් වැඩි කිරීමත් සිද්ද කරනවා.

පීත දේහයට සුද්දෝ කියන්නේ කෝර්පස් ලුටියම් (corpus luteum) කියලා.ඒක හින්දා ඒක තියෙන අවධියට 'ලුටීය අවධිය' කියලා කියනවා.ඒ වගේම එන්ඩොමෙට්‍රියමේ ග්‍රන්ථි මගින් ස්‍රාවයන් නිකුත් කරන නිසා මේ අවධිය 'ස්‍රාවීය අවධිය' කියලත් කියනවා.

මේ වෙද්දි රුධිරයේ ප්‍රොජෙස්ටෙරොන් ප්‍රමාණය ඉතාමත් ඉහලයි.ස්‍යුනිකාව විනාශ උනාට පස්සේ ඊස්ට්‍රජන් ප්‍රමාණය තරමක් අඩු උනත් සාමාන්‍යයෙන් ඉහල මට්ටමක පවතිනවා.ඉන්හිබින් සහ ඊස්ට්‍රජන්වල බලපෑම නිසා FSH සහ LH පහල මට්ටමකයි පවතින්නේ.මේ වෙද්දි තරමක් පහල ගිය ඊස්ට්‍රජන් මට්ටම නැවතත් LH ස්‍රාවය අඩු කරන්ඩයි දායක වෙන්නේ.

ඔසප් චක්‍රයේ දවස් 28 පමණ වෙනකොට පීත දේහය බිඳ වැටෙනවා.එතකොට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් මට්ටම සීඝ්‍ර ලෙස පහල වැටෙනවා.


ඒ එක්කම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් මගින් පවත්වාගෙන ගිය ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමත් බිඳ වැටෙනවා.ඒකේ තිබුණු රුධිර වාහිනී බිඳ වැටීම නිසා රුධිරය පිට වෙනවා.මේ රුධිරයත් එක්ක එන්ඩොමෙට්‍රියමේ කොටස් යෝනි මාර්ගය හරහා පිට වෙලා යනවා.

ඉතිං මෙ විදිහට බැලුවම ඔසප් වීමක් කියන්නේ එක් ඩිම්බමෝචනයක් සිද්ධ වෙලා ඒක සංසේචනය නොවීම නිසා සිද්ධ වෙන සංසිද්ධියක්.සංසේචනය උනානං මෙයිටවඩා වෙනස් විදිහකටයි සිද්ධ වෙන්නේ.ඒ ගැන පස්සේ බලමු.මට කියන්ඩ ඕනෙ කළේ ගැහැනු ළමයෙක් මල්වර වෙන්ඩ කලිං ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවත් ගැබ් ගන්ඩ ඉඩක් තියෙනවා කියන එක.මොකද ඒ ළමයා ඒ වෙද්දි ඩිම්බ මෝචනයක ඉන්ඩ පුළුවං නේ.නමුත් බොහෝ වෙලාවට මුල් ඔසප් වීම් සිද්ධ වෙන්නේ ඩිම්බ පිට වෙන්නේ නැතුව.



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඕනෑම ගැටළුවක් කොමෙන්ට් එකකින් අහන්ඩ.දන්න එකක්නම් කියන්නම්.නැත්තං හොයලා හරි කියන්නම්.

ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන්ඩ කිසි අවුලක් නෑ.හැබැයි බොරුවට නිකං කුණුහබ්බ දාන්ඩ එපා හරි නෑනේ.






