09 March 2015

සුරතල් සතා






'යකෝ මේ බල්ලා අල්ලගනිං බං.මේකා කයි.' සිතුමා අපේ ගෙදර ඇවිල්ලා කියලා දැනගත්තේ බල්ලා බුරන සද්දෙටය. සිතුමා පරම්පරා කුට්ටම දෑතින් ආරක්ෂා කරගෙන ගේට්ටු කණුවට හේත්තු වෙලාය.බල්ලා උගේ අයිතිකාරයා වන, ඌට කන්ඩ දෙන, නාවන, මැක්කන් අරන් දාන, මාව දැක්ක හැටියේ තවත් වැඩ කෑලි දමමින් සිතුමා වටේ දුවමින් සිතුමාගේ හඩු ඩෙනිමට හොම්බ ළං කරමින් බුරා හැලෙන්නට විය.

'මේකා කයි බං.ඔතනට වෙලා හිනා වෙවී බල්ලව ෆෝම් කරන්නැතුව මේකාව අල්ල ගනිං යකෝ.මේකද යහපාලනේ.මේ රටේ කෝ භෞමික අඛණ්ඩත්වේ? උඹලා මෙතන බල්ලව ඉස්සරහට දාලා උඹලගේ නිජ බිමේ වෙනම රාජ්‍යයක් හදන්ඩද හදන්නේ? රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම තැනක නිදහසේ යන්ඩ එන්ඩ තියෙන අයිතිය නේද මේ උඹලා නැති කරලා තියෙන්නේ?' සිතුමා ප්‍රාණ බයේ බෙරිහන් දෙනවාය.සිතුමාගේ ඩෙනිමේ එක්‍රැස්වී ඇති දහජරා ගොඩට මූත්‍රා ද එක්වීමේ අවධානමක් තිබූ නිසා මම බල්ලාගෙන් සිතුමා මුදාගන්නට තීරණය කළෙමි.

'විමල් පලයං ගෙට.' බල්ලා වහාම බිරීම නවතා නගුට දෙපා අතරේ ගසාගෙන ගෙට රිංගුවේය.සිතුමා ෆැමිලි ජුවෙල්ස් අතහැර කෙළිං විය.

'මොකක්ද යකෝ ඒ බල්ලට දාලා තියෙන නම?'

'ඌ පොඩි කාලේ ඉඳලම ඔහොම තමයි.බුරනවා විතරයි හපන්නෑ.ගෙදර කට්ටිය පේන්ඩ ඉන්නකොට උගේ රැස් වැඩියි.මරුමූස් ඩයල් එකක් එහෙම ගෙදෙට්ට ආවම මූ ළඟට ගිහිං කකුල් ලෙවකාලා ශේප් වෙනවා.මෝඩ පහේ පාණ්ඩු පාට ඩයල්වලට තමයි බුරාගෙන පනින්නේ.ඒකයි' මම පැහැදිලි කළෙමි.

'ඒ කියන්නෙ මම මෝඩ පහේ පාණ්ඩු පාට එකෙක් ඈ?'

'නෑ නෑ බං උඹේ අහිංසක ධාර්මික පෙනුමනේ මේ බල්ලා වැරදියට තේරුං අරං තියෙන්නේ' මම වහා නිවැරදි කළෙමි.

'ඉතිං මොකෝ මේ පැත්තේ?'

'ඕකනේ බං උඹලගෙ හැටි.මනුස්සයෙක් ගෙදෙට්ට ආවම කොහොමද සැප සනීප කියලා අහලා, තේ එකක් බොන්ඩ දීලා, කන්ඩ මොනවා හරි දීලා ඉවර වෙලානේ යකෝ මොකටද ආවේ අහන්නේ.බලපං උඹලා කොච්චර බටහිර ගැති වෙලාද කියලා.'

'මචං උඹ පොඩි කාලේ තාපසාරාමෙකට වැටෙන්ඩ ඇති.මාව වැටුනේ හොරු ඉන්න තැනකට.දැං වෙනස් වෙන්ඩ පරක්කු වැඩියි.මොකටද ආවෙ කියලා කෙටියෙං කියපං.කාලය කියන්නෙ නාස්ති කරන්ඩ හොඳ දෙයක් නෙමෙයි.මට බ්ලොග් කියවන්ඩ තියෙනවා.ගේම් එකක් ගහන්ඩ තියෙනවා.'

