27 January 2015

වල්පල් සහ ගැමුණු




බ්ලොග් ලියන්ඩැ කම්මැලිය.කම්මැලි කම අපේ ජාතියේ ලක්ෂණයක් නිසා කම්මැලි වීමෙන් මම නියම ශ්‍රී ලාංකිකයෙකු බව නැවත් නැවතත් ඔප්පු වීම සිදුවන බැවින් ආඩම්බර වෙමි.මහින්ද මාමා කුජීතව ගෙදර ගියේය.මයිත්‍රී මාමා වෙනසක් කරන්ඩ ලෑස්ති වෙලා රජගෙදරට ආවේය.මහින්ද මාමාගේ රට පුරා තිබ්බ කටවුට් ගලවලා මයිත්‍රී මාමාගේ කටවුට් ගැහුවෝය.මයිත්‍රී මාමා ඒවා ගලවන්ඩ කිව්වාට තාමත් ඒවා බොහොමයක් ඒ තැන්වලමය.යුද්ධේ ඉවර උනාම පාරේ කිරිබත් කාපු ඈයින්ට ඒක පුරුද්දකට ගිහිල්ලාය.මහින්ද පැරදිච්ච නිසා හා රනිල් දිනපු නිසා කට්ටියම පාරට බැස කිරිබත් කෑවෝය.මේවා නව ලාංකීය ප්‍රවණතා ය.ඉස්සරහට ක්‍රිකට් මැච් දිනුවාම, විභාග පාස් උනාම වගේ දේවල්වලටත් පාරේ කිරිබත් කනවා ඇත.

රූපවාහිනී අයිටීඑන් ආයෙමත් කඩේ යනවාය.මූණ වෙනස් උනාට කියන ප්‍රවෘත්ති ඉස්සර වගේමය.ඒකෙං වෙන්නේ මිනිස්සුන්ට මේ ආණ්ඩුවේ වැරදි දැනගන්න විදිහක් නැති වෙන එකය.සිරස කොහොමත් යුඇන්පී එක පැත්තේය.දැං මේ ආණ්ඩුවේ චැනලුත් මේ පැත්තටම කඩේ යන්ඩ ගිය විට රටේ ජනතාවට මේ ආණ්ඩුවේ ප්‍රශස්ති අහන්ඩ වෙනවා ඇර විවේචන අහන්ඩ වෙන්නේ නැත.ඒක හරි භයානක තත්ත්වයකි.

ආණ්ඩුවේ මාධ්‍ය කියන යෙදුම වැරදිය.ඒවා රාජ්‍ය මාධ්‍යයන් ය.රාජ්‍ය යනු උත්තරීතර නොවෙනස්වන ඒකකය වේ.ආණ්ඩුව යනු රාජ්‍ය කළමණාකරණය සඳහා පත්වන තාවකාලික ඒකකයක් පමණය.ඒ අනුව රාජ්‍ය මාධ්‍ය විසින් කළයුතු වන්නේ රාජ්‍යයේ තොරතුරු ජනතාවට ලබා දීම මිස ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කිරීම නොවේ.නමුත් රාජ්‍ය ගැති පුද්ගලයින් ලංකාවේ නොමැති වීමත් ඉන්නේ ආණ්ඩු ගැති හෝ ආණ්ඩු විරෝධී පුද්ගලයින් පමණක් වීමත් නිසා ප්‍රායෝගිකව මේ ප්‍රශස්ති ගායනය නැවැත්වීම අසීරුය.ඒ නිසා විකල්පයක් ලෙස වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයකට දර්ශනය වන රාජ්‍ය මාධ්‍ය දෙක එකක් ආණ්ඩුවටත් අනික විපක්ෂයටත් ලබා දිය හැකිනම් මිනිසුන්ට ආණ්ඩුවේ යහපත් ක්‍රියා මෙන්ම අවකල්ක්‍රියාද දැනගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි සිතමි.

පෙරේදා මහරජ ගැමුණු බැලුවෙමි.සෙනඟ සූ ගාලා හිටියාට මටනං ඒකේ ලොකු ලකයක් තිබ්බේ නැත.නිකං ජිල් බෝල හොද්ද වගේ ඔහේ තිබිලා ඉවර උනේය.ඒක ලංකාවේ සිනමාවේ හැටිය කියලා හිත හදාගෙන එන්නට සිද්ද උනේය.චිත්තර පටියක් බලලා ඉවර උනාම "අම්මට සිරි" කියලා කියවෙන තරමේ ප්‍රහර්ෂයක් එන්ඩ ඕනෑ කියලා මට හිතෙනවා ය.ඒ උනාට අපේ චිත්තරපටි මෙළෝ රහක් නැත.මහරජ ගැමුණු එන්ඩ ඇත්තේ ඡන්දෙත් අල්ලලා නිසා දඩි බිඩියේ වැඩ ඉවර කරන්ඩ ට්‍රයි කරන්ඩත් ඇතිය.මට මතක විදිහට සංගීතය නදීක ගුරුගේ මහත්තයාගේය.ඒ උනාට ඒකෙන් වත් කිසි ප්‍රාණවත් ගතියක් ආවේ නැත.දුටු ගැමුණු මට මහා වීරයෙක් නොවුනාට නිර්මාණකරුගේ උත්සාහය වෙන්නේ ගැමුණු චරිතය ප්‍රෞඪ මහා බලගතු එහෙත් මෛත්‍රී සහගත කැරැට්ටුවක් හැටියට පෙන්නන්ඩය.ගැමුණු චරිතයේ සංසිද්දීන් එක්ක මහා ගැඹුරු ත්‍රාසජනක මයිල් කෙළිං වෙන පසුබිම් සංගීතයක් එන්ඩ ඕනෑ යැයි මට හිතුනු තැන්වලදී පවා නදීක මහත්තයා දාලා තිබ්බේ මහා දියාරු තනුක සංගීතයකි.

