04 January 2012

කළම්බෝ කළම්බෝ අයි ලව් යූ.........කළම්බෝ.......


'කොළඹ කියන්නෙ ලංකාවෙ තියෙන අග නගරය උනාට ලංකාවට වඩා කොළඹ ලොකුයි.ඒ කියන්නෙ ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුලෙ'.ඔන්න එතකොට ප්‍රේක්ෂකාගාරෙ ඇතුලෙ මුණු මුණුවක් යනවා.ඇත්ත නේන්නං ලංකාවට වඩා කොච්චර ලොකුද කොළඹ.හැබැයි මෙතෙන්දි කතා වෙන්නෙ කොළඹ අපි දකින සුන්දර සීනි බෝල පාවෙන ජීවිතවල ඇතුලාන්තය.ඒ කියන්නෙ ඒ ජීවිතවල ඇත්ත.වැල්ලවායෙ මිසක් වැල්ලවත්තෙ නොවන කොල්ලෙක්ගෙන්, බත්තරමුල්ලෙ මිසක් බත්තලංගුණ්ඩුවෙ නොවන කෙල්ලෙක් බලාපොරොත්තුවෙන අවිනිශ්චිත අනාගතයක් ගැන.


නාට්‍ය බලන අපි උඩ පැන පැන බඩ අල්ලගෙන හිනා වෙන්නෙ ඒ ඉන්නෙ අපිමයි කියන එක මොහොතකට අමතක කරලා.නාටකය ඇරඹෙනකොටම වේදිකාවෙ ඉන්නෙත් ප්‍රේක්ෂකාගාරෙ ඉන්න අපිමයි කියලා කිව්වට අපි කැමතියි ඒ බව පොඩ්ඩක් අමතක කරලා හිනාවෙන්න.ඒක මේ ක්‍රමයෙ හැටි.විහාරමහාදේවි පාර්ක් එකේ කොණක ලෝකෙං වහං වෙච්ච බංකුවක් හොයාගන්න බැරි වීම වහ කන්න හේතුවක් නෙමෙයි කියලා නාට්‍ය ඉවර උනාම එක එකා කතා වෙන්නෙ මේ ලෝකෙ කොච්චර පොඩි දේවල්වලට මිනිස්සු සියදිවි නසාගන්නවද කියලා අමතක කරලා.

අපිට කරන්ඩ කිසිම දෙයක් නියම කරලා නෑ කියන එක නිදහසට කාරණාවක් ද? එහෙම කියලා අපිට ගැලවීමක් තියෙනවද? ඇයි අපි ආසම කරන දේවල් අපිට හොරෙං කරන්ඩ වෙලා තියෙන්නෙ? බලෙං ඇඟේ ගහපු ටිකට් එකක් හින්දා ඔන්න ඔහේ නාට්‍යයක් බලලා ගෙදර යන ප්‍රේක්ෂකයෙකුට හිතෙන්නෙ නැති උනාට, නාට්‍යයක් නාට්‍යයක් විදිහට බලන, ඒක රස විඳින සහ ඒ ගැන කතිකාවතක් හිත ඇතුලෙ හරි ගොඩ නගන ප්‍රේක්ෂකයෙකුට ඇතිවෙන ප්‍රශ්න.'තාරුණ්‍යය' ජීවිතේ ගැන කොච්චර සරළ විදිහට හිතනවද ඒ සරළ භාවය කොච්චර නීරසද කටුකද කියලා කාට හරි තේරෙන්නෙ තමංගෙ හැසිරීම අන්‍යයෙක් තමං ඉස්සරහ ප්‍රතිරූපණය කරලා පෙන්නුවාම තමයි.ඒත් අපේ හිත් ඒක පිළිගන්න ලෑස්තිද?

දෙවෙනි දර්ශනය.බොරැල්ලේ මගී උමං මාර්ගය.ක්ලේමෝ බෝම්බ අපිට බොහොම දුර ඉතිහාසයක් වගේ දැනුනට ඒක එච්චර පරණ කතාවක් නෙමෙයි.කොහොමත් ක්ලේමෝ බෝම්බෙ ප්‍රශ්නය අපි ඉස්සරහා නිරූපණයට ආධාර වෙන එක ආධාරකයක් විතරයි.වැල්ලවායෙන් කොළඹට එන නිකමා තරුවක් වෙන සිහින ලෝකෙ සූදුවක් බව අමතක කරලා ඒක ප්‍රත්‍යක්ෂයක් කරගෙන ජීවත් වෙද්දි බත්තරමුල්ලෙ කෙල්ලටත් ඒක ප්‍රත්‍යක්ෂයක්ම වෙන එක තමයි අරුමය.ඇත්තටම අරුමයක් නෙමෙයි නේද? තරු උන්මාදය නප්පියටම නැගලා තරුවකට කියලා අහවල් එකෙත් සමරු සටහන් තියාගත්තු කෙල්ලොත් හිටපු එකේ අන්තිම දහ දෙනාටවත් කොල්ලා තේරේවි කියලා ඒ කොල්ලා මත ජීවිතේ පරදුවට තියන කෙල්ලෙක් අපිට අරුමයක් උනොත් නේද පුදුම වෙන්න ඕනෙ.