'මොකක්ද බං අඩුම තරමේ තේ එකක්වත් දීපංකෝ.උඹලගේ ආණ්ඩුව ඔක්කොම අඩු කළේ.'

'හරි තේ එකක් දෙන්නං මොකටද ආවේ කියපං.අනිත් එක තමයි අපි කාටවත් කඩේ ගියේ නෑ හරිය? මේ ආණ්ඩුව අපේ ආණ්ඩුවක් නෙමෙයි.කළිං ආණ්ඩුව එළවන්ඩ  ඕනේ නිසා එළෙව්වා.ඒ හිස් තැනට මුං ආවා මිසක්කා අරූට වඩා මූ හොඳයි කියලා දැම්මා නෙම්යි.කොටින්ම කියනවා නං ....නෑ එක්කෝ ඕනේ නෑ.මහින්දට කඩේ ගිය උං හිතන්නේ මහින්දට කදේ යන්නේ නැත්තං කාට හරි කඩේ යන්ඩ ඕනේ කියලා.ඕක උඹට කියලා වැඩක් නෑ.දැං උඹ ආවෙ මොකටද කියපං.'

'උඹලගේ ගෙදර කිතුල් ගස් තියෙනවා නේද?'

'තියෙනවා.හැබැයි අපි රා පෙරන්නෙ නං නෑ.හකුරු හදන්නෙත් නෑ.මොනවගේ වැඩකටද?'

'කන්ඩ දෙන්ඩ බං.'

'කන්ඩ දෙන්ඩ? මොනවද කිතුල් පිටි ද? ඒවයිං කැඳ නේද හදන්නේ?'

'අපිට කන්ඩ නෙමෙයි බං.අපි මේ ගෙදර හුරතලේට හදන්ඩ අලි පැටියෙක් ගේන්ඩ හදන්නේ.අපේ තාත්තා වනජීවී එකේ ඩයල් එකක් අඳුරනවා.සන්නසක් මොකක් හරි එකක් මයිත්‍රී මාමට කියලා අස්සං කරගෙන අලි පැටියෙක් ගෙදර ගේන්ඩ ඉන්නේ.'

'අලි පැටියෙක් මක්කරන්ඩද බං? උඹලගේ ගෙදර කොට තියෙනවද අදින්ඩ? නැත්තං උඹලා අවුරුද්දක් ගානේ පෙරහැරක් එහෙම කරනවද?'

'උඹ දන්නෑ මේවා. මචං ඒක තමයි දැං ෆැෂන් එක.ට්‍රෙන්ඩ් එක.ගෙදර අලි පැටියෙක් ඉන්නවා කියන්නේ ඌ පොරක් තමයි.'

'දැං කොහෙන්ද පැටියෙක් ගේන්නේ?'

'ඒවා එච්චර ගේම් නෙමෙයි බං.උඹ හරි කට්ටියව අඳුරනවා නං සති දෙකෙං වැඩේ ගොඩ.ඔය කැලේ ඉන්න සෙට් එකක මහ එකාව මරලා පැටියා අනාතයි කියලා හරි එහෙම නැත්තං ඔය පින්නවලිං හරි සූ එකෙං හරි උන්ට වියදං වැඩියි කියලා හරි දන්නැද්ද බං ඕවා ඔක්කොම ඩොකියුමන්ට් වලින් දෙන ගේම් නේ බං.'

'ඉතිං බං ඊ බේ එකෙං අලි බිත්තරයක් ගෙන්න ගනිංකෝ.'

'මචං මේ විහිළුවට ගන්ඩ එපා.මම මේ සීරියස් කියන්නේ.'

'මමත් මේ සීරියස් කියන්නේ.අලියක් නැතුව බල්ලෙක් පූසෙක් හදහංකෝ බං.'

'ඇයි අලියෙක් හැදුවම මොකද වෙන්නේ?'

