01 April 2012

තැඹිලි





ඔන්න දැං වහින්න පටං ගත්තනෙ.පාඨලී චම්පක ලොක්කට දැං ඉතිං ටිකක් හුස්මක් කටක් ගන්න පුළුවං වෙයි.මොකෝ ආයෙමත් ජල විදුලිය පැත්තට හැරෙන්න පුළුවන් නොවැ.වහින්ඩ කළිං දවස් ටිකේම අහස පාරම් බබා ඉන්න කොට දරාගන්ඩ අමාරු රස්නයක් තමයි තිබ්බෙ.තාමත් දවාලට ඒ වගේම රස්නෙයි.වතුර වගේ දාන දාඩිය කමිසේ මිරිකලා බේසමකට එකතු කලැහැකි.
අපිට වායු සමීකරණය කොරපු වාහන නැති හින්දා කොට කොට එන මගී ප්‍රවාහන සේවාවල තමයි යන්නෙ එන්නෙ.ගිණි මද්දහනෙ වහලෙ ටකරම රත් වෙච්චි බස් එකක් සෙනගත් පුරෝගෙන මහ පාරෙ නවත්තගෙන ඉන්න කොට හිතට කේන්ති එන්නෙ ඇඟට දාන දාඩියත් එක්කමයි.ඇයි වදේ මේකා බස් එක ටිකක් ඇද්දුවනං හුලං ටිකක් හරි ඇතුළට එනව නෙව.

කොහොම හරි දවල්ට කන්ඩ කිට්ටු වෙන කොට වතුර ගැළුමක් විතර බීලා ගැළුම් දෙකක් විතර දාඩිය දාලා හොඳටම හෙම්බත් වෙලා ඉන්න කොට වතුර ඇර මොනවා හරි බොන්ඩ ඇත්නං කියලා සිහියෙං ඉන්න ඕනෙ ඇත්තෙකුට හිතෙනවා හිතෙනවාමයි.මමනං කොකාකෝලාවත් පෙප්සිවත් බොන්නෙ නෑ.ඒ විමල් මාමා කිව්ව හින්දාවත් ඇමරිකාව එක්ක අහිතකිංවත් නෙමෙයි.මට ඔය කාබනීකෘත බීම ජාති බිව්වම බඩ පොඩ්ඩක් කුරුවල් වෙනවා.බඩ දැවිල්ල එනවා.බඩ එපා වෙනවා.අනික ඒකත් හරියට දැයට කිරුළ වගේ ඒ වෙලාවට විතරක් ආතල් එකක් දෙන නිශ්ඵල ආදේශකයක්ය කියලා මම තේරුං ගත්තෙ හිච්චි එකා සන්දියෙදිමයි.

තැත්තා කුක්කු, ඒ කිව්වෙ එළ කිරි එහෙම තියේනං ඒවත් හොඳයි.සීත කළ කිරි බඩට හොඳයි.ඒත් තිබහෙ හැටියට නිකං අධෝවාතයක් ගියා වගේ තමයි ප්‍රමාණවත් නෑ.

ඔය වෙලාවට සුන්දර තැඹිලි ගෙඩියක් තරම් පවස නිවන, සිත සනසන, ගත නලවන, දිව නැටවෙන වෙනත් යමක් ඇද්ද?ඇත්තටම නිකං අමෘතෙ වගේ තමයි.හැබැයි මේ වෙලාවට ගන්න තැඹිලි ගෙඩියත් අව්වෙ තිබිලා තිබිලා කැකෑරිලානං ඉතිං වධක බාරියක් බැඳගත්තා වගේ මෙලෝ රහක් නැති පවුකාර නිමේෂයකට ජීවිතේම ඇද වැටෙනවා.හීල් හෙවනක තිබ්බ චූට්ටක් විතර මෝරපු තැඹිලි ගෙඩියකට පුළුවං ස්වර්ගයට පාර කියන්න.

තැඹිලි බොන්න කට්ටියට දැං කාලේ බටේ නැතුව බෑනෙ.අනේ යකුනේ තැඹිලි ගෙඩියක ඇස්ස කපපු තැනට කට තියාගෙන කට දෙපැත්තෙන් චුට්ටක් විතර බේරිලා කමිසෙ අස්සටත් වැක්කෙරෙන්න ගුඩු ගුඩු ගාලා බීගෙන බීගෙන යනකොට තියෙන ආතල් එක තියෙනවෑ බොලවු අර බටේ උරවද්දි.