තමංගෙ සිහින ලෝකය කෑලි කෑලිවලට කැඩිලා විසිරිලා යද්දි තරුවක් වෙන්ඩ ගිය නිකමා ආයෙත් තරුවක් කරන්ඩ වලි කන කෙල්ලෙක්ට බෝම්බයක් කියන්නෙත් නිධානයක්.කොල්ලෙක්ට උගෙ නිරුවත උගේ මූණ ඉස්සරහම දිග ඇරලා පෙන්නදි කේන්ති ගියාට ඒ කොල්ලට තමං නිකමෙක් කියන යථාර්තයෙන් මිදෙන්න පුළුවන්ද?කේන්තියෙන් ඇත්ත වහන්න පුළුවන්ද?නිකමෙක් කියලා දැන දැනත් පවත්වගෙන යන්ඩ උත්සාහ කරන සමනළ ප්‍රේම ලෝකයක් ඇතුලෙ උනත් තියෙන සංස්කෘතික ඝට්ටනය එක්ක වන්ඩු ආප්පයක් අයිසිං කරන්ඩ බෑ කියලා කෙල්ලෙක්ට තේරුම් ගන්ඩ  ඔච්චරටම අමාරුද?

ලාස්ට් බස් එක කියන්නෙ තුන්වෙනි පන්තියේ රැකියාවක් කරන මිනිහෙක්ට තියෙන අන්තිම බලාපොරොත්තුව.ඒ තමයි තුන්වෙනි දර්ශනය.මේ පාර නිකමා එන්නෙ සල්ලිකාර තාත්තෙක්ගෙ නාස්තිකාර පුතෙක් විදිහට.ඒත් නිකමා අඳුනගන්න ප්‍රේක්ෂකයාට පහසුවෙන විදිහට පිටපත ලියැවිලා තියෙනවා.රෑ නිදි මරාගෙන ටාර්ගට් කවර් කරන්න මහන්සි වෙන හැබෑ මිනිහෙක්ට නිකමාගෙන් පච වෙන්න ඉඩ දෙන්න බහුතර ප්‍රේක්ෂකයින්ට හිත ඉඩ දෙන්නෙ නෑ.මොකද ගොඩක් අය ඒ විදිහට මහන්සි වෙන අය දැකලා තියෙනවා.මොකෙක් හරි සල්ලි කාරයෙක් ළඟ පච වෙනවත් දැකලා තියෙනවා.බොහොම සාම්ප්‍රධායික වාදයකින් පස්සෙ තරුණයො දෙන්නම බස් එකෙං එළියට ඇදලා දාද්දි දුකත් සතුටත් දෙකම එක පාර එන්නෙ ඒ නිසයි.වැඩට ගිය එකා උවමනාවෙන් කෙල්ලට ජැක් ගහන්න ආවා වෙන්නත් පුළුවන්.ඒත් ඒ මනුස්සයාගෙ නිදහසට ඇති හේතුව නිසා ඒ මනුස්සයට සමාව දෙන්න කෙල්ල උනත් ලෑස්තියි, ප්‍රේක්ෂකයො වගේම.ඔහුව සංසන්දනය වෙන්නෙ සල්ලිකාර නිකමෙක් එක්ක හින්දා වෙන්න ඇති.