'මොකුත් නෑ.අර ඉස්සර ඇඩ් එකක් ගියේ, අලියා ගෙට ආවම ටයිල් කැඩෙන සීන් එකක්.ඉතිං උඹලගේ ගෙට ඒ ඇඩ් එකේ කියපු ටයිල් අල්ලන්ඩ වෙනවා.නිකං හිතහං උඹලා ඔය කොහෙ හරි ගිහිල්ලා ගෙදර එනකොට අලි පැටියට උඹලව දැකලා ප්‍රීතියට ඇඟට පැන්නා.නිකමට කකුලක් පෑගුනා.අර අලියට පෑගිලා මොවද ගියාද කියලා ඇහුවා වගේ සීන් එකක් නෙ බං වෙන්නේ.'

'ඒකනේ බං අලි හදද්දි උංව බැඳලා හදන්නේ.'

'අනික නිකං බලහං, පූසෙක් නං ජරා කළාම ඌම වහනවා.බල්ලෙක් නං පස් ටිකක් දාලා වැහුවෑකි.අලි බෙට්ටක් කොහේ දාන්ඩද? උඹල මොකෝ මල් එළවලු වවනවා කියලයැ.'

'මචං මේ උඹ මාව අධෛර්ය කරන්ඩ හදන්ඩ එපා.මොනවා කිව්වත් මම අලි පැටියෙක් ගේනවා ගේනවා ගේනවාමයි.'

'ආ තව එකක්.උංගේ මද කිපෙන කාලෙට මොකෝ උඹලා ඌට කෑල්ලක් ගෙනත් දෙන්ඩද? වැරදිලාවත් ඔය බැඳලා ඉන්න චේන් එක කැඩුනා. උඹලගෙ ගෙදර සෙට් එකම අලි මන්තර දැනං ඉන්ඩ වෙනවනෙ බං ආත්මාරක්ෂාවට.'

'ඇත් ගොව්වෙක් ඉන්නේ ඒකටනේ'

'ඇත් ගොව්වො ඉන්නෙම බී ගත්තු ගමං.උඹලට ඌට ඇල්කොහොල් දීමනාවකුත් දෙන්ඩ වෙනවා වෙනම.බීලා ඉඳං ඌ මොන මගුලක් නටයිද දන්නෑ.පොඩ්ඩක් හිතහං නාවන්නේ කොහොමද කියලා.උඹනං එච්චර නෑමේ වටිනාකමක් දන්නෙ නෑ තමයි.ඒ උනාට අලියෙක් නාවනවා කියන්නේ ලේසි වැඩක් ද? බාත් රූම් එකේ දාගෙන ෂැම්පු දාලා නාවන්ඩ ද? උඹලගේ මලයත් මට ශුවර් නෑ. ඌ අලියගේ මයිලක් ඇදලා බලන්ඩ උනත් පුළුවං ජාතියේ එකා.'



'මං යනවා බං.'

'පොඩ්ඩක් ඉඳපං. උඹට කිතුල් අතුද ඕනේ , ගොබද ඕනේ.'

'නෑ කිතුල් එපා.මට අලිත් එපා.බලු පැටියෙක් ගන්ඩ තැනක් කියපං.'

'අන්න පොඩි ඉස්කෝලේ ගාව බලු පැටව් දෙන්නෙක් දාලා ගිහිං තිබ්බා.බලලා එකෙක් අරං පලයං.එක්කෝ එකෙක් නෙමෙයි දෙන්නම අරං පලයං.ඇත් ගොව්වට දෙන්ඩ ගියපු සල්ලි ඉතුරුයි නේ.මේ තේ එක බීලා පලයං.'

'නෑ කමක් නෑ.මට තේත් එපා.'


33 comments:

  1. අපරාදේ හීනියට අලි පැටියෙක් හදන්නනේ ඉදල තියෙන්නේ... හික්ස් . පස්ට කතාව..

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ අහුවෙච්ච හැටියට මටත් හිතුනා අලිපැටියෙක් හදන්ඩ අප්පා

      Delete
  2. බළු සංහතිය වෙනුවෙන් මං ඔහේට එරෙහිව බළු ජනතා අධිකරණේ නඩුවක් දානවා බළු ජනතාවට අපහාස වෙන විදිහට නං පටබැන්දා කියලා. අඩුම ගණනේ ලෙමන් පෆ් කියල දැම්ම්මා නම් ඉවසන්ඩ පුලුවං.. පංචා කියල දැම්මත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ඩ අප්පා.පොරට තියෙන නම් ගොඩේ හැටියට ඔය තව තව ඒවා එකතු කරන්ඩ හිතුනේ නෑ..

