21 January 2013

දීපිකා පදුකෝන්ට ප්‍රියංකා චොප්‍රාගෙන් පා පහරක්....

  

මම එහෙමට කියලා හින්දි චිත්තරපටි බලන්නේ නැත.කොහොමත් දහයක් බැලුවත් එකක් බැලුවත් ගොඩක් වෙලාවට එකය.ඒ උනත් සිංහල චිත්තරපටිවලට වඩා දාස් ගුණයක් හොඳ නිසා ඉඳ හිටලා එකක් දෙකක් බලනවා ය.වැඩිපුරම නොබලන්ඩ හෙතුව මේවා අම්බානකට දිග වෙච්ච එකය.පැය දෙකහමාරක් කට ඇරගෙන බලං ඉඳලා ගන්ඩ ලබ්බක් නැත්තං ලැපත් පොළවේ ගහන්ඩ හිතෙන හින්දා බලන්නේ කට්ටියගෙන් අහලා බලලා හොයලා තෝරලා ය.

කට්ටියගෙන් අහලා බැලුවත් මගේ අදහස් අනිත් උංගේ අදහස්වලින් වෙනස් වෙන්ඩ පුළුවං නිසා අපරාදේ කාලය නාස්ති කරන්ඩ සිද්ද වෙච්ච අවස්ථාද එමටය.ඉන්දියාවේ උන්ට අපේ රටේ උන්ට විතරක් නෙමෙයි මුළු ලොකෙටම බොලිවුඩ් කිව්වොත් ශාරුක් ඛාන් කියන එකා නැත්තං වැඩක් නෑ වගේය කතා කරන්නේ.ශාරුක් නැති බොලිවුඩ් එක උං කියන විදිහට අස්සයා මැරිච්ච කව්බොයි වගේ තේරුමක් නැති මෙව්වා එකකි.ඇත්තය ඒකා දස්සයාය.ඒ උනාට ඌ හැමදාම කරන්නේ එකම චරිතය ය.ඕනෑම එකෙක් අවුරුදු විස්සක් විතර එකම දේ කරගෙන යනකොට ඌ ඒ කාර්යයේ කෙළ පැමිණෙනවාය.ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගූන්‍යය කියන්නේ ඒකට වෙන්ඩ ඇතිය.ශාරුක් අයියා ඉස්සර ඉන්දියාවේ තේමා චිත්‍රපටි වෙච්ච දුෂ්ඨයා වීරයා සහ පෙම්වතිය චිත්තරපටිවල ද රඟ පාලා පස්සේ 'කුච් කුච් හෝතාහේ' එක්ක ඇරඹිච්ච ගෙවල් ඇතුලේ ජිල් බෝල සයිස් ප්‍රශ්න ජම්බෝල කරලා අපිට පෙන්නන චිත්තර පටිවල දුක්ඛිත පෙම්වතාගේ චරිතය කරන්ඩ පටං ගත්තේය.උගේ පරණ චිත්තරපටි එකකුත් අළුත් චිත්තරපටි එකකුත් බැලුවාම ඔබ ශාරුක්ව දන්නවා වෙනවාය.

මට අල්ලලා ගියේ අමීර් ඛාන් කියන හාදයා ය.මිනිහාත් අර පරණ චිත්තර පටිවල වීර චරිතේ කරලා සංක්‍රාන්තියෙං පස්සේ විසාල පරාසයක චරිතවල රඟපෑවේය.ත්‍රී ඉඩියට්ස් එකේ අමීර් ඛාන් ගජිනි එකේ නැති අතර ලගාන් එකේ අමීර් ඛාන් මංගල් පාණ්ඩේ එකේ නැත.ඉතිං මට ඒ හාදයාව හිතට ඇල්ලුවේය.

හොලිවුඩ් තරු ගැන මම වැඩිය දන්නේ නැත.ඒ මම චිත්තරපටිය පටං ගන්නකොට දාන නම් ටික බලන්නේ නැති හින්දාය.ඉවර වෙනකොට දාන නම් ටික බලන්නේද නැත.ඒ කෙසේ වෙතත් 'ජොනි ඩෙප්' කියන හාදයා සිරාය, එළැය, පස්ටය.පොරගේ 'පයිරට්ස් ඔෆ් ද කැරිබියන් හෙවත් කැරිබියන්වල මුහුදු කොල්ලකාරයෝ' එකේ රංගනයට වෙනස්ම මෙව්වා එකක් 'එඩ්වඩ් ද සිසර් හෑන්ඩ්ස් හෙවත් එඩ්වඩ් හෙවත් අත් කතුරා' චිත්තර පටියේ ඇත.'ෆ්‍රොම් හෙල් හෙවත් අපායෙන්' චිත්තරපටියේ එකට වෙනස්ම චරිතයක් 'චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි හෙවත් චාලි සහ චොකලට් කර්මාන්ත සාලාව' එකේ කොරනවාය.අනිත් හාදයා 'ලියනාඩෝ ඩිකැප්‍රියෝ' ය.මිනිහාගේ චිත්තරපටි මට ඔක්කොම වගේ මතක නැති උනත් 'J. එඩ්ගාර් හෙවත් CIA හි කතාව', 'ඉන්සෙප්ශන් හෙවත් හීන කතාව', 'ශටර් අයිලන්ඩ් හෙවත් පිස්සු කතාව', 'කැච් මී ඉෆ් යූ කැන් හෙවත් පුළුවන්නං අල්ලපං', වගේම 'ටයිටැනික් හෙවත් ඒකත් ගිලුනා' චිත්තරපටිවල රඟපෑව එකිනෙකට වෙනස් චරිත වගේම රංගනයේ ප්‍රතිභාව, රංගනයේ ස්වභාවික බව මේ හාදයත් මට හිතට අල්ලන්ඩ හේතුවක් උනා.



ඉතිං ඔන්න බොලිවුඩ් නිළියො ගැන කතාවට එමුකෝ.මම ගෑනුංගේ ලස්සන අගේ කොරන මනුස්සයා තමා.ඒ උනත් නිළියකට කැමති වෙද්දි බොලව් රඟ පාන එක ගැන එපායැ හිතන්ඩ.නැද්ද මං අහන්නේ.දැං ඔය ලංකාවේ මම කැමතිම නිළිය දුලීකා මාරපන අක්කා උනාට කවදාවත් උන්දෑ ජනප්‍රියම නිළිය වෙන්නෑනේ.මම කැමතිම නළුවා මහේන්ද්‍ර පෙරේරා උනාට රංජන් රාමනායකනේ ජනප්‍රියම නළුවා වෙන්නේ.මට බෑ අයියෝ......මට දුකයි....ඇඬෙනවා හයියෝ............

ඔන්න දැං දෙවෙනි පාරටත් බොලිවුඩ් නිළියො ගැන කතාවට එනවා.මට අල්ලලා ගියපු නිළිය තමයි 'දීපිකා පදුකෝන්' අක්කි.අක්කා හැඩයි තමයි ඒ වගේම රඟපෑමත් පස්ටයි.'කාර්තික් කෝලිං කාර්තික් හෙවත් ඌ ඌටම කෝල් කරනවා' චිත්‍රපටියේ දීපිකා අක්කි දෙනව ඇක්ටිං පාර මට පුටුව උඩ නැගලා විසිල් පාරක් ගහන්ඩ හිතුනා ඉන්දියාවට ඇහෙන්ඩ.ඔන්න ඉතිං දීපිකා අක්කිට දිනුක ජයකොඩි අනුස්මරණ අභියොගතා රංගන තරගාවලියේ හොඳම නිළිය කුසලානේ දීලා තිබ්බේ.එතකොට තමයි මට අහු උනේ 'බර්ෆි හෙවත් ගොලු කොල්ලා' චිත්තරපටිය.හෆොයි දෙයියනේ මම මුළිං හිතුවේ ඔටිස්ම් ඇත්තටම තියෙන කෙල්ලෙක් අරගෙන රඟපාවන්ඩ ඇති කියලා.චිත්තරපටිය ඉවර වෙලා ඇති වෙච්ච පසු කම්පනයට ස්ක්‍රීන් එක දිහාම බලං ඉද්දි තමයි ජිල්මිල්ට රඟපෑවේ ප්‍රියංකා චොප්‍රා කියලා දැක්කේ.මම පුටුවෙං වැටුනා.මගේ හද මන්දිරේ දීපිකා අක්කි වාඩිවෙලා උන්නු තැනට ආව ප්‍රියංකා අක්කි දීපිකාගෙ බෙල්ලෙං අල්ලලා උස්සලා පස්සට පයින් පාරක් දුන්නා අට ඉස්බක් දුරට විසික්කා වෙලා යන්ඩ.දැන් මගේ හදමන්දිරේ ඉන්නේ ප්‍රියංකා අක්කි තමයි (මගේ පවුලත් ඉන්නවා ඈ....ඕක කිව්වේ නැත්තං චිත්තරපටි බැලිල්ලත් හමාරයි ).

මගේ කතාව මෙයින් අවසානයි බලා සිති ඔබ සැමට ඉස්තූතියි!!!

ප.ලි. බලලා නැත්තං බර්ෆි බලන්ඩ ඈ........බලලා නං ආයේ බලන්ඩ ඈ............




06 January 2013

වැදගත් විශය 15 ( Sex Education in Sinhala )


හරි අදත් උපත්පාලන ක්‍රමවලින් වැදගත් කීපයක් ගැන කතා කරමු නේද?.

අහලා තියෙනවද නෝ ප්ලාන්ට් එහෙම නැත්තං අතේ තැන්පත් කරන උපත්පාලන කූරු ගැන? නෝප්ලාන්ට් කියන්නේ ඒකේ වෙළඳ නාමයක්.ඒ වෙළඳ නාමය යටතේ ආව නිශ්පාදනයේ කූරු 6ක් අඩංගු උනා.මේ කූරු හයම අතේ උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරනවා.ඒ කූරුවල ඇති ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය ඉතා කුඩා මාත්‍රාවකින් ශරීරයට නිකුත් වෙලා ඩිම්බ මෝචනය වැළැක්වීම සහ ගැබ්ගෙල ශුක්‍රාණුවලට ගමන් කිරීමට නුසුදුසුභාවයට පත් කිරීම හරහා උපත් පාලනය සිද්ද කරවනවා.කූරු හයක් සහිතව වෙළඳපොලට ආව නෝප්ලාන්ට් දැන් භාවිතා වෙන්නේ නෑ.දැන් ප්‍රචලිතම වෙළඳනාමය තමයි 'ජඩෙල්' කියන්නේ. ජඩෙල්වල තියෙන්නේ කූරු දෙකක් විතරයි.මේ කූරු බොහොම නම්‍යශීලී ඒවා නිසා කිසිම අපහසුවක් දැනෙන්නේ නෑ.ඒ වගේම මේවා තැන්පත් කිරීමේදී අදාල ප්‍රදේශය හිරිවැට්ටීමට ලක් කරන නිසා වේදනාව පිළිබඳ ගැටළුවක් ඇති වෙන්නෙත් නෑ.

ඇඟිලි දෙක මැදින් අතේ හමට යටින් තියෙන පුංචි කූර පේනවද?


