20 May 2013

කොළඹින් මන්දාරම් නුවරට.......

මන්දාරම් නුවරට ඉර බහින්නේ මෙහෙමයි


ඔන්න වල් රජාත් යන යන තැං ගැන චාරිකා සටහන් දාන හින්දා මටත් හිතුනා ඔන්න චාරිකා සටහනක් ලියන්ඩ.හැබැයි සිරි ලංකාව ගැන මගේ බූගෝලීය දැනුම අන්තිම ඉහල නිසා කවුරු හරි එහෙ යන්ඩ හිතනවානං මෙන්න මේ ලින්කුවෙන් යන විදිහ බලාගන්ඩ හොඳේ.....

ඔන්න කට්ටියට කියන්ඩ මේ ගමන යන එක ඔක්කොම ප්ලෑන් කළේ අපේ අකූ තමයි.අපරාදේ කියන්ඩ බෑ මං තරංවත් පරිගණක දැනුමක් නැති මූ ජංජාලේ කරක් ගහලා මේ වගේ අහුමුළුවලට යන්ඩ තියෙන චාරිකා ගැන හොයාගන්ඩනං දන්නවා.


අපි ගමන පටං ගත්තේ මහ රෑ 11.45ට විතර.ගමන යන්ඩ සෙට් උනේ අති උත්තම මමයි, අකුවයි, රවිත් සහෝදරයයි, ගමන යන්ඩ විනාඩි දහයක් විතර තියෙද්දේ නින්දෙං නැගිටලා ගමන යන්ඩ සෙට් වෙච්ච මගේ රූමා හෙවත් කසුනුයි.ඒ කියන්නේ හරියටම හතරයි.ආයේ මොනවද ඉතිං ෆැන්ටෑස්ටික් ෆෝ වගේ තමයි.අපි පාන්දර 3 විතර වෙද්දි නුවරට ආවෙමුය.ඊට පස්සේ පදියපැලැල්ලට යන්ඩ බස් එකක් දියත් කරනකං එහේ මෙහේ ඇවිදිමිං කල් මැරුවෙමු.අපේ රවිත් කාරයා බණ්ඩිය පුරවන්ඩ පටං ගත්තේ මේ වෙලාවේ ඉඳලාය.ලිපිය පුරාම මූ කාපුවා ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා දැම්ම කොළයක් අරගෙන මූ කාපුවා ගැන සටහනක් තියාගන්ඩ පටං ගත්තාට කමක් නැත.කෙසේ වෙතත් අවේලාවේ හින්දා කිරිර් තේ එකකින් පමණක් ඌ සෑහීමකට පත් උනේය.ඒ නිසා අපිට වෙලාවට බස් එකට නැගගන්ඩ හැකි විය.බස් එකට නැග්ග වෙලාවේ ඉඳලා නිදා ගත්තු නිසා පදියපැලැල්ලට එනකං ගමන් විස්තරයක් කියන්ඩ මම දන්නේ නැත.

පදියපැලැල්ලට ආ පසු අපේ ගමනට අවශ්‍ය කරන කළමනා කීපයක් මිළදී ගැනීමට කටයුතු කළෙමු.අපි මිළදී ගත් දෑ අතර හැන්දක්, ගෑරුප්පුවක්, පොඩි පිහියක්, තරමක ඇළුමිනියම් භාජනයක් (පියන සහිත ), මැගී නූඩ්ල්ස් ලොකු පැකට් එකක් සහ පොඩි පැකට් එකක් (පොඩි පැකට් එක ගත්තේ රවිත් අපට නූඩ්ල්ස් ලොකු පැකට් එක මදි වේ යැයි සැක කළ නිසාය.ඒ ගැන දෙවියන්ට ස්තූති වේවා! ), සබන් කෑල්ලක්(ඇඟේ උලන එකකි ), ටූත්පේස්ට් එකක් විය.

