11 March 2012

දොළහක්


අද ඔන්න යානතං එග්සෑම් ඉවරයි.අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ වැඩවර්ජනයෙන් කල් ගිය අපේ අවසාන විශයත් අද තියලා ඉවර උනා.ආයේ ලබන මාසේ අග වෙනකං විභාග නෑ.ඉතිං දෙයියනේ කියලා මනස නිදහස් උන ගමං ඒ නිදහසේ පූර්ණ තෘප්තිය අත්විඳින්න හිතාගෙන මම මගේ මිත්‍රයො කීප දෙනෙකුත් අහුලගෙන ලයනල් වෙන්ඩ්ට් එකට ගියා.ඇත්තටම මම ලයනල් වෙන්ඩ්ට් එකට එච්චර ආසා නෑ.මම මීට කළිං එක වතාවක් ඒකෙ නාට්‍යයක් බලලා තියෙනවා.
සුභ සහ යස.ඒ ශාලාව හරියන්නෙ චිත්‍රපට පෙන්නන්න විතරයි කියලයි මගෙනං හැඟීම.කොහොම උනත් මේ දවස් ටිකේ වේදිකා නාට්‍ය වසන්තයක් ලයනල් වෙන්ඩ්ට් එක කේන්ද්‍ර කරගෙන පැන නැගිලා තියෙන හින්දාත් සෑහෙන කාලෙකිං නාට්‍යයක් බලන්න බැරි උන හින්දාත් මම ඔන්නොහෙ ඕනෙ මෙව්වා එකක් කියලා හිත හදාගෙන නාට්‍යයක් බලන්න ගියා.



දොළහක්

අතුල පතිරණයන්ගේ 'දොළහක්' සුවිශිෂ්ඨ රංගධරයන් දොළහකගේ සහභාගීත්වයෙන් රංගගතවෙන බව දැනගෙන ටිකක් දවස් උනත් ඒක බලන්න යන්න තරම් මානසික නිදහසක් හෝ ආර්ථිකමය ශක්තියක් පහුගිය දවස් කීපයේම තිබුණේ නෑ.ලයනල් වෙන්ඩ්ට් ශාලාවට ගිය ගමන් ඇති උනු හැඟීම උනේ ඇත්තටම සාර්ථක නිර්මාණයකට ඇති තරම් ප්‍රේක්ෂකයින් ඉන්නවා නේද කියන එක.නාට්‍ය බලන්න එන කොණ්ඩා රැවුළු වවා ගත්ත තරුණ ප්‍රජාව ඇරුනාම තරමක් ඉහල පැළැන්තියේ නාට්‍ය රස වින්දකයෝ රැසක් දොරටු ළඟ ශාලාව ආක්‍රමණය කරන්න සූදානමෙන් සැදී පැහැදී ඉන්න කොට මට අසරණ වාණිජ චිත්‍රපටි අංකල්ලා අපේ රටේ ජනතාවගේ කලා රසවින්දනය මොට වෙලා කියලා බෙරිහන් දෙන එක මතක් උනා.මතක් වෙලා හිනා ගියා.ඒ උසස් රසිකයො පිරිසක් මැද්දෙ ඉන්න කොට මට ඇත්තටම ඇති උනේ අභිමානයක්.රංජන් රාමනායකගේ 'වන්ෂොට් වන්' බලන්න පෝළිමේ ඉන්න තරුණයෙකුටත් ඒ හැඟීමම එනවද කියන්නනං මම දන්නෙ නෑ.

අපි ඉතිං හැමදාමත් වගේ අඩුම මුදලට ටිකට් එකක් අරගෙන බැල්කනි එකේ වාඩි උනේ ගෙවපු මුදලට හරියන මොනම හෝ රසවින්දනයක් ලබා ගන්න පරමාර්ථය ඇතුව.'දොළහක්' ගැන දූශමාන ආරංචි ලැබිලා තිබුණට ඇත්තටම ඒ ගැන විවේචනාත්මකව සහ අවබෝධයෙන් යුතුව බැල්මක් හෙලන්න පුළුවන් උනේ නාට්‍යය පටන් ගන්න කොටම තමයි.

දොළහක් නාට්‍යයයේ අන්තර්ගතය ජූරි සභිකයින් දොළොස් දෙනෙක් වට දිවෙන බව අහලා තිබුණට නාට්‍යයේ දිග හැරෙන තරමට ක්ෂුද්‍ර සිදුවීමක් පැය දෙකක් පුරා ඇදගෙන යයි කියලා මට නිකමටවත් හිතුනෙනම් නෑ.


ජූරි සභිකයින් අවසාන තීරණය ගන්න කාමරයට එන්නෙ උසාවියේ අනිකුත් කටයුතු සියල්ල අවසන් උනාට පස්සෙ.නඩුව බොහොම පැහැදිලියි.තාත්තට පිහියෙන් ඇනපු පුතාට විරුද්ධව ඇසින් දුටු සාක්ෂියක් සහ තරුණයා මිනී මැරුමෙන් පස්සෙ පළා යනවා දුටු අසල් වැසියෙකුගේ සාක්ෂියක්.එක් මිනිසෙක් දැනටමත් මියගොස් අවසානයි.අනිත් මිනිහාගේ ජීවිතය හෝ මරණය තීන්දු කරන නිමේශය පැය දෙකක් තිස්සේ ප්‍රේක්ෂකයො විදිහට අපි ඇස් අයාගෙන බලාගෙන ඉන්නවා.