දැනට තියෙන උපත්පාලන ක්‍රම අතරින් ආරක්ෂිතම ක්‍රමයක් විදිහට ජඩෙල් හඳුන්වන්න පුළුවන්.ඒක ගැබ් ගැනීමකට එරෙහිව 99.9%ක් පමණ ආරක්ෂාවක් ලබා දෙනවා.මෙය ගර්භාශයේ සහ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරනවා වගේම ඔසප් වීමේදී වේදනාව ඇතිකරවන එන්ඩොමෙට්‍රියෝසිස් නම් තත්ත්වයට ප්‍රථිකර්මයක් විදිහටත් යොදාගන්ඩ පුළුවන්.නමුත් මේත් එක්ක ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් වීම සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්.ඔසප් වීම නැවතුනා කියලා ශරීරයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ.ඒ නිසා ඒ ගැනනම් බය වෙන්ඩ ඕනේ නෑ.ඒ වගේම මේ ක්‍රමයෙදිත් ආහාර රුචිය වැඩි වීම නිසා මහත් වීම සිද්ධ වෙන්ඩ පුළුවං.කෑම පාලනය සහ ව්‍යායාම මඟින් ඒ තත්ත්වය පාලනය කර ගන්ඩ හැකියාව තියෙනවා.මේක අවුරුදු පහක් ක්‍රියාත්මක වෙනවා.පෙති ගන්නවා වගේ දවස ගානේ ගන්ඩ සිද්ධ නොවීම මේකේ තවත් වාසියක්.ඒ වගේම මේක අවශ්‍ය වෙලාවකදි ඉවත් කර ගත්තම බොහොම කෙටි කාලෙකින් නැවත් ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

මේකේ මිලනම් ටිකක් වැඩියි.රුපියල් 6000ක් විතර වෙනවා.ඒ වගේම තැන්පත් කරගන්ඩත් තව 2000ක් විතර ගියොත් ඔක්කෝටම රු.8000ක් විතර යනවා.නමුත් මේක අවුරුදු පහක් ක්‍රියාත්මක නිසා සතියක වියදම රුපියල් 30ක් වගේ ගාණක් වෙන්නේ.සතියකට තුන් පාරක් ලිංගිකව එක්වෙන දෙන්නෙකුට කොන්ඩම්වලට යන වියදමම තමයි ජඩෙල් එකක් දැම්මත් යන්නේ.






ජඩෙල් ගැන අහලා නැති උනාට ලූප් ගැනනම් කවුරුත් වගේ අහලා ඇති කියලා හිතනවා.ලූපය එහෙම නැත්තං IUCD කියන්නේ ගර්භාශය ඇතුලේ තැන්පත් කරන පුංචි ප්ලාස්ටික් කෑල්ලක්.මේ වගේ බාහිර ද්‍රව්‍යයක් තියෙන කොට ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන ප්‍රතික්‍රියා නිසා ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ නෑ.ඉස්සර විවිධ හැඩතලවල ලූප් භාවිතා කළාට දැන් බහුලව භාවිතා කරන්නේ 'T' අකුරක හැඩය ගත්තු ලූප්.

විවිධ හැඩවලින් යුක්ත ලූප්


ලංකාවේ බහුලවම භාවිතා වෙන්නේ 'කොපර් T' කියන ලූපය.මේකේ ප්ලාස්ටික් කෑල්ලේ තඹ කම්බියක් ඔතලා තියෙනවා.මේ තඹවලට තියෙනවා ශුක්‍රාණු වගේම ඩිම්බත් විනාශ කිරීමේ හැකියාවක්.මේ කොපර් T කියන ලූපය රුපියල් 400ක් විතර තමයි වෙන්නේ.ඒ වගේම රජයේ රෝහල්වලින් සහ පවුල් සැලසුම් සායනවලින් මේක නොමිලේ ලබා දෙනවා වගේම තැන්පත් කරලත් දෙනවා.කොපර් T එකක් සාමාන්‍යයෙන් අවුරුදු දහයක් වගේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්ඩ පුළුවං.ඒ වගේම මේක ඉවත් කරපු ගමන් නැවත ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.ගැටළුවක් විදිහට මම දකින්නේ සමහරුන්ට තමන් ලූපයක් දාගෙන ඉන්නේ කියලා අමතක වෙන එක.ඒකෙ ඉතිං ලොකු ගැටළුවක් නෑ.නමුත් වැඩිපුර ඔසප් රුධිරය පිට වීම නම් ඇතිවෙන්ඩ පුළුවන්.ඒකත් ටික දවසකින් සාමාන්‍ය තත්ත්වයට හැරෙන්ඩ පුළුවන්.ඒ වගේම මේකේ හෝමෝන අඩංගු නැති නිසා මහත් වෙන්ඩ තියෙන හැකියාවත් අඩුයි.

කොපර් T ලූපය

මේක ගර්භාශයට ඇතුල් කරන්නේ ඒ සඳහා පුහුණුව ලබපු තැනැත්තෙකු විසින්.ඒ සඳහා මිනිත්තු පහක් දහයක් වගේ බොහොම සුළු කාලයක් තමයි ගත වෙන්නේ.ලූපය දැම්මට පස්සේ ගර්භාශයේ ඉඳං ගැබ්ගෙල හරහා යෝනි මාර්ගය ඇතුලට පුංචි නූලක් පැමිණ තියෙනවා දකින්න පුළුවන්.මේ නූල එළියට පේන්නේ නෑ.තමන්ටම යෝනි මාර්ගයට ඇඟිල්ල දාලා පරීක්ෂා කරලා බලන්ඩ පුළුවන්.ඉඳලා හිටලා එහෙම පරීක්ෂා කරලා බලන එක හොඳයි.මොකද කළාතුරකින් ලූපය ඉවතට හැලෙන්න පුළුවන්.එහෙම උනොත් උපත් පාලනය සිද්ධ වෙන්නෙ නෑනේ.ඒ නිසා විශේෂයෙන් ඔසප් වීමෙන් පස්සේ නූල යෝනි මාර්ගය තුල අහුවෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක හොඳයි.ඒ වගේම කියන්ඩ ඕනෙ දෙයක් තමයි මේ ලූපය නිසා ලිංගික කාර්යට කිසිම බාදාවක් වෙන්නේ නෑ.




තවත් වැදි දියුණු කළ ලූප් වර්ගයක් තමයි මිරේනා කියන වෙළඳ නාමය යටතේ එන්නේ.මේ ලූපයේ තඹ අඩංගු වෙන්නේ නැති උනාට දවසකට ඉතාම කුඩා ප්‍රමාණයකින් ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය නිදහස් කරන්ඩ හැකියාවක් තියෙනවා.ඒ හෝමෝන ගර්භාශය මත සෘජුවම ක්‍රියා කරන හින්දා ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට හෝමෝනයෙන් වෙන බලපෑම ඉතාම අඩුයි.මිරේනා එකක් අවුරුදු පහක් පාවිච්චි කරන්ඩ පුළුවන්.මේක එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේදී ඇතිවෙන වේදනාව වගේම ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම පාලනය කරන්ඩත් ප්‍රථිකර්මයක් විදිහට බාවිතා කරන්ඩ පුළුවන්.මේකේ අතුරු අබාධ අඩු නිසාම ගාණ නම් ටිකක් සැරයි.මිරේනා එකක් සාමාන්‍යයෙන් රුපියල් 25000-27000ක් විතර වෙනවා.ඒත් ඉතින් ගන්ඩ පුළුවන්නම් ගොඩක් හොඳ උපත් පාලන ක්‍රමයක්.අනිත් හැම අතින්ම වගේ කොපර් T එකට සමානයි.

මිරේනා



ඔන්න දැං තමයි වැදගත්ම එක ගැන කියන්ඩ යන්නේ.හොඳට කියවලා මතක තියාගන්ඩ ඕනේ මේක ගැන නම්.

අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකින් පස්සේ, ඒ කියන්නේ කිසිම උපත්පාලන ක්‍රමයක් අනුගමනය නොකර හදිසි තීරණ මත සිද්දවෙන ලිංගික ක්‍රියාවකට පස්සේ මොනවද කරන්ඩ පුළුවං??


මේකට ගන්ඩ පුළුවං ආරක්ෂක ක්‍රම කිහිපයක් තියෙනවා.එකක් තමයි 'ප්‍රොස්ටිනෝර්-2' කියන්නේ.මේ කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් පැවැත්තුවට පස්සේ ගැබ් ගැනීම වලක්වන්ඩ ගන්නා පෙති වර්ගයක්.මේකෙන් ගබ්සා වීමක් නම් සිද්ධ වෙන්නේ නෑ.ඒක හින්දා තමුන් ගැබ් ගත්තට පස්සේ මේක බොන්න යන්න එපා.ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම් වගේම ජීවිතේටත් ලොකු තර්ජනයක්.ඒ නිසා ගබ්සාවක් දක්වා යන්ඩ කලින් ගැබ් ගැනීම වලක්වා ගත්තොත් හොඳයිනේ.අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකට පස්සේ චුට්ට වෙලාවකින් කට්ටියට තාර්කික ශක්තිය ලැබෙනවනේ.එතකොට තමයි දැං මොකද කරන්නේ කියලා කම්පා වෙන්ඩ පටං ගන්නේ.ඒ නිසා හොඳම දේ තමයි හදිස්සි නොවී හැම තිස්සේම ලිංගික සම්බන්ධයක් මනා සැලැස්මක් සහිතව පවත්වන එක.උදාහරණයක් විදිහට බැඳපු දෙන්නෙක් නම් අසල්වැසියන්ගෙන් නෑදෑයින්ගෙන් වගේම ළමයින්ගෙනුත් කරදරයක් නැති නිදහස් තමුන්ගෙම කියලා වෙලාවක් කළිං ඉඳං සැලසුම් කරගෙන හොඳ උත්තේජනයක් යටතේ එකතු වෙනවානම් උපත් පාලන ක්‍රමය අමතක වෙන්නේ නෑනේ.නොබැඳපු දෙන්නෙක් නම් ඒකත් කාටවත් අහු නොවෙන තැනක් කළිං සැලසුම් කරගෙන වෙලාවක් වෙන් කරගෙන එහෙම ලෑස්ති වෙනවා නම් උපත්පාලන ක්‍රමයක් අමතක වෙන්නේ නෑනේ.

හරි ඔන්න නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිද්ධ උනා කියමුකෝ.එතකොට තමයි මේ ප්‍රොස්ටිනෝර්-2 කියන පෙති පාවිච්චි කරන්ඩ ඕනෙ.මේ පෙති පැකට්ටුවක තියෙන්නේ පෙති දෙකක් විතරයි.ලිංගික සම්බන්ධතාවයෙන් පස්සේ හැකිතරම් ඉක්මනට එක පෙත්තක් ගන්ඩ ඕනේ.පරක්කු වෙන්ඩ වෙන්ඩ මේ පෙත්තෙන් ලැබිය හැකි ආරක්ෂාව අඩු වෙනවා.පැය 72ක් ඒ කියන්නේ දවස් තුනක් ඇතුලත ගත්තොත් ප්‍රථිපලය හොඳයි.පැය 24ක් ඇතුලත ගන්ඩ පුළුවන්නම් ප්‍රථිපලය වඩාත් හොඳයි.ඊටත් පරක්කු වෙන්ඩ වෙන්ඩ ප්‍රථිපලය අඩු වෙලා යනවා.හැකි ඉක්මනින් එක පෙත්තක් අරගෙන පැය 12කට පස්සේ අනිත් පෙත්ත ගැනීම හෝ පෙති දෙකම එකවර අර ගැනීම හෝ කරන්ඩ පුළුවන්.

පෙත්තක් අරගෙන පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් නැවත පෙත්තක් අරගන්ඩ ඕනේ.පෙති දෙකම ගත්තු වෙලාවක පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් පෙති දෙකක්ම ආපහු ගන්ඩ ඕනේ.

ප්‍රොස්ටිනෝර්-1 කියලත් පෙති ජාතියක් තියෙනවා.ඒකේ තියෙන්නේ පෙති එකයි.හැකි ඉක්මනින් ඒ පෙත්ත ගන්න එක තමයි කරන්ඩ තියෙන්නේ.එහෙම නැත්තං මිතුරි පෙති පැකට් එකක් අරගෙන ඒකේ කහ පාට පෙතිවලින් හතරක් හැකි ඉක්මනින් අරගෙන පැය දොළහකට පස්සේ තවත් හතරක් අරගන්න එකත් කරන්ඩ පුළුවං.


මෙතනදි මතක තියාගන්ඩ ඕනේ දේ තමයි මේක දිගින් දිගටම උපත් පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්ඩ හොඳ නෑ.මොකද මේකෙදි හෝමෝන විශාල ප්‍රමාණයක් සිරුරට මුදා හැරෙනවා.ඒකෙන් ඇතිවන අතුරුඵල එච්චර හොඳ නෑ.හැම දෙයක්ම එහෙමයිනේ.සීනි ටිකක් කෑවම රසයි ඇඟට හොඳ ශක්තිය ලබා දෙන දෙයක් උනාට සීනි ගොඩ ගොඩ ගොඩක් කල් කෑවොත් දියවැඩියාව හැදෙන්ඩ ඉඩ තියෙනවා වගේ මේකත් එහෙමම තමයි.

