23 January 2014

උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොඳ පාඩං...





දුක සැප නිති පෙරළේ අර මොකක්ද එක වාගේ කියලා කවුද මන්දා කියලා තියෙනවා නෙව.ඔන්න ඉතිං මගේ ජීවිත කතා පොජ්ජේ අලුත්ම පෙරළිය ගැන කතා පොජ්ජක් මන්දු කරන්ඩ තමා මේ ලෑස්ති වෙන්නේ.

රට රකින පංච මහා බලවේගේ වෙච්ච සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන සැට් එකේ දෙවෙනියට ඉන්න වෙද කියන කට්ටිය ගැන හෙන ලොකුවට අපිට පොඩි කාලේ ඉඳලා කියලා තියෙන හින්දාත්, ඉස්කෝලෙ ගියාම ගුරුවරු, වැඩිහිටියො, අසල්වැසියෝ, යාලු මිත්‍රයෝ හැම එකාම ඕක කරගත්තනං හරි කියලා ගොනාට අන්දවපු හින්දාත්, කරුමෙට වගේ උ\පෙ පාස් වෙච්ච හින්දාත්, තාමත් ලංකාවේ සල්ලි නොගෙවා මෙව්වා උපාධිය ගන්ඩ ඇහැක් හින්දාත් මාත් අත්දිග කලිසමක් ඇඳලා බෙල්ට් එකක් කාරිය දාගෙන, දත් මැදලා කබ කඩලා පුංචි බොරැල්ලේ තියෙන මෙව්වා එකෙං වෛද්‍ය උපාධිය ගන්ඩ ගියා නෙව.

අනිත් උං කෙළ හලාගෙන හොටු පෙරාගෙන පාඩං කරද්දි පුරුදු විදිහටම වෙන වෙන වල්පල් වැඩවලට සෙට් වෙලා නොමග ගිහිල්ලා අන්තිමට හැරිලා බලද්දි ආපහු එන පාර හොයාගන්ඩත් බැරි උනා ආයිබෝවං.කිව්වට මොකෝ මම හිතුවේ මේක මේ අනිත් උං වගේ මැරීගෙන පාඩං කරන්ඩ තරං කාරියක් නෙමෙයි, මං දස්සයි නෙව ඒක හින්දා මේක සුටුස් ගාලා පාස් වෙන්ඩ පුළුවං කියලා.හුඃ අන්තිමට ආවනේ බොලේ රිසල්ට්ස්.

වැඩ පහකිං දෙකක් ෆේල් වෙලා අන්තිමේ
උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොඳ පාඩං //
මම නං
ගඟේ පනිනවා
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලුවට
බෙල්ල තියනවා
ජීවිතේ
එපා කියනවා
කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා

හරි හරි අඬන්ඩ එපා බොලව්.විභාග තියෙන්නේ කට්ටියක් ෆේල් කරන්ඩ නෙව.එහෙම නැත්තං ඔක්කොමල්ලට ඩිග්‍රිය බෙදාගෙන යන්ඩ තිබ්බනේ.ඒක හින්දා ඒ අය මහන්සි වෙලා තියන විභාගවලින් කවුරු හරි ෆේල් වෙන්ඩත් ඕනේ.නැත්තං පව්නේ අප්පා.නැවත විභාගේ ඒ කියන්නේ රිපීට් එග්සෑම් එක තියෙන්නේ මැයි මාසෙ කියලා තමා කියන්නේ.එතකං කර්න්ඩ වැඩකුත් තියෙන්ඩ ඕනේ හින්දා රජරට කැම්පස් එකේ ජොබ් එකක් හොයාගත්තා.දැං ජීවත් වෙන්නේ සුන්දර රජරට.


ෂුඃ රජරට කියන්නේ සුරපුරයක් බොලව්.ලංකාවේ වැඩිම ගණිකාවො ඉන්න වගේම වැඩිම HIV ආසාදිතයින් ඉන්නෙත් මේ පුණ්‍ය භූමියේ.ටැප් එකකිං වතුර ටිකක් බොන්ඩ බැරි උනාට, හවස් වෙනකොට මදුරුවෝ වටකර ගත්තට මේ පැත්තේ තියෙන නිදහස පට්ට ආතල්.කොළඹ වගේ, ගම්පහ වගේ මිනිස්සු එකට මිරිකිලා ගුලිවෙලා ඉන්නේ නෑ.හොඳට ඉඩකඩ තියෙනවා.වාහන සද්දේ එහෙමත් වැඩිය නෑ.ඕනේ නං නාන්ඩ වැව් තියෙනවා, සෙල්ලං කරන්ඩ ෆැකල්ටියේ පිට්ටනිය තියෙනවා.පොඩි අවුලකට තියෙන්නේ ෆැකල්ටියේ පිට්ටනියේ පොළොංගු ඉන්නවා කියන එක තමා.හැබැයි තාම දැක්කේ එක ගැරඬියෙක් විතරයි.

මෙහෙ තවම ආවට වැඩිය එහෙ මෙහේ යන්ඩ හම්බ උනේ නෑ.හැම සති අන්තෙම අපේ එකෙක් බඳිනවා.ඉතිං ගෙදර යන්ඩ වෙනවා.ඉතිං ඒ හින්දා මෙහේ සිද්දි ඇතුළුව මගේ බ්ලොග යාවත්කාලීන කරන්ඩ හරියට වැඩ අල්ලන්ඩ තව ටික දවසක් යනවා.ඒ අතරේ පිං කැමති කවුරුහරි ඉන්නවනං අනාගත වෛද්‍යවරයෙක්ට රජරට ඉඳලා වකුගඩු කෙළ උනාම O පොසිටිව් වකුගඩුවක් දන් දෙන්ඩ චෑන්ස් එකක් සෙට් වෙයි සමහර විට.ලෑස්ති පිට ඉන්ඩ හරිය.ඔන්න අපි කැපුනා.අනුරාධපුරේ ශුෂ්කයි කිව්වට සීතලයි බොලව්......



04 January 2014

කොන්ඩම් ප්‍රශ්නයක්....





ටිකක් කාර්ය බහුල වෙච්ච හන්දා බ්ලොග් එක බලන්ඩවත් බ්ලොග් කියවන්ඩවත් හම්බ උනේ නෑ.අපිත් දැං පරිණත වයසක මිනිස්සු වෙච්ච එකේ ශ්‍රම බලකායටත් එක්කාසු වෙන්ඩ කාලෙත් හරි.බලමුකෝ ඒවත් එන එන විදිහට ගහමු උළුවස්ස.බ්ලොග් එක නිකාං ඔහේ පාළු වෙලා යනවා දැක්කම මගේ පපුව හෝස් ගාලා ගියා.ඒ හින්දා පුංචි පහේ ගැටළුවක් දෙන්ඩ තීරණය කළා මගේ සහෘද පාඨක ජනතාවට.ඕං ඉස්සෙල්ලාම කියන්ඩ ඕනෑ මට ඇත්තටම මතක නෑ මම මේක බ්ලොගේ කළිං දැම්මද කියලා.මට හිතෙන්නේ දැම්මේ නෑ වගේ.ඒ වගේම මේක වෙන කොහෙවත් කවුරුවත් දාලා තියෙනවද කියලා දන්නෙත් නෑ.එහෙම දාලා තියේ නං මේ බුද්ධිමය දේපල කොල්ල කෑමක් නෙමෙයි නොදැනුවත් කම හින්දා වෙච්චි අහිංසක අත් වැරැද්දක් විදිහට සළකලා සමාව දෙන්ඩ ඕනේ හරිය!!

