03 May 2017

ආරෝග්යා පරම අලාභා... 3


ආරෝග්යා පරම අලාභා...1

ආරෝග්යා පරම අලාභා...2





බොරැල්ල කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ බොරැල්ල කනත්ත.බොරැල්ල කනත්ත එච්චර ප්‍රසිද්ධ ඔය ලොකු ලොකු ඩෑල් මැරුණම ගෙනල්ල වලලන හින්දයි.ජීවත් වෙන කාලෙත් කන්ඩ අඳින්ඩ සල්ලි නැතුව ඉන්න අපි වගේ හිපාටුවන්ට මළාට පස්සේ වළලපු තැනට සල්ලි ගෙවන්ඩ ඇහැක්යැ? දේශපාලනේට උනන්දුවක් තියෙන කට්ටියට නං කැම්බෙල් ග්‍රවුන්ඩ් එක මතක් වෙනවා ඇති. නාට්‍ය එහෙම බලන කට්ටියට (ඒ කියන්නේ වේදිකා නාට්‍ය හොඳේ.නැතුව ඔය ටෙලිවිසමේ යන සම්භාව්‍ය කුණු හබ්බ එහෙම නෙමෙයි.) නාමෙල් මාලනී පුංචි තියටර් එක වගේම සදීපා පොත් හලත් මතක් වෙනවා ඇති.බොරැල්ලේ තියෙන විශේෂත්වේ තමා ඒක පස්මං හංදියක් වෙච්චි එක. ලෝකෙ රට රටවල ඇවිදලා නැති අපි වගේ ළිං මැඩියන්ට මේ බොරැල්ලේ හන්දිය යටිං තියෙන උමං ජාලය විශ්වකර්ම වැඩක්.ඕක යටිං රිංගලා හරියට ඕනේ කරන තැනිං උඩට මතු වෙන එක මටනං කවදාවත් හරියට කරන්ඩ බැරි දෙයක්. ඒක නිර්මාණය කරපු ඉංජිනේරු මහත්තුරු/ නෝනලා ( ස්ත්‍රීන්ට සමතැන දීම මගින් ඔබේ ජීවිතය වඩා යහපත් වේ.) ඒක වර්ණ ඛේත ක්‍රමයකට වර්ණ ගන්වලා තිබුණත් ඒ ගැන මාව දැනුවත් නොකරන්ඩ ආණ්ඩුව තීරණය කරලා තිබුණු නිසා සෑහෙන කාලයක් යනකං මට එක පාරින් මට යන්ඩ ඕනේ කරන පාර හොයාගන්ඩ පුළුවන් උනේ නැහැ.ඒ වෙනුවට කාන්තාරේ වැලි මීයෝ සැරින් සැරේ ඔළුව උස්සලා වට පිට බලනවා වගේ මමත් දෙතුන් තැනකින් උඩට ඇවිත් බලලා තමයි යා යුතු මග හොයා ගත්තේ.

බොරැල්ලට බොරැල්ල කියන්නේ බොරළු තිබ්බ හින්දද එහෙම නැත්තං බොර ඇල්ලක් තිබ්බ හින්දද කියන්ඩ මම දන්නේ නෑ.ඒ ගැන දැං හෙව්වා කියලා පලකුත් නෑ.මදුරාසිය චෙන්නායි උනා කියලා ඒකේ මිනිස්සුන්ට සුගතියක් උනේ නෑ වගේම බොරැල්ලට තියෙන නම ගැලපෙන්නෑ කියලා ඒකේ නම වෙනස් කළාට කාටවත් පලක් වෙයි කියලා මම හිතන්නේ නෑ.