කොල්ලගෙන් විමුක්ත වෙන කෙල්ලගේ සාමාජීය අර්බුධය වෙන මුහුණුවරක් ගන්නවා.ආරක්ෂාව.මොකෙක් හරි පුරුෂ පරාණයක් ළඟින් ඉන්න කොට තියෙන ආරක්ෂාව නෑ කියලා දැනගත්තම පරල වෙන සමාජය තමංගේ හිර කරගෙන තද කරගෙන ඉන්න ඔක්කොම ප්‍රශ්න මුදා හරින්න මේ අනාරක්ෂිත තරුණිය ලිංගික උපකරණයක් බවට පත් කර ගන්නවා.වාණිජ සමාජයක කෙල්ලෙක්ව අවලං එකෙක්ගෙන් ගලව ගන්න නාකියෙකුත් කරන්නෙ ආයෝජනයක්ය කියලා බලං ඉන්න මිනිස්සුන්ට දැනෙනවා කියලා තේරෙන්නෙ ඒ අය ඉළ ඇදෙනකන් හිනාවෙන්නෙ ඉකි ගගහා අඬන ගමන්ය කියලා දැක්කම.

අවසාන දර්ශනය.මිනී පෙට්ටි සාප්පුව.නාකි දෙන්නෙක් ට්‍රොලියක ඉඳගෙන මිනී පෙට්ටියක තීන්ත ගාන හැටි බලං හිටියට, එක නාකියෙක් ගොළු හදවත සියවෙනි හෝ දහස්වෙනි වතාවටත් කියෙව්වට, පැන්ශන් සල්ලිත් අරං අයිස් ක්‍රීම් එක දියවෙන්න කළිං ගෙදර යන්න ඕනෙ කියලා සැරින් සැරේ දෙඩෙව්වට ප්‍රේක්ෂකයා මොහොතකටවත් හිතන්නෙ නෑ මේ යන්නෙ මැරුණාමවත් නිදහසක් නැති තරුණියකගෙ සාමාජීය භාවිතය පෙන්නන්න කියලා.දර්ශනය වේදිකාවෙ යන අතරේ ප්‍රේක්ෂකාගාරේ පුරාවට ඉහින 'මිනී සෙන්ට්' එක මිනිස්සුන්ට මරණය හොඳ හැටි මතක් කරලා දෙනවා.



රංගනයේ සතර අභිනයන් ප්‍රේක්ෂකයන්ට නාට්‍ය අත් දැකීමකට එහා ගිය යමක් තිළිණ කරන්න දායක උනා.විශේෂයෙන් සාත්වික අභිනය හෙවත් මුහුණේ හැඟීම් ප්‍රකාශනය කිරීම.නාට්‍යයේ සංගීතය අති විශිෂ්ඨයි කියලා අවිවාදයෙන් ගොඩක් දෙනා එකඟ උනා.රංගධරයන්ම සජීවීව සංගීතය සපයද්දි සුපුරුදු සංගීත ඛණ්ඩ නාට්‍යයට උචිත විදිහට හැඩ ගස්වලා වර්ණ ගන්වලා තිබුණා.විශේෂයෙන්ම අවසාන දර්ශනයේ තමන්ගේ සිරුරට පහර දෙමින් නගන සංගීතය.අතිශයින්ම නාට්‍යෝචිත දර්ශනයක්.නාටකීය දර්ශනයක් අපේක්ෂා කරන්නෙක්ව අමන්දානන්දයට පත් කරන්න හැකි උත්කෘෂ්ඨ සජීවී කරණයක්.ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන්නෙ අති දක්ෂ යක්ෂයෙක්.ඇත්ත පෙන්නන්න ප්‍රේක්ෂකයාගේ කම්මුලට පහර දෙන්න මැළි නොවෙන ඇත්ත ඇති සැටියෙන් දකින සමාජ පන්නරයෙන් දැඩි වුන ආත්මීය කලා කරුවෙක්.ඉන්දික මහත්මයාණෙනි, ඔබට ස්තූතියි.

නාට්‍යයේ අවශේෂ චරිත මඟින් ප්‍රේක්ෂකයාගේ භාවයන්ගේ සංක්‍රමණය වේගවත් කළායැයි හැඟේ.එහිදී මල්වඩම රැගත් මහල්ලා අවිනිශ්චිතතාවයත්, ගොළුහදවත කියවන මහල්ලා නොවියකෙන අපේක්ෂාවනුත් නිරූපණය කළා යැයි සිතමි.විශේෂයෙන්ම ප්‍රධාන ස්ත්‍රී චරිතය නිරූපණය කරන අනසුයා සුබසිංහ පිළිබඳව සඳහන් කළ යුතුය.ඇය නිළියන් ලෙස රඟපාන්නියන් අතර නිළියකි.

හතරවන වතාවටත් කළම්බෝ නැරඹූ ප්‍රේක්ෂකයෙකුගේ අදහසක් පමණි.බොහොමයක් කලා මාධ්‍යයන් තුළින් වින්දනය සොයා ගොස් වේදිකාවෙන් යමක් අහුලා ගත් නාට්‍ය රසිකයෙක් ලෙස මා දුටු කළම්බෝ මෙසේ ලියා දැක්වීමි.