මේක මේ මතක් උනේ අපේ කාටවත් කඩේ නොයන පොලිස් මාජ්ජ ප්‍රකාශක ඇත්තා මේ ඊයෙ පෙරේදා කියලා තියෙනවනේ කොන්ඩම් ළඟ තියං ඉන්න එක නීතිය ඉදිරියේ වැරැද්දක් නෙමෙයි ය කියලා.උන්දැගෙ හිතේ අපි ඒක දන්නෑ කියලා.ඇයි බොලේ කඩේ විකුණන්ඩ තියෙන එක අවුලක් නැත්තං, කොන්ඩම් තියෙන්නේ මිනිස්සුන්ට අරං පාවිච්චි කරන්ඩ නං, ඒකක් ළඟ තියං ඉන්න එක වැරැද්දක් වෙන්ඩ ඇහැක්ද මං අහන්නේ?විකුණන එක අවුලක් නෑ හැබැයි ළඟ තියං ඉන්න එක අවුල් නං ඔය ෆාමසිවලයි ඔය සමහර සිල්ලර කඩවලයි පැත්තෙං පුංචියට මඩුවක් හරි කූඩාරමක් හරි ගහලා දෙන්ඩ ඕනෑ පාරිභෝගික ජනතාවට කොන්ඩම් එක ගත්තු ගමං පාවිච්චි කරලම ගෙදර යන්ඩ.

හරි ඒවයිං වැඩක් නෑ.දැං එමු අපි මොළේ කළඹවන ලොවෙත් ගැටළුව ගැන කතා කරන්ඩ.

හරියට අහගන්ඩ ඕනෑ හරිය!!

ඔන්න එක ස්ත්‍රී රත්නයක් ඉන්නවා ලිංගිකව සම්ප්‍රේශනය වෙන ලෙඩක් තියෙන.අපි කියමුකෝ ගොනෝරියාව කියලා.මේ ගෑනු මනුස්සයා එක්ක අහවල් වැඩේ හෙවත් රමණ සාජ්ජයක් දාන්ඩ සෙට් වෙනවා කොල්ලො තුන් දෙනෙක්.වැඩේ කියන්නේ මේ කොල්ලො තුන්දෙනාටත් ජාති තුනක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග තුනක් තියෙනවා.අපි කියමු එක්කෙනෙක්ට තියෙනවා සිෆිලිස්, තවත් එකෙක්ට තියෙනවා HIV, අනිත් එකාට තියෙනවා හර්පීස් කියලා.





දැං පැහැදිලියිද සීන් එක.හතර දෙනාටම තියෙනවා ලිංගිකව සම්ප්‍රේශනය වෙන ලෙඩ හතරක්.හැබැයි කොල්ලො තුන්දෙනාම වැඩේ අතෑරලා යන්ඩ කැමති නෑ.අපි කියමුකෝ තුන් දෙනාම හිරෙන් අවුරුදු ගාණකට පස්සේ නිදහස් වෙච්ච ගමං කියලා.ගෑනු මනුස්සයත් අකමැති නෑලු.හැබැයි අවාසනාවක මහත කියන්නේ (නිශාන්ත මුතුහෙට්ටිගම තරං විතර මහතයි ඈ ) කොල්ලො තුන්දෙනා ගාව තියෙන්නේ කොන්ඩම් දෙකක් විතරයි.(කොන්ඩම් පැකැට්ටුවක් කොන්ඩම් තුනක් තිබෙන මුත් මේ අවස්ථාවේදී එයින් එකක් පළුදු වී ඇති බව ඔවුන් සොයා ගත් බව සළකන්න ) දැං ඉතිං මොකද කරන්නේ කොන්ඩම් දෙකෙන් කොහොමද තුන්දෙනාම අහවල් වැඩේ කරන්නේ ලෙඩක් හදා ගන්නෙත් නැතුව කියලා කල්පනා කරලා කරලා කරලා කරලා කට්ටිය හොයා ගත්තා විසඳුමක්.

මොකක්ද ඒ විසඳුම කියලා තමයි අද ප්‍රශ්නය.ඔබේ පිළිතුරු තැපැල්පත්වල පමණක් ලියා පෝස්ටුවට පහලින් ඇති කොමෙන්ටු තීරුවේ දමන මෙන් කාරුණිකව දන්වා සිටිමි.ජයග්‍රාහකයින්ට අපේ රජ පවුලේ දැවැන්ත වෛවර්ණ ඡායාරූපයක් බැගින් ලබා දෙනු ලැබේ...

උත්තරේ කල්පනා කරද්දි සැළකිළිමත් වෙන්ඩ ඕනෑ එක කොල්ලෙක්ගේ ලෙඩක් තව කොල්ලෙක්ට බෝ වෙන්ඩත් බෑ.ඒ වගේම මේ ගැටළුව විසඳීම සඳහා ඔබ එදිනෙදා කොන්ඩම් බාවිතා කරන තත්‍ය ක්‍රමවේදයෙන් මදක් බැහැර වූ කාල්පණික ක්‍රම වේදයක් කරා යොමු වීමද අවශ්‍ය වෙනවා.

හරි එහෙනං හොඳට කල්පනා කරලා උත්තරේ හොයන්ඩ බලන්ඩ.මොකද අපේ සුන්දර සිරි ලංකාව ආශ්චර්යයේ මෙව්වා එක උනාම මේ වගේ අනපේක්ෂිත අර්බුධවලට ඔය කට්ටියත් මූණ පාන්ඩ පුළුවං....එහෙනං ජය වේවා!!!





ඔන්න දැම්මා උත්තරේ යටිං

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අපි ඉස්සෙල්ලාම කොන්ඩම් දෙක නම් කරගම්මුකෝ A සහ B කියලා.පළවෙනි කොල්ලා දාගන්නවා කොන්ඩම් දෙකම.A කොන්ඩම් එක ඇතුලෙනුත් B කොන්ඩම් එක පිටතටත් විදිහට.එයාගේ වැඩේ ඉවර උනාම දෙවෙනි එක්කෙනා දාගන්නවා B කොන්ඩම් එක.ඒකේ ඇතුල් පැත්තේ මොනවත් ගෑවිලා නෑනේ.ඊට පස්සේ තුන් වෙනියා දාගන්නවා A කොන්ඩම් එක කනපිට හරවලා.A කොන්ඩම් එකේ පිට පැත්තේ මොනවත් ගෑවිලා නෑ නෙව.ඊට පස්සේ B කොන්ඩම් එක දාගන්නවා A කොන්ඩම් එකට උඩිං.මොකද B කොන්ඩම් එකේ පිට පැත්ත ගෑවිලා තියෙන්නේ ගෑනු මනුස්සයගේ මෙව්වා එකේ විතරයිනේ.