තවත් ක්‍රමයක් තමයි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පස්සේ ඉක්මනින්ම ගිහිල්ලා ඒ වෙනකොටත් ගර්භනී නොවන බව තහවුරු කරගෙන ලූපයක් දාගන්ඩ පුලුවන්.ඒකෙන් ඒ වෙලාවේ ගැබ් ගැනීම නවතිනවා වගේම ඉස්සරහටත් ආරක්ෂාවක් ලබා දෙනවනේ.ප්‍රොස්ටිනෝර් ගත්තත් වෙනත් උපත් පාලන ක්‍රමයකට යන එක තමයි හොඳ.

ප්‍රොස්ටිනෝර්-1 පෙත්තක් රුපියල් 150ක් විතර වෙනවා.ප්‍රොස්ටිනෝර්-2 පෙති දෙකක් තියෙන පැකට් එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ.මිතුරි පැකට් එකක් රුපියක් 100ක් විතර උනාට රජයේ තැන්වලින් ගොඩක් අඩු මිලට ගන්ඩ පුළුවන්.




28 December 2012

අපිටත් ජොගිං ට්‍රැක් එකක්




විභාගය නිමා වීමේ ප්‍රීතියෙන් උද්දාමව කේවට්ටයා ජයගත් මහෞෂධයා මෙන් විජයග්‍රාහීව ගෙදර ආවෙමි.ගෙදර මිදුලට එද්දීම මොකක් නමුත් අවුලක් ඇති බව දැනුනේ නාසයටය.වසර ගණනාවකින් විඳ නුපුරුදු මිහිරි සුවඳ රැසක් කළවම් වී පොරකමින් මගේ නාසයෙන් ඇතුළුව මොළයේ විවිධ මතක උත්තේජනය කරන්නට යෙදුනේය.මම විජිතපුර ජයගෙන එන වේළුසුමනයා මෙන් එක් උරකින් ලැපත් අනි උරෙන් ඇඳුම් බෑගයත් රැගෙන දකුණු පය පෙරට තබා ගෙට ඇතුළු වීමි.

'කෑවනේ.කෑවනේ බූරුවා..........දුවේ මං උඹට කිව්වේ මේ උඹේ පොඩි එකාගේ මොළේ අඩුයි කියලා.එහෙව් උංවනේ ඉතිං විස්ස විජ්ජාලවලට තේරෙන්නේ.බලපං මගේ මේ තුනටියේ අමාරුවත් තියාගෙන පොලිස් කොරාපු බිම මේකා මේ මඩ සෙරෙප්පු දෙක දාං ඇවිත් ජරා කොළානෙව.' ආච්චිගේ ගෝරනාඩුව හමුවේ මම නැවතත් එළියට වීසි වීමි.

අම්මා කුස්සියේ ඉඳ ඇඳගෙන සිටි රෙද්දේ අත පිහදාමින් ආවාය.

'අම්මේ ඕකට කියලම ආයෙත් සුද්ද කොරවගන්ඩ.මම යනවා කුස්සියට කැවුම් ගෙඩිය රොස් වෙනවා.ඕකා කොහොමත් රටක් ආගමක් ජාතියක් ගැන කැක්කුමක් ඇති එකෙක් යෑ....'

බොලේ මේ එකෙකුටවත් මගේ විභාගේ ගැන අහන්ඩ කැක්කුමක් නැති හැටි අම්මපා ඇත්තට උඹ කාලද තේ එකක් හදන්ඩ ද කියලවත් අහපු නැති හැටි.ඇත්තමයි ආපහු යනවා හොස්ටල් එකට.ඒ උනත් හොස්ටල් එකේ ඉඳලා කරන්ඩ වැඩක් නැති හින්දාත් අතේ වියදමට සත පහක්වත් නැති හින්දාත් මම මේ ගැරහුම් මධ්‍යයේ ක්ෂාන්තිවාදී තවුසා මෙන් උපේක්ෂාවෙන් සියල්ල ඉවසා දරා සිටීමට තීරණය කර ගතිමි.

හොස්ටල් එකට, මරදානට, පුංචිබොරැල්ලට, වැසිකිළියට ආදී සෑම තැනකටම මා නොහැර මාත් සමගම ආ ගිය මගේ සෙරෙප්පු කුට්ටම එළියේ ගලවා තබා මම ගෙට ඇතුලු වීමි.අම්මා ගහයි හොකී පිත්තෙං කිව්වාලු ය.ගෙදර සුර විමනක් වගේ සරසලා ය.එද්මොන් දාන්තේගේ මොන්තක්‍රිස්තෝවේ ලෙන් ගුහාව වගේ මන්මත් කරවන සුළු යැ.නේත්‍ර පිනවන වර්ණාලේපිත යැ.මදය නැති මගේ පරණ ඩෙස්ක්ටොප් පරිගණකය අන්දවා සරසා අළුත්ම පරිගණක මේසයක් මත නැගැගෙන සාලයෙ එක් කොණකය.තවත් කොණක ඇඟ කෙට්ටු කරවන ටෙලිවිශනයේ විකුණන ඇබ්කිං ප්‍රෝ එකක් ය.ඒකත් එක්කම ආච්චී ඇඳ සිටි රෙද්දත් හැට්ටයත් අතරින් දැක පුරුදු එල්ලා වැටෙන බඩ වෙනුවට පැකැට්ටු හයේ බඩක් හෙවත් සික්ස් පැක් දැක මම විශ්මයෙන් භ්‍රාන්ත වීමි.


ආච්චිගේ මූණත් ටිකක් එළිය වැටී ඇති බවද මම දැක බලා ගතිමි.මේ අවස්ථාවේ අදහස් දැක්වීම නුවණට හුරු නැත.සික්ස් පැක් එක්ක ආච්චිගේ බයිසෙප්ස් ද හැදී ඇතුවා නිසැකය.නිකං දත් කඩා ගන්නවාට වඩා විමර්ශනය කොට අවබෝධයෙන් කටයුතු කිරීම මැනැවැයි සිතා ගෙන මම කාමරයට ඇතුල් වීමි.


කාමරයට දෙයියංගේම පිහිටය.අහෝ මගේ සමාජවාදී පොත් ටික ඔක්කෝම අතුරුදහන් වෙලාය.පොත් මේසයේ තිබූ කොවූර් මහත්තයාගේ පොත් දෙක ඉවත් කොට එතැන බණපොත් ගොඩ ගහලාය.පහුගිය සතියක උදළු ගාන්නට තරම් තත්ත්වයක තිබූ කාමරය දැං බිම බත් දාගෙන කන්ඩ හිතෙන තරමට අස් පස් කරලා සුද්ද පවිත්‍ර කරලාය.හොඳ දේවල නිකං නොලැබෙන බව සිතා මම හිත හදාගතිමි.

ගෙදර උං මේ ලැස්ති වන්නේ මොන ආකාරයේ මගඩියකට දැයි මට හිතා ගන්නට බැරිය.මේ මගේ කසාදයට ලෑස්ති වෙනවානම් වෙන්නට බැරිය.එහෙම උනානං මාව මෙච්චර නොසලකා හරින්නේ නැත.ටික වේලාවක් කාමරයේ සිරි නරඹා ඇඳුම් ගලවා ජාතික ඇඳුම නොහොත් සරමට බැස සාලයට ගිය විට දුටු දසුනින් මගේ හෘදය මොහොතකට නතර විය.මේ දකින සියල්ල එක්කොට ගංජා ගැසූවෙකුගේ සිහින කියා හෝ දිනුකගේ විශ්මලන්තය කියා පොතක් පල කිරීමට උවත් හැකිය.අම්මාත් ආච්චීත් දෙන්නාම සාලයේ එක්කෙනෙක් සීයාගේ හාන්සි පුටුවේත් අනෙකා සැටියේත් දිගාවී සිටිති.මූනේ කිරිද යෝගට් ද කොහෙද උලලා ය.ඇස්වල පිපිඤ්ඤා පෙති තියලාය.අබුද්දස්ස කාලේන කජ්ජේන පුහුලං කිව්වාලු ය.ඒ මදිවාට දෙන්නාම කෙහෙවලු වටා යෝධ තුවායක් බැගින්ද ඔතා ඇත.මිනිස්සු වැඩට ගිය කල්හී නුගසෙවන ඈ වැඩසටහන් නරඹා සිදුවන විපරීතයන් මේවායැයි මට සිතුනි.


'අම්මේ'

මම පාලනය කරගත් හඬින් මනා සංයමයකින් ආමන්ත්‍රණය කළෙමි.

'තව පැය භාගයක් යනකං මට හෙල්ලෙන්ඩ බෑ මෙතනිං.දැං ගිහිල්ලා ආච්චිගෙයි මගෙයි සාරි දෙකක් තියලා ඇති ඇඳ උඩ.ඒක අයන් කරපං.පරිස්සමෙන් අයන් කරපං දෙකම එහා ගෙදර කෙල්ලගෙං ඉල්ල ගත්තේ ඒකි වැඩට අඳින් ඒවා කිව්වා.පුච්චන්නේ එහෙම නෑ.'

අම්මා උනත් ගැහැනියක්ය.ගැහැනියකගේ අණට අකීකරු වීම තරම් නුනුවණ කමක් පිරිමියෙකුට තවත් නැත.

මට මෙව්වා අයන් කරනවා තබා මගේ ඇඳුමක්වත් හරියට අයන් කරගෙන පුරුදු නැත.අනික අත්කොට හැට්ට් අයන් කරන්නට ගොස් දෙපාරක් අතද පුච්චා ගතිමි.ගෑනු ඇඳුම් අඳින්නේ හැකි තරමක් ඇඟ පෙන්වීමටය.හැබැයි පිරිමින් ඒ දෙස බැලීම වනචරකමය.

මම ආපසු සාලයට යනවිට ආච්චී මූනේ කිරි තට්ටුව හූරමින් බල්ලාට දානවාය.බල්ලා ඌ ළඟට දැමූ කිරි දෙසත් ආච්චිගේ මූණ දෙසත් බලා අපුලෙන් පිඹිමින් යන්නට ගියේය.මම කල්යල් බලා අම්මාට කිට්ටු කළෙමි.

'අම්මේ දැං ආච්චිද අම්මද බඳින්ඩ යන්නේ?'

'නෙද්දකිං හිපාටු හිවලා. යකෝ අපි හැඩට ඉන්නවට උඹලා ඉරිසියයි නේද?ජේවීපී හැත්ත ඔක්කොම ඔහොමමයි.'

අම්මාගේ ගුණ වර්ණනාව අසා ආච්චීද කුස්සියට දුවගෙන ආවාය.ඇගේ වයසට ඔහොම දුවන්නට හොඳ නැත.කොහොමත් පපුවේ අමාරුවට බෙහෙතුත් ගන්නා නිසා හදිසියේවත් හෘදය අකර්මන්‍ය උවහොත් මම ඈ අල්ලා ගැනීමට සැරසුනෙමි.

'අහකට ගනිං උඹේ අත.හුහ්..උඹලා හිතාගෙන ඉන්නේ අපි වැටෙයි කියලා තමයි බොල.ඒ උනාට බලපියාපේ රජ්ජුරුවො වැටෙන්නෙත් නෑ අපි වැටෙන්නේත් නෑ.තොපි කොච්චර කතා කිව්වත් බලපං උන්නාන්සේ නොහිටින්ඩ තොපිට චන්දිරිකාවක් තියා අහස් ගුන්ඩුවක්වත් යවා ගන්ඩ ඇහැක්ද? උන්නාන්සෙගෙ පුතා ඔය වික්‍රමේ කොලේ තොපේ මහලොකු විස්ස විජ්ජාලෙට ගිහිල්ලද?අර ගෑනී සල්ලි කෝටි ගණං වංචා කොරලා අන්තිමට දෝසාබියෝගයක් ගෙනාවම තොපි ඒකටත් කතා කියනවනේ අම්මපා ඇත්තට.හැබැයි උන්නාන්සේ සැලෙන්නෙත් නෑ අපි සැලෙන්නෙත් නෑ අන්න ඒක දැනගනියව්.'

