18 April 2014

කාලෙකට පස්සේ...



අන්තිමට බ්ලොග පැත්තට ඇවිල්ලා දැං මාසයකටත් වැඩී.වයසින් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙනකොට බ්ලොග් බලන්ඩ ලියන්ඩ කොහෙන්ද මෙයාලා වෙලාවක් හොයා ගන්නේ.හරියට බුසී ( busy ) වෙනවනේ.කොහොමිං කොහොම හරි මේ ටික දවසට රටේ ලෝකේ විතරක් නෙමෙයි බ්ලොග් ලෝකෙත් හරි හරි කෙළි නෙව සිද්ද වෙලා තියෙන්නේ.ප්ලේන් එක නැති උනාට පස්සේ නැවක් පෙරලිලා, මෝටර් සයිකල් දවල්ටත් ලයිට් දාං යනවා, ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනලා, ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලෝකෙංම හතර වෙනි තැනට ඇවිල්ලා ( බන්දුල ලොක්කා කියයිද දන්නෑ ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය කියලා සංකල්පයක් නෑ කියලා), බොදු බල සේනා එක ත්‍රස්තවාදී සංවිධානයක් වෙලා, විපක්ෂේ මන්ත්‍රීලට කුණු බිත්තර ගහලා, බ්ලොග් ලෝකේ සැට් සැට් ගහ මරාගෙන හනේ අපුච්චියේ හති බොලව්..............

රටේ ලෝකේ මොන පෙරළි තිබ්බත් ආණ්ඩුව ගැන මගේ තිබ්බ මතේ වෙනස් උනා ඔන්න.මේ ආණ්ඩුව පොඩි මිනිස්සුන්ට බඩේ පාර ගහලා ලොකු ලොක්කො එක්ක එක්කාහු වෙලා ජවුසන් නටනවා කියලා නෙව මම හිතං උන්නේ.ඒ උනාට පහුගිය දවස් කීපෙ රටේ මිනිස්සු නටාපු නැටිලි දැක්කම මට හිතුනේ "කවුද බොලව් මේ මිනිස්සු සාදුකිං ඉන්නවා කියන්නේ" කියලා.අවුරුද්දට සතියක විතර ඉඳං රෙදි කඩයක්, සුකුරුත්තං බඩු අරුමෝසම් බඩු තියෙන කඩයක් තියෙන පාරක යන්ඩ ඉඩැක් තිබ්බේ නෑ නෙව. සූ.................. ගාලා සෙනඟ වකාරෙට.හරියට වැල ගෙඩියට වහපු කෝඳුරුවො වගේ.විපක්සේ මොන පච කතා කෙළියත් මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නේ කොහොමද? රටේ සව්බාග්ගෙ සශ්‍රීකත්වෙ දැකලා කිරි වෙහෙරෙන් කිරිත් ආවනේ.මේ අපේ රජතුමාගේ ආනුභාවයට නිසා මිසක් මොකෝ මීට කළිං මොන රජා යටතේ වත් ඔහොම හාස්කං සිද්ද වෙලා තියෙනවා කියලයැ....හැබැයි කවුරු හරි ඕකෙං පොඩි සාම්පැල් එකක් අරං ටෙස්ට් කරලා බලන්ඩ එහෙම යනවා නෙමෙයි ඕං හරිය!!! මේ පෙරදිග රටවල්.මේවයේ දේවල් හොයා බලන්ඩ ඕනේ පෙරදිග විද්‍යාවට අනුව.ඒ කෙසේද යත්,

"අඩේ අර චෛත්තෙං සුදු පාටට මොනවද වැක්කෙරෙනවා බොලව්!!!"

"ඇත්තමයි ඒ මොනවද දන්නෑ නේ?"

"සුදුපාට දියර ලෙස වැක්කෙරෙන සොභාවික දේවල් තියෙන්නේ එක්කෝ එළකිරි නැත්තං රබර් කිරි.නමුත් චෛත්‍යයකින් රබර් කිරි වෑස්සීමේ සම්භාවිතාවක් නැත.ඒ නිසා ඒ එන්නේ සව්භාග්‍යයේ සංකේතය වන 'කිරි' ය. හා හා ඔන්න පෙරදිග ක්‍රමේට සනාථ කළා.වැඳ ගනියව් යකුනේ!!!"

