09 September 2012

ගැහැනියක්, මිනිසෙක් සහ සමානකමක්


කෙටි කතාව 3










කරුවල වැටිලා කියලා ඇහැට දැනිලා ගොඩක් වෙලා උනාට හිතට දැනුනේ දැං.පුටුවෙන් නැගිටලා ලයිට් එක දාන්ඩ කම්මැලියි, මහන්සියි.අනික ලයිට් එක දාලා මොනවා කරන්ඩද?ඔලුවේ එක අර්ධයක් නොයෙක් මති මතාන්තර ගොඩනගමින් පුටුවෙන් නැගිටීමට මගේ තියෙන කම්මැලිකම සාධාරණීකරනය කරන්ඩ හැදුවත්, සාම්ප්‍රධායික අනිත් අර්ධය පුරුද්දක් විදිහට කරුවල වැටුනම ලයිට් එක දැමීම ගැන මතක් කර කර වද දෙන්ඩ ගත්ත හින්දා මම නැගිටලා අඩි දෙකක් ඉස්සරහට තියලා දකුණට හැරිලා තව අඩි දෙකක් තියලා අත දික් කරලා ස්විච් එක දැම්මා.ටියුබ් ලයිට් එක දම්පාට වෙලා කෙඳිරි ගාලා පත්තු උනා.ආයෙ නිමුනා.ආයෙත් පත්තු උනා.ආයෙත් නිමුනා.



නිමි නිමී පත්තුවෙන ටියුබ් ලයිට් එළියෙන් මුළු ලෝකෙම එළිය වෙනවා ඒත් එක්කම අඳුරු වෙනවා.මේක ටික වෙලාවක් බලං ඉන්ඩ පුළුවං උනාට ටිකකිං කරකැවිල්ලක් එක්ක වමනේ යන්ඩ ආවා.මම ටියුබ් ලයිට් එක ඕෆ් කරලා ආයෙත් පුටුවේ ඇල උනා.ඇස් ඉස්සරහින් නිල් පාට එළියක් යනවා.නිමෙන පත්තුවෙන ටියුබ් ලයිට් එක දිහා බලං ඉඳලා ඇස් නිලංකාර වෙලා.කාංසිය කියන්නේ මේකට වෙන්ඩ ඇති.කරන්ඩ වැඩක් නැතුව ඔහේ ඉන්ඩ වෙනකොට හිතට දැනෙන දේ.

කාමරේ රස්නෙයි.මට දාඩිය දාලා කියලා දැනුනෙත් පරක්කු වෙලා.දාඩිය ඇඟ දිගේ පෙරිලා ගිහිං සරං වාටිය තෙත් වෙලා.පුටුවේ කොට්ට ටික දාඩිය පැල්ලංවලටම කලු ගැහිලා කියලා මම දැක්කා හවස.ඒත් ඒක එහෙම්මම අමතක වෙලා ගියා.හැමදාමත් ඒක එහෙමම තමයි.හවස දකිනවා.රෑ වෙනකොට අමතක වෙනවා.ඒකත් හරි පුදුම වැඩක්.හිතන්ඩවත් දෙයක් නැතුව කම්මැලිකමේ ඉන්න මට ඒ ගැන හිතන්ඩ තිබුනනේ.ඊයේ රෑත් මට මේ විදිහටම හිතුනා.ඇයි පෙරේදා....ඊට කලිං දා.....

