03 September 2012

කෙටිකතාව 2





කාලෙකට පස්සෙ හිතුනා කතාවක් ලියන්ඩ.කියවලා කියන්ඩ හොඳද නැද්ද කියලා හොඳේ.මගේ කළිං කතාව කියෝපු නැති අයට මෙන්න ගිහිං කියවන්ඩ.

කෙටිකතාව 1

...................................................................................................................................................................


'මේ.....'

'හ්ම්ම්.....' ඔහු පත්තරෙන් හිස නො ඔසවාම පිළිතුරු දුන්නේය.

'මට දැං මේක ඇතිවෙලා තියෙන්නේ'

'මොකක්ද?' ඔහු පත්තරෙන් එසවූයේ දෙබැම පමණි.

'ඔයාගෙ ඔය නොසැලකිල්ල.'

'මොන නොසැලකිල්ලද?'



            ඔහු නොරුස්නා ලෙස හිස ඔසවා බැලීය.සෙනසුරාදා හවස්වරුව යනු ඔහුගේ සාමකාමී නිදහස් සන්ධ්‍යාවය.ඉරිදා දවස මෙන් නොව සෙනසුරාදා සවස්වරුව ඔහු පූර්ණ නිදහස භුක්ති විඳී.ඉරිදා යුතුකම් ඉටු කළ යුතු දවසය.පොළේ යා යුතුය.නෑදෑ ගෙවල්වල යා යුතුය.මරණාධාර සමිති ආදී වූ සමිති සමාගම්වල රැස්වීම් ය.ගෙදර දොරේ අළුත්වැඩියා කටයුතුවලට හාඩ්වෙයාර් එකට යා යුතුය.මල්ගස් කප්පාදු කළ යූතුය.වතුර දැමිය යුතුය.

සෙනසුරාදා උදේ වරුවේ ඇත්තටම කන්තෝරුවේ හරියකට වැඩක් කෙරෙන්නේ නැත.කළින් දිනවල ඉතුරු වූ 'වැඩ කොට' සම්පූර්ණ කිරීම හා සුළු සුළු වැරදීම් නිවැරදි කිරීම හැරුනු කොට අළුතෙන් ලොකු වැඩකට අත ගැසෙන්නේ නැත.දොළහ වනවිට පිට වී පහුවදා (ඉරිදා ) පත්තරයත් රැගෙන කාෂ්ඨක අව්වේ නිවසට ආ පසු සිහිල් ස්නානයකින් පසුව  ඉස්සරහා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවී පත්තරය කිය වීමේ ආශ්වාදය දින හයක් තිස්සේ ඔහුගේ සිත මෙන්ම ගතද අපේක්ෂාවෙන් සිටින්නකි.

ඔහු පළමුව කියවන්නේ විදෙස් ප්‍රවෘත්තීන් ය.මැද පෙරදිග ඇමරිකාවේ භූමිකාව, පකිස්ථානයේ දේශපාලන අර්බුධ ඔහුගේ සිත්ගත් මාතෘකා වේ.දේශපාලන සාමීචීන්හිදී වියත් ලෙස ඇද බෑ හැකි පුවත් ඔහු නිරායාසයෙන්ම වනපොත් කරගනී.මිත්‍ර සමාගම්හිදී 'බලපංකෝ ඉරාකේ ඇමරිකාවට හිඟන්නගේ තුවාලේ වගේ වෙනවා කියලා මම කිව්වේ බොරුද? ඔන්න ඊයෙත් දහතුනක් ඉවරයි කාර් බෝම්බෙකින්' ආදී ලෙස කීමෙන් සිය යාවත් කාලීන ජාත්‍යන්තර දේශපාලන දැණුම පිළිබඳව මිතුරන් විශ්මපත්වනු බැලීමෙන් ඔහු මහත් සොම්නසට පත් වේ.ඉන්පසු දේශීය දේශපාලන සිදුවීම්ද කියවා දැන්වීම් ආදියද කියවන ඔහු ඉන්පසුව ක්‍රීඩා පුවත්ද උඩින් පල්ලෙන් කියවන්නේ දුම්රියේදී උදේ කොටුවට යන තෙක් නිශ්ශබ්දව සිටීමට සිදුවීමෙන් වැළකීමටය.මිනී මැරීම්, මංකොල්ල කෑම් හෝ ස්ත්‍රී දූෂණ ආදිය ඔහුගේ සිත් නොගනී.'පත්තරේට සල්ලිත් වියදං කරලා නිස්කාරණේ බය වෙන්ඩවත්, කණගාටුවෙන්ඩවත් ඕනෙ නෑනේ' ඒ පිළිඹඳව විමසූ විට ඔහු එසේ පිළිතුරු දෙයි.