ආච්චි අනුර කුමාර දිසානායකට බණින්න තියෙන ටිකෙං මට බැන්නාය.මම කම්මුල අතගා බැලුවේ මගෙත් කම්මුලේ ඉන්නෙක් ඉන්නවද කියලාය.

'මොන පිස්සුද ආච්චි මම බණිනවද ඕවට.ඇත්තටම ආච්චි ඔය චන්ද්‍රිකාව යවලා මොකක්ද උනේ??'

'අපි කොහොමද බොල ඔය තාක්සනේ ගැන දන්නේ.ඒකේ මොකක් හරි ඒ උත්තමයන්ට වැඩක් ඇති.මේ උඹලා අපිට වැඩක් නැති උනාට'

'අනේ මංදා ආච්චී මම හිතුවා අඩුම තරමේ ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එකවත් වැඩි වෙයි කියලා.මොකුත් උනේ නෑනේ.කමක් නෑ ඉතිං ඇත්තට අපි නොදන්න ඒ උන්නාන්සෙලට වැදගත් මොකක් හරි ඇතෑ.ඒ උනාට ආච්චී අර ගෑනු මනුස්සයා අයිං කරන්ඩ කළිං කොච්චරක් කට්ටිය ඉන්නවද අයිං කරනවනං නේද?මං කිව්වේ ඇමති ගොල්ලොම.'

මේ උඹයි මමයි දන්න දේසපාලනේ.අනේ යකෝ අපි ඉස්සෙල්ලම චන්දේ දාද්දි තෝ තියා තොපේ මහ එකාවත් ඉපදිලා නෑ බොල.එහෙම වංචා කළයි කියලා ඇමති ගොල්ල අයිං කරලා කොහොමද බොල ආණ්ඩුවක් ගෙනියන්නේ.අනික ඔය වංචා වගේ ඒවා කවදාවත් නැති කරන්ඩ බෑ.අපි ඒවගේ ඒවා ඉවසන්ඩ පුරුදු වෙන්ඩ ඕනේ.'

'හරි හරි ඒකෙන් වැඩක් නෑ.අම්මයි ආච්චියි මොකාටද මේ ලෑස්ති වෙන්නේ ඈ??'

'ඇයි බොල තෝ දන්නැද්ද උන්නාන්සේ මේ අපේ පැත්තට එනවා කියලා ප්‍රාදේශීය සබාවයි ජොගිං ටැක් එකයි විවෘත කරන්ඩ.'

'මොකක් කිව්වා ජොගිං ට්‍රැක් එකකුත් හදලද මේ උඩුගම්පොල? පිස්සු පීකුදු බිස්කට් නේ ආච්චි.ඉතිං ඕකේ දුවලා ඇඟ අඩු කරගන්ඩ කට්ටිය ඉන්නවැයි? අපේ පැත්තේ ගොඩක් උන්ට මන්ද පෝෂණේයි රක්තහීනතාවයි නේ තියෙන්නේ.'

'ඔය මං කිව්වේ...මොන වැඩේ කලත් උඹලට වැරදියි.කවුරුත් නැත්තං මම යනවා බොල උදේටයි හවසටයි ඇස්සයිස් කොරන්ඩ.'

'එතකොට ආච්චිගේ හන්දිපත් රුදාවයි පපුවෙ මහන්සියයි??'

'මළත් මොකද බොල.උන්නාන්සේ රටට කරන දේවල්වල වටිනාකමක් තොපි වගේ හරක්ට පෙන්නනලා දීලා'

'ඉතිං එතකොට මේ ලෑස්ති වෙන්නේ උන්නාන්සේ පිළිගන්ඩ ද?'

'නැතුව බොල ඔය ටීවී එකෙයි පෝස්ටර්වලයි හැමතැනම තියෙන්නේ උන්නාන්සේ ගෙවල්වලට ගිහිල්ලා දුක සැප අහනවා.ආච්චිලා ඉඹිනවා,ළමයි වඩා ගන්නවා ඉතිං වැරදිලාවත් උන්නාන්සේ මේ ගෙදර තෝරගත්තොත් ඇවිත් තේකක් එහෙම බොන්ඩ.'

'ඇත්ත ඇත්ත බැරිවෙලාවත් ආවොත් මොන දෙයියන්ට කියන්ඩද නේද?'

පහුවදා උදේම ලෑස්ති වී ඇඳ පැළඳ ගත් අම්මාත් ආච්චීත් ලොක්කා හෙලිකොප්ටරෙන් බහිනවා බලන්ඩ ගියෝය.පැය ගාණක් හිටං ඉඳලා දාඩිය පෙරාගෙන හවස ආව වෙලාවේ ඉඳලා කියවිල්ල ඉවරයක් නැත.

'ඒ උත්තමයා බැස්ස ගමං අත වැනුවේ අපේ පැත්තට.හම්මෝ මාර පාටක් ඒක.රත්තරං පාටයි.හොඳ ප්‍රෞඪ පෙනුමක් තියෙන්නේ.වෙන කොයි නායකයටද එහෙම පෙනුමක් තියෙන්නේ.උන්නාන්සේ අපේ පැත්තට හැරිලා හිනා වෙනවා දැක්කම මට සන්තෝසෙ දරාගන්ඩ බැරුව ගියා.වෙලාවට අර දිව යට තියන පෙත්තක් අරං ගියේ.'

'නෙද්දකිං මේ හැත්ත මිනිස්සුංව අන්දලා ආයෙත් පෙට්‍රල් වැඩි කරලනේ.හෙණම ගහන්ඩ ඕනේ මේ යක්කුන්ටනං.කොල්ලෝ අර කැවුං ගෙඩියක් අරං වරෙං කෝ කෙහෙල් ගෙඩියකුත් එක්ක.දැං ඉතිං ඕවයිං ජිල් ගහන්ඩයැ' සීයා පත්තරය බලමින් කීවේය.

ආච්චී සීයාටද රවා ගෙට ගියාය.

25 December 2012

වැදගත් විශය....14 ( Sex Education in Sinhala )








අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් මම අහලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.




ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා.කොහොම නමුත් හැම දේකදිම වගේ මේකෙදිත් ආගමික මැදිහත් වීම සිද්ධ වෙනවා.ඇමරිකාවේ මුලින් කොන්ඩම් තහනම් කරන්ඩ යෙදුනත් පස්සේ මේකේ වැදගත්කම අවබෝධ වීමත් එක්ක ඒ නීති ලිහිල් වෙනවා.දැන් බහුලව තියෙන්නේ ලේටෙක්ස් කියන රබර් වර්ගයෙන් හදපු කොන්ඩම්.නමුත් සමහර අය මේ ලේටෙක්ස්වලට අසාත්මික නිසා පොලියුරිතේන් වගේ වෙනත් රසායනික සංයෝගවලින් හදපු කොන්ඩමුත් වෙළඳ පොලේ මිළ දී ගන්ඩ තියෙනවා.



කොන්ඩම්වලින් උපත් පාලනයට අමතරව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග සඳහාත් යම් ආරක්ෂාවක් ලබා දෙනවා.නිසි විදිහට කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒඩ්ස් ඇතුළුව බොහොමයක් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලින් වැලකෙන්න පුළුවන්.

කොන්ඩමයක් නිසි විදිහට පළඳින්නේ මෙහෙමයි.මේ කොන්ඩමය එන්නේ ඉහළ රූපයේ තියෙනවා වගේ ආවරණයක.කොන්ඩමය ඉවතට ගන්න කියලා මේ ආවරණය කටින් ඉරන්ඩ හෝ කතුරකින් කපන්ඩ යන්ඩ එපා.මොකද කොන්ඩමයේ පුංචි හරි සිදුරක් ඇති උනොත් ඒකෙන් ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේ නෑනේ.ඒ වගේමයි මේ කොන්ඩම හැමතිස්සෙම ළඟ තියා ගන්න එක හොඳයි. (මොකද හදිස්සියක් උනොත් එහෙම මේවා හොය හොය ඉන්ඩ මහන්සි නොවී වැඩේ කරලා පස්සේ පසු තැවෙන්ඩයි වෙන්නේ ) ඒ උනාට මේවා සාක්කුවේ කාසි යතුරු වගේ දේවල් එක්කවත් පර්ස් එකේවත් දාගෙන යන්ඩ හොඳ නෑ.මොකද ඒකෙනුත් කොන්ඩමය පළුදු වෙන්ඩ පුළුවං නිසා.

කොන්ඩමය ආවරණයෙන් එළියට ගන්නේ අතින් ඉරලා.ඔය දැති තියෙන පැත්තෙන් අල්ලලා ඉරුවාම පහසුවෙන් ආවරණය ඉරෙනවා.


ඊට පස්සේ එළියට ගත්තු කොන්ඩමය තියෙන්නේ මේ රූපයේ වගේ.හරියට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිත් හදිස්සියට ගලවපු මේස් එකක් වගේ රෝල් කරලයි තියෙන්නේ.






දැං කරන්ඩ ඕනේ මේ මැද තියෙන ඉහළට ඉස්සුනු තැන වම් අතේ දබර ඇඟිල්ලෙනුයි මහපට ඇඟිල්ලෙනුයි මිරිකලා අල්ලගන්න එක.එතකොට ඒ කෑල්ලේ තියෙන වාතය ටික ඉවත් වෙලා යනවා.ඊට පස්සේ මේක ශිෂ්ණයේ ඉහළ කෙළවරෙන් තියලා අර රෝල් කරලා තියෙන එක දිග ඇරෙන පැත්තට ශිෂ්ණය ආවරණය වෙන විදිහට දිග අරින එකයි කරන්ඩ ඕනෙ.


හොඳට මතක තියාගන්ඩ කොන්ඩමය කෙළවරේ තියෙන පුංචි ඉඩ තියෙන්නේ ශුක්‍ර තරලය එකතු වෙන්ඩ.ඒ ඉඩේ වාතය ඉතුරු උනොත් සංසර්ගයේදී පුපුරලා යන්ඩ පුළුවං.ඒ නිසා හොඳට වාතය ඉවත් වෙන විදිහට තද කරලා කොන්ඩමය පළඳින්න ඕනේ.අනිත් එක තමයි ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය නැතිවෙලා යනවනේ.එතකොට කොන්ඩමය ශිෂ්ණයෙන් ගැලවිලා ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තැවරෙන්ඩ පුළුවං.එතකොටත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනවා.ඒක හින්දා ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණය ප්‍රාණවත්ව තියෙද්දිම යෝනි මාර්ගයෙන් පිටතට ගන්ඩ ඕනේ.

ඒ වගේම මේක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් විදිහට පළඳිනවානං කොන්ඩමය ගලවද්දි කඩදාසියකින් හෝ ටිෂූ කොළයකින් අල්ලලා කොන්ඩමයේ තැවරී ඇති යෝනි ස්‍රාවයන් අතේ නොගෑවෙන විදිහට පරිස්සමෙන් ගලවලා ඉවත් කරන්ඩ ඕනේ.මොකද මේ යෝනි ස්‍රාවයන් හරහානේ රෝගයන් පැතිරෙන්නේ.පුරුෂයින්ගේ නම් ශුක්‍ර තරලය හරහා තමයි රෝගයන් පැතිරෙන්නේ.ඉතින් මුඛ සංසර්ගයේදී ශුක්‍ර තරලය හෝ සියුම් තුවාලවලින් පිටවන රුධිරය තැවරීමෙන් මුඛය හරහා රෝග බෝවීමේ අවධානමක් තියෙනවා.ඒ නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්තව කොන්ඩම් හදලා තියෙන්නේ.ඒ නිසා මතක තියාගන්ඩ අනාරක්ෂිත ඒ කියන්නේ තමුන්ට හරියටම විශ්වාස නැති කෙනෙක් එක්ක ලිංගිකව එක් වෙද්දී කොන්ඩමයක් හැම විටම පළඳින්න හෝ පළඳවන්න.