ඔන්න ඔහොමයි අරපිරිමැස්මෙන් වැඩ කරන්නේ.හැබැයි මේක ප්‍රායෝගිකව කරන්ඩ බෑ හොඳේ.ඒක හින්දා සැබෑ ලෝකයේදී මෙව්වා කරදී සල්ලි සල්ලි කියලා බලන්නැතුව ඇති වෙන්ඩ කොන්ඩම් අරං යන්ඩ.වරකට එක බැගින් පාවිච්චි කරන්ඩ.




12 December 2013

බූවල්ලා




කට්ටියට අදත් අපි ෆැකල්ටි එකේ දාපු ආතල් එකක් පෙන්නන්ඩයි යන්නේ.ඔන්න එහෙනං හරි බරි ගැහිලා ඉඳගෙන, අහල පහල කට්ටියටත් එන්ඩ කියලා, ඔය පොප්කෝර්න්, ටිපිටිප් වගේ දේකුත් ලෑස්ති කරගෙන මතක ඇතුව වාඩි වෙන්ඩ කලිං මුත්‍ර පහ කරලා සිත කය මනස සංසුන් කරගෙන එකත්පසව වාඩි වෙන්ඩ.

මේක ඇවිල්ලා අපි 2007 උසස් පෙළ කණ්ඩායම අපේ ෆැකල්ටියේ කලා සංගමය හෙවත් ආර්ට් එකේ අය ලෑස්ති කරපු අවුරෝරා නාට්‍ය තරඟයට කරපු නාට්‍යය.මේ නාට්‍ය තරඟයේ විනිශ්චය කටයුතු කරන්ඩ ගෙන්නුවේ ආයේ ලේසි පාසු සෙට් එකක් එහෙම නෙමෙයි හොඳේ..

ඉන්දික ෆර්ඩිනැන්ඩු
ජගත් චමිල
අනුසුයා සුභසිංහ

කියන නාට්‍යකරණයේ කෙළ පැමිණි තුන්දෙනා තමයි ආවේ.( 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය උනු 'කළම්බෝ' නාට්‍යයේ කට්ටිය ඈ.)

කොහොම හරි අන්තිමේ සම්මාන රැසක් සමඟ විනිශ්චය මණ්ඩලයේ පැසසුම් මැද අපේ නාට්‍යය වෙච්ච 'බූවල්ලා' මුල් තැන ගත්තා.

මේ නාට්‍යය අපේ කසුන් යූටියුබ් එකට දාලා දැං සෑහෙන දවසක් උනත් ඕඩියෝවල තියෙන අවුල හින්දා මම ඒක බ්ලොගේ දැම්මේ නෑ.සෑහෙන්ඩ කල්පනා කළාම මට ආවා ඒ අවුලට විසඳුමක්.ඒ කියන්නේ අපේ නාට්‍යට උපශීර්ෂ හෙවත් සබ්ටයිටල් දාන්ඩ දවස් ගාණක් කට්ට කාලා ඔන්න අද තමයි ඉවරයක් උනේ.

ඒක හින්දා ඔන්න බලන කට්ටිය යූ ටියුබ් එකේ තියෙන අර Captions කියන මෙව්වා එක ඔබලා බලන්ඩ ඈ.

ඔන්න කලිං ක්ලිප් එකේ වගේම මේකෙත් මම කවුද කියලා අහන්ඩ ඔට්ටු නෑ හරිය!!






තාරකටයි මටයි දෙන්නටම ඕනේ උනා ඔය හතරවෙනි තට්ටුවේ සීන් එකක් කරන්ඩ.ඔය ඇමති රථපෙළවල් ගැන තියෙන මගේ මළ හින්දා ඒකත් කතාවට සෙට් කරගත්තා.ඉතුරු ටික ඉතිං කට්ටියගෙම සහයෝගයෙන් තමයි.ඇත්තම කියනවනං පිටපතක් කියලා එකක් ලිව්වේ නාට්‍ය පෙන්නන්ඩ පොඩ්ඩකට කළිං අනිත් උංගේ නාට්‍ය පෙන්නන වෙලාවේ.ඒකත් ලිව්වේ විනිශ්චය මණ්ඩලේට පිටපතක් ඕනේ කිව්ව හින්දා.

ඩේටා පොඩ්ඩක් යනවා තමයි.ඒ උනත් ඔන්නොහේ බලන්ඩ මෙයාලා.මොකෝ මැරෙන දාකට ඔය ඩේටා අරං යන්ඩයෑ.අනික කොච්චර බැලුවත් වැල ඔක්කොම එක වගේ තමයි.

නාට්‍යයේ රංගන දායකත්වය :

තාරක
නිපුන්
නදීශානි
දිනුක
දනුශි
රුචිර
ශෂික
චාමර

එයිට අමතරව අපේ බැච් එකේ සංගීතා නොමද සහයක් දුන්නා.ඒ වගේම නාට්‍යය ලෑස්ති කරන වෙලාවේ බලලා ගුණදොස් කියලා හැමෝම දුන්නා ෆුල් සපෝට් එක.නාට්‍යය හැදුවේ,

 "හතේ අපි.."


08 December 2013

කලා කාරයිංවත් දඩයං කරන්ඩ පටං අරන් නේ බං....





'නෑ මචං මම කියන්නේ ලොක්කා ඡන්දෙ ඉල්ලද්දි දඩි දඩි ගාලා පපුවට ගහගෙන ඉස්ටේජ් එකේ බෙරිහං දීලා කිව්වනේ බං දේශීයත්වය සුරකිනවා.දේශීය කලා කර්මාන්ත දියුණු කරනවා කියලා.'

'ඉතිං'

'නෑ දැං බලහං ලොක්කා අඳින්නේ මොකක්ද?  සරම. කන්නේ කුරහං. දේශීය දේ අගය කරන්ඩ කියලා මිනිහමනේ අපිට කියන්නේ බං.'

'ඉතිං හරි බං.මොකද්ද දැං අවුල?'

'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං'

'මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?'

'ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.'

'මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'

'ඇයි බං කැටයම් චින්තක. පවු කොහෙ හරි ඈත පැත්තක කැටයමක් කපාගෙන හිටපු අහිංසක ඩයල් එකක් වෙන්ඩැති.පොලීසියෙං ගෙනිහිල්ලා එල්ලලා දෙකක් ගහලා අහනකොට කියන්ඩ ඇති ගෙදර ආයුධ තියෙනවා කියලා.ඇයි බං කැටයං කපන උං ගාව තියෙනවනේ ඔය නියං, යතුකැට, අතකොලු එහෙම.ඒ ආයුධ පෙන්නන්ඩ කියලා අරං යද්දි පොලීසියේ උං ගේම දීලනේ බං.ඔන්න රටට වෙලා තියෙන දේ.'

'මේ මචං, උඹට විභාගේ නේද? ඒක හින්දා මේ දන්නෙ නැති උලව් වලට හොට දාගෙන ලත වෙන්නැතුව ගිහිල්ලා අලයක් බා ගනිං.ෂිඃ මුගේ ගොං කතාව අහන්ඩ මාත් නැවතිලා හිටියනේ.' මම පිඟානත් අරං චමරිය පැත්තට ගියේ කන්ඩ.
'අඩෝ චමරියේ ගාන වැඩි කරලා.බජට් එකෙං වියදං වැඩි වෙලාලු.ඒ නිසා කණගාටුවෙන් දන්වා සිටිනවලු කෑම ගාස්තු වැඩි කරන්ඩ වෙනවා කියලා.' කොටා නෝටිස් බෝඩ් එක ඉස්සරහා හොටු පෙරාගෙන අඬනවා.