දැණුම උකහා ගනිමින් මනසට ව්‍යායාම් දෙන ඔහුගේ එම සුන්දර සන්ධ්‍යාව අසුන්දර වීමේ නිමිති ඔහුට බිරිඳගේ මුහුනේ පෙනේ.

'අපි බැඳලා අවුරුදු පහක් වෙනවා.අපි දෙන්නා නිදහසේ මොනවා හරි කතා කෙරුවේ කොයි වෙලේද? ඔයාට මමය කියලා කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවද? ඔයා ගත්තේ ගෙදර වැඩට ගෑනියෙක්ද? ඇයි ඔයා මෙහෙම කරන්නේ? මම ගැන කිසිම හැඟීමක් නැද්ද ඔයාට? '


'ඉතිං වස්තුවේ අපි බඳින්න ගොඩක් කළිං ඉඳං ඔයා ඔය කතාව කියනවනේ.මම මොකද කරන්නේ.ඔයාගේ විනෝදාංශවලට මම මොකුත් කියනවද?ඔයා පොත් කියවන්නෙත් ඕනෙවට එපාවට, ෆිල්ම් එකක් උනත් එහෙමයි.අලුතෙන් දෙයක් ඉගෙනගන්ඩ ආසාවක් නෑ.ඔයා බලාපොරොත්තු වෙන්නේ මම ඔයා ළඟට වෙලා පෙම්බස් දොඩව දොඩව ඉඳී කියලා.එහෙම කරන්ඩ ඉඩ තිබුණා මම මල්පොත් කියවලා ඒවාවල අහිංසක කෙල්ලන්ටයි වීර කොල්ලන්ටයි රැවටිලා හිටපු කාලේ.ඒත් අපි දැන් පරිණතයි නේ.අපි දෙන්නා අර ෆිල්ම්වල වගේ සාලේ සෝෆා එකේ ඉඳගෙන ඉටිපන්දම් එළියෙන් අත් අල්ලගෙන මුමුණ මුමුණ ඉඳලා ප්‍රේමණීය රමණයකින් පස්සේ නින්දට යන එක නිකං හිතේ මවා ගන්ඩ බලන්ඩ.කොච්චරනං අද්භූතයිද?. '

'ඔයාගේ ඔය පණ්ඩිත කතා තමයි මට පෙන්නන්ඩ බැරි.ඔයා හරී වෙනස් කියලා ඔයා ලෝකෙට පෙන්නන්ඩ හදනවා.ඒත් ඔයත් නිකංම නිකං මනුස්සයෙක් කියලා අමතක කරන්ඩ එපා.ඔයා මාත් එක්ක පෙම්බස් දොඩවන්ඩ ඕනෙ නෑ.මට ඔළුවෙ කැක්කුමයි කියලා මම ඊයේ කිව්වම සතපහකට ගණන් ගත්තද? ඒවා තමයි ගෑනියෙක් මිනිහෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ'.

'ඉතිං වස්තුවේ මම මොකක්ද ඒ වෙලාවෙ ඔයාට කිව්වේ.පැරසිටමෝල් දෙකක් බොන්ඩ කියලනේ.වෙන මොකක්ද මම කරන්නේ?      
  අනේ රත්තරං ඔයාට ගොඩක් අමාරුද? අපි හොස්පිට්ල් යංද? අයියෝ ඔයා නැතුව මම මොකක්ද කරන්නේ.එන්ඩ මගෙ උකුළ උඩ ඔළුව තියාගන්ඩ අපි දෙන්නම එකට මැරෙමු කියන්ඩද?'

'එහෙම කරන්ඩ උවමනාවක් නෑ.නිකං කොහොමද කියලා ඇහුවද?ඔයාගෙ නෑ කිසිම සැළකිල්ලක් මන් ගැන අඩුම තරමේ මම වැරැද්දක් කළාම බණිනවද?.එදා මගේ අතින් ඔයාගේ ගිටාර් එක වැටිලා ලෑල්ලක් පුපුරපුවාම ඔයා අඩුම තරමේ මගේ දිහා ඇහැක් ඇරලා බැලුවද? ගිටාර් එක අරගෙන හදන්ඩ ගෙනිච්ච මිසක් ඒ ගැන වචනයක් කතා කළාද? අනික පෙරේදා ඔයා රෑ නාලා එහෙම ඇඳට එද්දි ඔයාගේ උවමනාව දැන දැනම මම නිදි වගේ හිටියම ඔයා අඩුම තරමේ මාව ඇහැරවන්ඩවත් උත්සාහ කළාද? එහෙමම අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා මිසක්'.