ගුද සංසර්ගයේ දී සාමාන්‍ය යෝනි සංසර්ගයකට වඩා තද බවක් තිබීමත් ගුදය සංසර්ගයකට හැඩ ගැසී නොතිබීමත් නිසා කුඩා තුවාල ඇතිවීමේ අවස්ථාව වැඩියි.ගුද රමණයකින් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග වැළඳීමේ අවධානම යෝනික සංසර්ගයක මෙන් පනස් ගුණයක් කියලයි කියන්නේ.සාමාන්‍ය කොන්ඩමයන් ගුද රමණයට සුදුසු වෙන්නේ නෑ.ඒවා පහසුවෙන් ඉරී යන්ඩ පුළුවං.ඒ නිසා ඒ වෙනුවෙන් නිපද වූ ඝණකම් කොන්ඩමත් මිලදී ගන්ඩ තියෙනවා.

කොන්ඩම පළදීන්නැතුව ඉන්ඩ කට්ටිය කියන නිදහසට කාරණයක් නේ සංවේදී භාවය අඩුවෙනවා කියන එක.හරියට ඇඳුං ඇඳං නානවා වගේ කියලනේ කියන්නේ.මේක ඇත්තටම මානසික කාරණයක්. සංවේදීභාවය සුළු වශයෙන් අඩු වෙන්ඩ පුළුවං.ඒ උනත් අවධානමක් ගන්නවට වඩා ඒක හොඳයිනේ නේද?.ඉතිං මේ සංවේදීභාවය අඩු වෙනවා කියන අයට තුනී බවෙන් වැඩි කොන්ඩමත් නිපදවලා තියෙනවා.ඒ වගේම කොන්ඩමය මතුපිට ගැටිති සහ රැළි සහිතව නිපදවූ කොන්ඩම සංවේදීභාවය වැඩි කරනවා කියලයි කියන්නේ.

තවත් කොන්ඩම වර්ගයක් තියෙනවා පිරිමියාගේ සුරාන්තය පමා කරවන.මේ කොන්ඩමයේ ශිෂ්ණයේ කෙළවර සංවේදීභාවය අඩුකරවන බෙන්සොකේන් කියන රසායනිකය තවරලා තියෙනවා.ඒකෙන් ශුක්‍ර මෝචනය සැලකිය යුතු ලෙස පමා කරවනවා.

ඒ වගේම ශිෂ්ණයේ සෘජු භාවය වැඩි කරවන රසායනිකයක් අඩංගු කොන්ඩමයකුත් නිපදවලා තියෙනවා.ඒකනම් තවම ලංකාවේ නෑ මම හිතන්නේ.



කාන්තා කොන්ඩමය

මේක ලංකාවේ එච්චර ජනප්‍රිය නැති උනත් මිළ දී ගන්ඩ තියෙනවා.මේක නිසි විදිහට පාවිච්චි කළොත් සාමාන්‍ය කොන්ඩමයට වඩා ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් ලබා දෙනවා.මේක තරමක් විශාල කොන්ඩමයක්.මේක එක කෙළවරක් විවෘතයි.අනිත් කෙළවර වහලයි තියෙන්නේ.කොන්ඩමය ඇතුලේ රබර් වළල්ලක් තියෙනවා.මේ රබර් වළල්ල කොන්ඩමය ඇතුලෙම පොඩි වෙන විදිහට අල්ලගෙන යෝනි මාර්ගයට ඇතුළු කරගන්ඩ ඕනේ.එතකොට ඒ වළල්ල ගිහින් ඇතුලෙදි දිග ඇරිලා ගැබ් ගෙල වටේට සවි වෙනවා.එතකොට ගැලවිලා වැටෙන්නේ නෑ.




මේ කොන්ඩමය පැළඳුවාම පිටත ඉතුරු වෙන කොටසෙන් බාහිර සහ අභ්‍යන්තර යෝනි තොල් ද ආවරණය වෙන නිසා තමයි මෙහි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලට ඇති ආරක්ෂාව වැඩි වෙන්නේ.




24 December 2012

වැදගත් විශය....13 ( Sex Education in Sinhala )





දේශපාලනය, සත්ව පාලනය වගේම උපත් පාලනයත් සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් විදිහටයි මම දකින්නේ.අධි ජනනය කියන දේ පරිණාමයට වැදගත් උනාට මිනිස්සු පරිණාමයට අවශ්‍ය කරන ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය බොහෝ දුරට පාලනය කරගෙන තියෙන හින්දා මිනිස්සුන්ගේ සංඛ්‍යාව පෘථිවියට දරාගන්ඩ බැරි තරමට වර්ධනය වෙලා.

මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා අනිත් සත්තුන්ගේ වගේ ප්‍රජනනයටම සීමා නොවුනු දෙයක් කියලත් කළිං ලිපියක කිව්වා වගේ මතකයි.මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා මග්න් දෙදෙනෙක් අතර ඇති බැඳීම ශක්තිමත් කරවනවා.ඒ වගේම අපි කරන ගොඩක් දේවල් ඒ ක්‍රියාවේ මූලික අවශ්‍යතාවයෙන් බැහැරවනේ සිද්ධ වෙන්නේ.උදාහරණ්යක් විදිහට අපි කේක් කෑල්ලක් කන්නේ කොකාකෝලා එකක් බොන්නේ බඩගින්නටවත් තිබහටවත් නොවෙන අවස්ථා වැඩියිනේ.ඉතිං ඒ නිසා මිනිස්සු ප්‍රජනනයට මිනිස්සුංව යොමු කරවන්ඩ ලිංගිකත්වය තෘප්තිමත් ක්‍රියාවක් වෙලා තියෙන එකෙන් ප්‍රයෝජන අරගෙන ඒක කොච්චර දුර අරගෙන ගියාද කියනවනං ඇත්තටම දැං වෙද්දි දරුවෙක් පිළිසිඳ ගැනීම කියන්නේ ලිංගික ක්‍රියාවේ අතුරුපලයක් හෝ අහිතකර ප්‍රතිඵලයක් ලෙස සළකන තත්ත්වයටම වර්ධනය වෙලා.

ඉතිං සමහරු උපත් පාලනය වැරැද්දක් විදිහට දකිනවා උනාට මුළු ලෝකෙම මිනිස්සුංගෙං පුරවලා ලෝකෙම විනාශ කරගන්නවට වඩා උපත් පාලනය කරන එක හොඳයි නේද?අනිත් එක තමයි නිසි විදිහට උපත් පාලන ක්‍රමයක් භාවිතා කළොත් ගැබ් ගැනීම් වලක්වා ගන්ඩ පුළුවං වගේම ලංකාවේ මේ සිද්ධ වෙන ගබ්සා කිරීම අඩු කිරීමට හෝ නැත්තටම නැති කිරීමට හැකියාවක් ලැබේවි.

උපත් පාලන ක්‍රමයක් විදිහට දැනට තියෙන සාර්ථකම ක්‍රමය තමයි ලිංගිකව එක් වීමෙන් වැළකී සිටීම.ඒ උනාට මේ ජීවත් වෙන ටික කාලේ මොකටද නිකං විඳව විඳව ඉන්නේ.අනුන්ට කරදරයක් නොකර සතුටෙං හිටියා කියලා වැරැද්දක් විදිහට කාටවත් ඒක විවේචනය කරන්ඩ බෑනේ.ඒක හින්දා මේක කරන්ඩ පුළුවං කට්ටිය කරගෙන යන්ඩ.අනිත් අය මේ පහළ විස්තර කරන ක්‍රමවේදයක් පාවිච්චි කළාට කමක් නෑ.

හරි දැං අපි සරළම ක්‍රමවලිං පටං ගම්මු.අතීතයේ ඉඳං පැවතිච්ච ක්‍රමවේද වලින් එකක් තමයි 'දින දර්ශන ක්‍රමය'කට්ටියට මතක ඇතිනේ කලිං ලිපියක ඔසප් චක්‍රය ගැන කතා කළා.ඉතිං මේ ඔසප් චක්‍රයේ ඩිම්බයක් නිකුත් වෙන වෙලාවටනේ ශුක්‍රාණුවකට ගිහිල්ලා ඒක සංසේචනය කරලා පිළිසිඳ ගැනීමක් සිද්ද වෙන්ඩ පුළුවං.මේ දින දර්ශන ක්‍රමයෙදි සිද්ද වෙන්නේ මෙහෙම ඔසප් චක්‍රයේ ඩිම්බය නිකුත් වීමට ඉඩ ඇති දවස් මග ඇරලා අනිත් දවස්වලදි ලිංගිකව එකතු වෙන එක.මේක අසාර්ථක ක්‍රමයක්.මොකද ගැහැනු අයගේ ඔසප් චක්‍රය හරියට පිළිවෙලට සිද්ධ නොවෙන්න පුළුවං.එහෙම උනොත් ඉතිං බබා හම්බ උනා තමයි.ඒක නිසා මේ ක්‍රමය අනුගමනය නොකළ යුතු එකක් විදිහටයි මමනං දකින්නේ.මොකද ගැබ් ගැනීමක් වගේ දෙයක් සම්බන්ධව අවධානමක් ගන්න එකේ තේරුමක් නෑනේ.

අනිත් සාම්ප්‍රධායික ක්‍රමය තමයි ශුක්‍ර තරලය පිට වීමට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීම.මේකත් හරිම අසාර්ථක ක්‍රමයක්.මොකද සුරාන්තයේදී ශුක්‍ර තරලය පිට උනාට ඇත්තටම ඊට කළිං ඉඳලම ටික ටික ශුක්‍ර තරලය මුදා හැරෙනවා.අනික හොඳම ශුක්‍රාණු ටික පවතින්නෙත් මේ මුළින්ම පිට වෙන ශුක්‍ර තරලයේ.ඒ නිසා උපත් පාලන ක්‍රමයක් විදිහට අසාර්ථකයි වගේම මේ ක්‍රමය නියම ලිංගික තෘප්තියක් ලබාගන්න එකටත් බාධා කරන්ඩ පුළුවං.ඇයි ඉතිං පටං ගත්තු වෙලාවෙ ඉඳං ඔළුවේ වැඩ කරන්නේ පත්තු වෙන්ඩ කළිං තුවක්කුව එළියට ගන්න එක ගැනනේ.



දැං අපි බලමු ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන උපත් පාලන පෙති ගැන.


සාමාන්‍යයෙන් බහුලවම තියෙන්නේ 'මිතුරි' කියන වෙළඳ නාමය යටතේ නේ.මේ මිතුරි පෙතිවල අඩංගු වෙන්නේ සාමාන්‍යයෙන් ගැහැනුන්ගේ ශරීරයේ නිපදවෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් කියන හෝමෝන දෙක.මේ හෝමෝන දෙක ශරීරයට ඇතුළු උනාම ඒවා සාමාන්‍ය ස්ත්‍රී කායික ක්‍රියා යාමනයට දායක වෙනවා වගේම ගිහිල්ලා පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන ස්‍රාවය වීම වළක්වනවා.එතකොට ඩිම්බකෝෂවල ඩිම්බ නිපදවීම තාවකාලිකව නතර වෙනවා.එයිට අමතරව ගර්භාශය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ කරන ගැබ් ගෙල ප්‍රදේශයේ ඇති ශ්ලේෂ්මලය ඝණකම් බවට පත් කිරීමත් මේ හෝමෝන මගින් සිද්ධ වෙනවා.එතකොට ශුක්‍රාණුවලට යෝනි මාර්ගයේ සිට ගර්භාශයට ඇතුළු වෙන්න අපහසු වෙනවා.

මේ පෙතිවලින් උපත් පාලනය කරනවාට අමතරව තවත් වාසි කීපයක් ලබාගන්ඩ පුළුවං.අක්‍රමවත් ඔසප් චක්‍ර ඇති අයගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කරගන්ඩ පුළුවං වගේම ඔසප් වීමේදී ඇතිවන වේදනාව අඩු කරගන්නත් පෙති මගින් පුළුවං.එයිට අමතරව ගර්භාශ සහ ඩිම්බකෝෂ පිළිකාවලට එරෙහිව ආරක්ෂාවක්ද ලබා දෙනවා.මුහුණේ කුරුලෑ ආදිය අඩු වීමටත් පෙති හේතු වෙනවා.