ඒක ගැන හිත හිත ඉන්න කොට නළල දිගේ බේරිලා ආව දාඩිය බින්දුවක් ඇහි පිල්ලමක් අස්සෙන් ඇහැට ගියා.පුංචි දැවීල්ලක් විතරයි.ඒත් ඒක මට මතක් කළා තාමත් කාමරේ රස්නෙයි කියලා වගේම මට දාඩිය දාලා කියලා.මම නැගිටලා ජනේලේ ඇරියා.මම කැමති ජනේලේ ඇරලා තියන්ඩ.ඒත් මෙහෙ හරියට දූවිල්ල.දවස් දෙක තුනක් ජනෙල් ඇරලම තිබ්බොත් බිම පස් තට්ටුවක් හැදෙනවා.ඒත් ජනේලේ ඇරියම දූවිල්ල එක්ක උනත් එන්නේ සීතල හුළඟක්.දූවිල්ලත් දාඩියත් අතර ගැටුමක් හිතේ ඇතිවෙනවා.අවස්ථානෝචිතව මම දාඩිය තෝරගන්නවා.දූවිල්ල ඔහෙ ආවාවෙ.දැනට දාඩිය නැති කරගන්න එකයි වැදගත්.

දවල්වරුව පාර කොච්චර ඝෝෂාකාරී උනත් රෑට නිස්කලංකයි.ඒ මේක අතුරු පාරක් හින්දා.ජනේලෙං පහල බැලුවම තරු එළියට දිලිසෙන කුණු කාණුව පේනවා.කුණු ගොඩවල් හැම තැනම.ඇයි මිනිස්සු මෙච්චර කුණු හදන්නේ.දවසක මේ පාරවල් මේ ගොඩනැගිලි මේ ලොකෙ මේ අපි ඔක්කොම වැහිලා යයි කුණුගොඩවල්වලිං.මම උඩ බැලුවේ කුණුවලිං හිත අහකට ගන්ඩ.අහස හරි හිස්.කොච්චර තරු තිබුණත් තව ඕනෙ තරං තරුවලට ඉඩ තියෙනවා අහසේ.ලෝකෙම අඳුරු උනත් අහස කොයි වෙලාවකවත් කට්ට කළුවර නෑ.ඕනෙ මහ රෑක පොඩි හරි එළියකිං එළිය වෙලයි තියෙන්නේ.

ඔන්න ඒ හිස් ආකාසෙ දිහා බලං ඉඳලා නිවිච්ච හිතෙං ආයෙත් පහළ බලන කොට තමයි පාරෙං එහා පැත්තේ ගොඩනැගිල්ලේ මගේ කාමරේට කෙළිංම තියෙන කාමරේ ලයිට් එළිය දැක්කේ.ඒක එච්චර ලොකු එළියක් නෙමෙයි.ඒත් මගේ අවට තිත්ත කළුවර නිසා ඒක හරි දීප්තිමත්ව පේන්ඩ ගත්තා.කවුරුහරි ඒ කාමරෙත් ජනේලෙ ඇරගෙන එළිය බලාගෙන ඉන්නවා.ඇහැ ටික ටික ආලෝක තත්ත්වෙට හුරුවෙන කොට විස්තර වැඩි වැඩිය පේන්න ගත්තා.ගෑනු කෙනෙක්.උඩට බ්‍රෙසියර් එකක් විතරක් ඇඳගෙන ජනේලෙට හේත්තුවෙලා සිගරැට් එකක් බොනවා.

ඔව් ඒ ගංගා තමයි.ගංගා වැඩ කළෙත් අපේ කොම්පැනියෙම තමයි.ඒත් මං වැඩ කරපු කොටසේ නෙමෙයි.දහතුන් වතාවක් බස් එකේදි හම්බවෙලා තිබුණට හිනාවෙලා තිබ්බේ හතර වතාවක් විතරයි.කවදාවත් කතා කරලා තිබ්බේ නෑ.කතා කරන්ඩ උවමනාවක් තිබ්බෙත් නෑ.මං එයාගේ නම දැනගත්තේ මහා අපබ්‍රංශ විදිහකට.බස් එක එනකං බස් හෝල්ට් එකේ හිටියේ අපි දෙන්නා විතරයි.එයා හිටියේ කෝල් එකක.මම මගේ සිහින ලෝකෙ.එක පාරටම එයා කෝල් එක කට් කරන්ඩ ගියාම වැරදි බොත්තම එබිලා ලව්ඩ්ස්පීකර් වැටුනා.