මේ අතර රවිත් සහ කසුන් 'බියර්' නැමැති මිනිසුන්ගේ නාමකරණය යටතේ එන අමෘත පානය මිළදී ගැනීමට ගොස් අපේක්ෂාභංගත්වයට පත්ව නැවත ආවෝය.බාර් එක අරින්නේ නමයට බවත් බස් එක ඊට කළිං පිටත් වන බවත් ඔවුහු මහත් ශෝකභරිතව මටත් අකුවාටත් කීවෝය.කවුරුන් හෝ ඔවුන්ගේ කතාව නැසෙන මානයේ සිට බලා සිටියානම් හිතෙන්නේ උං දෙන්නාගේ ළඟම හිතවතෙක් මියගිය ආරංචිය මේ දැං උන්ට ලැබුණු බවත් මමත් අකුවාත් උන් දෙන්නාව සනසන බවත්ය.

පදියපැලැල්ලෙන් අපි මන්දාරම් නුවර බලා යන බසයට නැගුනෙමු.මේ අතර අපි නූඩ්ල්ස් මිළදී ගත් කඩයේ මුදලාලි මහතාවද ආදරයෙන් මතක් කළ යුතුය.අපි තරුණයන් වීම සහ නූඩ්ල්ස් මිළදී ගැනීම නිසා අපි ඔහුගේ සැකයට භාජනය වීමු.දිගින් දිගට ඇසූ හරස් ප්‍රශ්න හමුවේ නොසැලී පිළිතුරු දුන් අපි ඔහු කෙරේ ආවේගශීලී නොවී බයාදු ලෙස පිළිතුරු දුන්නේ ඔහු සී.අයි.ඩී. කාරයෙකු වීමේ ඇති ඉහළ සම්භාවිතාව නිසාය.(ඒ ඇසූ විදිහට හරස් ප්‍රශ්න අහන්ඩ සාමාන්‍ය මනුස්සයෙකුට බැරිය.)

බසයෙන් අපේ ගමනාන්තයටම යා හැකි උනත් අකූ ජාලයෙන් හොයාගත් ගමන් විස්තරයට අනුව පැරණි චාරිකා කරුවන් එළමුල්ල ග්‍රාමයෙන් බැස එහි ඇති දිය ඇලි කීපයක්ද නරඹා තිබුණු බැවින් එකී පුරාණ සම්ප්‍රධායන්ට ගරු කරනු වස් අපිදු එළමුල්ලෙන් බැස ගතිමු.

එළමුල්ලේදී රවිත්ලාගේ අපේක්ෂා මස්තකප්‍රාප්ත කරමින් බාර් එකක් ඇරලා තිබ්බේය.අකුවාත් මමත් දියඇළි වෙත යන ගමන් විස්තරය අසාගන්නා අතරේ අරුන් දෙන්නා බාරයට රිංගා ගත්තෝය.ඉන්පසු බාර් එකකදී කතා කරන ඒ ජාත්‍යන්තර භාශාව වන 'කසුකුසු' භාශාවෙන් කතිකා කොටගෙන බෝතලයක් ඔතාගෙන ආවෝය.ඔය අතරේ එතන හිටපු මාමා කෙනෙක් අපිට දිය ඇල්ලට මග පෙන්වන්නට සෙට් උනේය.ඔහුගෙන් අසාගත් විස්තරයට අනුව අකුවා බලන්නට හිතාගෙන සිටි 'කබරගල ඇල්ල'ට පයින් යන්නට සෑහෙන වෙලාවක් යන බවත් තෙසක් රියකින් හෙවත් ත්‍රීරෝද රථයකින් යන්නට රුපියල් 1200ක් වත් ඕනෑ බවත් දැනගත් අපි කබරගල ඇල්ල සිහින අතරට එක් කළෙමු.ත්‍රීරෝද රථයේ ගාස්තුව කෙසේ වෙතත් ත්‍රීවීල් වලට ලොරි පටවන්නට බැරි බව භෞතික විද්‍යාව සුළු වශයෙන් දත් අපට හොඳින් තේරේ.එනිසා රවිත් නොමැතිව ආ දිනක කබරගල ඇල්ල බැලීමට අපි ඉටා ගතිමු.ඉන්පසු අපට මග පෙන්වීමට එකඟ වූ සමරේ මාමා හෙවත් රාජනායක හෙවත් 'රජ්ජුරු සමරේ' පෙරටු කොට ගෙන අපි මහේශාක්‍ය ලීලාවෙන් 'ඇතිනිවල' ඇල්ල බැලීමට ගියෙමු.පෙර කල අගනුවරට ඈත ප්‍රදේශවල කරන ලද මහා පරිමාණ ව්‍යාපෘතියක් අතරතුර ඒ ව්‍යාපෘතියක වැඩ කළ අලියෙකු මේ ඇල්ල පහලට වැටීම නිසා මේ ඇල්ල ඒ නමින් හඳුන්වන බව සමරේ මාමා අප සමඟ පැවසීය.