එහෙම කිව් සැනින් වැඳ ගැනීම ඔබේ සරීර සවුක්යයට සුභදායකය.එසේ නොමැති උවහොත් හාමුදුරුවන් වහන්සේ සිවුර කැහැපට ගසාගෙන ශ්‍රද්ධාව සහ භක්තිය මිට මොළවාගෙන ධර්මය ඔබේ දත් වහල්ලත් සමඟ ඔබේ උදරගත කිරීමේ ඉඩක් ඇත.එසේ නැත්නම් "ගන්නවා මගේ අයි පෑඩ් එක" කියලා ඔබට නව තාක්ෂණය ඔස්සේ මුසු කොට ධර්මය බ්ලූටූත් කරනු ඇත.ඔය ආයෙත් කැලේ පැන ඇත.මට කියන්ඩ ඕනේ කළේ ආණ්ඩුව හොඳයි කියන එකය.කියවෙන්නේ වෙන මළ ඉළව්ය.


රටම ලොකු ලොක්කංගේ ආදර්ශ අරං එක සීරුවට රති කෙළියේය.හැමෝටම නාට්ටිවල ප්‍රධාන නිළිය එක්ක නිදි වදින්ඩ හෝ රුසියානු ගණිකාවන් ලැබෙන්නේ නැති නිසා උං අතට අහු වෙන නාඩි වැටෙන ඕනෑ එකක් එක්ක යහන් ගත වෙති.රටේ මේ නව ප්‍රවණතාව සිය ආර්ථික වාසියට හරවා ගැනීමට අපේ දිරිය කතුන් දක්සය.ගෙදරට වී නිකං බත් ගිල ගිල ඉන්නා, ටියුෂන් පන්තිවලට, තොල් සායම් නිය සායම් ආදියට මුදල් නාස්ති කරමින්  ඉන්නා සිය දියණිවරුන් ශ්‍රම බලකායට එක් කිරීමට මව්වරු කටයුතු කරති.කකුල් දෙක උඩ දාගෙන ගෙදරට වී 'චංගුමී' බලමින් නාස්ති කරන පැයක දෙකක කාලය කවුරු හෝ ඉදිරියේ කකුල් ඈත් කිරීමෙන් මුදල් බවට පත් කර ගැනීමේ අවකාශය අපේ රටේ ගැහැනු ළමුන්ට ලැබී ඇත.ලෝකයේ දියුණු යැයි සම්මත රටවල රැකියා වියුක්තිය ඉහල යන විට ආශ්චර්යයේ දීපයේ රැකියා වියුක්තිය අවම කිරීමට මෙකී ප්‍රවණතාව මහත් ලෙස දායක වී ඇත.

පොඩි කොස්සකට තියෙන්නේ චන්ද්‍රිකාවේ කේස් එකය.පොඩි කුමාරයා කිව්ව විදිහට ඒක යැව්වේ ඔහුය.ඒ උනාට තිස්ස ලොක්කා කියන්නේ එහෙව් එකක් යැව්වේ නෑ කියලාය.ඒ උනාට ඒ චන්ද්‍රිකාවේ ප්‍රථිලාභ බුක්ති විඳින ජනතාවක් විදිහට තිස්ස ලොක්කා ඉරිසියාවට කියන දේවල් අපි ගණන් ගන්නේ නැත.චන්ද්‍රිකාව නිසා අපේ ජීවිත සුඛිත මුදිත උනු හැටි, අස්වනු සරු වී අටුකොටු පිරී රට බතින් බුලතින් සාර වූ හැටි දන්නේ අපිය.ඔය කියන තිස්ස ලොක්කා මෙතුවක් කාලයකට අඩුම ගානේ අහස් ගුණ්ඩුවක්වත් යවා නැති බැව් අපිට බුදු ශුවර් ය.එකී හීනමානයෙන් අපේ රටේ චන්ද්‍රිකාව කියා එකක් නොමැති බැව් කියන මේ තට්ට නාකියාට කියන්නට ඇත්තේ දුර දක්නයක් ගෙන රෑට අහස නිරීක්ෂණය කරන ලෙසය.එවිට ඕනෑම ගොන් තඩියෙකුට අපේ අභිමානවත් චන්ද්‍රිකාවත් එහි සිටින වීරෝධාර සිංහයා රැගත් අපේ ජාතික කොඩියත් එයට යටින් නිල් පැහැයෙන් ලියා ඇති "සුභ අනාගතයක්" යන්නත් දැකීමට හැකිවනු ඇත.






