16 July 2013

උගේ පය බරවායට මුගේ පිටිකර බෙහෙත් බැඳීම

අපේ රට හරි ආතල් රටක් ය.ඒක හින්දා මේ රට දාලා යන්ඩ චාන්ස් එකක් ලැබුනත් දාලා යන්නේ නැත.මට එහෙම චාන්ස් එකක් එන්ඩ ඉඩක් ඇත්තේත් නැත.ආවත් ඒ ඩිංගි බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවට යන්ඩ චාන්ස් එකක් ය.එහෙම මාරක මැදින් පැනගෙන පීනාගෙන ඕස්ට්‍රේලියාවට පැන බෝරිං ජීවිතයක් ගෙනියනවාට වඩා මේ රටේ ජීවත් වෙන එක ආතල් ය.


මගේ මිත්‍රයෙක් කැනඩාවේ ජීවත් වන්නේය.ඌ ඒ රටේ ජීවත් වෙමින් අපේ රටේ අපි ජීවත් විය යුතු විදිහ අපිට කියා දෙන්නේය.ඌ කැනඩාවට බැණ වදින්නේ එහි ඒකාකාරී ජීවිතයෙන් හෙම්බත් වෙලාය.ඌ කෝච්චියේ ඒ දවස්වල හැමදාම කැම්පස් ගියේය.කෝච්චිය දුම්රිය වේදිකාවේ නවත්වන්නේ හැමදාම එකම තැනලුය.ඒ කියන්නේ දුම්රියේ (මේවාට දුම්රිය කියන එක වැරදිය.මොකද දුම් පිට වෙන්නේ අපේ වගේ රටවල ඉතුරු වී ඇති පෞරාණික දුම්රියවලින් නිසාය.විදුලියෙන් යන ඒවායේ දුම් පිට නොවේ යැයි උපකල්පනය කළ හැක.) නිශ්චිත දොරක් නතර කෙරෙන්නේ වේදිකාවේ නිශ්චිත ස්ථානයකය.වැරදීමකින් හෝ දුම්රිය නියාමක මහතා දුම්රිය අඩියක් දෙකක් ඉදිරියට ගෙන ගියහොත් ඔහු දුම්රිය නැවත ඒ අඩිය හෝ දෙක ආපස්සට ධාවනය කරන බව ඔහු කීවේ කළකිරීමෙනි.

'මේ රටේ යක්කු මේ සිස්ටම් එකේ ඒකාකාරී කමට කොච්චර පුරුදු වෙලාද කියනවා නං කෝච්චියට නගින්ඩ ඉන්න එකාට වැඩිපුර අඩියක්වත් යන්ඩ දෙන්නේ නෑ.පට්ට චාටර් බං.හැමදාම එකම සිද්දි ටික දැකලා එපා වෙනවා.' මගේ මිත්‍රයා මා සමඟ කීවේය.

ඇත්තය.හැමදාම එකම දේ නොදැක වෙනස්ම ආකාරයකින් සිතන පතන පාලකයින් සහ පරිපලකයින් සිටිනා රටක ජීවත් වීමේ ආශ්වාදය බලෙන් හෝ ලබාගත යුතුය.එනිසා මම විදෙස් ගතව සිටිනා සියළුම ශ්‍රී ලාංකිකයින්ට නැවත මෙරටට එන ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.අඩුම තරමේ එවිට ෆේස්බුක් හා බ්ලොග් ආදියේ ලංකාවේ ඉන්න උන් ජීවත් විය යුතු විදිය කියා දෙන උන් ගණනවත් අඩු විය හැක.

හපුළුවාට උගේ පැටියා මැණිකක් ලු ය.