"ගංගා කෝල් එක කට් කරන්ඩ එපා......තෝ වල් බැල්ලි..."

ගංගා කෝල් එක කට් කලා.ඊළඟට මට ඇහුනද බලන්ඩ මගෙ මූන බලන වග මට තේරුණ නිසා මම ඇස් දෙක පියාගෙන කණුවට හේත්තු උනා.ගංගා මට මතක හිටියේ  ඒ සිද්දිය හින්දා විතරයි.ගංගගෙ කියන්ඩ තරං කැතක් නැති උනාට ඇති ලස්සනකුත් නෑ.බොහොම සාමාන්‍ය මූණක්.අපි උදේ හවස දකින සාමාන්‍ය මූණු අතරේ අමතක වෙලා යන මූණක්.

කෞශල්‍යාට තිබුණෙත් සාමාන්‍ය මුහුණක්.ලස්සනත් නැති කැතත් නැති.කෞශල්‍යාගේ එකම ආකර්ශනය උනේ නටව නටව යන පස්ස.ඒත් රාත්‍රීන් කීපයක් මගේ කාමරේදි දාඩිය තටාකේ අපි පීනුවට පස්සේ මට ඇඳුම් ඇඳලා නටව නටව යන එකේ තියෙන ආකර්ශනේ නිරුවත් පස්සක නෑ කියලා තේරුණා.ඒ සම්බන්දේ රමණයට විතරක් සීමා වෙලා සති කීපයක් තිබිලා එහෙමම අමතක වෙලා ගියා අපි දෙන්නටම.ඊට පස්සේ ආයෙත් සුපුරුදු ඒකාකාරී කුසීත ජීවිතේ.

මේ බිල්ඩිමේ ලයිට් ඔක්කොම නිවලා නිසා ගංගා බය නැතුව අඩ නිරුවතිං ජනේලෙ ගාව ඉඳං සිගරැට් එක බොනවා.කම්මැලිකම දරාගන්ඩ බෑ.මම කමිසයක් දාගෙන පාරට බැස්සා.ගංගගේ කාමරේ ලයිට් එළිය පාරට වැටෙන සීමාවට ගිහිං මම කතා කළා.

'ගංගා'

'කවුද?'

ඒ කටහඬේ කිසිම තැතිගැන්මක් වත් පැකිලීමක්වත් තිබ්බේ නෑ.

'ඔයා මාව දන්නෑ මං හිතන්නේ.මමත් ඔයාව දන්නෑ හරියට.ඒත් ඔයාගේ නම විතරක් දන්නවා.මම ඉන්නේ මේ ඉස්සරහා බිල්ඩිමේ.හරියටම ඔයාගේ කාමරේට කෙළිං කාමරේ.මම වැඩ කරන්නෙත් ඔයා වැඩකරන තැනමයි.හැබැයි ෆයිනෑන්ශල් ඩිපාර්ට්මන්ට් එකේ.'

'ආ.. මේ මිස්ට සමන්තනේ. මොකෝ මහ රෑ එළියට බැහැලා.නින්ද යන්නැද්ද?'

'ඔයා කොහොමද මගේ නම දන්නේ?' මට ඇත්තටම එය ගැටළුවක් විය.ඇයට එය දනගැනීමේ කිසිඳු අවකාශයක් නොවූ බව මගේ හැඟීම විය.

'ගෑනු ගැන මොනවද සමන්ත ඔයාලා දන්නේ.පිරිමි හිතන්නේ ඕනෙ ගෑනියෙක්ගෙ කකුල දිගේ උඩට බඩගා ගත්තොත් මැජික් යන්තරයක් හම්බවෙනවා කියලා විතරයි.ගෑනු එහෙම නෑ.උං තමං වටේ ඉන්න පිරිමිංව අධ්‍යයනය කරනවා.සංසන්දනය කරනවා.සුරක්ෂිත අනාගතයක් පේන්ඩ තියෙනකොට අර මැජික් යන්තරේ පාවිච්චි කරලා ඕනේ කරන එකාව අල්ල ගන්නවා.අසාවල් ගැන හිතන්නේ ඊට පස්සේ.'