'අඩෝ බොරු කියන්ඩ එපා ඩෝ.බජට් එකෙං පොඩි මිනිස්සුංගේ බඩට ගහලා නෑ යකෝ.' ඩිලා පැන්නා මැද්දට.ඩිලා ඒ දවස්වල ඉඳලා ලොක්කට කඩේ ගිය එකම තමයි කළේ.ඌ කැපුවත් නිල් යකෝ කිය කිය පොර ටෝක් දෙද්දි සෙට් එකක් ඌව කපලා බලන්ඩ ලෑස්ති උනාට පස්සේ ටික දවසක් සද්ද වහලා හිටියත් ආයෙමත් ඔන්න සද්දෙ පටං අරං.ලොක්කා පස්සෙ යන උං ඔක්කොම ඔහොම්මමය.

ගණං වැඩි උනා කිව්වට, ආර්ථික අර්බුධ ඔළුවට තේරුණාට බඩට තේරෙන්නේ නැත.ඒ හින්දා චමරි කාඩ් එක ගන්ඩ කසුනගෙං තවත් රුපියල් සීයක් විතර ලෝන් එකක් ගහන්ඩ හිතාගෙන ඌව හොයද්දි ඌ මැච් එක බලනවා.

'අඩෝ කසුනා රුපියල් සීයක් දියංකෝ.මහපොළ දැම්මම දෙන්නං'

'උඹට සල්ලි දෙන්නං එදා ගත්තු පන්සීය ආපහු දුන්නම.මොකක්ද බං උඹලගේ වැඩ.උඹ චාමරයටත් දාහක් ණයයි.හර්ෂයගෙනුත් දාහක් ද එක්දාස් පන්සීයක් ද කොහෙද ඉල්ලගත්තා එදා මමත් ඉන්න තැනම.බලහං උඹ ලෝකෙට කොච්චර ණයද කියලා.'

'මචං කසුන් ගොනෙක් වගේ ගොං කතා කියන්ඩ එපා.'

'කවුද යකෝ ගොනා..'

'උඹලා කැම්පස් ආවට ආර්ථික විද්‍යාව ගැන ඇඹිටිල්ලං දෙයක් වත් දන්නෑනේ."ඒකපුද්ගල ආදායම" කියලා සංකල්පයක් තිබ්බට "ඒකපුද්ගල ණය බර" කියලා සංකල්පයක් නෑ.කවුරුහරි එහෙම එකක් ගැන කියනවනං ඒ මීහරකෙක් වෙන්ඩ ඕනෑ.'

'තෝ බඩගින්නේ මැරියං.දෙන්නෑ උඹට සත පහක්'

'අඩෝ එහෙම කරන්ඩ එපා බං.මං කන්ඩ නැතුව මළොත් උඹට මගේ කෙල්ලව බාර ගන්ඩ වෙයි හොඳේ.රුපියල් සීයකට මොකටද බං උඹේ ජීවිතෙත් කාළකන්නි කරගන්නේ.ඔන්නොහේ රුපියල් සීයක් දියං බං.මොකෝ උඹ ඔය රුපියල් සීයෙං කුඩු ගහන්ඩ ද?, කැසිනෝ යන්ඩද? සලාකා ගිහිල්ලා බූරු ගහන්ඩද?'

කසුනා මට සීය දුන්නා නෙමෙයි දමලා ගැහුවා.මොනවා උනත් ඌ හිත හොඳ එකා.

බත් එක බෙදාගෙන කන්ඩ ගියාම කට්ටියම විභාගෙ ගැන කතාකිරිල්ල පැත්තකට දාල බජට් එක ගැන කතාව.ඕක ගැන අපි කෙස් පැලෙනකං තර්ක කළත් වැඩක් නෑනේ.අපි කියන දේවල් උන්ට ඇහෙන්නෑනේ.ඇහුනත් අපි කියන දේවල් උං අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නෙත් නෑනේ.ඒක අපි දන්නවා උනාට අපි ආසයි බජට් එක ගැන කතා කරන්ඩ.අපිත් දැං ඡන්දදායකයොනේ.

'ලොක්කා නෑයින්ටම සළකන හැටි බලහංකෝ.එව්වා මහ කැතයි බං.'

'ඇයි උඹලා කියන්නේ උඹලට සළකන්ඩ, උඹලට තනතුරු දෙන්ඩ කියලද? යකෝ රටක් පාලනේ කරන එක මේ කුකුල් කොටුවක් පාලනේ කරනවා වගේ නෙමෙයි.ඔතන වටේටම නෑයෝ ටික ඉන්න හින්දා තමයි ලොක්කට කෙළවන්ඩ කාටවත් බැරි.'
ඩිලාත් බත් එකක් බෙදං ඇවිල්ලා කාව මැද්දට පැන්නා.

'ඒ ලබ්බක් නෙමෙයි බං. මං කිව්වේ බලු කෑම ගණං අඩු කරපු එක ගැන.'
ඩිලා සද්ද වහගත්තා.




'එහෙම කියන්ඩ එපා මචං.බල්ලා කියන්නේ මිනිහගේ ළඟම හිතවතානේ.බල්ලො හදන්නේ ගෙවල්වල ආරක්සාවටනේ.ඌට සළකන්ඩ ඕනේ.නැද්ද ඩිලා?' මම ඇහුවේ ඌව ආයෙත් කතාවට ඇදලා ගන්ඩ.

'හ්ම්ම්..'

'කවුද බං දැං ගෙවල්වල ආරක්ෂාවට බල්ලෝ හදන්නේ? කවුරු හරි 'හුළෙක්' හොයලා ඌට යහන්ගත වෙන්ඩ ගෑනි දුන්නනං හරි.ආයෙ ඉතිං කිසි අවුලක් නෑ.ආරක්ෂාව ශුවර්.'

'ඇත්තටම මචං මම නං කියන්නෙ මොනවා උනත් බූරුවා ගැහිල්ල දේශීය එකක් නේ.ඉතිං ඔය කැසිනෝ වෙනුවට ගන්න අපේ දේ කියලා සූර්ය සිංහ ලකුණ ගහපු බූරු පොට් ටිකක් හැදුවනං හරිනේ බං.'

'ඔව් ඒක නං හොඳයි.ඒත් මචං වැඩේ හොඳට කෙරෙන්ඩ නං දැක්කම ඇඟ දැවිල්ල හැදෙන විදිහේ කෑල්ලකුත් බිස්නස් එකේ ඉන්ඩ ඕනේ.එතකොට තමයි කස්ටමර්ස්ලා වැඩිපුර එන්නෙත් ඒ වගේම ආරක්ෂාවත් එතකොට හොඳයි.'

'ඉතිං ගම්මු කුළියට පට්ට කෑල්ලක්.'

'උඹලා ඔය කියන තරං ලේසි නෑ කෑල්ලක් වැඩට ගන්ඩ.උන්ට දෙන්ඩ වෙයි සෑහෙන ලොකු පඩියක්'

'ඇයි සෑහෙන ලොකු පඩියක් දෙන්ඩ වෙන්නේ?'

