04 May 2012

වැදි බණ



අද ප්‍රවෘත්ති බලද්දි තවත් හිනා ප්‍රවෘත්තියක් දැක්කෙමි.විනය විරෝධීව හැසිරෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ මහපොල කපා දාන්නේලු.දැං ඒ දිහා කට ඇරගෙන බලා සිටින අපේ රාජපාක්ෂික ජන්තාව සිතන් නේ 'අන්න හොඳ වැඩක් කරලා.ඕකුන්ට ඔහොමමයි වෙන්ඩ ඕනෙ' කියලාය.විශ්වවිද්‍යාලෙකට යන අයෙක් ළඟපාතක සිටියොතින් 'ඔන්න පේනවනෙ.දැංවත් ඔය උද්ඝෝෂණ නවත්තලා දාලා හොඳට ඉගෙනගනිල්ලා' කියලා කියනවා අනිවාර්යයි.
රටේ රාජ්‍ය මාධ්‍ය මඟින් පහුගිය වසර කීපයක සිට දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු දේශයට තර්ජනයක් ව පවතින අර්බුධකාරී කඩාකප්පල්කරුවන් පිරිසක් ලෙස හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින අතර අප රටේ ජනතාව ද එකී ඒකපාර්ශ්වික කරුණු දැක්වීම මත ඒවා ගෙඩි පිටින් පිළිගන්නා තත්වයක සිටීම ශෝකයට හේතුවකි.

විනය යන මතවාදය කෙරේ සංකල්පීය අර්බුධයක් මා තුළ ඇත ද සමස්ථ සමාජය විසින් අපේක්ෂා කරනු ලබන දෙයක් වන නිසාවෙන්, එකී විනය රීතීන් ඉක්මවා යෑමේ අනිකුත් සමස්ථ ශ්‍රී ලාංකිකයන් තුළ නොමැති  අභිප්‍රායක් මා තුළ හෝ වෙනත් විශ්වවිද්‍යාල සිසුවෙකු තුළ  නොවෙතැයි මම විශ්වාස කරමි.කෙටියෙන් පවසන්නේ නම්, මා මීට පෙර මෙරට ජනතාව විනය විරෝධී යැයි තීරණය කර ඇති ක්‍රියාවක නිරත වී නොමැති අතර මතුවට නිරත වීමේ අදහසක් ද නැත.

හාස්‍යයට කරුණ නම් විනය පිළිබඳව අපට උපදෙස් දීමට ඉදිරිපත්ව සිටින්නේ ප්‍රසිද්ධියේ කට වරද්දාගෙන ඒ නිසාවෙන් සිරගතවූ පුච්චානම් කාරයෙක් වීමය.ඔහු මැතිවරණ වේදිකාවල දී කියූ අසැබි කතා මතක ඇති කිසිවෙකුත් ඔහුගේ මෙකී ප්‍රෝඩාකාරී විනය සුරක්ෂිත කිරීමේ මෙහෙයුමට සහයෝගය දෙන්නේ නැත.නමුත් ගැටළුව නම් අප රටේ අති බහුතර ජනතාව යනු පහසුවෙන් රැවටිය හැකි මෙන්ම සියල්ල පහසුවෙන් අමතක වන සුළු අයවළුන් පිරිසක් වීමය.එක් පක්ෂයක ප්‍රතිපත්ති මාලාවක් වෙනුවෙන් ජනතා මනාප එක්කරගෙන පුද්ගලික ලාබ තකා වෙනත් පක්ෂයකට කරණම් ගැසීම සඳහා සමාව දෙන සහ එකී වංචාකාරයන්ට නැවත නැවත හසුවන වෙනත් ජනතාවක් මෙළොව වෙසෙතැයි සිතීමට ද අපහසුය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය වෙනුවෙන් කටයුතු කරන රජයක, ඇමතිවරයෙක් සිය හෙන්චයියන් හා අමනාප වී එකිනෙකාගේ රෙදි ගලවා ගැනීමේ ක්‍රියාදාමයේ දී රට හමුවේ හෙළිදරව් වූ වංචා දූෂන වෙනුවෙන් පක්ෂයේ විනය පරීක්ෂණ පැවැත්වූව ද අවසන් තීරණය ගත හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බැවු තවකෙක් පවසයි.එකී චූදිතයන් තවමත් නිදැල්ලේ කෙළින සමාජයක විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් රටේ දැවැන්ත ප්‍රශ්නයක් වීම පුදුම සහගත නොවන්නේ ද? විමල් ඇමතිවරයාගේ වක්කඩ තිබියදී කක්කුටු බෙන වැසීමේ න්‍යායට අනුව රජය ක්‍රියා කරන බව පෙනෙනු මෙන්ම මේ නොපනත්කම් ඇස් කන් වසාගෙන නොදැනෙන සේ සිටින අඥාන ජනතාවගේ ඇස් ඇරෙන්නේ බෙල්ල මුළටම එරුණු පසුවය.