තැඹිලිවල තියෙන්නේ අපේ ඇඟේ රුධිර ප්ලාස්මාවේ තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණයට සමාන සාන්ද්‍රණයක් හින්දා තැඹිලි සේලයින් වෙනුවට දෙන්නත් පුළුවන්ලු.තැඹිලිවල පොටෑසියම් ගොඩක් තියෙන හින්දා වකුගඩු අමාරු තියෙන අයටනං තැඹිලි දෙන්න එපා කියලා තමයි කියන්නෙ.


තැඹිලිවල අතුරුඵල ගැන ඉතිං මම කියන්න ඕනෙ නෑනෙ.පළවෙනි එක තමයි මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇති වීම.මේ සඳහා මුත්‍රා කිරීම හැර වෙන විකල්පයක්නං නෑ.අනික තමයි ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට තැඹිලි ශීත පානයක් නිසා ඔන්න කට්ටියට සෙම් ආශ්‍රිත රෝග වැළදෙන්න පුළුවන්.විශේෂයෙන් හවස්වරුවේ තැඹිලි බීමෙන්.නමුත් මගේ අත්දැකීම් අනුවනං මේක පුද්ගලානුබද්ධයි.මොකද මටනං රෑට තැඹිලි බිව්වොත් නහයට කෙළවෙනවා.නමුත් මගේ මිත්‍රයෙක් ඉන්නවා ඌට හෙණවත් නෑ මහ රෑට තැඹිලි බිව්වත්.

අපේ ෆැකල්ටිය වටේට ඇවිද ඇවිද තැඹිලි විකුණන මනුස්සයෙක් ඉන්නවා.ගොඩක් වෙලාවට පොරගෙං තමයි මම තැඹිලි බොන්නෙ.හැබැයි කොච්චර ආසා උනත් තැඹිලි ගෙඩිය පළලා මද එහෙම නැත්තං සමහරු කියන විදිහට ලොඳ නොහොත් වෑවර කන්නනං බෑ.මොකද අපේ ඩීන් දැක්කොත් එහෙම අපේ ගෞරවනීය වෘත්තියේ ගරුත්වය කෙළෙසන්න හැදුවාය කියලා මාව පන්නලා දාන්න ඉඩ තියෙන හින්දා.

සූර්‍ය සිංහ ළකුණ නැතත් තැඹිලි ෂුවර් එකටම ලංකාවෙ ඒවා තමයි.ඉස්සරහට තැඹිලිත් ඉන්දියාවෙන් ගෙන්නයිද දන්නෙ නෑ.එතකං ඔය පුළු පුළුවන් වෙලාවට තැඹිලි ගෙඩියක් බොන්න.ඇමරිකාව වට්ටන්න හිතාගෙන නෙමෙයි.අහිංසක මිනිහෙක් කීයක් හරි හම්බ කරගන්න හින්දා.මෙච්චර දවස් රුපියල් 40ට කොළඹ අවට තිබ්බ තැඹිලි ඉන්ධන ගැලපුම් ගාස්තුවත් එක්ක ගිය සතියේ ඉඳන් රුපියල් 50ක් වෙලා.සිගරැටුත් ගණන් ගිය එකේ ඕක මොකක්ද.ඔන්නොහේ බොන්න තැඹිලි.

පින්තූරය ගත්තේ : lankanewspapers.com

6 comments:

  1. මම අන්තිමට තැඹිලි බිව්වේ රුපියල් 15 ට.

    ReplyDelete
  2. තැඹිලි කියද්දී තිබහකුත් ආවා..අනේ කවදා බොන්නද..මමත් අන්තිමට බොද්දි 25.. දැන් 50ක් ද?අනේ අම්මේ තැඹිලි

    ReplyDelete
  3. @Ano : ඒ කියන්නෙ තැඹිලි බොන එක නවත්තලා සෑහෙන කල් ද?ඇයි අප්පා තැඹිලි බොන එක නැවැත්තුවෙ?

    @dreams : කවදා බොන්නද කියන්නෙ?තැඹිලි යනු වඳ වීගෙන යන ජාතියක් යෑ.ඔන්න ඕනෙමනං රෙජිස්ටර් තැපෑලෙං එවන්නං.

    ReplyDelete
  4. ලොඳ කන්න ඕනේ නම් ඉතින් කුරුම්බා තමයි හොඳ! තැඹිලි වල කන්න තරම් දෙයක් නෑනේ! හැබැ‍යි ඉතින් වෙළෙන්දො නම් තාමත් තැඹිලි ගන්නේ රු 10-15/= ට තමයි. අනේ මන්දා...

    ReplyDelete
  5. @ලහිරු : තැඹිලිත් මෝරලානං ලොඳ තියෙනවා.රු 10-15ට පොඩි වෙළෙන්දන්ටනං හම්බවෙන්නෙ නැතුව ඇති නේද?ලොකු වෙළෙන්දන්ටනං ලාබ ඇති.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...