පෙති නිසි ලෙස භාවිතා කළොත් 99.99%ක පමණ ආරක්ෂාවක් ලබා ගන්ඩ පුළුවං.ගැටළුව තියෙන්නේ පෙති ගන්න එක අමතක වීම.ඒ වගේම සමහරුන්ට පෙති ගැනීමත් එක්ක වමනය, ඔක්කාර ගතිය, හිසරදය, පියයුරුවල වේදනාව වගේම ඔසප් වීම් අතර තුර සුළු රුධිර වහනයන් ඇති වෙන්ඩ පුළුවං.වමනය ඔක්කාර ගතිය නැති කරගන්ඩ නම් මේ පෙති රාත්‍රී කෑමට පසුව ගැනීමෙන් බොහෝ දුරට පුළුවං.මේ අතුරු ආබාධ මාසයක් දෙකක් යනවිට නැතිවෙලා යනවා.

තවත් ගැටළුවක් තමයි කිරි දෙන මව්වරුන්ට මිතුරී පෙති සුදුසු නොවීම.පෙතිවල අඩංගු ඊස්ට්‍රජන් මගින් කිරි නිපදවීමට බාධා පමුණුවන බැවින් මේ කාලයේදී වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතු වෙනවා.ඒ නැත්නම් ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පෙති වර්ගද වෙළඳපොළේ ඇති අතර වෛද්‍ය උපදෙස් මත එවැන්නකටද යොමු වීමට පුළුවන්.

පෙති ගත්තම මහත් වෙනවා කියන එක අපේ ගෑනු අය සෑහෙන්ඩ බය වෙන දෙයක් නේ.බය වෙන්ඩ එපා ඔයිට වඩා තව කොහෙ මහත් වෙන්ඩද? ඇත්තටම පෙති ගත්තම ඒකේ තියෙන ප්‍රොජෙස්ටෙරොන් මගින් කෑම රුචිය වැඩි කරවනවා.එතකොට කාලා කාලා මහත් වෙනවා මිසක් පෙතිවලින් මහත් වෙන්නේ නෑ.ඒකට කෑම පාලනය කිරීමෙන් සහ ව්‍යායාම කිරීම  හොඳ පිළිතුරක්.ඒ වගේමයි පෙති ගැනීම නිසා වඳ භාවයට පත් වෙන්නේ නෑ.පෙති නවත්තලා ටික කාලෙකින් නැවත ගැබ් ගැනීමේ හැකියාව ලැබෙනවා.

මිතුරි පෙති පැකට්ටුවක පෙති 28ක් තියෙන කාඩ් එකක් තියෙනවා.පෙති 21ක් කහ පාටටත් යටම පේළියේ පෙති 7ක් රතු පාටටත් තියෙනවා.කහ පාට පෙතිවලින් ආරම්භ කරගෙන දිගටම පෙති අරගන්න ඕනේ.රතු පාට පෙති ගන්නකොට ඔසප් රුධිරය පිට වෙනවා.එක පැකට් එකක් අවසන් උනු වහාම අළුත් පැකට් එකක් ආරම්භ කරන්ඩ ඕනේ.හරිම සරලයි.අමතක නොකර දිගටම ගත්තොත් හරි.වැදගත්ම දේ තමයි ලිංගිකව එක් උනත් නැතත් දිගටම පෙති ගන්ඩ ඕනේ.පෙති ගන්න එක නවත්තන්ඩ ඕනේ දරුවෙක් බලාපොරොත්තු වෙනකොට හෝ වෙනත් උපත් පාලන ක්‍රමයකට මාරු වෙනවනං විතරයි.



DMPA එන්නත

මේ එන්නතේ අඩංගු වන්නේ ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනයයි.මෙය අතේ උඩ බාහුවේ මාංශ පේෂියට එන්නත් කළ විට ක්‍රමානුකූලව සුළු ප්‍රමාණයෙන් හෝමෝනය රුධිරයට මුදා හරියි.මෙමගින් ද උපත් පාලනය සහ අනෙකුත් වාසි පෙතිවලට සමානවම ලබා දේ.මේ එන්නත් සෑම මාස තුනකට වරක්ම ලබාගත යුතු වන අතර එන්නත නවතා මාස 3-4ක් පමණ කාලයකින් නැවතත් ගැබ් ගැනීමේ හැකියාව ලැබේ.මේ එන්නත ගැනීමත් සමඟ ඔසප් රුධිරය පිට වීම අඩු වීම හෝ සම්පූර්ණයෙන්ම නැවතීමට ඉඩ ඇත.නමුත් මෙය ගැටළුවක් නොවේ.ඉන් කිසිඳු අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති නොවේ.



20 December 2012

ලෝක විනාසේ හෙටයි......




විභාගයක් ඉවරය.මමත් ඉවරය.ඒවායින් වැඩක් ලෝකයාට නැත.මටද වැඩක් නැත.මොකද දැං වෙන්ඩ ඕනේ ලබ්බ වෙලා ඉවර හින්දාය.ඉහිරුණු කිරට අඬා පළක් නැතුවාක් මෙන්ම අස්පයා ගියාට පසු ඉස්තාලය වහලා වැඩක් ද නැත.මේ වෙලාවේ මට කියන්ඩ අවශ්‍ය වන්නේ දැනට මාසයක් පමණ බ්ලොග් ලෝකයෙන් මම හැංගී හිටිය බවය.කරන්ඩ දෙයක් නැත.මගේ හිතාදර පාඨක ජනතාව 'වැදගත් විශය' ලිපි පෙළේ ඊළඟ ලිපිය එන තුරු කෙළ හලාගෙන බලා ඉන්ට ඇත.අහෝ මා දයාබර පාඨක සහෘදයිනි අනේක වාරයක් සමා වෙත්වා!.

උඩ ජුන්ඩ ලිව්වේ පොර ටෝක් එකක් හැටියටය.මම නොලියා හිටියාට කාටවත් දැනෙන්නේ නැති බව මම දනිමි.මන්ද මම මේ සිංහල බ්ලොග් ලෝකයේ තවත් එක් ක්ෂුද්‍ර ප්‍රාණියෙකු පමණක් වන නිසාය.එහෙම දැන දැනද අපි පොර ටෝක් දීමේ මහත් වූ ආශා ඇති ජාතියක් වෙමු.එබැවින් එකී ජාතියේ අනන්‍යතාව සුරකිනු වස් පොර ටෝක් දීම ව්‍යාපාරයක් සේ කරගෙන යාමට බලාපොරොත්තු වෙමි.

පොර ටොක් එක ගැන පොර ටෝක් දීලාද හමාරය.දැං අවුල ඇත්තේ ලියන්ඩ අත හුරු නැති එකය.ආයෙත් වැරදුනාය.කී බෝඩ් එකේ කොටන්ඩ හුරු නැති එක කියා එය නිවැරදි විය යුතුය.නමුත් ඇත්තටම අවුල ඇත්තේ මොළයේය.අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති කාර්යශූර, නිර්මාණශීලී, සහ ක්ෂිතිජයට ඉහලින් බෝට්ටු එනවා බලන්ඩ හැකි දරු පිරිසක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය නිසා මොන විභාගය තිබ්බත් ළමයා අන්තිමට එළියට එන්නේ 'සොZම්බී' එකෙක් වගේය.එහෙව් එකේ විශ්ව විද්‍යාලය කියා වෙනසක් නැත.විභාගය අවසන් වන විට ඔබට ඔබ කවුද යන්න පවා අමතක වේ.එනිසා මම මහත් අපේක්ෂාවෙන් හිටියේ මේ විභාගයටත් මොකක් හරි අකරතැබ්බයක් සිද්ද වී 'එස් බී' ලොක්කා පච හලන හැටි බලමින් මාසයක් පමණ ගෙදරට වී ඉන්නට හැකි වේවි කියලාය.නමුත් අවාසනාව හින්දා එහෙව් කිසි එකක් උනේ නැත.රටේ හැම විභාගෙම කොස්සක් තියෙද්දි මේ විභාගේ විතරක් අවුලක් නැතුව තිබ්බ එක මටනං දරාගන්ඩ බැරිය.

වල් පල් කියෙව්වා ඇතිය.දැං අවස්ථාව එළඹ තිබෙන්නේ හෙට සිදු වීමට නියමිත ලෝක විනාශය ගැන මාගේ කුඩා මොළයේ ඇතිවූ මෙව්වා එකක් ඒ කියන්නේ සංකල්පනාවක් ජනසතු කිරීමේ මහා පුණ්‍ය කර්මයට  අවස්ථාවය.

ලෝක විනාශය හෙට සිද්ධ වෙන්නෑ කියන අය අත උස්සන්ඩ බලන්ඩ.


ඔය බොරුවටනෙ මෙයා ඔයාලා කියන්නේ හෙට ලෝකෙ විනාස වෙන්නෑ කියලා.ඕක මිනිස්සුංගේ විතරක් නෙමෙයි හැම සත්වයෙක්ගෙම ජීවිතේට තියෙන ආශාව.ඒක හින්දා මේ හෙට අපි සෙට් එකම ජම්මාන්තර ගත වෙනවා කියන එක අමතක කරලා දාලා විසි පස් වෙනිදට නත්තල් කන්ඩත් ලෑස්ති වෙනවා.

දැං මම මේ ඉදිරිපත් කරන්ඩ යන සංකල්පය මගේ මොළයේ අනුමස්තිශ්කයෙන් ඇරඹිලා මැද මොළය හරහා මස්තිශ්කයට ආවේ මම රෑ නිදාගෙන කරුවලේ කල්පනා කර කර ඉන්න විටදී ය..කට්ටිය කියනවනේ හොඳ හොඳ සංකල්ප, මතවාද සහ ප්‍රවාද ජනිත වෙන්නේ වැසිකිළියේ ඉද්දි කියලා.මටත් වැසිකිළිය කියන්නේ සංකල්පනා සඳහා තෝතැන්නක් තමයි.ඒත් ඒ වෙලාවට මට එන්නේ පීඩනය, පරිමාව, ඝණත්වය, චලිතය වගේ භෞතිකමය සංකල්ප.ලෝක විනාශය වගේ උත්කෘෂ්ඨ සුන්දර සංකල්ප ඇතිවෙන්නේ රෑට නිදාගන්ඩ ගියාම.පුංචි කාලේ අපිව නිදි කරවලා ඇඳේ තිබ්බට, පහු කාලෙදි අපි නිදා ගන්ඩ කියලා ඇඳට යන්ඩ පටං ගන්නේ හීන බලන්ඩනේ.කොට්ටෙකුත් බදාගෙන ලයිට් එකත් නිවලා අර බදාගත්තු හඩු ගඳ කොට්ටෙ සුන්දර කෙල්ලෙක්ය කියලා හිතේ මවා ගන්න පටං ගත්තු කාලෙ ඉඳං අපි කරන්නේ සංකල්ප මවන එක නොවැ.

මේකයි කතාව.හැබැයි කතාව ඔබේ විශ්වාස සහ සංකල්පවලට පටහැනි වගේ පේන්ඩ පුළුවං.අවසානය දක්වාම කියවලා මිසක් විවේඡනය කරන්ඩ එපා හොඳේ.

ඔන්න අපි එක එක අය එක එක විදිහේ විශ්වාසවල ඉන්නවා නොවැ.ඒවා අතරේ ගොඩක් දෙනා විශ්වාස කරන්නේ දේවවාදය නේ.හැබැයි බයිබලේ දෙවියන් වහන්සේ ලෝකය මවලා මිනිස්සු මැව්වා කිව්වට ඇයි එහෙම කළේ කියලා නං ලියවිලා තියෙනවා මට හම්බ උනේ නෑ.ඉතිං ඕක මට හෙන ගැටළුවක් උනා.ඇයි සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ උන්වහන්සේව ගණං වත් නොගන්න මිනිස්සුංව මැව්වේ.