'ඇයි බං දැං මාසික ශුද්ධියටත් බදු ගහලනේ තියෙන්නේ...'



30 November 2013

ජේන් නගේ උඹේ මනාපේ කාටද දෙන්නේ?????






විභාගෙ හින්දා මොනවත් ලියන්ඩ බැරි උනා.ඒ වගේම කිය්වන එකත් නැත්තටම වගේ නැතිවෙලා ගිහිල්ලා.මක්කා කරන්ඩද? අන්තිම ජුන්ඩනේ.තව සතියකින් පස්සේ අමාරු වැඩ ටික ඉවරයි.මොනවා උනත් බ්ලොග පාලුවට යන්ඩ දෙන්ඩ බෑනේ.ඒක හින්දා ඔන්න පුංචි වීඩියෝ කෑල්ලක් දෙන්ඩයි හදන්නේ.

මේක මම සෑහෙන දවසක ඉඳං අප්ලෝඩ් කරන්ඩ ට්‍රයි කළත් මේ හච් කනෙක්ෂන් එකේ අවුලක් හින්දා බැරි උනා.ඔන්න අද නිකමට ට්‍රයි කරලා බැලුවම අප්ලෝඩ් උනා.ඒ නිසා මගේ සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මම රංගනයෙන් දායක වෙච්චි නිර්මාණයක් තිළිණ කරන්ඩ ලැබුනා.කට්ටියම බලන්ඩ ඈ.කට ඇරගෙන බලන්ඩ එපා.බ්‍රේක් නැති මැස්සො යයි..(චූටි කාලෙ කරපු සිඟිති ජෝක් එකක් මතක් උනා...හඃ හඃ හා....)

අපේ ෆැකල්ටි එක ගත්තම ආයේ මොනවත් කියලා වැඩක් නෑ ඔය වල්පල් වැඩ තියෙනවා අවුරුද්ද පුරාම.එයින් එකක් තමයි දෙවෙනි වසරෙ ඉන්න කට්ටියට ලෑස්ති කරන්ඩ දෙන Faculty concert එහෙම නැත්තං FAC-CON කියන්නේ.ඒක ලෑස්ති කරද්දි බැච් එකේ උන්ට එකට වැඩ කරන හැටි, අනිත් උංව ශේප් කරගන්න හැටි, සංවිධානාත්මකව ක්‍රියා කිරීමේ හැකියාව, නායකත්වය, වගකීම්, වගේ එකී නොකී දේවල් ඉබේම පුරුදු වෙනවා.ඒවා මේ අර සති දෙකේ නායක්ත්ව ඩිප්ලෝමා වගේ නෙමෙයි, හරිම ප්‍රායෝගික දේවල්.

ඉතිං කොහොම හරි මේ කියන අපේ 2007 උසස් පෙළ කණ්ඩායම ලෑස්ති කරපු FAC-CON එක තිබ්බේ 2009 අවුරුද්දේ.අන්න ඒකට තාරකයි, මමයි, ජිත්තයි, ප්‍රසන්නයයි එකතු වෙලා කරපු පුංචි අයිටම් කෑල්ල තමයි මේ.

ඕකේ මම මොකාටද හිටියේ කියලා අහන්ඩ ඔට්ටු නෑ ඔන්න හරිය!!!




මහ ගොඩක් ඩේටා යන්නේ නෑ ආයිබොවන්ඩ.ලෝබ නැතුව බලන්ඩ ඈ... බලලා තැං තැංවල කිය කිය ගියාට කමක් නෑ ඕං....



11 November 2013

පාප්තුමා තලේබාන් ද මචං?


'ඒ මාර සීන් එක නේ බං වෙලා තියෙන්නේ...'
කොටා කඩාගෙන ආපු පාරට මම බත් එක අහක් කරේ නැත්තං ඌ නතර වෙන්නේ බිත්තරේ ගිලලා.ඒවා කොහෙද මාත් එක්ක.අපිත් ගියේ ඕල්කට් ඉස්කෝලෙකට තමයි.

'මොකක්ද මචං?'

මම බිත්තරේ කටේ දාලා ආපහු අරං පිඟානෙ පැත්තකිං තියලා ඇහුවා.අරූගේ මූණ ඇඹුල් උනා.

'මචං ඩිවයින් ප්ලෑන් එක ලීක් වෙලා..'

'මොන ප්ලෑන් එකද බං? උඹලා චෝගම් එක පටං ගන්න කොට එතන ඉස්සරහට ගිහිල්ලා වීදි නාට්‍යක් කරන්ඩ ගහපු ප්ලෑන් එකද?'

'නෑ බං ඩිවයින් ප්ලෑන වනාහී මෙකී සකල ලෝක වස්තුවත් අහස් තලයත් සූර්යයා, චන්ද්‍රයා ඇතුලු සියලු ආකාශ වස්තූන් මෙන්ම මිහිමත වාසය කරන්නා වූ සියළුම ජීවී අජීවී සංඝටකයන්ගේ අණුවේ පරමාණුවේ සිට නිර්මාණය කර ඇත්තා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින් මවන ලද්දා වූද පසුව ජීවය පිඹින ලද්දා වූද මනුශ්‍ය වර්ගයාට නිදහස් චින්තනය පිරිනමා පසුව එයින්මැ මිනිසා ලෝකයත් වනසා ඌත් නැසී යෑම වළකනු වස් එකී එක් එක් මනුශ්‍යයා සහ සකල විශ්වයේම සිදුවිය යුතු ආකාරය ගැන එකලදීම ඇති කළා වූ දිව්‍යමය සැලැස්ම වේ...'

එක හුස්මට කිව්ව ඌ කසුනාගේ මාලු කෑල්ලට විද්දා.

'හුටා..කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ? ෂුවර් එකටම අපේ පොලීසියේ වැඩක් වෙන්ඩැති.දැක්කනේ අර අනුරාධපුරේ ඩයල් එකට වෙච්ච දේ.දවසක් යන්ඩ කළිං ඇල්ලුවා මොනවද නිකං බබා වගේ කිව්වේ ඔක්කොම මරපු විදිහ.'

'නෑ බං අපේ උන්ට මේ දවස්වල ඕවට වෙලාවක් නෑ.චෝගම්නේ මචං.චෝගම් නම් වූ දැවැන්ත වෛවර්ණ සාටකයෙන් රටේම ජනතාවගේ දෑස් වසා බඩට හුළං ගසා කුසගින්න අමතක කරවා ඇති මෙවන් වූ අවස්ථාවක අපේ පොලීසියට දෙයියංගේ දෙයක්වත් පේන්නේ නෑ.පේන්නේ සාටකේ විතරයි.'

'ඉතිං කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ?'

'ඇමරිකාවේ එන් එස් ඒ එක පාප්තුමාගේ ෆෝන් එකත් ටැප් කරලා තිබ්බ කියලා අර ස්නොව්ඩන් කාරයා කියලා තියෙන්නේ.පාප් තුමා කියන්නේ මචං දෙවියන් වහන්සේ එක්ක සෘජු සම්බන්ධතා තියෙන කෙනා.මනුශ්‍ය සංහතියේ නියෝජිතයා.ඉතිං උන්නාන්සෙගේ ෆෝන් එක ටැප් කළා කියන්නේ ඩිවයින් ප්ලෑන දැං ඔබාමලා දන්නවා.'