මේ තියෙන්නේ අපි නාපු කලු පාලමේ ඇල්ල

ඇතිනිවල ඇල්ල බැලීමෙන් පසු අපි තවත් ඇල්ලක් බැලීමට පිටත් වීමු.ඒක එච්චර ලොකු එකක් නොවුනත් නාන්න හොඳ තැනක් බව සමරේ මාමා කිවූ නිසා අපි කලු පාලම් ඇල්ල නම් ඒ ඇල්ල බලා පිටත් උනෙමු.මේ යන අතර තුරේදී අපිට තවත් එක්කෙනෙක් සෙට් උනේය.ඇඟ පුරාම පච්ච කොටා කනත් ඇහි බැමත් විද කරාබු දා සිටි මේ මහත්මයා සෑහෙන ලොකු බඩු පෙට්ටියක් කරේ තියාගෙන අපි යන පාරේම ගිය නිසා ඔහුත් අප හා කතාබහ කොට කුළුපග වීය.අවාසනාවට සහ මගේ තීක්ෂණ මතක ශක්තියට පින් සිද්ද වෙන්නට මට ඔහුගේ නම නම් මතක නැත.මේ අතරේ තව පොඩ්ඩෙන් වැදගත් දෙයක් කියන්ඩ අමතක වෙනවාය.ඇතිනිවල ඇල්ල බලා ආපසු එන විට රවිත්ලා 'රා' බෝතලයක් ද මිළදී ගත්තෝය.

අපි ඇල්ලට විත් එය බලා සැනහී එය විඳ ගැනීමේ චේතනාවෙන් ඇල්ල පාමුල ජලාශයට බැස්සෙමු.මේ අතර රවිත් සමරේ මාමාත් අතර මගදී හමුවූ අලුත් මිතුරාත් සමඟ මධුවිත හිස් කිරීමේ නිරත වීය.පසුව අප දැනගත් පරිදි සමරේ මාමා එක් වතාවකුත් අලුත් මිතුරා එක් වතාවකුත් පමණක් මදුවිත ගෙන ඇති අතර රා බෝතලයේ ඉතිරි සියල්ලත් ලෙමන් ජින් බෝතලයේ තුනෙන් එකක් පමණත් හිස් කොට ඇත්තේ රවිත් තනිවමය.අපි නෑමෙන් පසු එළමුල්ල හන්දියේ කඩයෙන් ගෙනා බත් මුල් රස වින්දෙමු.

මතු සම්බන්ධයි......