ඒ ඔස්සේ පර්යේෂණ කරගෙන කැණීම් කරගෙන යනකොට ( මේ ඔක්කොම කරන්නේ ලයිට් නිමලා ඇඳේ නිදාගෙන හරිය!!! ) ඔන්න මට එක පාරට අහු උනා අර අතීතයේ මෙහෙ ආපු පිටසක්වල ජීවීන් මෙහෙ මිනිස්සුන්ගේ දියුණුවට උදව් උනා කියලා කියැවෙන වාර්ථා වැඩසටහන.හඃ හඃ හා...... ඔන්න අහු උනා තියරියකට පොටක්.දෙවියෝ කියන්නේ අතීතයේ ආපු පිටසක්වල ජීවීන් නම් උන් මොකටද අපේ වර්ධනයට උදව් උනේ.මොකෝ අපි වඳුරංව අල්ලගෙන උන්ට දියුණු වෙන්ඩ කියලා දෙනවයෑ.කියලා දුන්නත් කියලා දෙන්නේ සර්කස් එකක අපිට ආතල් ගන්ඩ පුළුවං දෙයක් මිසක් උන්ට දෝෂාභියෝග ගේන හැටි ගැන එහෙම කියලා දෙනවයෑ.

මිනිස්සු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ බැටළු පට්ටිය කියලා ඔය බයිබලේ තැං තැංවල සඳහන් වෙලා තියෙනවා මට මතකයි.ආ...හා..... එහෙනං මේ පිටසක්වලයෝ ඇවිල්ලා කරන්ඩ ඇත්තේ අපිව උංගේ කුකුල් කොටුවක් වගේ එහෙම නැත්තං බැටළු පට්ටිය වගේ හදන්ඩ පටං ගන්න එක.ඒ කියන්නේ මේ අපිට ආදරේට ද? අනේ නෑ සහෝදරවරුනි.එක්කෝ බිත්තර ගන්ඩ නැත්තං මස් හරි ලොම් හරි ගන්ඩ නෙමෙයිනං අපි ගොවිපලක් පටං ගන්නවද?අන්න ඒ වගේ මේ පිටසක්වලයෝ ඇවිල්ලා අපිව වර්ධනය කරන්ඩ පටං ගත්තේ අපේ ඉන්ද්‍රියයන් හරි මොනවා හරි ලබ්බක් උන්ට ඕනේ වෙලාවට අරං යන්ඩ.ඔය සැරින් සැරේ අහන්ඩ ලැබෙන්නේ පිටසක්වලයෝ මෙහේ එකා දෙන්නා පැහැරගෙන ගිය කතා.ඒ වගේම පැහැරගෙන ගිහිල්ලා සිහි නැති කරලා ශල්‍යකර්ම එහෙම කරපු අවස්ථා ගැනත් ඔය ඕනෙ තරම් අහන්ඩ ලැබෙනවනේ."දෙවියන් වහන්සේගේ රූපයට සමානව මිනිසා මවන ලදී" කියලා ලියලා තියෙන්නේ ඇයි කියලා දැං තේරෙනවද?

පිටසක්වලයෝ මෙහෙ මිනිස් ගොවිපොළ පටං අරං ඒක ස්වයං පාලනයට භාර දීලා යන්ඩ කළිං උන්ට ඕනේ වෙලාවට මිනිස්සුංව මරා ගන්ඩ පුළුවං වෙයිද බලන්ඩ පරීක්ෂාවක් කළා.ඒබ්‍රහම්ට කියනවා තමංගෙ පුතාව මරලා පුච්චලා දෙවියන්ට යාගයක් කරන්ඩ කියලා.කිව්ව ගමං ඒබ්‍රහම් ලෑස්ති වෙනවා පුතාව මරන්ඩ.අන්න එතකොට පිටසක්වලයෝ සෑහීමකට පත් වෙනවා.උං කියනවා 'අපි උඹව පරීක්ෂා කළා විතරයි.පුතාව මරන්ඩ එපා' කියලා.

දැං ඔය පිටසක්වලයෝ මායාවරුන් එක්ක හොඳ සම්බන්ධයක් තියාගෙන හිටියේ.මෙහේ ගොවිපලේ මූල්‍ය කටයුතු කළේ මායාවරු.ඒකයි උං ගාව එච්චර රත්තරං තිබ්බේ.ඒත් පිටසක්වලින් මෙහේ නවත්තලා ගිය නියෝජිතයා සල්ලි අරං පැන්නා.




ඔය කැටයමේ තියෙන්නේ පොර පැනලා ගිය සිද්දිය.

හරි කොහොම හරි මායාවරු පිටසක්වල කට්ටිය එක්ක ද්වීපාර්ශ්වික ගිවිසුමක් ගැහුවා මේ ගොවිපොල 2012.12.21 වෙනකං පවත්වගෙන යන්ඩ.ඒක ද්වීපාර්ශ්වික ගිවිසුමක් හින්දා අපි ඒක ගැන මොකුත්ම දන්නේ නෑ.අපේ ආණ්ඩුව ගහන ගිවිසුම්වල තියෙන්නෙ මොනවද කියලාවත් දන්නැති අපි මායාවරු පිටසක්වලයින් එක්ක ගහපු ගිවිසුම ගැන දැනං ඉන්ඩ විදිහක් ඇත්තෙම නෑනෙ.අන්තිමට හැබැයි මායාවරු උන්ට ලැබෙන ආධාරවලින් කොමිස් ගහලා බීලා පිස්සු නටලා නැත්තටම නැති වෙලා ගියා.මතයක් තියෙනවා මායාවරු විනාශ උනේ ගස් කපලා යෝධ බිලි පූජා පවත්වලා ඒ ප්‍රදේශයේම ගස් නැති වෙච්ච හින්දාය කියලා.ඇත්තටම මේ ගස් කපලා යෝධ ගිනි ගොඩවල් ගැහුවේ බිලි පූජාවලට නෙමෙයි.මායාවරු යෝධ ගිනි ගොඩවල් ගහලා නයිට් රේස් පැවැත්තුවා.ඔය අස්සේ 'කොල්ලු' මිල (අශ්වයින්ගේ ආහාරය ) ඉහල යෑමත් එක්ක භාණ්ඩවල මිල සෑහෙන්ඩ ඉහල ගියා.උද්ධමනය දරාගන්ඩ බැරුව මිනිස්සු පිට රටවලට පැනලා ගියා.අන්තිමට යෝධ ශිෂ්ඨාචාරයක් අනාචාරය හින්දා විනාශ වෙලා ගියා.

කොහොම හරි හෙටින් පිටසක්වලයෝත් එක්ක ගහලා තියෙන ගිවිසුම ඉවරයි.උන් මේ ගොවිපොල විනාශ කරලා වෙන ව්‍යාපෘතියක් පටං ගන්ඩයි යන්නේ.පිටසක්වල යානා, රතු වැස්ස, රෑ අහසේ එළි වගේ ඔක්කොම සෙල්ලං මේ ගොවිපොල අයින් කරන එක සහ අළුත් ව්‍යාපෘතිය පටං ගන්න එක සම්බන්ධව තමයි.එහනම් හෙට එකට මියෙමු.

කට්ටිය මේ අපහාස කළාය කියලා අමනාප වෙන්ඩ කාරි නෑ.ආයෙත් ලියන්ඩ මොළේ ටියුන් කරගන්ඩ ඔහේ ඔළුවට ආපු එව්වා ටිකක් කොටලා බැලුවේ.මම වගේ කිරි සප්පයෙක් කියන එව්වා හිතට ගන්ඩ කාරී නෑ ඕං.



22 November 2012

වැදගත් විශයය....12 ( Sex Education in Sinhala )






කාලෙකට පස්සේ අසනීප වෙච්ච හින්දා ලැබිච්ච නිවාඩුවේ බ්ලොගේ මොනව හරි ලියන්ඩ හදද්දි තමයි මතක් උනේ වැදගත් විශය ලිපි පෙළ ඉවර නෑ නේද කියලා.ඔන්න අද ඒකේ වැදගත්ම ඒ කියන්නේ ප්‍රායෝගිකම ලිපිය ලියන්ඩයි හදන්නේ.

ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන රාශියක් ව්‍යංගව භාවිතා කරලා මේ ක්‍රියාව හඳුන්වන එකෙන්ම මිනිස්සු මේක ගැන කොච්චර උනන්දුයිද කියලා තේරෙණවා.නමුත් ගැටළුව තියෙන්නේ කොච්චර උනන්දු උනත් මේ ගැන පැහැදිලි දැනුමක් ලබා ගන්ඩ තියෙන මාර්ග හරි අඩුයි.

ගුරුවරු වැඩිහිටියෝ සහ දෙමව්පියෝ මේ ගැන කතා කරන එක ප්‍රතික්ෂේප කරද්දි මිත්‍රයින්ගෙන් ලැබෙන්නේ හරිම අපැහැදිලි ව්‍යාකූල තොරතුරු සමුදායක්.ඒ වගේම අනිකුත් තොරතුරු ලැබෙන මාධ්‍ය බොහොමයක තියෙන්නේ අතිශයෝක්තියෙන් කෙරෙන විස්තරයක් (නිල් චිත්‍රපට හෙවත් වැල, සහ අසැබි පත්තර ).ඉතින් මේ විදිහට දැනුම අතින් අසම්පූර්ණව ලිංගික ජීවිතයට පිවිසෙන්න වෙන එක මම දකින්නේ අපරාධයක් විදිහට.මොකද අපි කරන හැම ක්‍රියාවක්ම අවසානයේ සංකේන්ද්‍රණය වෙන්නේ ලිංගිකත්වයටයි කියලා 'ගැනොන් මහත්මයා ලියපු වෛද්‍ය විද්‍යා භෞතවේදය කෘතියේ සඳහන් වෙනවා.


ඉතින් එහෙව් එකේ මේ ගැන හොඳ දැක්මක් සහ අවබෝධයක් ඇත්නම් ජීවිතේ තෘප්තිමත් කරගන්ඩ ලොකු පිටිවහලක් වේවි කියලා මම හිතනවා.කට්ටිය බලලා ඇතිනේ 'බ්ලූ ලැගූන්' කියන චිත්‍රපටිය.ඒකෙ දැක්වෙන විදිහටම තමයි ඇත්තටම ලිංගික සම්බන්ධයක් සඳහා පෙර දැනීමක් අවශ්‍ය නෑ.නමුත් තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් සඳහා හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.ඒ වගේම සමහරුන්ට මේ අවබෝධය නිකම්ම ඇතිවෙන්නෙත් නෑ.ඒ නිසා තමයි බැඳපු අය ළමයි නෑ කියලා ක්ලින්ක් එකට ආවම ඒ අය නිසි ආකාරයෙන් ලිංගිකව එක්වෙනවද කියලා අපි හරියටම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙන්නේ.

හරි ඔන්න මම මූලිකම තැන ඉඳලා විස්තර කරන්ඩයි යන්නේ.සියල්ලම විස්තර නොවෙන්ඩත් පුළුවන්.එහෙම තිබුණොත් කොමෙන්ට් එකක් දාන්ඩ.මම හොයලා ඒ ගැන කියන්නම්.

ලිංගික සංසර්ගය කියන්නේ පිරිමියාගේ සෘජු වෙච්ච ශිෂ්ණය ගැහැනියගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඇරඹෙන ක්‍රියාවලියක්.ඊට පස්සේ ඉන්පසු පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ (බොහෝවිට පුරුෂයාගේ) කටී ප්‍රදේශය ඒ කියන්නේ උකුල් ප්‍රදේශය රිද්මයානුකූලව චලනය කිරීම මගින් ශිෂ්ණය යෝනි මාර්ගය තුලම ඉදිරියට හා පසුපසට චලනය කරවීම සිද්ධ වෙනවා.මෙහිදී පුරුෂයාගේ ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශයේ ඇති ස්නායු අග්‍ර යෝනි බිත්තියේ ඇතිල්ලීම නිසා ජනනය වෙන ස්නායු ආවේග මොළය කරා ගමන් කිරීමෙන් පස්සේ තෘප්තිමත් එහෙම නැත්නම් සතුටුදායක හැඟීමක් මොළයේ ජනනය වෙනවා.