ඔහු සිනා සී නැවතත් පත්තරය දිග හැර ගත්තේ ඉතා උනන්දුවෙන් එහි වූ ලිපියක් කියවන්නට පටන්ගත්තේය.

'උත්තර දෙනවා.තමුසෙට මම මෙහෙම කතා කරද්දිවත් කතා කරන්ඩ බැරිද?මාව එච්චරටම අප්පිරියද?'

'ඉතිං ඒකෙ මම මොනවද කියන්ඩ තියෙන්නේ? ගිටාර් එක කැඩුනම හදන්ඩ ගෙනියනවා මිසක් ඔයාට බැන්නා කියලා ඒක හැදෙන්නෑනේ.අනික සංසර්ගේ කියන්නේ මගේ විතරක් උවමනාවට කරන්ඩ පුළුවන් දේකුත් නෙමෙයි.විවාහක බිරිඳට උනත් අකමැත්තෙන් ඒ දේ කළොත් ඒක බලහත්කාරකමක් වෙනවනේ.ඇත්තටම මෙතන කතා කරන්ඩ දෙයක් නෑ.අනේ කරුණාකරලා මට මේ පත්තරේ බලන්ඩ දෙනවද?'


'තමුසෙ මහ බල්ලෙක්.ගෑනියෙක්ගේ හිතක් තේරුම්ගන්ඩ බැරි ගල් හිතක් තමුසෙට තියෙන්නෙ.මට දැං මේක ඇති වෙලා තියෙන්නේ.මට දික්කසාද වෙන්ඩ ඕනෙ තමුසෙගෙන්'

'අද සෙනසුරාදානේ.හෙට ඉරිදා.මේ දවස් දෙකේ ඔය නීති වැඩ කරගන්ඩ ටිකක් අමාරුයි.සඳුදා වෙනකං ඉන්ඩකෝ.මම වැඩට ගියාම ඔයා ගිහිං රත්නතිලක පෙරකදෝරු මහත්තයව අල්ලන්ඩ.බය වෙන්ඩ එපා දෙන්නම කැමති එකේ ළමයිනුත් නැති හින්දා ඉක්මනට ඕක ගන්ඩ පුළුවං'

'තමුසේ...තමුසේ...'

'ඔව් ඔව් මම දන්නවා.මම බල්ලෙක්, නරුමයෙක්. ඇත්ත.අපි මේ සම්බන්ධේ කරගෙන ගිය මුල් කාලේ මම ඔයාට පැලෙන්ඩ ආදරේ කළා තමයි.ඒත් ඔයාගේ කොට කේන්තිය මට හරිම අප්‍රසන්න දෙයක් උනා.මම ඔයාට පුළුවන් හැම විදිහටම කිව්වා ඔහොම දෙයක් වෙච්ච ගමං කේන්ති ගන්න එක නවත්තන්ඩ කියලා.මොකද කිසිම දෙයක් කතා කරලා විසඳ ගන්ඩ අපිට පුළුවංකමක් තිබ්බේ නෑ ඔයාගේ ඔය කේන්තිය හින්දා.ඒත් ඔයාට ඔයාගේ කේන්තිය ලොකු උනා මට වඩා.ඔයා රණ්ඩු වෙන්ඩ හේතු හොයාගෙන ගියා.මාත් එක්ක විතරක් නෙමෙයි ගෙදර අයත් එක්කත්.කාටහරි වචනයක් වරදිනකං ඔයා හොඳ අවධානෙන් ඉන්නේ, බනින්ඩ.

ඔය හින්දා පස්සේ මම ටික ටික උදාසීන වෙන්ඩ ගත්තා.ඔයා කියන්නේ නිකං යුතුකමක් විතරක් උනා.කතා කළේ ඉම්බේ හැමදෙයක්ම කළේ යුතුකං විදිහට හිතලා මිසක් හැඟීමකින් නෙමෙයි.සම්බන්ධෙ නවත්තලා දාලා තනියම ජීවත් වෙන්ඩ කීපවතාවක් හිතුනත් මේ රට ගෑනුංගේ කන්‍යාභාවය ලොකුවට සළකන තැනක් හින්දා ඔයාව දාලා යන්ඩ මට හිත් දුන්නෑ.මොකද ඔයා තව දුරටත් කන්‍යාවක් නොවුනේ තනිකරම මම නිසා හින්දා.