ඇතුළේ දෙන්නෙක් වෙඩි තියා ගත්හ.එකෙක් මළේ ය.අනිකාගේ ඔළු ගෙඩිය ඇතුලේ උණ්ඩ තිබේ යැයි පැවසේ.ලොක්කෝම කා කොටා ගත් නිසා නඩුවක්වත් දමා ඇත.පොඩි අයෙක් වෙනුවෙන් මෙතරම්වත් කාලයක් ප්‍රශ්නය ඇදෙන්නෙ නැත.විනය ගැන කතා නැත.ඔවුන්ගේ වැටුප් කපා දමා පාර්ලිමේන්තුවෙන් පන්නා දමන්නේ ද නැත.නැවත ඡන්දයකදී ඉදිරිපත් උවහොත් අපේ වෘෂභ ජනතාව ගෝනි ගණන් ඡන්දය දී පාර්ලිමේන්තු යවනවා නිසැකය.ඒ අපේ මිනිස්සුන්ගේ හැටිය.මිනිහෙක් මරන එක එතරම් ගැටළුවක් නොවේ.පෝස්ටරයක් ගැහුවොත්, උද්ඝෝෂණයක් කළොත් මහපොළද කපා දමා පන්ති තහනම් කර හිරේ ද දැමිය යුතු ය.

විශ්ව විද්‍යාල තුළ විනය සුරකිනු වස් නවක ශිෂ්‍යයින් හට නායකත්ව පුහුණුව නමින් ප්‍රෝඩාකාරී නාස්තිකාර හමුදාමය අත්දැකීමක් ලබා දෙන්නටද අපේ සංග්‍රහශීලී රජය ක්‍රියා කළේය.කෝටි ගණනක් රාජ්‍ය මුදල් කාබාසිනියා කළ ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණ වූයේ විශ්ව විද්‍යාලවලට ඇතුළු වන්නන් හට සිය ඇඳ අස්පස් කිරීමටත් හැන්දෙන් හා ගෑරුප්පුවෙන් කන්නට ඉගැන්වීමත් ය.නමුත් පුස්ස බින්දාක් මෙන් ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ හෝ සත්‍ය අරමුණ හෝ යන දෙකින් එකක්වත් ඉෂ්ඨ උනේ නැත.මහජන මුදල් මඟින් සිසුන්ට සති කීපයක විනෝදයක් පමණි ලැබුණේ.විනය හදනවානම් ඇත්තටම ගැටළුව ඇත්තේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවන්නට තියා උසස්පෙළටවත් ඉදිරිපත් වන්නට නොහැකි වූ පාසල් හැර ගියවුන් අතර බව සමාජයේ ජීවත්වන ඕනෑම අයෙකුට තේරුම් යනවා ඇත.නමුත් ඔවුන් වෙනුවෙන් කරන කෙං ගෙඩියක් නැත.

රටේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය ඉතාමත් උනන්දුවක් හා කැක්කුමක් ඇති බව පෙන්වතත් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් එහාට වෙනත් කිසිඳු විසඳුමක් ඔවුන් වෙතින් නිකුත් කෙරුණේ නැත.රටේ සමස්ථ අධ්‍යාපනයට වෙන් කරන මුදල් ක්‍රමයෙන් කප්පාදු කරනු හැර මේ රජයෙන් අධ්‍යාපනය උදෙසා කර ඇති ඉටි ගෙඩියක් නැත.වසර කීපයකට පෙර දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් ව පැවති අධ්‍යාපන වියදම් මේ වන විට 1.8%ක් දක්වා කප්පාදු කර ඇත.යුද්ධය අවසන් කළ බැවු පම්පෝරි ගසන නමුදු ආරක්ෂක වියදම් තවම සත පහකින් හෝ අඩු කර නැත.20,000ක් පමණ වන එක් වසරක විශ්වවිද්‍යාල සිසුන් නඩත්තු වන්නේ ඉහත දැක්වූ වියදමෙන් නම් 3.6%ක් දක්වා අධ්‍යාපනයට වෙන් කිරීමට රජය කටයුතු කරන්නේ නම් ශිෂ්‍ය සංඛ්‍යාව අඩුම තරමින් 40,000 දක්වා ඉහළ දැමිය හැකි නොවේ ද? විශ්වවිද්‍යාල සඳහා වෙන් කරන්නා වූ මුදලින් තුනෙන් එකක් පමණ නාස්තිවන බව පුවත්පතක පළ විය.මේ නාස්තිය කරන්නේ ශිෂ්‍යයින් නොවන බව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමි.දේශපාලන අතකොළු විශ්වවිද්‍යාල පරිපාලනයට එක් කිරීමත් නිසි කළමණාකාරීත්වයකින් තොර වීමත් උක්ත නාස්තියට හේතු වේ.එකී නාස්තිය නවත්වා ගත හැකිනම් අවම වශයෙන් තවත් 10,000ක් ශිෂ්‍යයින් බඳවා ගත නොහැකි ද?