ඒ වගේම ස්ත්‍රියගේ යෝනි බිත්තියේ ඇති ඇදීමට සංවේදී ස්නායු අග්‍ර මෙන්ම අනෙකුත් සංවේදී ස්ථාන (පස්සේ විස්තර කරන්නම් ) උත්තේජනය වෙලා ඒ ස්නායු ආවේග මොළයට ගෙන ගොස් තෘප්තිය නම් හැඟීම ජනිත කරවනවා.

පුරුෂයාගේ සුරාන්තය හෙවත් Orgasm සිද්ධ වෙන්නේ ශුක්‍ර තරලය පිටත් වීමත් සමඟමයි.සුරාන්තය කියන්නේ ලිංගික තෘප්තියේ උච්චතම අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්.පුරුෂයෙක්ට සාමාන්‍ය යෝනික සංසර්ගයකදී සුරාන්තයට පත්වෙන්ඩ ගතවෙන්නේ මිනිත්තු 4ක් විතර කියලා තමයි කියන්නේ.ඒත් ගැහැනු කෙනෙක්ට මේ සඳහා මිනිත්තු 10-15ක් විතර ගත වෙනවලු.මෙන්න මේ වගේ තැන්වලදි තමයි දැනුම අවශ්‍ය වෙන්නේ.ලිංගිකත්වය ඇත්තටම තියෙන්නේ ඊළඟ පරම්පරාව ජනිත කිරීමට උනාට මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ සතුට ලබා ගැනීමේ සහ එකිනෙකා අතර ලොකු බැඳීමක් ඇති කර ගැනීමේ මාර්ගයක් විදිහටයි.ඒකනේ අනිත් සත්තු බොහොමයකගේ ලිංගික ක්‍රියා වසරේ යම් කාලයකට සීමා වෙලා තිබුණට මිනිස්සු වසර පුරාම ලිංගිකව එක් වීම සිද්ධ වෙන්නේ.ඉතින් පිරිමියා තමන්ගේ තෘප්තිය ලබාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවනම් ගැහැනියට ඒ තෘප්තිය ලැබෙන්නේ නැත්නම් ඇය කලකිරීමට පත්වීම හෝ වෙන තැනකින් ඒ සතුට සොයා යන්ඩ ඉඩ තියෙනවා.


එතකොට මේ ලිංගික ක්‍රියාව මේ කියන ශිෂ්ණ යෝනි සංසර්ගයට සීමා වෙනවද? අපෝ නෑ.මිනිස්සු මේ ක්‍රියාවට විකල්ප රාශියක් හොයාගෙන තියෙන්නේ.

ස්වයං වින්දනය

මළලසේකර ශබ්ද කෝෂයේ ස්වයං වින්දනය විස්තර කරන්නේ අතින් පිරිමැද කරන ශුක්‍ර මෝචනය කියලා.ඒ උනාට මේක ගැහැනුන්ටත් අදාලයි.අපේ සංස්කෘතියේ ගැහැනුන්ගේ කන්‍යාභාවයට ලොකු අවධානයක් තියෙන නිසා සහ ගැහැනුන් එවැනි ක්‍රියා කිරීම අශ්ලීල යැයි මතයක් ගොඩ නගා ඇති නිසාත් බොහොමයක් ගැහැනු ඒ ක්‍රියාවට යොමු වෙන්ඩ බියක් දක්වනවා.පිරිමින් බොහොමයක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සිය අතින් ශිෂ්ණය අල්ලාගෙන අත ඉදිරියට සහ පසුපසට චලනය කරවීමෙන්.ගැහැනුන්ට මේ සඳහා ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම කන්‍යාභාවය නැති අයට යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයට සමාන වෙනත් උපකරණ භාවිතයෙන් සුරාන්තයට එළඹෙන්න පුළුවන්.
























ඒ සඳහා විවිධ වර්ගවල කෘත්‍රීම උපකරණ හදලා තියෙනවා.ලංකාවේ මේවා හොයාගන්න එක එච්චර පහසු නැති උනාට ලෝකේ අනිත් රටවල මේවා පහසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.මේ උපකරණ අතර කෘත්‍රිමව කම්පණය වෙන ඒවා වගේම ක්ලිටොරිසය උත්තේජනය කරන සහ G ස්පොට් එක උත්තේජනය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවූ උපකරණත් දකින්න පුළුවන්.

පිරිමින්ටත් කෘත්‍රීම යෝනි මිළදී ගන්ඩ පුළුවන්.ඒවාත් විවිධ වර්ගවලින් දකින්ඩ ලැබෙනවා.








දැන් මේවා ගැන කිව්වේ මේවා ලංකාවේ හොයාගන්ඩ අපහසු උනාට මේවා ලංකාවට අවශ්‍යයි කියන මතේ මම ඉන්න නිසා.මොකද මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා නිසි ලෙස සැපිරුනේ නැති උනාම මානසිකව ආතතියක් නිර්මාණය වෙන්ඩ පුළුවන්.ගොඩක් වෙලාවට සමහරු සමාජයේදි පුපුරා හැලෙන්නේ මේ ලිංගික තෘප්තිය ප්‍රමාණවත්ව නොලැබීම නිසා වෙන්ඩ පුළුවන්.ඉතින් මේ ආතතිය වෙනත් විදිහකට පිට කරන්ඩ උත්සාහ කිරීම තුලින් වෙනත් සමාජීය ප්‍රශ්න නිර්මාණය වෙනවා වගේම ලිංගික අඩන්තේට්ටම් කිරීම් අපචාර ක්‍රියා ආදියටත් හේතුවක් වෙන්ඩ පුළුවන්.මේ කියන ස්වයං වින්දන ක්‍රමවේදය හැමදාටම පාවිච්චි කළයුතු දෙයක්ය කියලා මම කියන්නේ නෑ.ඒත් බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් ඉද්දි වගේම ඉන් පසුව ටික කාලයක් යනකං, හමුදාවේ ඉන්න සැමියා නිවාඩුවට ගෙදර එනකන් වගේම මැදපෙරදිග ගිය බිරිඳ ගෙදර එනකං වගේ අපි දකින ප්‍රයෝගික අවස්ථාවලට ස්වයං වින්දනය කියන්නේ බොහොම හොඳ විකල්පයක්.

ගුද රමණය

මේ කියන්නේ පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හෝ වෙනත් පුරුෂයෙකුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදුකරන සංසර්ගයයි.යෝනි මාර්ගයට වඩා ගුද මාර්ගයේ ඇති තද භාවය සහ එම ක්‍රියාවේ ඇති අශ්ලීල භාවය සමහරුන් මේ ක්‍රමය වෙත යොමු කරවනවා.ඒ වගේම පිරිමි සමලිංගිකයින් ගුද මාර්ගය හරහා පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරවා ගැනීමටත් මේ ක්‍රියාව යොදා ගන්නවා.නමුත් මෙහිදී ගුද මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ ද තුවාල ඇති වීම මෙන්ම ගුද මාර්ගය විශබීජවල තෝතැන්නක් වීම බොහෝ විට ලිංගිකව සම්ප්‍රේශනය වන වගේම වෙනත් සාමාන්‍ය මුත්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති කිරීමට සමත් වෙනවා.මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ සමාජ රෝගයක් බෝවීමේ අවධානම සාමාන්‍ය ශිෂ්ණ යෝනි සංසර්ගයකදී මෙන් 50 ගුණයක වැඩි වීමක් ගුද සංසර්ගයේදී තියෙනවා කියන එක.

මෞඛ සංසර්ගය

මෙහිදී පුරුෂයාගේ ලිංගය ස්ත්‍රිය විසින් තොල් හා දිව ආශ්‍රිතව උත්තේජනය කරනවා.එමෙන්ම ස්ත්‍රියගේ ක්ලිටොරිසය හා අනෙකුත් සංවේදී ස්ථාන පුරුෂයා සිය දිවෙන් හා තොල් ඇසුරින් උත්තේජනය කිරීමත් අයත් වෙන්නේ මේ කාණ්ඩයටමයි.මේ ක්‍රියාවෙන් ස්ත්‍රියක් සුරාන්තයට පත් කිරීමට ද හැකි නිසා ස්ත්‍රියකට උපරිම ලිංගික තෘප්තිය ලබා දෙන්න මේ ක්‍රමය භාවිතා කරන්ඩ පුළුවං.වැදගත්ම දේ තමයි ස්ත්‍රීන් සුරාන්තයට පත් උනාට පිරිමින්ට වගේ ලිංගික හැඟීම් නැතිවෙලා යන්නේ නෑ.ඒ අයට අවශ්‍යනම් පිට පිට සුරාන්ත කීපයක් උනත් ලබාගන්ඩ පුලුවන්.ඒ නිසා ශිෂ්ණ යෝනි සංසර්ගයට පෙර ස්ත්‍රිය සුරාන්තයට පත් කිරීම ඇය තෘප්තිමත් කිරීමේ හොඳ ක්‍රමයක්.මුඛ සංසර්ගයේදීත් සමාජ රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්ත කොන්ඩම් (උපත් පාලන කොපු ) නිර්මාණය කරලා තියෙන්නේ.

කළවා අතර සිදු කරන සංසර්ගය

මෙහිදී ස්ත්‍රියගේ කළවා අතරට යම් ලිහිසි කාරකයක් දමා එකට ළං කළ කළවා අතරින් ශිෂ්ණය ගමන් කරවා සංසර්ගයේ යෙදෙනවා.මේ ක්‍රියාව බොහෝ විට සිද්ධ කරන්නේ ස්ත්‍රියගේ කන්‍යාභාවය රැක ගැනීමට සහ දරු පිළිසිඳීමක් වළක්වා ගැනීමට.මේ වගේම පියයුරු අතර ශිෂ්ණය තබා සංසර්ගයේ යෙදීමත් දකින්ඩ පුළුවන්.මේ කුමන ක්‍රමය භාවිතා කලත් යෝනි මාර්ගය අවට ශුක්‍ර තරලය ගෑවීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන එක හොඳයි.

සමලිංගිකත්වය මානසික රෝගයක් විදිහට දැං සැලකෙන්නේ නෑ.ඒ උනත් එහෙම නොවෙන එක එහෙම වෙනවට වඩා හොඳයිනේ.ඒත් ඉතිං සමහරුන්ට එහෙම නැතුවම බැරි වෙනවා.ඉතිං එහෙම අය අනිත් අයව පොළඹවා ගන්නැතුව තමුන් වගේම වෙන කෙනෙක් හොයාගන්නවනං තමයි හොඳ.

එයිට අමතරව සතුන් එක්ක ලිංගිකව එකතු වීම සහ මෘත ශරීර සමඟ ලිංගිකව එකතු වීම ආදී මානසික රෝගමය තත්ත්ව ඇති අයත් සමාජයේ ඉන්නවා.අනිත් භයානකම කට්ටිය තමයි බාල අපරාධ සිද්ධ කරන්නන්.ඔවුන් කුඩා දරුවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ කුඩා දරුවන්ගේ ප්‍රතිරෝධය අවම වීම නිසා වගේම මානසිකව ඔවුන් රෝගීන් වීම නිසයි.

කෙසේ වෙතත් ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.මේවා ආගමික බලපෑම් මත සෑහෙන කාලෙකට ඉස්සර සම්මත උනු නමුත් සංශෝධනය විය යුතු යල් පැනගිය නීති.නමුත් කවුරුත් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ.ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් හොඳේ...






මේ රූපේ තියෙන්නේ ලිංගික ක්‍රියාවේදී භාවිතා වෙන ලිංගික ඉරියව් කීපයක්.ඒවා අතරින් මුලින්ම තියෙන ඉරියව්ව තමයි බහුලවම භාවිතා වෙන්නේ.තමංගේ සහකරු/සහකාරියගේ කැමැත්ත ඇතුව අනිත් ඕනෑම ඉරියව්වක් භාවිතා කළාට ගැටළුවක් නෑ.වැදගත්ම දේ තමයි අන්‍යොන්‍ය අවබෝධය.