10 comments:

  1. කලම්බො කලම්බෝ.... නියමයි මචං... ආයෙමත් මට නාට්‍යය කෑල්ලෙන් කෑල්ල මතක් වුණා. උඹ නම් 4 පාරක් බලල. මම තවම දෙවෙනි පාර බලන්න කෑදරකමින්... පලවෙනි පාර බලල කැරකුන කැරකිල්ල නැවතුනේ නාට්‍යයයි මම විඳපු වෙනත් අත්දැකීම් ටිකකුයි එකතු වුණ වෙනම පෝස්ට් එකකින්.. ඒකට දැන්වීමක් දාල යන්නම් හොඳටම අදාල නිසා...

    http://living.hartstuff.com/2011/05/blog-post_11.html

    ReplyDelete
  2. මම කැම්පස් එකේ ඉන්න දවස්වල ඔය නාට්ටිය බැලුවා. අපේ කැම්පස් එකේ 'වලට' ඔය වටින කියන නාට්ටි සේරම පෙන්නනවා. ඒ නිස අඩු ගානට හොද නාට්ටි බලන්න පුලුවන්.

    ReplyDelete
  3. munata kiyanne..wichaaraya neerasai...but love u macho

    ReplyDelete
  4. මතකය අවදි කළ ලිපියට ස්තූතිය..
    මෙන්න මගේ අදහස...
    http://thapasgekoloma.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete
  5. විචාරයක්...හ්ම්..විවේචනාත්මක විචාරයක්ද? කොහොම උනත් නියමයි..කියවන්න කැමති හිතෙන විදිහට ලියනවා..අදහස් සරල නැතුවමත්ම නෙමෙයි..හැබැයි ගැඹුරුයි.....

    ReplyDelete
  6. කැම්පස් එකේදී එක පාරක් බැලුවා. තව පාරක් බලන්න ආසයි. ඊට පස්සේ කියන්නම් මොකක්ද හිතෙන්නේ කියලා

    ReplyDelete
  7. @hare :-) : උඹේ පෝස්ට් එක කියෙව්වා මචං.ආතල්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති නාට්‍යයක් තමයි.ආයෙ සෙට් උනොත් ආයෙත් බලනවා.


    @මධුරංග : අපිට ඉතිං වලක් නෑනෙ.ඒ අතිං උඹලා කොච්චර වාසනාවන්තද? ඉරිසියයි යකෝ......

    @chaveen sanka : මොනා කරන්නද මචං පුළුවං විදිහටනෙ ලියන්නෙ.ඉස්තූතියි කියවනවට.

    @තපස් : එළ එළ.ඔබේ ලිපියද කියෙව්වෙමි.සිරාය.

    @චමින්ද ගුණරත්න : බොහොම ඉස්තූතියි සහෝදරයා.

    @Hasitha : කොච්චර බැලුවත් හැමපාරම මාව අන්ද මන්ද උනා.බලන්ඩ බලන්ඩ.

    ReplyDelete
  8. නොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.

    ඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.

    නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.

    http://www.sinlix.org/info/free_domain_hosting.html

    ReplyDelete
  9. naattiyak kiyaa nodena kiyawaa hota patalawa gaththata samaa wenna...man hithuwe thamusege wicharayak kiyala colombo gena...therune nethi kamata neerasa denunemi..ayeth kiyewwemi naattiyak gena kiya..ethakota theruni..but comment delete karanna pamaaya..dena dena kewama rasawathya

    ReplyDelete
  10. මම මෑත කාලයේ ලංකාවේ නාට්‍යයක් කියලා බැලුව එකම එක. කොටින්ම කියනවා නම් එතන හිටපු කොම්පැනි එකයි නාට්යයේ අතරයි දෝලනය වුනා මම කාලයක්ම. ලංකාවෙන් ඈත ජීවත් වෙන හින්දා මේ වගේ අවස්තා නිතර මුන නොගැහෙන නිසාත් මා අත්දැකීමෙන් විඳලා නැති නිසාත් මාත් හිතා හිටියේ අනිත් අය කියනව වගේ ලංකාව කියන්නේ කලාවක් නැති රටක් කියලා. ඒත් බලපු එකම නාට්‍යයෙන් ඒක වෙනස් වෙලා මම ආනන්දයට පත් වුනා.

    i love you colombo....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...