16 February 2012

විමසුම


අපේ රටේ ජනතාව නැවතත් කුපිත කරවනු ලැබ ඇත.රට පුරා සිදුවන වර්ජනයන්ගේ නිමක් නැත.රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට තැන් තැන්වල බැණවැදීමෙන්ම අපේ රටේ ජනතාවගේ අවස්ථාවාදී කුහක මානසිකත්වය මනාව ප්‍රදර්ශනය වේ.රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් එතුමා ඉන් නොනැවතී ආරම්භ කළ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ ප්‍රථිපල තවමත් ජනතාවට ලැබෙන්නට පටන් ගත්තා පමණි.

මෙකී සංවර්ධනයෙන් රට ඉසුරට ඇදී යද්දී ඩොලර් කාක්කන්ගෙන් පිරී ඇති විපක්ෂය රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා විවිධ කරුණු ඇද දක්වමින් ජනතාව මුලා කොට රට ආගාදයට ඇද දැමීමට කටයුතු කරගෙන යන්නේ ය.රුධිර පිපාසිත ජේවීපී ය මේ ජනතා කුපිත කිරීමේ ක්‍රියාදාමවලදී දැනටමත් ජීවිත දෙකක් බිළිගෙන ඇත.මෙසේ රටේ අහිංසක ජනතාවගේ මළ සිරුරු මතින් ඉදිරියට යාමට උත්සාහ දරන ජේවීපීයත් බටහිර ගැති, බටහිරට අප රට පාවා දීමට උත්සාහ කරන යූඇන්පීයයත් අතිගරු ජනාධිපතිතුමාගේ යෝධ වැඩ පිළිවෙල අසාර්ථක කරවීමේ නිශ්ඵල කුමන්ත්‍රණයක නිරත වී සිටිති.

විපක්ෂයේ මේ අමනෝඥ ක්‍රියාවන් අපේ රටේ බුද්ධිමත් ජනතාව හොඳ හැටි වටහාගෙන සිටිති.පසුගිය මැතිවරණයේ දී ඔවුන් ඒ බව රටටම හඬ ගා කීවේ යූඇන්පී‍යට කොළඹ පමණක් ඉතුරු කරමින් සහ ජේවීපීයට තිස්සමහාරාමයද අහිමි කරවමිනි.මැතිවරණයෙන් පසුවද වත්මන් රජයේ ජනතාවාදී ප්‍රතිපත්තීන් හඳුනාගත් විපක්ෂයේ සැබෑ ජනතා නායකයන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එක් වන්නේ තමන්ගේ පරම අභිප්‍රාය ජනතා සේවය මිස තමාගේ පක්ෂය රජ කරවීම නොවන බව හඬ ගා කියමිනි.

වර්ථමාන රජය යටතේ තරම් සංවර්ධන ව්‍යාපෘතීන් ඇරඹුණු කිසිඳු රජයක් ඉතිහාසයේ පැවතී නැත.එක් නිමේෂයකින් රටේ ඕනෑම තැනකට යාමට හැකිවන පරිද්දෙන් රටේ මහා මාර්ග පද්ධතිය යෝධ සංවර්ධනයකට ලක්වෙමින් පවතී.අමතක කොට දමා තිබූ සිංහල දේශය එනම් දකුණ, නව වරායක් ගුවන් තොටුපලක් ඇතුලු සියළුම යටිතල පහසුකම් සහිතව නැවත අවදි වී ඇත.ජනාධිපතිතුමාගේ යෝධ වැඩපිළිවෙලෙහි එක් අදියරක් ලෙස උතුරට වසන්තය ගෙන ආවේය.ත්‍රස්තවාදයෙන් මුදාගත් ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කෙරෙමින් පවතී.නව ක්‍රීඩාංගන, රංගශාලා අප රටේ ජනතාවට සිහිනයක්ව පැවති යුගයක්ද තිබුණි.ඒ අඳුරු යුගය අවසන් කරමින් අතිගරු ජනාධිපතිතුමා සූර්යයෙක් සේ අප අතරට පායා ආවේ මේ රටේ ජනතාවගේ පෙර පිනකටය.






මේ සංවර්ධනයන් ජනතාවගෙන් සැඟවිය නොහැක.නමුත් විපක්ෂය අසරණ ලෙස සිය ඡන්ද අතලොස්ස රැකගනු පිණිස එළවලු කූඩ ප්‍රශ්නයක් බවට පත් කොට ජනතාව කුපිත කරන්නට උත්සාහ කළේය.පුද්ගලික සේවක විශ්‍රාම වැටුප යක්ෂයෙක් ලෙස හුවා දැක්වූවෝ ය.ඔවුන් පවසන ලෙසට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහල යන්නේ ද රජයේ අකාර්යක්ෂමතාව නිසාය.ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යන විට ඒ හා සාපේක්ෂව රටක තෙල් මිලද ඉහල යන බව කුඩා දරුවෙකුට වුවද අවබෝධ කරගත හැක.ඒත් සමඟ තෙල් හා බැඳී ඇති සියළු නිශ්පාදන හා සේවා මිළද ඉහල යෑම ඉස්ථිරවම සිදුවන්නකි.මේ සරල සත්‍ය තේරුම්ගත නොහැකි අමනෝඥ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විපක්ෂයට ජනතා කැමැත්ත ලබා ගැනීම කිසිසේත්ම පහසු නැත.


රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දූෂණ චෝදනා ඉදිරිපත් කරන විපක්ෂය ඔවුන් බලයේ සිටියදී කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.ස්ත්‍රී දූෂකයින් නිදහස් කළ ජේ ආර් ගේ පක්ෂයේ කිසිවෙකුටත් දුමින්ද සිල්වා ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත.අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව ගෙන ආ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව හඬ නැගීම විහිළුවකි.චීනයෙන් ආනයනය කළ සමාජවාදය කරපින්නාගෙන සිටින ජේවීපී ය චීන ආධාරවලට විරුද්ධ වීම ප්‍රහසනයක් නොවන්නේද?

කෙසේ වෙතත් තව නොබෝ දිනකින් ඉඳිවන නෙළුම් කුළුණ මතද නැග විපක්ෂය උපවාස කරනු ඇත.මත්තලගොඩට ගුවනින් ගොස් දකුණේ පා ගමන් සංවිධානය කරනු ඇත.උතුරු නැගෙනහිර සිය ප්‍රචාරණ කටයුතු දියත් කරනු ඇත.ජනපතිතුමාගේ නමින් ඉඳිවන බේස්බෝල් පිටියට බැණවදිනු ඇත.නමුත් අතිගරු ජනාධිපතිතුමා මෙකී සංවර්ධනයන් සිදු කරන්නේ තමාට ගෙන යෑමට නොව රටේ ජනතාව වෙනුවෙන් බව ජනතාව මතක තබා ගනු ඇත.

අද විමසුම පිටපත - දිනුක ජයකොඩි

10 comments:

  1. වමනෙ යන්න එන ගතිය ටිකක් විතර අඩුයි බං ;-)

    ReplyDelete
  2. අඩේ කොහෙන්ද ටෙම්ප්ලේට් එක හොයා ගත්තේ??මාත් හොය හොය ඉන්නේ හොඳ එකක්!

    ReplyDelete
  3. @hare :-) : අයියෝ ඒ කියන්නේ මම පවුලේ නාලිකාව තරං හොඳට ලියලා නැද්ද? හෙඃ හෙඃ

    @Sabith : මගේ ටෙම්ප්ලේට එකේ සයිට් එකටනං මගේ බ්ලොගේ පාදයේම තියෙන ලින්ක් එකෙන් ගි‍යෑකිනෙ.මේ සයිට් එකෙත් මරු ටෙම්ප්ලේට් ටිකක් තියෙනවා දැක්කා මචං
    http://www.bloggerthemes.net

    ReplyDelete
  4. කඩේ යෑමත් එක්තරා අන්දමක කලාවක් බන් ඒක එන්න ඕන බොක්කෙන්මයි......:D

    ReplyDelete
  5. අද පිටපත දිනුක අබේසුන්දර වෙසිනි

    ReplyDelete
  6. මේකා වෙනස්වෙලා හොදටෝම !!!!
    ආසියාවේ ආස්චර්ය !!!

    ReplyDelete
  7. @Soda ගුනේ : ෂිඃ බං කඩේ ගිහිංවත් කීයක්වත් හොයාගන්න බැලුවේ.කොහෙද අපිට එහෙම වැඩක්වත් කරගන්න බෑනෙ බං අපිට.

    @Anonymous : ආ එහෙම දාන්න බැරි උනා. හෙඃ හෙඃ

    @මධුරංග : කාලේ හැටියට අපිත් වෙනස්වෙන්න ඕනෙනෙ බං.දැක්කනෙ ඊයෙ කැළණියෙත් ප්‍රශස්ති පිකට් එකක් තිබ්බෙ.

    ReplyDelete
  8. අම්මෝ.. මම ඇත්තටම බැලුවා අයියා විමසුමට පිටපත්ක් ලියලද කියලා.. හිකිස්.. අනේ මන්දා.. දැන් නම් ආණ්ඩුව විපක්ශේ ඔක්කෝම එපා වෙලා ඉන්නේ..

    ReplyDelete
  9. විමසුමට තමයි ලිව්වේ.අබේසුන්දර ලොක්කා නැති කාලෙක ඒ ජොබටවත් පැනගන්න කියලා බැලුවෙ.මොකද අබේ මළත් අපේ ලොක්කා පුටුව දාලා යන්නෙ නෑ.ඒක ෂුවර්.

    ReplyDelete
  10. උතුරට වසන්තය නැගෙනහිරට නවෝදය... එතකොට ඉතිරි අපිට??

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...