'පාප්තුමා තලේබාන් ද මචං?'

'පිස්සුද මචං.පාප් තුමා තලේබාන් නෙමෙයි.මට ඒක ශුවර්.'

'උඹ කොහොමද ඒක ටක්කෙටම කියන්නේ?ඇමරිකන්කාරයෝ මේ අපේ උං වගේ නිකං ආවට ගියාට වැඩක් කරන්නෑ.'

'පාප්තුමාට රැවුලක් තියෙනවද? නෑනේ.ඉතිං කොහොමද තලේබාන් වෙන්නේ? මචං තලේබාන්කාරයොත් නිකං මේ දිවදෙකේ ඩයල් නෙමෙයි.උංගේ එකෙක් වෙන්ඩනං දිගට රැවුල තියෙන්ඩ ඕන.උන්ට තියෙනවා ප්‍රතිපත්ති.උන්ට චින්තනයක් තියෙනවා, දැක්මක් තියෙනවා.'


'ඒ මචං අද සම්බෝලෙට හොඳට උම්බලකඩ දාලා නේද?'
චාමරයා මගෙ පිඟානෙං ලොකු උම්බලකඩ කෑල්ලක් අරං කටේ දා ගත්තා.ෂිඃ ඌට කලිං මං දැක්කේ නෑනේ.

'මචං උම්බලකඩ වනාහී මේ දිනවල ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වන දෙයක්.අවුරුදු 75 - 80 ආච්චිලවම නේ රේප් කරන්නේ.'
කොටාත් උගේ බත් එක බෙදාගෙන ආවා.

'නෙද්දකිං බං.මළ අප්පිරියයි.කන වෙලාවට ජුගුස්සාජනක කතා කියන්නේ.'

'ඕකුංව මචං එල්ලන්ඩ ඕනෙ.කොහෙද මේ එල්ලුං ගහ ගේන්නෑනේ.'
කසුනා කිව්වේ හරියට උගේ එල්ලුං ගහ නැතිවෙලා වගේ.

'ඇයි මචං දැං එල්ලුං ගහ කොහෙද තියෙන්නේ?'

'ඕක හරියන ලබ්බක් නෙමෙයි.එල්ලුංගහට කඹේ ගේන්නේ ජර්මනියෙං.ඕක එක කඹයක් ගෙනල්ලා මේ ඉන්න ඔක්කොම හැත්ත එල්ලන්ඩ බෑ.ඉතිං කඹ ගේන ටෙන්ඩර් එකෙනුත් කොමිස් ගහලා අපේ ලොක්කො මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතෙනුයි, නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතෙනුයි ඉඩං අරගන්නවා.අනික මචං දැං ඕක ගෙනාවත් දැනට මරන්ඩ ඉන්න සෙට් එකේ හැටියට සෑහෙන දිග පෝළිමක් හැදෙනවා ශුවර්.එතකොට අර 'බයිපාස්' වලට දින දෙනවා වගේ මේ දවස්වල අල්ලලා මරන්ඩ තීරණේ කරන උංට එල්ලන්ඩ දින ලැබෙන්නේ තව අවුරුදු දහයකිං පහළවකිං විතර.වැඩක් නෑනේ.'

'ඉතිං බං ආණ්ඩුවට තියෙන්නේ ඔය කොහෙ හරි කැලෑ ඉඩමක් අරගෙන ගස් ටික කපලා උං බෙදාගෙන ලොකුවට 'ඇරීනා' එකක් හදන්ඩ.ඊට පස්සේ ඔය ඉන්න අපරාධකාරයෝ සෙට් එක දාලා ග්ලැඩියේටර් ලා වගේ උං උං මරාගන්ඩ කිව්වනං ටිකට් කඩලා සෑහෙන ගානක් හොයාගන්ඩ තිබ්බා.මිනිස්සු එහෙම මරාගන්න එක පව් නං හරි ආගමට සංස්කෘතියට පටහැනියි නං අපේ රටේ මිනිස්සුන්ට ඒක බලන එක තහනං කරලා විදෙස් සංචාරකයින්ට විතරක් විවෘත කරානං ඉවරයි.'


'අනේ උඹේ ටිකිරි මොළේ.ඇත්ත කියහං උඹත් හිටියද චින්තනේ පොත හදන මන්ඩලේ?'
චාමරයා මාව බදාගෙන ඉඹින්ඩයි ආවෙ.මම ටක් ගාලා නැගිට්ටා අයිස්ක්‍රීම් අන්තිම ටිකත් ඇඟිල්ලෙං හූරං කටේ දාගෙන.ලොවක් හමුවන රටක ලොවෙත් පුරවැසියෝ වෙන අපි අයිස්ක්‍රීම් ටික කන්නෙත් බත් කාපු පිඟානෙම දාගෙන අතිං.

'උඹ කොහෙද යන්නේ?'

'මගෙ බඩ ගුරු ගුරු ගානවා, මම යනවා සරීර් කෘත්‍ය කරන්ඩ'

'ඒයි උඹට ශුවර් නේද බඩේ වෙන අවුලක් නෑ කියලා? මචං මේක බඩ රිදෙනවා කියලා ඉස්පිරිතාලේ ගෙනිච්චම ළමයි වදන කාලයක් ඈ..'

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

කන්ඩ බොන්ඩ තිබිච්ච සල්ලි ටික ඉවර වෙච්ච හින්දා විභාගෙ පෙනි පෙනී ගෙදර දුවලා එන්ඩ ගියා.ගේ ළඟට යද්දි මගේ ඇස් ගෙඩි දෙක පැන්නා එළියට.

අම්මා ගහයි බැට් එකෙං කිව්වලු.ආච්චි දණිහෙං ජුන්ඩක් උඩට වෙන්ඩ රෙද්දත් ඇඳගෙන මිදුලේ එහේ මෙහේ යනවාය.

'ආච්චි මොකෝ මේ රූ රැජින තරඟෙටවත් යන්ඩද?'

'උඹ නිකං නක්කලේ නොදා ඉඳිං.අර ලෝකෙ හතර දිබ්බාගෙං ලොකු ලොක්කො ඇවිල්ලා මෙහේ මෙච්චර උස්සවයක් තියෙනවා.අපිත් වගකිවයුතු පුරවැසියෝ විදිහට ඒවට යන්නැතුව බෑනේ බොල.'

'ඉතිං මේ මොකද මේ ගිනි මද්දහනේ මිදුලේ එහේ මෙහේ ඇවිදින්නේ?'

'එහා ගෙදර කෙලීගෙං මං අහගත්තා කොහොමද ඒ වගේ වැදගත් තැංඔල ඇවිදින්නේ කියලා.මං මේ කැට්ටෝක් එක පුරුදු උනේ.ඒත් මේ හන්දි කැක්කුං එක්ක අමාරුයි බං.'

'ආච්චි කැට් වෝක් දාලා සුද්දන්ට මොකක් පෙන්නන්ඩද මෙන්න මේ ගෙට යං.'