19 comments:

  1. කොහොමද දිනුක. හුඟ කාලකට පස්සේ නේද ලියන්නේ. කොහොමද අධ්‍යාපන කටයුතු. ඒ ගැන වැඩි අවධානයක් දෙන්න. ඊට පස්සේ බැරියැ ඇති වෙනකල් බ්ලොග් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල වගේම තමයි විචාරක මහත්තයෝ.තාමත් කම්මැලී පාඩං කරන්ඩ.ඒත් ඉතිං නොකර බෑනේ.මේ පාරවත් පාස් වෙන්ඩ එපායෑ...

      Delete
  2. ළිපිය නම් වෙල්ල පට්ට... වෙන කියන්න දෙයක් නැත. උපහාසය පිරී පවති..

    ReplyDelete
    Replies
    1. වෙල්ල පට්ට කිව්වේ අර වල්ලා පට්ටා වගේ ගණං ජාතියක්යැයි?

      Delete
  3. අර චන්ද්‍රිකාව නිසා යන්තන් කාල ඇඳලා ඉන්නවා නැත්තම් කොහෙද? පට්ට පටපට

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං බං ඒක නැත්තං මෙලහකට මේකත් ඉතියෝපියාවක් වගේ වෙනවා ශුවර්

      Delete
  4. නානසාර සාදුට අනං මනං කියන්ට එන්ට එපා හරිය

    ReplyDelete
    Replies
    1. අන්න හරි එහෙම වරෙන්

      Delete
    2. කවුද බං අටං අයියේ නානසාදුට මොකක්වත් කිව්වේ? අපිනං නෑ ඕං හරිය.

      Delete
  5. හැමදාම වගේ නියමෙටම ලියල තියනව
    ජයවේවා දිනුක අය්ය

    ReplyDelete
    Replies
    1. ඉස්තූති ඉස්තූතී මචං....

      Delete
  6. දැන් බරටම රජරට කොල්ලෙක් වෙලා වගේ නේ. ඊයේ මාව හම්බ වෙන්න ආවා රජරට ගුවන් විදුලියේ කපුගේ කාලේ හිටපු කෙනෙක්. කිඩ්නි අවුලක් තියෙන. අන්තිමට ඔයා ගැනත් අපි කතා වුනා. මොකද දැන් කිඩිනි ගැන හොයනවද?

    ReplyDelete
    Replies
    1. මොන කිඩ්නි ගැන හෙවිල්ලක්ද අක්කේ.මේ දවස්වල පාඩම් කරන්ඩ ඕනෙනෙ.රජරට නං ආතල්.හැබැයි වකුගඩු දෙකට සොරි වෙලා යයිද නං දන්නෙ නෑ...

      Delete
  7. ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

    ReplyDelete
  8. පාඩම් කලා කීවට කියවලා තියෙන්නේ මොනවද කියලා ලියලා තියෙන ඒවාවලින්ම පේනවනේ....:D

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.පාඩම් කළා කිව්වට මේවා හොයා බලපු එක තමයි කළේ.රටේ ලොකේ වෙන දේවල් දැනං ඉන්ඩ එපායෑ..

      Delete
  9. පාඩමට තාම හරියට වැටිලා නැහැ වගේ. උතුරු මැද්ද තාම ඉන්නේ අයියා ?

    ReplyDelete
    Replies
    1. කම්මැලි හසිත තාම හරියකට පාඩම් කෙරෙන්නෙ නෑ.තාම රජරට තමා ඉන්නේ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...