      Delete
  3. සිතුම කිව්වෙ බ්ලොග් ලියන එකාද? උඹල දෙන්න මට ටැපලෙනව. ලිවිල්ලත් එකවගේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ මගේ ෆැකල්ටියේ අහිංසක යාළුවෙක්....

      Delete
  4. //සිතුමා ෆැමිලි ජුවෙල්ස් අතහැර කෙළිං විය.//

    තදින් සිනා.

    ReplyDelete
    Replies
    1. ඕක අර ඔබා මාමගේ වචනයක් නෙව

      Delete
  5. සිතුමා පහුගිය ටිකේ හිටපු විදිහට මේ කතාව ගැන පුදුම හිතෙන්නේ නැත. ඒත් ඌ පව් ය.

    ReplyDelete
    Replies
    1. අනේ ඌට මේ දවස්වල අම්බානට වැඩ බං.

      Delete
  6. හහ් හහ් හා....
    මේ ඕයි මේ හොඳටම මදි.... අර රොකට් කතාව වගේ සීරිස් එකක් ලියනවකො නිකම් ......

    අපිට එතකොට බොට බැන බැන හරි යහපාළනේට කින්ඩි දාන්න පොටක් හොයාගන්න පුළුවන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.අපේ උන්දැත් කිව්වා එච්චර රහක් නෑ කියලා.කොහෙද දැං ලියන හැටිත් අමතක වෙලා නෙව.කළාතුරකින් තමයි ලියන්නේ.

      Delete
  7. හැක් හැක් හැක් ............නරකද අර, 'මරාට ජැක් ගැහීමේ' පාටියේ දේශපාලන න්‍යායාචාර්ය පදවියක් සඳහා ඉල්ලුම්පත්‍රයක් දැම්මොත්

    ReplyDelete
    Replies
    1. මරාට ජැක් ගහන සැට් එකත් එකා එකා ෂේප් එකේ ලිස්සලා යනවා නේද? ගොම්මන්පිලයයි විමලයයි විතරයිද මන්දා ඉතුරු

      Delete
  8. //කළිං ආණ්ඩුව එළවන්ඩ ඕනේ නිසා එළෙව්වා.ඒ හිස් තැනට මුං ආවා//

    හරියටම හරි.
    මිරිස් ගත්තද නැද්ද කියන එක කාලයා තීරණය කරයි. තිබුනු ඉඟුරු ටික දීල දාන එක අත්යවශ්‍යව තිබූ දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං කියන්නේ.හැමෝම කියන්නේ මුං ටික අපි ගෙනාව කියලනේ.

      Delete
  9. බල්ලෙක් නම් ඔටාරා අක්කාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. උන්දැට මොනා උනාද මන්දා....ඉස්සර නං ඔඩෙල් එකේ හිටියා කියලා දන්නවා.දැං කොහෙ ගිහිල්ලද මන්දා.

      Delete
  10. හි හි මරු අනේ ඔයා නම්, යාලුවා ශෝක් ඩයල් එක මටත් ඔය වගේ එකෙක් ඉන්නෝ

    ReplyDelete
    Replies
    1. අනේ මගේ අහිංසක යාළුවා.මම ඌට මඩ ගහනවා කියලා ඌ දන්නේවත් නෑ

      Delete
  11. කතාව ආස්සේ කියවෙන දේශපාලන කතාවත් එහෙමයි නියමයි

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම දේශපාලනික සත්වයෝ නොවැ...

      Delete
  12. හෙහ්, අලියෙක් හදනව කියන්නෙත් ඉතින් ලේසි පහසු දෙයක්ද නේද එක අතකට බලද්දී..

    ReplyDelete
    Replies
    1. අනිවා.අලියෙක් නෙව.

      Delete
  13. හැහ්..අදමයි ආවෙ... මේක නම් මරු ඈ...බ්ලොග් රෝලට දාගත්තා...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...