දියුණු වන රටක් ආයෝජනය කළ යුත්තේ නෙළුම් කුළුණුවල හෝ අධිවේගී මාර්ගවල නොව අධ්‍යාපනයට ය.වත්මන් රජයට රට දියුණු කිරීමේ උවමනාවක් නොමැත.තාවකාලික මාධ්‍ය විජ්ජා මඟින් රට රවටා සාක්කුව පුරවා ගැනීම පමණි ඔවුන්ගේ න්‍යාය.නැත්නම් විමල් ඇමතිවරයා KFC අවන්හල් දෙක තුන වසන්නට බෙරිහන් දෙනු වෙනුවට ඇත්තම දේශීය චින්තනයකින් රට වෙනුවෙන් කටයුතු කරන්නේ නම් කළ යුතුව තිබෙන්නේ රටේ සියළුම ව්‍යවසායකයන්ට තර්ජනයක්ව ඇති චීන නිශ්පාදන වර්ජනය කිරීම නොවේ ද? හන්දියේ වලියට ගෙදර සිට දත්මිටි කන ඔහුගෙන් සමස්ත රජයේම දර්ශනය විද්‍යාමාන වෙන්නේ ය.

පින්තූරෙ : lanka-houses.com

8 comments:

  1. ඇමතියා උමතු රෝගියෙක්.තව දේවල් සිදුවුනත් පුදුම වෙන්න ඕන නැහැ

    ReplyDelete
  2. අධ්‍යාපනය කන්ඩ තමයි මේ ඇමතියාට බාර දීලා තියෙන්නේ.
    නරකද විනය විරෝධී ඇමතිවරුන්ගේ පඩිය අවලංගු කරලා දැම්මොත්. (එතකොට එක ඇමති කෙනෙක්ටවත් මේ කපේදි පඩි ගන්න නම් වෙන්නේ නෑ.)

    ReplyDelete
  3. පින්තුරෙ මැද ඉන්න වැද්ද ටිකක් අර ජෙල් ගාල කොන්ඩෙ පීරන 'ලෙමන් පෆ් ' ඇමති තුමා වගේ...

    ReplyDelete
  4. Mea karunu walata sampurnayen ekagai.
    Wishwa widyaala sisuwaage prathirupaya madya magin winaasha kara athi yugayaka, mahajanathaawa pawaa owun dhesa balannea yahapath hageemakin neweyi. Meake yathaa swarupaya danna aya pawa as kan piyaagena wala yana paththata massa gaheema jaathiyea awaasanaawak......

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
  5. @Anonymous : උමතු රෝගියාව දැන දැනම උසස් අධ්‍යාපන ඇමති කරපු එකනේ ඉවසන්ඩ බැරි.

    @Soda ගුනේ : ඉස්තූතියි.... :)

    @මධුරංග : ඒකනේ කියන්නේ ඔය යක්කු ඔක්කොම නීති හදන්නේ අපිට මිසක් එකක්වත් ඒ යක්කුන්ට බලපාන ඒවා හදන්නෙ නෑනෙ.

    @Observer : මිනිහා පාට් ටයිම් ඒ වැඩත් කරනවද දන්නෑ.KFC වහලා දඩමස් දෙන්ඩ.

    @මහි : අපි අපේ මතය දක්වන්ඩ උත්සාහ කළාට කිසිම මාධ්‍ය ආයතනයක් අපිට පුංචි හරි ඉඩක් දෙන්න කැමති නෑ.ඒ අය එක්කෝ කඩේ යනවා.නැත්තං විකුණන්ඩ පුළුවං ප්‍රවෘත්ති විතරක් තෝරගන්නවා.

    ReplyDelete
  6. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවාට තමා

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...