25 April 2012

ලෙඩේ


කාලෙකට පස්සෙ බ්ලොගේ මොනවත් ලියන්න හදන්නෙ.ඇයි හත් දෙයියනේ හැමදාම ලොග් වෙලා අනුන්ගෙ පොස්ට් කියවලා ඇහැක් විදිහට කොමෙන්ට් කොරලා යනවා මිසක්කා මට ඇත්තටම ලියන්න කියලා දෙයක් ඔලුවට ආවෙම නෑ.මොකද මේ ලෝකෙ තියෙන භයානකම රෝගය විසින් ළපටි වනාන්තරයකට ඇතිවුණු දරුණු රෞද්‍රඝාතයක් වගේ මගේ සියළුම චිත්ත ශක්තිය, මගේ ස්මරණය, ආත්ම විශ්වාසය, ජීවිත තෘප්තිය, හැඟීම් දැනීම් මේ ආදී එකී නොකී හැම ඉලව්වක්ම මොට කරලා දාපු හින්දා.


මට මුළු ජීවිතේම එපා වෙලා ගියා.මම හිතලා බැලුවා ඇත්තටම මම ජීවත් වෙච්ච කාලෙට මනුස්සයෙක් කොරන්ඩ ඕනෙ දේවල් ඔක්කොම කරලා තියෙනවද? මගේ යුතුකම් සහ වගකීම් සියල්ල ඉෂ්ඨ සිද්ද කරලද? මගේ අභාවයෙන් කාට නමුත් යම් අනර්ථයක් සිද්ද වෙන්ඩ ඉඩ තියෙනවද? ආදී දේවල් හොයා බලන්ඩ මම පෙළඹුනා.මගේ කියා ඇති සියළුම නිශ්චල චංචල දේපල කොයි කොයි අය අතට මගෙන් පසු පත්විය යුතුද කියලා මම නිදි නැති රැයවල් පුරා කල්පනා කළා.

මම ආගම දහම ගැන ආයෙත් මගේ හිත යොමු කරන්ඩ පටන් ගත්තා.ඇත්තටම මැරුණාම දිව්‍යලෝකයක් අපි වෙනුවෙන් තියෙනව ද? අපාය දිව්‍යලෝකෙට වඩා ෆන් තැනක් ද? මළාම ආයිත් ඉපදෙනව ද? ඒ පුනරුප්පත්තිය ද? පුනර්භවය ද? නැත්තං ඔසිරිස් සෙත් ව පරද්දලා ආයෙත් මේ ලෝකෙ අල්ලගන්නකං ඉන්න වෙන මළවුන්ගේ වෙනම ලෝකයක් තියෙනව ද? එහෙම නැත්තං මම අවුරුදු විසිපහක් විතර එකතු කරාපු දැනුම, මගේ ආශාවල්, මගේ විශ්වාස, මගේ සිතිවිලි, මගේ බැඳීම් මේ ඔක්කොම නිකම්ම නිකං වාශ්ප වෙලා අවට ලෝකයට මුහු වෙලා යනව ද?

මේ ඔක්කොම කල්පනා කරලා කරලා කරලා කරලා මටම එපා උනාටත් පස්සෙ, මම දැං මැරෙයි දැං මැරෙයි කියලා පැය ගණන් ඇඳට වෙලා හිටියටත් පස්සෙ, මම ක්ලිනිකල්ස් එන්නෑ කියලා ඇන්තනියා කෝල් කරලා බැන්නටත් පස්සෙ, මගේ වාහෙ ඒ කියන්නෙ ගෙදර උන්දෑ (අනාගත ) මට ඕකට බෙහෙතක් ගන්න කියලා කිව්වටත් පස්සෙ, අපේ අම්මා කෝල් කරලා ඕකට හුමාලෙ ඇල්ලුවනං හරි කියලා කිව්වටත් පස්සෙ මට මතක් උනා ඇයි වදේ හෙම්බිරිස්සාව භයානක ලෙඩක් උනාට මාරන්තික එකක් නෙමෙයි නෙව කියලා.

මට හිතෙන හැටියට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය හරි, පුප්පුෂීය නික්ඛිත්තිය හරි, අක්මා ප්‍රදාහය හරි වගේ ලෙඩකට වඩා අහිංසක නමක් තිබ්බට හෙම්බිරිස්සාව තරං ජුගුප්සාජනක, කඨෝර, අමන, අනුකම්පාවිරහිත, ද්වේශ සහගත දිට්ඨිගත විප්පයුත්ත වෙන ලෙඩක්නං මම දන්නෑ.