17 comments:

  1. ගමන ගැන ලස්සන විස්තරයක් දාපු එක හොඳයි.මට නම් ජීවිතේ කිසිම දාක නැවත ඕවගේ යන්න වෙන්නේ නැහැ .ඒ නිසා බැලුව මේ පෝස්ට් එක අසාවෙන්

    අර අනිත් CID සිද්ධිය ගැන නම් කියන්න තියෙන්නේ දිනුක ; බොරු CID පාර්ට් දාන අය දැන් වැහි වැහැල.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්ඩ එපා.පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවොත් යන්ඩ විදිහක් හොයා ගන්ඩ බැරි වෙන්නේ නෑ.

      Delete
  2. මන්දාරම්නුවර ලස්සන පෙනෙන්නේ පිදුරුතලාගල මුදුනට. අවාසනාවකට මේ රටේ මිනිස්සුන්ට රටේ උසම කඳුවැටියට යන්න ඉඩක් නැහැ. සෙරෙප්පු දාගෙන දියඇලි අස්සේ ගල්උඩ ගමන්කිරීම (බියර් නොබිලා වුනත්) අනතුරුදායකයි. ගමන් යනකොට සැලකියයුතු කරුණු මම මෙන්න මෙතන කියලා තියනවා

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පිදුරුතලාගල අපි ගියානේ.ඒ විස්තරෙත් ලියන්නංකෝ.සෙරෙප්පු නොදා ගල් උඩ ඇවිදින එක මටනං අවුල්.සෙරෙප්පුවට වඩා කකුල ලිස්සනවා.සියුමැලි සුමුදු දෙපා නෙව.

      Delete
  3. නියම ලිපියක්. මම අරක ලියන අරයා.

    ReplyDelete
    Replies
    1. නෑ මේක ලියන මේකා

      Delete
    2. කෝක ලියන කවුද මෙයා???

      Delete
  4. කොහෙද මන්දාරම් නුවර තියෙන්නේ. මම ගිහින්වත් එහෙම එකක් අහලාවත් නෑ.
    දැන් මේකෙන් අර අහින්සක රවියාට මඩ ගැහුවාට අපිට නොතේරෙනවා නෙමෙයි නේ පැහැදිලි ඊර්‍ශ්යාව කියල පසු ගිය සටහන් කියෙව්වා. ළමයා විභාග හෙම ඉවර කරලා ආතල් එකේ ඉන්නවා වගේ නෙද?

    ReplyDelete
    Replies
    1. මන්දාරම් නුවර තියෙන්නේ පිදුරුතලාගල පාමුල.රවිත්ට පොඩ්ඩක් මඩ නොගහා බෑ.මොනවා උනත් එළ කොල්ලෙක් තමයි.විභාගෙ ඉවර වෙලා පොඩ්ඩක් ආතල් එකේ හිටියා දැං ආයෙත් වැඩ.

      Delete
  5. ඔක්කොගේම කොල ඉරන අතරේ උත්තම පුරුශයගෙත් කොලේ ඉරාගත්තනම් තමයි සාධාරණ !

    ReplyDelete
    Replies
    1. එහෙම හරි නෑනේ.අපි යන්නේ අපේ රටේ රජ්ජුරුවො යන පාරේ....

      Delete
  6. ඉතාමත් සාර්ථක සංචාරක සටහනක්. තව සේයා රූ ඉදිරිපත් කලානම් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි.ඒත් වැඩේ කියන්නේ මගේ මේ හච් කනෙක්ෂන් එකේ මොනවා හරි අප්ලෝඩ් කරන්ඩ සෑහෙන වදයක් විඳින්ඩ ඕනේ.නැත්තං තව ෆොටෝ ටිකක් දාන්ඩ තිබ්බා.

      Delete
  7. Replies
    1. ෂෝක්දත් අහනවා...කියලා වැඩක් නෑ..

      Delete
  8. පට්ට මචං... පොඩ්ඩක් කියනවද කොලබ ඉදන් ඔතනට යන පාර.... පට්ට ලස්සන පොට් එක....

    මට පොඩ්ඩක් ඊයක් එවනවද මේකට....

    ppasanlahiru@yahoo.com

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...