ඔය කියන ලෝක ප්‍රසිද්ධ බොරැල්ල (එහෙම කිව්වට බොරැල්ල ගැන කී දෙනෙක් දන්නවද කියලා මම කිසිම විදේශිකයෙකුගෙන් අහලා බැලුවේ නැති බව කරුණාවෙන් සළකන්න.අහන්න ඕනේ උනත් සිංහල දන්න විදේශිකයෝ කී දෙනෙක් ඉන්නවද කියලා කවුද දන්නෙ.මොකෝ මට වෙන බාසා එකක්වත් පුළුවං කියලයැ ) කිට්ටුවෙන් තියෙන බෝ ගහක් තියෙන හතරමං හන්දිය තමයි පුංචි බොරැල්ල. පුංචි බොරැල්ලේ මේ කියන කාලේ ඒ කියන්නේ අවුරුදු කීපයකට කළිං බෝ ගහ ගාව තිබ්බේ පුංචි බුදු පිළිමයක් තියෙන පුංචි බුදු කුටියක්.දැං ඒක තිබ්බ තැන විසාල බුද්ධ මන්දිරයක් හදලා. ඒ බුද්ධ මන්දිරේ විශාල කිරීමේ ප්‍රථිපලයක් විදිහට පුංචි බොරැල්ල සහ අවට ජනතාව තුල මහා ආගමික ප්‍රබෝධයක්, ධර්මාවබෝධයක් ඇතිවෙලා පුදුම ශික්ෂණයකින් යුක්ත වීම නිසා ප්‍රදේශයේ සියලුම දුෂ්ඨ රුදුරු ක්‍රියා වාර්ථාගත ලෙස පහල ගිය අතර පොලීසියට රාජකාරී අවම වෙලා ගියේය.කරන්නට රාජකාරියක් නොමැතිව පිනට වැටුප් ගන්නට බැරි බව කියා පොලිස් නිළධාරීහු ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.

 බුදු මැදුරුවලටත් වඩා වසංගතයක් වෙලා තිබෙන්නේ ශිෂ්ණ සහ පියයුරු පොකුරක් මෙන් නිර්මාණය කර තිබෙන අරාබි පල්ලි ය. රටේ හැම නගරයක් මැද ම සතියෙන් දෙකෙන් හදලා ඉවර කරන මේ පල්ලිවලින් උදේට සහ හවසට යටි ගිරියෙන් බෙරිහන් දෙන නමුත් මේ දිනවල ඇති රස්නය බිඳක්වත් අඩු වන්නේ නැත. සමහර විට ඒ බෙරිහන් දීලා ඉල්ලන්නේ රස්නය වැඩි කරන්ඩ කියා වෙන්ඩ පුලුවන්ය.



අපි නැවතත් අපේ කතාවට යොමු වෙමු. පුංචි බොරැල්ලේ හතරමං හංදියෙන් බෝ ගහ පැත්තට ඇති පාර දිගේ දිගටම ගිය විට වැලිකඩ බන්ධනාගාරය හමුවේ. 1844 දී ආරම්භකරන ලද වැලිකඩ බන්ධනාගරයේ මගපෙන්වීම යටතේ සුචරිතවත්ව පරණ නරුම ජීවිත අතහැර සමාජගතවූවන් අප්‍රමාණය.බන්ධනාගාරයටත් වඩා මේ වන විට ප්‍රසිද්ධියක් උසුලන්නේ බන්ධනාගාර රෝහලය. සමාජ සේවනය කිරීමෙන් අන්‍යන්ගේ ඊර්ෂ්‍යාවට භාජනය වන්නන් අසාධාරණ ලෙස සිරගත කළ විට ඔවුන්ගේ හිතමිතුරා බවට පත්වන්නේ බන්ධනාගාර රෝහලය. වේදිකා දෙදරන්නට මයික් හප කරමින් සිංහ ගර්ජනා කරන්නා වූ අභීත යෝධයින් එක් ක්ෂණයකින් හෘද රෝගීන්, අර්ශස් රෝගීන් හා ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන්නන් බවට පත් කිරීමේ විශ්මිත හැකියාවක් බන්ධනාගාරය සතු වන්නේය. එවන් වූ කෲර පරිසරයක් තිබෙන්නේ උවද කෙනෙකුට කිසිවක් නොකා නොබී සති ගාණක් හිටියත් ශරීරයේ කෘෂ වීමක් වැහැරීමක් හෝ නොවන්නා වූ අද්භූත බලයක් ද එය සතු වන්නේය. එහි තාප්පයේ ලොකු අකුරින්               " සිරකරුවෝ මනුශ්‍යයෝය "  යනුවෙන් පින්තාරු කර තිබේ. එය අනවශ්‍ය වියදමක් යන්න මගේ අදහසයි. ආණ්ඩුව රටේ මිනිස්සුන්ගේ බදු මුදල්වලින් කුකුල් ෆාම් එකක් හෝ ඌරු කොටුවක් පවත්වාගෙන යන්නේ නැති බව කවුරුත් දනිති. ඒ බදු මුදල් සමාජයට අහිතකර මිනිසුන් කොටු කරගෙන තුන් වේල කන්ඩ දී රැක බලා ගැනීම සහ මන්ත්‍රීන්ට වාහන ගෙන්වීම වැනි අත්‍යවශ්‍ය රාජකාරීන්වලට යෙදවිය යුතුය.