මගේ උදාසීන කම වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ ඔයා මං ගැන වෛරයක් ඇතිකර ගත්තේ.මම ඔයාට කොච්චර කියලා තිබ්බත් ඔයා ඔයාගේ කේන්තිය මේ එකකටවත් හේතුව විදිහට පිළිගත්තේ නෑ.ඔයාගේ වෛරය ඔයා පුපුරවලා ඇරියේ මගේ ඇඟට කඩා පැනලා නෙමෙයි.වීරසේකරව ඇඳට අරගෙන.ඔව් ඔව් මම දන්නවා.දැං බොරුවට ඇස් ලොකු කරලා බලන්ඩ එපා.ගිය සුමානේ බදාදා මිනිහා මම නැති උදේ වරුවේ මෙහෙ ආවෙ මාව හම්බවෙන්ඩ වෙන්ඩ බෑනේ.අනික ඊට කළිං දවසේ ඇඳට ඔයා දාපු අළුත් ඇඳ රෙදි කොට්ටා උර ඔක්කොම ඔයා එදත් මාරු කරලා තිබ්බනේ.

එහෙම ඇඳ රෙදි මාරු කරලා තිබ්බ හින්දා තමයි මම අප්පිරියාවක් නැතුව නිදාගත්තේ.ඒත් සැකයක් හිතේ තියාගෙන ඉන්ඩ ඕනෙ නැති නිසා මම පහුවදාම ගිහිං මිනිහගෙං ඒ ගැන ඇහුවම මිනිහා ඇත්ත පිළිඅගත්තා.එක පාරට පිළිගත්තේ නෑ.ඒත් අන්තිමට මිනිහට පිළිගන්ඩ උනා.


පස්සේ මම මිනිහට කිව්වා'
මචං වීරේ මම උඹට මොකුත් කියන්නෙ නෑ.මට උඹගේ ඇඟට පැනලා බොරුවට කේන්ති අරගෙන දඟලන්ඩ උවමනාවක් නෑ.මගෙ වයිෆ් හෙට අනිද්දම මගෙන් ඩිවෝස් එක ඉල්ලයි.ඊට පස්සෙ උඹ ඕනෙ නැටුමක් නටපං.එතකං කරුණාකරලා ආයෙත් විකාර වැඩ කරන්ඩ එපා.

ඌ මගෙ අත අල්ලලා ඉම්බා.ඌ කියනවා ඌට සමාව දෙන්ඩලු.ඌ ආයෙ ඒ වැරැද්ද කරන්නෑලු.අපිට දික්කසාද වෙන්ඩ එපාලු.ඌට ඔයාව බාරගන්ඩ බෑලු.අපි වගේ නෙමෙයිලු ඌට ළමයෙකුත් ඉන්නවලු.උගෙ ගෑනි මේක දැනගත්තොත් උගෙ පවුල් ජීවිතෙත් ඉවරයිලු.ඌ ඇඬුවා හොඳටම.

කොහොම උනත් දැං ඔයා ඉල්ලපු දික්කසාදෙ මම දෙන්නං.අනික ඔයා මට චපල ගෑනියෙක් විතරයි දැං.ඔයා මට ද්‍රෝහි උනා කියලා දැන දැනත් මම පෙරේදා ඇඳට ආවේ මගේ ආසාවකට විතරක් නෙමෙයි.අඩුම තරමේ ඔයා කරපු ඒ බලු වැඩෙන් පස්සෙවත් ඒ ඇතිවෙන පසුතැවීමේ සිතුවිල්ලක් නිසාවත් ඔයා වෙනස් වෙලා ඇති කියලා හිතලා.ඒත් ඔයා ඒ වෙලාවෙත් මාවයි පරීක්ෂා කළේ.මටත් ඇති දැං මේක හොඳටම.කරුණාකරලා සඳුදා වෙනකං කෑ නොගහ ඉන්නවද? මට ඔය කේන්ති අරං කෑ ගහන එක තරං පෙන්නන්ඩ බැරි දෙයක් තවත් නෑ.'



11 comments:

  1. ටිකයි කියෙව්වේ... ඉතුරු ටික හවසවත් කියවනවා...

    ReplyDelete
    Replies
    1. කෝ ඉතුරු ටික කියෙව්වදෝ........

      Delete
  2. මේ කතාව කියෙව්වාම අපිත් පරිණත වෙන පාටයි

    ReplyDelete
    Replies
    1. හා හා උඹ බබා...මගෙ නමත් දන්නවා අඹගහ දන්නෑ.

      Delete
    2. @ දිනුක

      "ආවේ ඉන්දියාවෙන්ලු" :D

      Delete
    3. අඃ ඒ කෑල්ල අමතක උනා නේ

      Delete
  3. මැක්සා කියන්නේ උපරිම...

    කාලෙකින් දැක්ක සුපිරි කතාවක්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි රොබින් අයියා

      Delete
  4. godak hodai. thawath aluth katha liyanna jaya wewa....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...