තරුණයා චූදිතයා ලෙස ඡන්ද එකොළහක් සහ නිවැරදිකරු ලෙස එක් ඡන්දයකින් ඇරඹෙන ජූරි සභාවේ විවාදය අවසානයේ සියල්ලන්ම තරුණයා නිදොස් කරන තත්වයට පැමිණෙන බව නාට්‍යය ඇරඹෙද්දීම තේරුම් ගියත් ඒ සිදුවීම් සහ දෙබස් මෙන්ම සුවිශිෂ්ඨ රංගනය හමුවේ දෑස් දල්වාගෙන බලා සිටිය හැකි අපූර්ව නිර්මාණයක් වේදිකාව මත දිග හැරෙනවා.මුඩුක්කු සමාජය හා එහි වැසියන් කෙරේ ඇති සාමාජීය මතය තුළින් ඇතිවන පූර්ව නිගමනයන් නිසා කිසිඳු වග විභාගයඉන් තොරව තරුණයා චූදිතයෙකු කරන්නට දරන තැතත්, සිය පුත්‍රයාගේ අවකල්ක්‍රියාවන්ගෙන් කිපෙන්නෙකු ක්‍රෝධය විසින් මෙහෙයවනු ලැබ නිගමනයන්ට එළඹෙන ආකාරයත් සිය පුත්‍රයාගේ දණ්ඩනය වෙනත් අයෙකු මත පැටවීමට ඔහු දරනා ප්‍රයත්නයත් එක් එක් චරිතය මගින් ඉස්මතු කොට දක්වනවා.අපට අවශ්‍ය දේ පමණක් දැකීමට පුරුදු වී සිටින අපට ඒ ගැන මතක් කර දෙන්නත් නාට්‍යකරු අමතක කරන්නේ නෑ.එක් අයෙකුගේ ජීවිතයක් ක්‍රිකට් තරඟයක් තරංවත් තවෙකෙකුට වටින්නෑ යන සාර්වත්‍ර අමිහිරි දර්ශනයයි නාට්‍යකරු අප හමුවේ දිග හරින්නේ.

අපට ප්‍රත්‍යක්ෂ ලෙස පෙනෙන දේවල්වලට විකල්ප සංකල්ප තිබිය හැකි බව අවබෝධ කර ගැනීමට රුකුල්දෙන නිර්මාණයක් ලෙස 'දොළහක්' හඳුන්වන්න පුළුවන්.

හාස්‍යය, උපහාසය, මෙන්ම උපරිම රංග ජීව ගුණයෙන් යුතු 'දොළහක්' නරඹන මෙන් මම හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා.හොඳ දෙයක් වෙනුවෙන් කඩේ ගියාට ලැජ්ජා වෙන්න දෙයක් නෑ......

6 comments:

  1. ම්ම්ම්... මේ පැත්තටත් ආවොත් බලන්නෝන ....

    ReplyDelete
  2. මාත් ඔය 12ක් කියන පෝස්ටර් එක නුගේගොඩ දිහාවේ දැක්කා. ඒත් බලන්න යන්න මොකෙක්වත් සෙට් උනේ නෑ. අපේ මලයව වත් ලෑස්ති කරගෙන බලන්ඩ යන්න ඕනා.

    ReplyDelete
  3. මං තවම හරියට විදපු නැති මාධ්‍යයක් තමයි වේදිකාව. රුපවාහිනියේ පෙන්නපු වේදිකා නාට්‍යය ඇරෙන්න තවම හැබැහින් නාට්‍යයක් බලලා නැහැ(පාසලේ,දහම්පාසලේ එව්වා ඇරුනම). හුගක් ආසාවෙන් ඉන්නේ වේදිකා නාට්‍යයක් බලන්න

    ReplyDelete
  4. @ලහිරු : නාට්‍ය ළඟට එනකං ඉන්න එපා මචං අර කතාවට කියන්නෙ කන්ද මොහොමඩ් ගාවට එන්නැත්තං මොහොමඩ්ට සිද්ද වෙනවා කන්ද ගාවට යන්න.

    @මධුරංග : කවුරුත් නැතත් කමක් නෑ.ඔය යන එන ටිකට විතරනේ වෙන එකෙක් ඕනෙ.රස විඳින්න වෙන්නෙ තනියමනෙ.

    @අංකල් මයා | Mr. Uncle : මට හම්බ උනු සිරාම කලා මාධ්‍යයක් තමයි වේදිකාව.පරක්කු කරන්න එපා.හැබැයි ඉස්සෙල්ලම හොඳ නාට්‍යයක් බලලා හිටියොත් හොඳා.ඔය චාටර් එකක් බලලා ඔක්කොම එපා කරගන්නවට වඩා.

    ReplyDelete
  5. Hi,

    Your Blog seems to be very impressive. It's very hard to find people who admire aesthetic subjects nowadays in the Uni. The uni where I teach, it's very hard to come by. Keep up the good work and live a balance life.

    All the best!

    Chandy

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...