09 May 2012

අස්පයා




මම දැං දෙපාරක් ඩෙල්ෆ්ට් දූපතට යන්න විනෝද චාරිකා සංවිධානය කෙරුවාට ගමන් දෙකටම කෙළ උනේය.එක පාරක් සහභාගී වන්නන්ගේ ආර්ථික අහේනිය හින්දාය.මටත් කියලා මහ ලොකුවට සල්ලිය බාගේ නැති උනාට නොකා නොබී හරි යන මගුලක යන්න ඇඟේ උණ  නං තියෙනවා ය.අනිත් පාර ගමනාන්තයේ අහිතකර කාළගුණ තත්වයක් ගැන දූසමාන ආරංචියක් නිසා අනිත් උං පස්ස ගැහුවෝ ය.දරුණු ගිණි අවු කූටකේ කරක් ගහලා ඉහේ රදේ හදාගන්නට මමත් එච්චර මනාප නැති හින්දා ගමන දින නියමයකිං තොරව කල් ගියේ ය.


ඩෙල්ෆ්ට් තියෙන්නේ ලංකාවේ උඩ කොණේ ය.ඒ කිව්වේ මේ ළඟදී මුදා ගත්තු පැත්තේ ය.ලංකාවට අයිති ලංකාව ඇර ලොකුම දූපත ඒකලු ය.බ්ලොග් ලියන මාරයා තනියම ගියාට මට එහෙම තනියම යන්න මගේ වාහේ දෙන්නේ නැත.උන්දෑවද එල්ලාගෙන මේ ගමන තනියම යන්ඩ මට හිත් දෙන්නේ නැත්තේ මගේ ආරස්සා කරන්ඩය කියලා යමක් නැතුවාට ඉස්ත්‍රී රත්නයක රකින්ඩ දෑ තියෙන හින්දා ය.ඉතිං ඒකට එක එකා ගාව වැඳ වැටිලා කට්ටිය ඒක රාසී කරන එකත් එපා වෙන වැඩක් බව ඔය චාරිකා සංවිධානය කරන ඇත්තෝ දන්නවා ඇත.

ඩෙල්ෆ්ට් යන්නේ දූපත බලන්ඩය කියලා කිව්වාට මේ ගමනේ සැඟවුනු න්‍යාය පත්තරයක් තියෙනවා ය.ඒ කොටි එක්ක ගිවිසුං ගහන්ඩ වත් උං එක්ක සාකච්ඡා කරන්ඩවත් නෙමේය.කොටිත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැත.කොටිංම මම එක කොටියෙක්වත් ඇහිං දැකලාවත් කතා කරලාවත් නැත.අස්සරේ කරලාද නැත.ආස්සරේ කරන්ඩ බලාපොරොත්තුවක්ද නැත.මෙච්චර මේ ගැන කියන්නේ මමත් විස්ස විද්‍යාලෙකට යන නිසාත්  ලොක්කාටත් ආණ්ඩුවටත් බණින හින්දාත් මටත් කොටියා කියලා කියන්ඩ ඉඩක් තියෙන හින්දාය.මට කොහොමත් සන්නද්ද අරගල කරන්ඩ බැරිය.රතිඤ්ඤාවක් පත්තු වෙද්දිත් මට කං වහගන්ඩ ඕනෑය.ඉතිං තුවක්කුවක් කං දෙක ළඟ තියං පත්තු කරන්ඩ මට මේ කපේදි හැකි වෙන්නේ නැත.බෝම්බ ගැන කවර කතාද?

එහෙම නැතුව වෙන විදිහකට කරන්ඩ හැකිනං මමත් කරන්ඩ ආසා දේවල් කීපයක් තියෙනවා ය.විමල් මහත්තයා ලව්වා නියම මාරන්තික උපවාසයක් කරවන්ඩ, මර්වින් මහත්තයාව ගස් බඳින්ඩ, බන්දුල මහත්තයාව 2500කින් මාසයක් ජීවත් කරවන්ඩ වගේ දේවල් කීපයක් කරන්ඩ ඇත්නං ආසා නමුත් බැරි නිසා නිකා ඉන්නවාය.

සැඟ උනු න්‍යාය පත්තරේ තියෙන්නේ ඩෙල්ෆ්ට්වලිං අස්ස බිත්තරයක් උස්සන එකය.ලංකාවේ වල් අස්සයෝ ඉන්නේ ඩෙල්ෆ්ට්වල විතරය.උං වල් කිව්වාට අනර්කලීලාට හානියක් කරන ජාතියේවත් ලිබර්ටි ප්ලාසා එකේ ජීනා මැඩම් ගේ වෙළඳාමේ ගැනුම්කාරයිංගේ ජාතියේ උංවත් නෙමේය.උං කැලෑ වැදුණු හොඳ පරපුරක අස්සයෝ ය.ඕලන්දක්කාරයෝ එනකොට මෙහෙට ගෙනාපු අස්සයෝය. ඕලන්දක්කාරයෝ යද්දි අස්සයෝ වල් වැදුනෝය.දැං උං කැලේටම වෙලා ඉන්නවෝය.

මම අස්සයාට කැමති ඌ ලස්සන හින්දා විතරක් නෙමේය.ඇත්තටම අස්සයා ලස්සන සතෙකි.උගේ ඇඟේ ඇත්තේ නාරි රේඛා වගේ වක්‍රයන් ය.උගේ තේජස ඉස්සරහා අපිටද බිම බැලෙනවාය.ලස්සන ඇරුනාම මට ඕනෑ උගේ පිටේ නැගලා එහෙ මෙහෙ යන්ඩය.කඩේට යන්ඩ, ෆැකල්ටියට යන්ඩ, වාහෙ බලන්ඩ යන්ඩ වගේ නානාප්‍රකාර ගමං බිමංවලට අස්සයා කියාපු සතාය.