ලංකාවේ පහුගිය දිනවල ප්‍රසිද්ධ මාතෘකා බවට මාලක සිල්වා, දහම් සිරිසේන සහ රමිත රඹුක්වැල්ල පත්වූහ.ඒ පහර දීම් සහ අනවසරයෙන් ගුවන් යානා දොරක් ඇරීමට තැත් කිරීම නිසාය.එයිට අමතරව රටපුරාම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් රැසක් ක්ෂණයකින් ප්‍රසිද්ධියට පත්වූයේ පහර දීම්, අල්ලස් ගැනීම්, ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර, විදේශිකයෙක් ඝාතනය කිරීම සහ ගුරුවරියක් දණ ගැස්වීම ආදී වූ වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වී මාට්ටු වූ නිසාය.මෙකී ක්‍රියාවන් උදෙසා නීතිය ක්‍රියාත්මක වූ ආකාරය අපුල සහගතය.නමුත් රජය මේ වෙනුවෙන් පියවර ගෙන තිබේ.මෙකී අක්‍රමිකතාවයන් සඳහා ප්‍රධානම හේතුව නිසි විනයක් නොමැති වීම බව රජය තේරුම් ගෙන තිබේ.එමනිසා නිසි විනයක් රටතුල ක්‍රියාත්මක කිරීමට රජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සහ විදුහල්පතිවරුන්ට සති දෙකේ හමුදා පුහුණුවක් ලබා දෙන්නට කටයුතු කළේය.එකී පුහුණුව ලැබූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ විදුහල්පතිවරුන් සමාජගත වූ පසු ඉහත සඳහන් කොට ඇති මැර ක්‍රියාවන් සමාජයෙන් අතුගා දැමිය හැකිවනු ඇත.නමුත් එය සිදු කරන ආකාරය දන්නේ රජය පමණි.


නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අල්ලස් ගෙන කෝටිපති ව්‍යාපාරිකයෙක් ඝාතනය කළ බව කියා ඔහුට විරුද්ධව නඩු පවරා ඇත.ඝාතනයට ඔහුගේ පුත්‍රයා මෙන්ම බිරිඳද සම්බඳ බව කියැවේ.ඇත්තෙන්ම ආදර්ශවත් පවුලකි.දුකේදීත් සැපේදීත් එකටම ඉන්නා බව විවාහ වෙද්දී පොරොන්දු උවද සිය සැමියා පුද්ගල ඝාතනයකට සැරසෙද්දී ඊට පූර්ණ දායකත්වය දෙන්නට බොහෝ බිරින්දෑවරු මැළි වෙති.නමුත් වාස් ගුණවර්ධන මහතා සොයාගෙන ඇත්තේ රත්තරන් බිරින්දෑවකි.සැමියා නීතිය ඉදිරියට ගෙන ආ විට සාක්ෂි කරුවන්ට තර්ජනය කිරීමට ද ඇය පැකිළුනේ නැත.මෙවන් වූ දෙමව්පියන්ගේ ආදර මැද හැදී වැඩුනු පුත්‍රයාටද මුදල් සෙවීමේ කෙටි ක්‍රම කියා දුන් මේ දෙමව්පියන් අපි සදා සැමරිය යුතු නොවේද?

එමෙන්ම ත්‍රිකුණාමලය පොලීසියේ ලොක්කෙක් අල්ලස් ගන්නා විට මාට්ටු වූ බව දැක්වෙන පුවතක් ඊයේ හෝ අද පත්‍රයේ පලවී තිබුණි.පොලිස් නිළධාරීන් අල්ලස් ගන්නා බව, සිර මැදිරිවල ඉන්නා රැඳවියන්ට අමානුෂික ලෙස පහර දෙන බව සමාජය දන්නා එහෙත් ගණන් නොගන්නා කරුණක් බවට පත් වී ඇත.මේ බව වටහා ගත් රජය මේ අකාර්යක්ෂමතා මග හැරීමට නම් සීසීටීවී කැමරා සවිකොට නිරීක්ෂණය කිරීම සුදුසු බව තීරණය කරන ලදී.එබැවින් වහාම ලංකාවේ විශ්ව විද්‍යාල තුල දැඩි පිරිවැයක් දරා සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට රජය කටයුතු කරගෙන යයි.එමගින් සිසු සිසුවියන් පෙම් කෙළීම්, රති කෙළීම් අතරේ කුමන හෝ අල්ලස් ගැනීමක් හෝ පුද්ගල ඝාතන සැලැස්මක් හෝ සිදු කළහොත් වහාම අත් අඩංගුවට ගත හැකි නිසා තව වසර කීපයක් ඇතුලත රාජ්‍ය සේවය දූෂණයෙන් තොර තැනක් බවට පත් වීම කිසිවෙකුටත් වැළකිය නොහැක.




දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කළ බවට චෝදනා ලබා සිටී.කවුරු කවුරුත් ලොක්කෝ ගැන කතා කරනු මිස උන් නිසා මියගිය සොක්කෝ ගැන කතා කරන්නේ නැත.කෙසේ වෙතත් ලොක්කන් පස්සේ ඒ සොක්කන් යන්නට ඇත්තේ අවධානම දැනගෙන විය හැකි නිසා අපි ඒ ගැන කුලප්පු විය යුතුද නැත.එනමුත් භාරත ලක්ෂ්මන් ඇතුලු සිව් දෙනෙක් ඝාතනය කිරීමේ සිද්දියකට චෝදනා ලබා ඇති ඔහු ඇප මත නිදහස් වූවා පමණක් නොව විදෙස් ගත වීමේ අවසරයද ලබා ගත්තේය.පාර්ලිමේන්තුව ඔහුට තහනම් කලාපයක් බවට පත් කිරීමට ජනතාවාදී රජය ක්‍රියා කළේ නැත.

සංජීව බණ්ඩාර යනු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ය.අනවසර රැස්වීම් සංවිධානය කිරීම, මහජනයා අපහසුවට පත්වන සේ උද්ඝෝෂණ සංවිධානය කිරීම ඇතුලු චෝදනා එල්ල කරමින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කර ඇත.ඔහුට කිසිඳු විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම තහනම් කර ඇති අතර සති තුනකට වරක් ඉරු දිනයක පොලිසියට ගොස් තමා ජීවත් වන බවත් පැනගොස් නැති බවත් සනාථ කළ යුතුය.කෙසේ වෙතත් එකී ක්‍රියා මාර්ග හේතු කොටගෙන ලංකාවේ මිනී මරාගැනීම් සීඝ්‍ර ලෙස අඩුවනු ඇත.ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණයක් වන නීතිය ඉදිරියේ සියල්ලෝම එක සමාන වීම ලංකාවේ ක්‍රියාත්මක වන බවට හොඳම උදාහරණය සංජීව බණ්ඩාර අත් අඩංගුවට ගැනීමය.අන්තරේ වේවා කුමන හෝ ශිෂ්‍ය සංගමයක කැඳවුම් කරුවෙකු වූ පමණින් නීතිය ඔහුට විශේෂයක් කිරීමට සූදානම් නැති බව පෙන්වා දෙමින් ඔහුට පැනවූ දණ්ඩනය සමස්ත ශ්‍රී ලාංකිකයින් දොහොත් මුදුන් දී අනුමත කළ යුතුය.

ස්තූතියි!!!





19 comments:

  1. ඉහත සියල්ල සමග එකගය. අනේ අර සංජීව දුප්පත් මාපියන්ගේ දරුවන් කිදාහක් අතරමං කර ඇතිද? ඒ හැබෑ නිදහස් අධ්‍යාපනයක් උදෙසාද දේශපාලන අරමුණක් උදෙසාහ හදවතින් විමසා බලන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තය.සංජීව බණ්ඩාරලාට මෙන්ම උදුල් ප්‍රේමරත්නලාටද ඇත්තේ දේශපාලන අරමුණක් බව දනිමි.නමුත් එස් බී දිසානායකට හෝ මහින්ද රාජපක්ෂලාට නිදහස් අධ්‍යාපනයට කරන කෙණෙහිලිකම් අතරේ දේශපාලන් අරමුණක් ඇත්තේ නැද්ද?අනික මෙවන් වූ හෝ ප්‍රතිරෝධයක් නොදැක්වීනම් මේ වන විට මොනවායින් මොනවා වෙලා තියෙන්නට තිබුණේද?