පුංචි බොරැල්ලෙන් ටවුන්හෝල් පැත්තට ඇවිදගෙන යන විට ජාතික රෝහල හා වෛද්‍ය විද්‍යාලය හමු වේ. 1864 වසරේ ආරම්භ කරන ලද කොළඹ ජාතික රෝහල අක්කර 36ක භූමි ප්‍රමාණයක විසිරී පවතී. ඇඳන් 3200කට අධික ප්‍රමාණයක් ඇති ජාතික රෝහලේ කාර්යා මණ්ඩලය 7500කට අධික වන අතර ඉන් 1500ක් පමණ වෛද්‍යවරුන් වේ. වසරකට රෝගීන් ලක්ෂ විස්සක් පමණ එමගින් ප්‍රථිකාර ලබාගනී. වසරකට ලක්ෂ හතළිහක් පමණ ජාතික රෝහලට හා සමස්ථ සෞඛ්‍ය සේවයට බැණ වදිති. ඒ අපේ රටේ මිනිස්සුන්ගේ හැටිය. ඔවුන් හැමදාම කාට හෝ බැණ වදිති. එතනින් එහාට කිසිඳු පියවරක් ගන්නේ නැත. එනිසා එම වැරදි කවදාවත් හැදෙන්නේ නැත. මිනිස් ශිෂ්ඨාචාරයේ බොහෝ ඈත කාලයකදී පැවති සමාජයක මිනිස්සු ඔවුන් දුටු වැරදි නිවැරදි කිරීමට කටයුතු කළ අතර එමගින් එම සමාජයේ තිබූ අක්‍රමිකතා සියල්ල නැති වී ගියේය. එවිට ඒ සමාජයේ සිති මිනිසුන් කෝච්චියේ , බස් එකේ එකිනෙකා හමු වූ විට දීත්, මඟුල් ගෙවල් මළ ගෙවල් ආදියේදීත් ෆේස්බුක් බ්ලොග් ආදී සමාජ ජාලාවලත් බණින්නට කරුණක් නැති වීමෙන් කිසිවක් කරකියා ගත නොහැකිව සිටියහ. එයින් මිනිසුන් මනෝ භංගයට විශාදියට ගොදුරු වූ අතර  රටේ නිශ්පාදනය පහල යෑම නිසා උද්ධමනය ඉහළ ගොස් කොටස් වෙළඳපොල කඩා වැටී දරුණු ආර්ථික අවපාතයක් ඇති විය. එයින් පසු වැරදි නිවැරදි කිරීමේ වැරැද්ද නොකිරීමට පාලකයින් සහ පාලිතයින් එකඟතාවකට පැමිණියෝය.

මතු සම්බන්ධයි....


2 comments:

  1. ඔහොම්මම සුදු වැල්ල පැත්තටත් හැරෙමු පුංචි බොරැල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඉඳලා හිටලා නේ දැං බ්ලොග ලියන්නේ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...