24 comments:

  1. උසස් පෙළ කාලේ සහ විශ්වවිද්‍යාල කාලයේ ඉත උනන්දු වුන පාඩමක්, මේ දැනුම ඒ හා වැඩිය ගැටෙන්නේ නැති, විෂයක් හැටියට ඉගෙන ගෙන නැති අයට ලබා දීම ඉතා වැදගත්

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි අදහස් දැක්වීමට

      Delete
  2. අපේ මලයා මොකො දිනුක මලයා මොකෝ නොදන්න දෙයක් නේ කියලා දෙන්නේ. ඔන්න ඔහේ කට පියාන අහගෙන ඉන්නවා. සිරාවටම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

    ප.ලි. -දැන් ඉතින් ගෑල්ලමයි ටික ඇනෝ ඇවිත් එයාලට තියෙන ප්‍රශ්න අහයි... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ගෑනු ළමයි එයි?? පුඃ ලබ්බ තමයි.උං ඇනෝ එන්නෙත් නෑ.පුදුම ලැජ්ජාවක් නෙව ඕක සම්බන්ධයෙන් උන්ට තියෙන්නේ.

      Delete
    2. හැබැයි මල්ලි මෙඩිකල් ෆැක් කෙල්ලෙක්ට නම් ඕවා ගානක් නෑ.උන්ට තවත් එක විෂය පතයක් විතරයි ඒක.

      Delete
  3. ඉතාමත් වැදගත් ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි.....

      Delete
  4. අපුරු බ්ලොග් එකක්.. හෙමිහිට ඇවිත් කියවන්නම්.. අර අටමාගෙ එකේ මම විහිලුවක් ලිවුවා තරහ වෙන්න ඔට්‍ටු නැත..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා හරි මිනිහා//
      මඩ පාරක් මට ගහලා
      මගේ බ්ලොගෙත් එය කියලා
      මට ඇඩ්‍රස් නැතුව ගියා

      අටමාගේ බ්ලොගේ දාපු කොමෙන්ට් එකම මේකෙත් කෙටුවා ඕං

      Delete
  5. වටිනවා මෙව්වා ලියන එක

    ReplyDelete
    Replies
    1. වටිනවා ඔයාලා කියවන එක සහ කොමෙන්ට් දාන එක.ඉස්තූතියි

      Delete
  6. මේ සටහන් පෙල ලියලා ඉවර වුණාම පීඩීඑෆ් එකක් විදිහට හදන්න කියන යෝජනාව මම කලික් කලාද ?

    ReplyDelete
  7. කළා නේන්නං.ඒත් ගැටළුව තියෙන්නේ මම ඒක කරන්ඩ දන්නෙ නෑනේ.වර්ඩ් ෆයිල් එකක් විදිහට හදලා කන්වර්ට් කරගන්ඩනං දන්නවා.ඒත් මම යුනිකෝඩ් කන්වර්ටර් එකකින් ටයිප් කරන හින්දා ෆොන්ට් එක තියෙන්නේ ඉස්කෝල පොතනේ.ඒ අකුරු වර්ඩ් එකේ පේස්ට් කළාම 'යංශය' 'රකාරංශය' එහෙම වදින්නෑනේ.කොරමයක් කිව්වනං බොහොම පිං.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ තියෙනවා ඔන්ලයින් හෙල්ප් කියලා ගෲප් එකක්. ඒකෙන් මේ වැඩේ කරන විදිහ මම අහගෙන කියන්නම්

      Delete
    2. වර්ඩ් වල හදලා මේකෙන් කන්වර්ට් කරන්න පුලුවන්ලු

      http://www.pdfforge.org/pdfcreator

      Delete
    3. මේකත් බලන්න

      http://www.printfriendly.com/

      Delete
    4. ඉස්තූතියි හසිත

      Delete
  8. Serendib Word Processer කියලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා ඒකෙන් යුනිකෝඩ් වගේම වර්ඩ්වල ෆොටෝශොප්වල සහ ඕනම සොෆ්ට්වෙයාර් එකක සින්හල ටයිප් කරන්න පුලුවන් (වෙබ් එකකින් අරන් කොපි පේස්ට් කරන්නත් පුලුවන් ඒකේන් 'යංශය' 'රකාරංශය' එහෙම ලේසියෙන්ම ගහන්න පුලුවන්. වැදගත්ම දේ හල්කිරීම් ඉස්පිලි පාපිලි හරියටම සෙට් වෙන එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි මචං.ට්‍රයි කරලා බලන්නංකෝ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...