දන්නා තරමින් ස්වසන පද්ධතියේ ඉහල ප්‍රදේශයට අදාල වෙන මේ ලෙඩේට ගොඩාක් වෙලාවට හේතුවෙන්නේ වෛරසයන්.පෘථිවියේ ජීවය ඇති උන කාලෙට චූට්ටකට පස්සෙ ඉඳන් හැමෝටම වින කරමිං හිටි බවට විස්වාස කරන මේ පුංචි පරපෝෂී අමන තුච්ඡ නින්දිත කුපාඩි හාදයො රොත්තට විරුද්ධව තාම හරි හමං බෙහෙතක් හොයා ගන්න අපේ මහ ලොකු විද්‍යාවට බැරි වෙලා තියෙනවා.


අපි තාමත් තනියම උන්ට විරුද්ධව යුද්ධ කරනවා.ඒ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරහා.වැඩේ කියන්නේ වෛරසවලට පුළුවන්නෙව එකෙක්ගෙ ඇඟට ඇතුල් උනාට පස්සෙ උංගේ මුහුණුවර හැඩරුව ඔක්කොම වෙනස කරලා වෙනම වෛරසයක් වෙන්න.ඉතිං මොකද වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසරණ වෙනවා.ආයේ මේ අළුත් එකා අඳුරගෙන ඒකාට විරුද්ධව ඒකාට ගැලපෙන විදිහේ සේනා සංවිධානය කරලා ප්ලෑන් ගහලා සටන් පාඨ කියලා හූ කියලා ගේම දෙනකොට සති දෙකක්වත් යනවා.අපේ තියෙන නැහැදිච්ච කමට අපි මොනවා හරි ගොං වැඩක් කරලා අපේ ප්‍රතිශක්තිය දුර්වල කරගෙන තිබුනොත්, ඒ කියන්නෙ උදාහරණයක් විදිහට කවුරු හරි ඒඩ්ස් හදාගෙන තිබ්බොතිං එහෙම වළ පල්ලට යනකම්ම හෙම්බිරිස්සාව තමයි.

ඉතිං මේ මාවිල් ආරුවෙන් ඇරඹිච්ච සටන තොප්පිගල කිළිනොච්චිය පසුකරමිං නන්දිකඩාල් දක්වා යනකං මම හොටු හූර හූර ඉන්නවා.වැස්සෙ තෙමෙන්න බෑ, ඒ සී තියෙන හින්දා ලෙක්චර්ස් යන්න බෑ (ඒ නැතත් යන්නෙ නෑ ), රෑට නහය හිර වෙලා නින්ද යන්නෙ නෑ.ඒක පැත්තකට හැරිලා නිදා ගත්තම පොළව පැත්තට තියෙන නාස් පුඬුව හිර වෙලා අහස පැත්තට තියෙන එක විවෘත වෙනවා මගේ පෙනහළුවලට ඔක්සිජන් ගෙනියන්න.ඔන්න ටිකකින් අනිත් පැත්ත හැරුණාම ඉස්සෙල්ලම පොළව පැත්තෙ නාස් පුඬුව හිර වෙනවා.ඒත් තාම අහස පැත්තෙ එක විවෘත නෑ.ඒක ඇරෙනකං නහය මසාජ් කර කර කටින් හුස්ම ගන්නත් ඕනෙ.මේක ඉතිං සෑහෙන්න මොළේ වෙහෙසන්න වෙන ක්‍රියාමාර්ගයක් හින්දා මොළේට අමතක වෙනවා නිදා ගන්න.ඇත්තටම මොළේ බය ඇති හදිස්සියෙවත් නාස් පුඬු දෙකම හිරවෙලා කටින් හුස්ම ගන්න අමතක උනොත් එහෙම්මම ස්වර්ගස්ථ වෙයි කියලා.ඔක්කොටම හපං එක නාස් පුඬුවකින් විසිල් වදින්න ගත්තම.රූං රූං ගාලා මගේ ඔළුව ඇතුලේ බෑන්ඩ් ගහද්දි මම කොහොමද නිදා ගන්නේ.ඒ මදිවට හොටු හූරලා හූරලා නාහෙ වටේම හම ගිහිල්ලා.අනේ මගෙ හැඩ නහය.

හෙම්බිරිස්සාවට ප්‍රතිකාරය ඇවිල්ලා උණු ජාති බීමත්, විවේක ගැනීමත් යැයි කොහේ හෝ කියවා ඇති නිසා මම තේ බොමින් විවේකීව කාලය ගත කරනවා.අනිත් වැදගත් දේ තමයි වෛරසය හින්දා ඇතිවෙන ප්‍රතිශක්තියේ තාවකාලික ඌණතාව මත අවස්ථාවාදී කුහක බැක්ටීරියා ඇවිත් උනුත් ආසාදනය වෙනවා.ඔන්න එතකොට හොටු කහ පාට වෙනවා.අම්මලා කියනවා සෙම පැසවලා කියලා.ඔන්න එතකොට ඔය හැමෝම හැම ඉලව්වටම ගන්න ඇන්ටිබයොටික් කියන ප්‍රතිජීවකයක් ගත්තට කමක් නෑ.හැබැයි වෛද්‍ය උපදෙස් මත ඒ අනුව පිළිවෙලට ගන ඕනෙ.නැත්තං හිතුමතේ ප්‍රතිජීවක ගත්තොත් බැක්ටීරියාවට පුළුවං වෙනවා ඒ ප්‍රතිජීවකේට විරුද්ධව හැඩ ගැහෙන්න.ඔන්න එහෙම උනොත්නං සොරිම තමයි.