'හැම ගෑනිම එහෙමද?'

'අපෝ නෑ.ගෑනු ජාති දෙකක් ඉන්නවා.ආසාව මුලට දාලා අනාගතේ පස්සට දාන ජාතියයි, අනාගතේ මුලට දාලා  ආසාව පස්සට දාන ජාතියයි.මම අයිති වෙන්නේ ඔය දෙවෙනියට කියපු ජාතියට.මම හිතන්නේ වැඩිපුර මොළේ පාවිච්චි කරන්නේ ඔය දෙවෙනියට කියපු ඒ කියන්නේ මං අයිති වෙන කාණ්ඩේ.මොකද අනාගතේ සුරක්ෂිත කරගත්තට පස්සේ ආසාවල් ඉෂ්ඨ කරගන්ඩ ඕනෙනං පුළුවංනේ.ඉතිං සමන්ත පාරට ආවේ මාත් එක්ක කතා කරන්ඩ ද?'

' නෑ මං ආවේ සිගරැට් එකක් ඉල්ල ගන්ඩ.'

ජනේලෙන් පහලට දාපු සිගරැට් එක අහුලගෙන මම එකේ දූවිලි පිහදාලා වං අතේ මහපටැඟිල්ලේ නියපොත්ත උඩ දෙපාරක් තට්ටු කෙරුවා.

'ගින්දරත් තියෙනවද?'

පුංචි ලයිටරයකුත් ජනේලෙන් පාරට වැටුනා.

'සමන්ත කොහොමද මගේ නම දන්නේ?'

මම සිගරැට්ටුව් පත්තු කරන වෙලාවෙ ඈ ඇහුවා.මම දුම් උගුරක් ගැඹුරට ඇදලා පෙනහළු දෙකම පුරවා ගත්තා.දාඩියා දාන මේ උෂ්ණ දවසේ සිගරට් බොන පිස්සු මිනිස්සු.මගේ මොළේ එක කොටසක් කිව්වා.මම ඒක ගණං ගත්තේ නෑ.මම ගංගට සිද්දිය කිව්වා.

'කවුද ඒ කොල්ලා?' මම ඇහුවේ වෙන කතා කරන්ඩ දෙයක් නැති වෙච්ච හින්දා.

'පාහර බල්ලෙක්.අර මැජික් පෙට්ටියේ මැජික් එක බලාගාත්තට පස්සෙ ගෑනුංගෙ පුකට පයිං ගහලා එළවන පරයෙක්.'

'ඉතිං අර කරපු අධ්‍යයනවලට අහු උනේ නැද්ද ඒක?'

'මිනිහෙක්ගේ හැසිරීම එහෙම කාගෙංවත් අහලා තේරුං ගන්ඩ බෑ.මිනිහෙක් අම්මව ආශ්‍රය කරන විදිහට නෙමෙයි ගෑනිව ආශ්‍රය කරන්නේ.සහෝදරයින්ට සළකන විදිහට නෙමෙයි යාළුවන්ට සළකන්නේ.ඒක දැනගන්ඩ මිනිහෙක් ආශ්‍රය කරන්ඩම වෙනවා.ඉතිං මම ඌව ආශ්‍රය කළා.ඒකා බල්ලෙක් කියලා දැනගත්තා.ඌ මට ගහලා එළවන්ඩ කළිං මම එන්ඩ ආවා.ඌ පැරදුනා.'

'ඉතිං දැං තනියම.'