      උද්ඝෝෂණ, පෙළපාලි සහ විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වී ඇති බැවින් එකී ව්‍යාපාරවල අසාර්ථකත්වය අත්දැකීමෙන් දනිමි.නමුත් ගැටළුව වන්නේ එස් බී දිසානායකට බන්දුල ගුණවර්ධනට ලැබෙන මාධ්‍ය සහය අනෙක් පාර්ශවයට නොළැබීමය.අපගේ ලිපියක් පුවත්පතක පල කර ගැනීමට නොහැකි බව අත්දැකීමෙන් දනිමි.එස් බී ලා වරු ගණන් පුද්ගලික විශ්වවිද්‍යාලවල ගුණ රූපවාහිනී නාළිකාවල වර්ණනා කළද ඊට එරෙහිව යමක් කීමට අප කිසිවෙකුට ඉඩක් ලැබෙන්නේ නැත (මාධ්‍ය ආයතන මඟින් ලබා දෙන්නේ නැත.)

      උද්ඝෝෂණයක හෝ පෙළපාලියක සුළු ප්‍රචණ්ඩ ක්‍රියාවක් විශාලනය කොට පළ කොට ශිෂ්‍යයින් අපකීර්තියට පත් කරනු විනා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සිදු කරන කිසිඳු සමාජ මෙහෙවරක් කිසිඳු මාධ්‍යයක පල කරන්නේ නැත.

      1.වාර්ශිකව අප පීඨය සංවිධානය කරනු ලබන ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය ගැන පුවත්පතක පල කෙරෙන්නේ නොමැති උවද දේශපාලකයෙක් විසින් කාට හෝ රෝද පුටුවක් දීම, වැසිකිළියක් විවෘත කිරීම පවා මුල් පිටුවේ දැමීමට මාධ්‍යය මැළි නොවෙත්.

      2.පේරාදෙනිය සිසුන් සංවිධානය කරන 'වල සතිය' නාට්‍ය උළෙල පිළිබඳ කිසිඳු මාධ්‍ය හාහෝවක් නොමැති නමුත් මර්වින් සිල්වා සංවිධානය කළ ජෝති උපහාරය සති ගාණක් පුවත්පත්වල පල විය.

      මේවාට අමතරව තව ඕනෑ තරම් කටයුතු විශ්වවිද්‍යාලවල සංවිධානය කරන නමුත් ඒවා මාධ්‍ය හරහා ජනතාවට යන්නේ නැත.එයින් වන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රතිරූපය විනාශ වීමය.එය වෙනත් කරුණකි.කීමට අවශ්‍ය වූයේ අපට අදහස් සමාජගත කිරීමේ විකල්ප අහුරා දමා ඇති බවය.මාධ්‍ය ඒකාධිකාරය දරන්නේ රජය ය.

      Delete
  2. පුතා පුද්ගලයන්ගේ නම් ගම් හා පින්තූර පලකිරීමේදි බොහොම පරෙස්සමින්. මේක බ්ලොගර් එකට රිපෝට් කලොත්. බ්ලොග් එක ක්ලෝස් කරනවා. මට එහෙම වෙලා, මම බොහොම අමාරුවෙන් හදාගත්තේ.. අදටත් ඒ පින්තූරය ඒ බ්ලොග් පෝස්ට් එකේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම තර්ජනයක් ගැන දැනං හිටියේ නෑ.ඉස්තූතියි මාතලන් අයියේ.ඒත් ඉතිං වැඩිය අදාල පුද්ගලයෝ මගේ බ්ලොග පැත්තේ එන්නෑ කියලා හිතනවා.බලමුකෝ....

      Delete
  3. ලිපියේ උක්ත පුද්ගලයා ගැන මම දන්නවා . මට කියන්න තියෙන්නේ මේක උගුලක්. පළි ගැනීමක්. මීට වඩා අයට වෙච්ච දේවල් මතක ඇතිනේ...? එක කාලෙකට හරිම හොඳයි , ඒ කාලෙට ඉහළම තනතුරු දීලා ආදරෙන් බලාගන්නවා... තව කාලෙකට අනේ මන්දා නිස්කාරනේ බනිනවා...