'අනේ පලයං ඉරිසියාකාරයා. තෝ දන්නැති උනාට ඒ දවස්වල මම කෙල්ල කාලේ නාන්ඩ ළිඳට ගියාම ඔය සුද්දප්පුවලා, චන්දරේගේ මහ එකා එහෙම ළිඳ අයිනේ මූකලානේ හැංගිලා බලං හිටියේ.'

'හරි හරි ඒ ඒ කාලෙනෙ ආච්චි.දැං මේ නහින දෙහින කාලේ බණක් අහං ඉන්ඩ මෙන්න මේ ගෙට වෙලා.'

'අනේ තෝ පල ගෙට.මං මේ කරාඹු දෙකත් උගස් තියලා පන්දාහේ කොළ දෙකක් අරං ආවේ හැට්ටේ අස්සෙ පේන්ඩ ගහගෙන යන්ඩ.අර උත්තමයා කිව්වේ ඔය එන උංට අපි ගාව සල්ලි තියෙනවා කියලා පෙන්නන්ඩ තියෙන චෑන්ස් එකක්ය කියලා මේක.'

'හරි දැං ඔය සල්ලි ටික රන්ද ගන්ඩ පුළුවංද?'
මම ඇහුවේ කින්ඩියට.

'මම එහා ගෙදර කෙලීගෙං පුසබ්බා එකක් ඉල්ලගත්ත බොල.බලහංකෝ චාල්ස් කුමාරෝත්තමයගේ ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි වගේ එළියට එන්නැද්ද කියලා'.

'ඔව් ඔව් චාල්ස් කාරයගේ විතරක් නෙමෙයි එන හැම එකාගෙම ඇස් ගෙඩි ලොවි ගෙඩි වගේ එළියට පනියි තමා...'
සීයා එක පාරට මැදට කඩං පැන්නාම දෙන්නා දෙමහල්ලංගේ ප්‍රශ්න ඒ අයටම විසඳ ගන්ඩ දී මම ගෙට පැනගත්තෙමි.



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප.ලි.

මේ දවස්වල බ්ලොග් කියවන්ඩ වෙලා නැති බවත් එනිසා බ්ලොග්වල කොමෙන්ට් කරන්ඩ වෙන්නේ නැති බවත් මේ සියල්ල තව මාසයකි පමණ අවසන් වීමට නියමිත විභාගයෙන් පසු යථා තත්ත්වයට පැමිණීමට නියමිත බවත් ඉඳ හිට කම්මැලිකමට බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන බවත් කරුණාවෙන් සළකා උක්ත සියළුම කරුණු වෙනුවෙන් කමාව අයදින බවත් දන්වා සිටිමි.

ප.ප.ලි

මාගේත් මාගේ ප්‍රියම්භිකාවගේත් අමරණීය, රමණීය, අති සුන්දර, විශ්වීය, පාරිශුද්ධ, මරණීය ප්‍රේම වෘතාන්තය අද දිනයේදී දස වර්ශ පූර්ණය ලබා ඇතත් මටත් ඇයටත් දෙදෙනාටම ඇති විභාග කටයුතු නිසා සහ චෝගම් නිසා ප්‍රේමය සැමරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බවත් ලබන වසරේ එකොළොස්වන වර්ශ පූර්ණය ඉහළින් සැමරීමටත් කටයුතු යොදා ඇත.

එතෙක් කියවා තලු මැරීමට මීට වසර දෙකකට පෙර පල කළ මාගේ ප්‍රේම කතාව නැවත විකාශය මෙන්න

වාසනාවට ඇත්ත කතාවක්




08 November 2013

විභාගෙයි මමයි චෝගමුයි

විභාගය කියන මළ උලව්ව හොයාගත්තු එකා අහු උනොත් ඇත්තමයි අල්ලලා දෙනවා මේ පාර ශිෂ්‍යත්වෙ ෆේල් වෙච්ච උන් ටිකකට.එච්චරට මළ අප්පා.අති උත්තම මට ලබන 18 වෙනිදා සිට ඇරඹෙන මහා විභාග සංග්‍රාමය හින්දා දොට්ට  පිලටවත් නොයා 'අල බාන්ඩ' (පාඩම් කිරීම - ප්‍රාදේශීය ව්‍යවහාරයකි ) සිද්ද වෙලා තිබුණත් ඇත්තටම විභාගෙක අරමුණ තේරුම් අරං තියෙන හින්දා එච්චර අල බාන්ඩ හිතෙන්නේ නැත.විභාගේ කියන කෙහෙල් මල මෙච්චර වියදං කරලා මහන්සි වෙලා ඒ ඇත්තෝ ලක ලෑස්ති කරන්නේ කාව හරි ෆේල් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ.නැත්තං ඉතිං ඔක්කොමල්ලා පාස් කරන්ඩ තිබ්බනේ.ඒ හින්දා මම වැඩිය අල බාන්නේ නැත.නැත්තං ෆේල් කරගන්ඩ එකෙක් නැතුව ඒ උන්නාන්සේලාගේ ඉහ මොළ රත් වෙනවා ඇත.උත්තර පත්තර බලන දවස්වලට හීනෙන් බය වෙලා ඇහැරෙනවා ඇත.ඒ වයසක මොළවලට ඕනෑවට වඩා වෙහෙස වෙන්ඩ දෙන්ඩ හොඳ නැති නිසා මම වැඩිය අල නොබා ඉන්ඩ තීරණය කර ඇත්තෙමි.

ඒ අවු අස්සේ චෝගම් හින්දා කැම්පස් වහන්ඩ යනවාය.ඒ කැම්පස් ළමයින්ට චෝගම් එක අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන්ඩය කියලා අපේ කැම්පස් එකේ ලොක්කියෙක් කියා තියෙනවාය.කැම්පස් එකේ රෙපෙයාර් වගයක් තියෙන හින්දාත් කැම්පස් එක වහනවා කියා කවුද කීවෝය.කවුරු කියන ඒවා විශ්වාස කරන්ඩද මම දන්නේ නෑය.සමහර විට ඇමතිතුමාට කැසිනෝ ගහලා හතරමහා නිධානේ පහල වෙලා වෙන්ඩ ඇතිය.ඒ සල්ලිවලින් කාලා බීලා චූන් කරලා තවත් ඉතුරු නිසා වෙන කරන්ඩම දෙයක් නොමැති තැන කැම්පස්වල රෙපෙයාර් වැඩවලට දෙන්නට ඇත.කොහොම හරි මේ නිවාඩුවෙන් (චෝගම් අධ්‍යයන කාලයෙන් ) පස්සේ කැම්පස් යනකොට ඒක අඳුරගන්ඩ බැරි තරමට දියුණුවෙලා සුඛිත මුදිත වෙලා තියෙනවාට සැකයක් නැත.කැන්ටින්වලට පුටු, වතුර ෆ්ලෂ් කළ හැකි වැසිකිළි ආදී සුපිරි පහසුකම් සහිත සපිරි කැම්පස් අපිටත් ලැබෙනු ඇත.ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලලා බලලා බෙල්ලත් ඇමැට්ටි වෙලා ඉන්න අපේ උන්ට එහෙම දෙයක් දුන්නොත් දරාගන්ඩ බැරුව පපුව පැලෙනවා ඇත.සතුටට කඳුලු පණිනවා ඇත.