පින්තූරෙ ගත්තෙ:  http://www.justrec.com

9 comments:

  1. අපි නම් ඔවුවා දන්නේ නෑ. මාත් ලෙඩ උනාම මල්ලිගෙන් බෙහෙත් අහගන්නවා. අපේ මල්ලි හතරවෙනි අවුරුද්දේ. දිනුක කීවෙනි අවුරුද්දෙද ??

    ReplyDelete
  2. හෙම්බිරිස්සාවක් කරලා තියෙන හරියක්.. ඇත්තටම මහ එපාම කරපු ලෙඩක් ඕකනම්..

    ReplyDelete
  3. අම්මෝ හෙම්බිරිස්සාව..වෙන ලෙඩක්නම් මනුස්සයෙක් එක්ක කතා කරලවත් ඉන්න පුළුවන්.මේකේ එකටත් ලොකු දුකක් විදින්න ඕනනේ.

    ReplyDelete
  4. @මධුරංග : මමත් හතරවෙනි අවුරුද්දෙම තමා.මොකෝ මධුරංග අයියේ ලියන්නෙ නැත්තේ.කාලෙකිං දැක්කෙ නෑ නෙව පෝස්ටුවක්.

    @Dinesh : හෙම්බිරිස්සාව. මතක් කරන්ඩ එපා.හතුරෙක්ටවත් හැදෙන්න හොඳ නෑ.

    @dreams : ඒක නොවෙන්නං කියන්නෙ.හදිස්සියකට තොත්තුවක්වත් දෙන්නෙ කොහොමද? හරියට නිකං කොම්පියුටරේකට වෛරස් කොපි කරනවා වගේ වැඩක් නෙව.

    ReplyDelete
  5. අපෝ මේ දොස්තර පැටියාට හරියට ලෙඩක් හැදුනොත් කොහොම තියෙයිද?

    අපි අවුරුද්දෙන් භාගයක් විතරම ඔය කියපු අසනීපයෙන් පීඩා විඳින හින්දද මන්දා ඒක නිකම් දේශගුන අවුලක් කියලා විතරක් කියලා ගනන් ගන්නෙ නෑ.

    ආයේ ලියන්න ගත්ත එකට මෙන්න මගේ සතුට....:D

    ReplyDelete
  6. කොහොමද ඔය අස්සට උගුර අමාරුවක් එහෙම සැට් උනාම! පස්ටයි නේ!

    ReplyDelete
  7. @Il mondo di una povera pazza : ඇත්තටම මට එහෙම දරුණුය කියන්න තරං ලෙඩනං හැදිලා නෑ.එක පාරක් වෑන් එකක හැප්පිලා සති දෙකක් ඉස්පිරිතාලෙ හිටියා.තව පාරක් කකුලෙ කෝටුවක් ඇනගෙන දෙපාරක් ඔපරේශන් කළා.අණතුරු හැර අසනීප හරි අඩුයි තමයි.ඒත් මමනං හෙම්බිරිස්සාව වෙනුවට වෙන ඕනෙ ලෙඩක් හුවමාරුව සඳහා කැමතියි.

    @Sabith : උගුරෙ අමාරුවත් ආවා මචං.යාන්තං ඒකනං ගොඩ දා ගත්තා.දැං වසංගත කැස්සක් අල්ලලා.සසරම එපා වෙලා ඉන්නෙ.

    ReplyDelete
  8. කතන්දර බ්ලොගේ අසනීප ලිපියේ දැමූ සබැඳියට ස්තුතියි.

    මං නං ෆෝත් ඉයර් අයගෙන් බේත් අහන්නේ නෑ. ඉන්ටර්න් එක ඉවර කළාම කියන්න කෝ.

    ජයවේවා. මටත් දැන් තරමක සුවයි. අද වැඩටත් ගියා.

    ReplyDelete
    Replies
    1. සබැඳියක් දාලා බලන්ඩ ආසාවට තමයි දැම්මේ.ඉන්ටර්න් ඉවර උනත් ඉතිං හෙම්බිරිස්සාවට ඔච්චරම තමයි කරන්ඩ තියෙන්නේ

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...