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් සහන් අයියේ කිල්ලෝටෙ හුණු තිබ්බේ නැත්තං කේස් එකක් දාන්ඩ බෑනේ.අර යක්කුන්ට හේත්තු වෙද්දි දැනං ඉන්ඩ තිබ්බනේ කෙළ වෙන්ඩ පුළුවං කියලා.උං එක්ක හොඳිං ඉන්නකං ඕනෙ කුණු වැඩක්.අහක බලපු ගමං ඇරියා......

      Delete
    2. කිල්ලෝටේ හුණු කතාව නම් ඇත්ත..කිල්ලෝට නැති අය උනා නම් බුලත් විට කන්නම හම්බෙන්නෙ නැහැනේ.. ( ඉන්නකෝ මේක ගැනත් කතා කරන්න නිදහසේ )

      Delete
    3. ඒක් නොවැ කියන්නේ.කිල්ලෝටෙ හුණු තියාගන්නැතුව එළට හිටියනං මොකුත් නෑ......

      Delete
  4. වෙන කිසිම තැනක කතා නොකරන මට්ටමට බ්ලොග්වල විවාදාත්මක කරුණු ගැන කතා කරනවා. මට හිතෙනවා ඉතා නුදුරු දිනකදීම යම් කිසි වාරණයක් බ්ලොග් වලට පැනවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නේ බ්ලොග් විතරයිනේ අටං අයියේ.කොහොමත් මහින්ද මහත්තයා ඇතුළු කට්ටිය මේකටත් මොනවා හරි කරයි.අර අන්වර් ලොක්කගේ බ්ලොගත් දැං බලන්ඩ බෑනේ.මිනිහා අන්තවාදේ පැතිරෙව්වට ඒක වහන එක අසාධාරණයිනේ.අපරාදේ මම මිනිහගේ බ්ලොගේ ඒවත් එක්ක වාද කරගෙන එන්ඩ පටං ගත්තා විතරයි.

      Delete
  5. විසඳුම ඉතා සරලය. නොපමාව එස්බියාගේ කර ඇඹිය යුතුය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඕකට එස්බියාගේ විතරක් කර අඹලා අරියන්නේ නැත.ලොක්කා ඇස් කන් පියාගෙන ඉන්නේ ඇයිද කියාත් සිතා බැලිය යුතුය.

      Delete
  6. මම අවුරුදු20 තිස්සෙ යුරෝපයෙ ඉන්නෙ.ලන්කාව ඇති හැටියෙන්,දැකපු කෙනෙක් අඳුන ගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. අර බයිබලේ කියන්නා වගේ ඇස් තිබුණට පේන්නැති කන් තිබුණට ඇහෙන්නැති මිනිස්සු ඉන්න රටක් නෙව මේක.යාන්තං ඇහැක් ඇරලා බැලුවනං පේන දේ බලාගන්ඩත් අපේ මිනිස්සු කැමති නෑ.නයිටීඑන් එකේ දාන ටික විතරක් බලලා සැනසෙනවා

      Delete
  7. අනේ වාසනාවං.. පින්කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට... හේතු වාසනා වේවා හේතු වාසනා...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ආයි ඉපදෙතොත් මේකෙම තමයි ඈ....

      Delete
  8. මම ඕවා ගැන වැඩිය කතා නොකරන්නේ මෙනිසාය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සැරින් සැරේ පොඩ්ඩක් කතා කරන එකෙත් ගතියක් තියෙනවා බං.නැත්තං ලෝකයා හිතන්නේ අපිත් ලොක්කට කඩේ යනවා කියලා

      Delete
  9. //...විදුහල්පතිවරුන්ට සති දෙකේ හමුදා පුහුණුවක්...//

    ඕකෙන් ප්‍රින්සිපල් කෙනෙකුත් මැරුණා නොවැ

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...