කවුරු මොනවා කිව්වත් චෝගම් හින්දා අපේ රට ගොඩ යනවා ශුවර්ය.ඒක තිබ්බාම මෙහෙට එන කට්ටිය අපේ සංවර්ධනේ දැකලා කුල්මත් වෙනවාමය.සමහරවිට ඒ කට්ටියත් මත්තල ඒයාර්පෝට් එක බලන්ඩ වගේම කටුනායක හයිවේ එක බලන්ඩත් පයින් යනවා ඇත.එවන් විශ්මකර්ම දැක ඔවුන්ගේ ඇස් විශ්මයෙන් ජම්බෝල මෙන් ලොකු වෙනවා ඇත.උං ඊරිසියාවෙන් පුපුරණවා ඇත.හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ළඟ හූනියං වළලන්ඩ උවද බැරි නැත.මේ විශ්මිත නිර්මාණ හමුවේ සුළුදිය පහවෙන මේ විදේශවල කට්ටිය ඉන්පසු අපේ රටේ ආයෝජනය කිරීමට පොරකනු ඇත.අන්න එවිට අපේ දේශපාලක ඇත්තෝ පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කළ යුතුය.මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය.නැත්නම් මේ රට රටවල් අපේ රටේ ආයෝජනය කරන්නට පොරකා එකිනෙකා කුළල් කාගෙන තුන්වෙනි ලෝක යුද්ධයකට පවා මුළ පිරිය හැක.
චෝගම් එකේ ව්‍යාපාරික මෙව්වා එකේ ලොකුම ටෝක දෙන්නේ පැකර් මහත්තයාලුය.ඒක ඉතාම පැසසිය යුතු කාරණයකි.උන්දෑ දුනු ඊතල බූමරංග අරං උන්නු ඇබොරිජින්ලා හිටපු, රෑට කැංගරුවෝ හූ කියනවා ඇහුණු ඕස්ට්‍රේලියාව ලොවෙත් තැනකට ගේන්න සෑහෙන කට්ටක් කෑවේය.එතුමාගේ දෑතේ කරගැට, දණිස්වල දියපට්ටා සහ පශ්චාත් පැත්තේ අර්ශස් ගෙඩි ඒ සඳහා ජීවමාණ සාක්ෂි වන්නේය.එහෙව් උත්තමයා අපේ රටත් ඒ වගේම උසස් තැනකට ගේන්ඩ දරණ උත්සාහයට අපි හැම දෙනාම දෙකට නැමී උදව් කළ යුතුය.එතුමාගේ හෝටල් සංකීර්ණයේ සැළැස්මට මේන්න මේ මගේ යෝජනා කීපයද එක් වන්නේනම් ඉතා යෙහෙකිය.ගරුතර සංඝයා වහන්සේට කම්සැප විඳින්නට ගෑනු ඉඹින්නට හැකි ස්ථානයක් සකස් කළ යුතුය.එතකොට මේ දවස්වල දඹදිව මහා කරුණාව පතුරවන රේවත උන්නාන්සේ මෙහේ ඇවිදින්ද සියළු කාන්තාවන් දුකින් මිදවීමට කටයුතු කරනු ඇත.එමෙන්ම කැසිනෝ ශාලාවේ සුදු පිරුවට එලා උස් අසුණක් පැනවිය යුතුය.ඒ සූදු කෙළින අපේ හාමුදුරුවන්ටය.බුද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී ඇති නිසා මහා සංඝයාගේ උවමනාවන් ඉටු කිරීමද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි.කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල හිඟාකමින් දඩාවතේ යන කොලු පැටව් ටික අල්ලා නාවා දත් මද්දා සංඝයා විශයෙහි පූජා කිරීමටද, එකී ලිංගික ක්‍රියා සඳහා නිදහස් ලිංගික කළාපයක්ද පැකර් ලොක්කාගේ හෝටලයේ ඇති කළ යුතුය.එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ටද ඕනෑවිට සංඝගත දක්ෂිණාවෙන් ටික ටික රස බැලිය හැක.

අපේ එවුන් දැං කියත් හොයමින් එහේ මෙහේ දුව ඇවිදිනවාය.ඒ මෝටර් බයිසිකල් තියෙන උන්ය.ඒ උංගේ හෙල්මට්වල නිකට වැහෙන කෑල්ල කපන්ඩය.පොලීසිය පහුගිය දවස්වල හෙන අවුලෙන් හිටියේ බයිසිකල්වලින් යන උන් පොලිස්කාරයින්ට රවාගෙන යනවාද හිනා වේගන යනවාද කියන එක ශුවර් නැතුවය.පොලිස් සේවය උසස් මට්ටමකට ගෙන ඒමට නම් පොලිස් සේවාවෙන් ජනතාව තෘප්තිමත් විය යුතුය.නමුත් පොලිස් කාරයාගේ ක්‍රියාවෙන් ජනතාව තෘප්තිමත්ද අතෘප්තිමත්දැයි දැනගන්නට විදිහක් තිබ්බේ නැත්තේ හෙල්මට්වල නිකට ආවරණ කෑල්ල හින්දාය.දැං ඒ කෑල්ල අයින් කිරීමට නීති සම්මත කරගෙන ඇති නිසා මින් මතු වඩාත් ජනතාවාදී පොලිස් සේවයක් අපට ලැබෙනු ඇත.


විභාගේ කියමින් හොස්ටල් එකට වෙලා හිටියාට මට ගෙදර එන්ඩ කියලා අම්මාගෙන් හරියට කරදරය.අම්මා මේ අවුඅස්සේ ගෙදර කුස්සිය පැත්තේ මහා විශාල මඩුවක් හදන්නට පටං අරංය.ඒක හදන්නට විභාගේ පැත්තකට දාලා එන්ඩ කියා කියන්නීය.

'අම්මේ පිස්සුද මේ ෆයිනල් එග්සෑම් එක දාලා මඩු හදන්ඩ එන්ඩ කියන්නේ'

'අනේ උඹේ නල්ල මළේ විභාගේ.ඕකත් කැම්පස් එකක්ද බං.ඔන්න ඔය උලව්ව දමල ගහලා ගෙදර වරෙං.චාල්ස් කුමාරයා ඇවිල්ලා උන්නාන්සෙගේ අතිං මුල් ගල තියලා හදන ලැංකසාර් කැම්පස් එකට මං උඹව දාන්නං.එතකොට උඹට ජාතියන්තර ඩිග්‍රියක් ගතෑකි බොල සුටුස් ගාලා.ඔය හම්පඩ මගුල වගේද ඒක.මෙන්න මෙහේ ගෙදර වරෙං ඇවිල්ලා මේ මඩුව හදන්ඩ උදව් වෙයං.'

'මොන බම්බුවකටද මෑ තදියමේ මඩු හදන්නේ? එළ හරකෙක්වත් ගේන්ඩද?'

'හරක් තියං මක්කරන්ඩද? යකෝ රටම කිරිපිටියෙං සොයංපෝෂිතයි බොල.මේ මඩුව හදන්නේ චෝගම් එකෙං හම්බෙන ආධාර ගොඩ ගහන්ඩ.මොකෝ ඕවා වැස්සේ තෙමෙන්ඩ ඇරියැහැක්කෑ??'