ෆැකල්ටියට 'ඩකඩක් ඩකඩක්' ගාගෙන අස්සයා පිටේ ඇවිදිං අස්පයා 'ඊ....හහහා.....' කියලා උගේ ඉස්සරහා කකුල්වලිං හිට්ටවලා පොඩි ඇඩ් එකක් දාලා, පස්සේ ඌව පච ගහේ බැඳලා ලෙක්චර්ස් යනකොට කොච්චර ගතිද? මොටෝ බයිසිකලේ එනවා වගේද?


අවුරුද්දක් ගානේ ලැයිසං කරන්ඩ ඕනේ නැත.රක්ෂණ ඕනේ නැත.පෙට්‍රල් ඕනේද නැත.එතකොට ආණ්ඩුව ඕනේ හැටියට ගණන් වැඩි කළාට අපිට ගාණක්වත් නැත.හෙල්මට් අනිවාර්ය නැත.ඕට්ස්, බාර්ලි වගේ ජාති කන්ඩ දෙන්ඩ අපිට නැති උනාට පිදුරු ටිකක් දීලා ෂේප් කරගන්ඩ පුළුවංය.ඒ විතරක් නෙමෙයි ය, හරියට පුරුදු කර ගත්තොත් සෝරෝ වගේ විසිල් එකක් ගහලා ළඟටම ගෙන්නා ගන්ඩත් පුළුවංය.ඌටද මොළයක් තියෙන හින්දා අපිට නින්ද ගියත් අපි උගේ පිටෙං වැටෙනවා මිසක්කා ඌ කොහේවත් ගිහිං හැප්පෙන්නේ ද නැත.චූටි අවුලකට තියෙන්නේ ඌ හයියෙන් දුවන කොට මෙව්වා එක තැලෙන්ඩ ඉඩක් තියෙන එකය.

ඒ උනත් යන ආර්ථික තත්වේ හැටියට ඉස්සරහට දරුවෙක් මල්ලෙක් හදාගෙන ලෝකෙට ණය වෙනවාට වඩා ඔය මෙව්වා එක තැලිලාම යන එකද හොඳය.මේ අදහස ප්‍රචාරය වෙලා මගේ අස්සයා පිටේ යන්ඩ රටේ ලෝකේ මිනිස්සු පෝළිමේ එන්ඩද ඉඩ තියෙනවාය.එතකොට සුළු ගාණක් අය කරලා ඒකෙනුත් ආදායමක් හොයාගන්ඩ පුළුවංය.ආස්චර්යය රටේ පැතිරෙන්ඩ පැතිරෙන්ඩ දිනුකගේ අස්සයා පිටේ ගිය කොල්ලන්ට මංගල යෝජනා පෝළිමේ එනවා ඇත.

පැහැපත් අඩි 5 අඟල් 3ක් උස ගුණවත් කළමණාකාර වෘත්තියේ නියුතු ලක්ෂ 200ක නිවසක් හා මුදලින් ලක්ෂ 100ක දෑවැද්දක් හිමි දියණියට වැදගත්, ගුණගරුක, දිනුකගේ අස්සයා පිටේ ගොස් ඇති තරුණයෙක් දෙමාපියන් සොයයි.බේද නොසැලකේ.විහිළුවට නොලියන්න.
         කියලා කෙල්ලංගේ මංගල යෝජනා පත්තරවල දමනු ඇත.

මම ඩෙල්ෆ්ට් යන්නේ අස්ප බිත්තරයක් ගේන්ඩ කියා කිවූ විට මගේ මිත්‍රයෙක් කිව්වේ ඊ බේ එකෙං ගෙන්නන එක හොඳයි කියලාය.පාවිච්චි කරන ලද, හොඳ තත්ත්වයේ ඇති අස්ස බිත්තරයක් අඩු ගාණට ගෙදරටම ගෙන්නා ගන්ඩ පුළුවංය කියලා ඌ කළ යෝජනාවද නරක නැත.කාලයත් එක්ක අපිත් වෙනස් වෙන එක හොඳය.ඒ අපි ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලන ජාතියක අංකුර  නිසාය.

පින්තූරේ : transcurrents.com

5 comments:

  1. හක හක! මෙහෙ හරක් ඉන්නව බං ගෝල් පේස් එකේ පෝනියොන්ට වඩා උස! අඩු ගානට පටෝතහැකි! එවන්නද?

    ReplyDelete
  2. 'ඌ හයියෙන් දුවන කොට මෙව්වා එක තැලෙන්ඩ ඉඩක් තියෙන එකය '
    මොලේද ? :-))

    ReplyDelete
  3. @Sabith : අපොයි හරක් එපා.මෙහෙ ඉන්නවා හරක් පැජරෝ ඉන්ටර්කූලර්වල යන ඉස්ටේජ්වල පජාති කථා කියන.පුළුවන්නං අස්පයෙක් එවපං.මම පොරොන්දු වෙනවා දත් ගණින්ඩ යන්නෑ කියලා.

    @dreams : හුහ් ඔය කිව්වට අස්පයෙක් කවුරු හරි නිකං දුන්නොත් එපාම කියයි.

    @Observer : මම කියන මෙව්වා එක තියෙන්නේ මොළේට චූට්ටක් පහළිං.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...