'ඔව්'

'කරන්ඩ වැඩක් නැතුව.හිතන්ඩ දෙයක් නැතුව.කම්මැලිකමෙං පිරිලා.යාළුවෙක් නෑ.නෑදෑයෙක් නෑ.හවසට යන්ඩ තැනක් නෑ.කන්නෙ තනියම.තනියම එකම කෑම කාලා කාලා එපා වෙලා සමහර දවස්වලට නොකා ඉන්නවා වෙනසකට.මදුරුවෝ මරලා එකතු කරනවා.වැස්ස දවසට කොට්ට දෙකක් කෙළිං අතට තියලා මනුස්සයෙක් කියලා හිතෙං මවාගෙන තුරුළු කරගෙන නිදාගන්නවා.'

'හරියටම හරි'

'මම ඒ කිව්වේ මම ගැන.'

ඇය ගොළු උනා.නිශ්ශබ්ද මොහොතවල් කීපයක් ගෙවිලා ගියා.අපි කතා නොකර ඉන්න වෙලාවේ සිගරට් ඔහේ පත්තු උනා.දිගට තිබුණු අළුවලිං සිගරැට්ටුවේ අතීතයේ සීමාවන් පෙන්නුවා.

'මම යන්නං ගංගා.ඉස්තූතියි සිගරැට් එකට.ලයිටර් එක ඔන්න අල්ලගන්ඩ'  මම ඒක ජනේලෙං ඇතුලට විසි කරන්ඩයි හැදුවේ.

'විසි කරන්ඩ එපා.පඩිපෙල නැගලා එන්ඩ.තව සිගරැට් තියෙනවා.තව එකක් බොමු.මගෙ ඇඳත් ඩබල් බෙඩ් එකක්'



8 comments:

  1. ටිකක් වෙනස් විදිහේ කතාවක් වගේ .දිගටම ලියමු බලන්න එනවා අනිවාර්යෙන්ම

    ReplyDelete
    Replies
    1. වෙනස් කතා අඩුයි නොවැ.කවුරු හරි ඒවත් ලියන්ඩ එපායැ බං.ඔන්න ඒක හින්දා බැරි මරගාතේ ලියලා බැලුවා.

      Delete
  2. අර කිව්වත් වගේ වෙනස් විදිහක කතාවක් !!
    කතාවේ අන්තිම පේලිය කියවගෙන ආවහම මට ටියුශන් පන්තියක සර් කෙනෙක් කියපු කතාවක් මතක් උනා.

    දවසක් එක මනුස්සයෙක් පාරේ යනකොටම පාර අයිනේ තිබ්බ තට්ටු දෙකේ බිල්ඩිමක බැල්කනියේ ඉඳලා ගෑනු කෙනෙක් අර මනුස්සයාගෙන් කෑ ගහලා අහනවා.

    "ඔයා සාත්තරකාරයෙක් නම් මගේ මහත්තයා රට ඉඳන් එන්නේ කවද්ද කියලා කියන්ඩ. ඔයා දොස්තර කෙනෙක් නම් අපේ ගෙදර ඉන්න මහත්තයාගේ අම්මගේ ඇස් හොඳ කරන්ඩ පුලුවංද කියලා කියන්ඩ !"

    කියලා ඇහුවලූ...

    හිතාගන්න ටික ඔබට බාරයි !

    ReplyDelete
    Replies
    1. මටනං ඔන්න එච්චර ඒක තේරුණේ නෑ.වෛවාහික බිරිඳ සැමියා නැති සොවෙන් සහ නැන්දම්මාගේ දුක සැප බලමින් විඳින දුක???

      Delete
  3. "මගේ ඇඳත් ඩබල් බෙඩ් එකක්"

    ගංගාගේ තවත් අධ්‍යයනයක් වගේ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...අධ්‍යයනයක්, ආරාධනයක්...

      Delete
  4. machan uba liyana dewal kiyawanna hari asai digatama liyanna obata jaya wewa...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...