රංගනයේ නං කියන්ඩ තරං වැරැද්දක් නැත.ඇත්තටම ගොඩක් තැංවල රංගනය ප්‍රශස්ත මට්ටමක තිබුණා යැයි කියන්ඩ පුලුවංය.ඒත් ගැමුණු කුමාරයාගේ බිරින්දෑට නං සිංහල ඌරුවක් නැති බව කැපිලා පෙනුනු බවත් කියන්ඩ ඕනෑය.ඒ උන්දෑ මියුසියස්, සෙන්ට් බ්‍රිජට් වගේ ඉස්කෝලෙක කෑල්ලක් මිස මාතලේ පැත්තේ ගොවි ගෙදරක කෙල්ලෙක් නං නෙමෙයි ය.නිළියෙක් නං ලැබෙන චරිතයට අනුගත වෙලා රඟපාන්ඩ ඕනෑය.නැත්තං චිත්‍රපටියේ වගකිව යුත්තෝ ගැලපෙන නිලියක් හොයා ගන්ඩ ඕනෑය.



පයිට් නං කියලා වැඩක් නැත.දුටු ගැමුණු වීරයෙක් වෙන්නේ එළාර පරද්දපු හින්දාය.ඒ කියන්නේ දුටු ගැමුණු කතාවේ යුද්ධයට වැඩි ඉඩක් දෙන්ඩ ඕනෑය.අනික ඒකේ පැරණි යක්ෂ ගෝත්‍රිකයංගේ අංගම් සටන් ගැනත් කියන නිසා සිරා පයිට් දෙක තුනක්වත් තිබ්බානම් වඩා හොඳය.නමුත් පයිට් බොහොමයක් හුදු නර්තනයකට ලඝු කොත තිබුණි.ඊ තල ඇවිත් ඇඟේ වැදීම ඔයිට වඩා තාත්විකව පෙන්වන්න තිබුණා කියා මට හිතෙනවාය.රොබින් හුඩ් ටෙලි කතාව ආවේ අපි පුංචි කාලේ ය.ඒ කාලේ ටෙලි කතාවකට ඔවුන් භාවිතා කළ තාක්ෂණය අද අපේ මහා සිනමා නිර්මාණයකටවත් භාවිතා නොකරන්නේ නම් අපේ සිනමාවේ අනාගතය නිකං බොඳ වෙලා යන බව කියන්ඩත් ඕනෑ නැත.



අදට ඔය ඇතිය.කම්මැලි කම නැති උනොත් තව ලිපියක් ලියන්ඩ බලාපොරොත්තු වෙමි.

31 comments:

  1. අනේ මන්දා බලන්ඩත් හිතයි මෙව්වා කියවපුවම නොබලන්ඩත් හිතයි. තව ටිකක් හිතලා බලනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්ඩ එපා.ඔන්නොහේ බලන්ඩ.ඒ උන්දෑ වියදං කරලා හදපු එකක් නොවැ.හැබැයි වැඩේ තියෙන්නේ මුං මේවට සෙනඟ ගොඩක් ආවම හිතනවා උගේ නිර්මාණේ පට්ට සිරා හින්දා සෙනඟ ආවා කියලා.

      Delete
  2. මාත් බැලුව තුන්කාලක් විතර මේ

    අර දුටුගැමුණුගෙ මාමණ්ඩිත් හරි නෑ බං. ගොවිතැන් කරන මිනිහෙකුට කොයින්ද ඔච්චර තෙල් බැහැපු ඇඟක්?

    ReplyDelete
    Replies
    1. ඔන්න දැනුයි ඒක කියෙව්වේ.මුං ඉන්න නළුවෝ දාලා ෆිල්ම් එකක් හදනවා මිසක් ෆිල්ම් එකකට ඕනේ කරන නළුවෝ හොයන්ඩ යන්නේ නෑ.

      Delete
    2. ජයන්ත චන්ද්‍රසිරි නළු නිළියන් තෝරා ගන්න කොට නම් හැම නිර්මාණයේදීම වගේ ඇණගත්ත අවස්ථා ඕන තරම් දකින්න පුලුවන්

      Delete
  3. හොදක් කියන එකෙක් ඇත්තෙම නැද්ද?? මටත් කම්මැලියි දැං. රාජ් ගේ එක කියෙව්වාම තං උනා. උමේ එක කියෙව්වාම තං තං උනා

    ReplyDelete
    Replies
    1. හොඳක් කියන්ඩ අනේ මන්දා බං.පොඩි එකෙක් එක්ක ගියොත් නං ඉතිං රාජ්ට උනා වගේ තං තංම වෙයි.

      Delete
  4. මේ ගොල්ල හදන්නෙ අර අහිංසක හෝල් කාරයට හම්බවෙන තුට්ටු දෙකටත් කෙලින්නය. :D

    ReplyDelete
    Replies
    1. අපියෑ ප්‍රසන්න අයියේ.මේ ෆිල්ම් හදන උං නෙව ඒක කරන්නේ.උං හොඳ ෆිල්ම් හැදුව නං අපි යනවනේ රටේම උංවත් එක්කගෙන

      Delete
  5. Kochchara Sawuththu unath meFilm eka wishista,dewentha sinama nirmanayak bawa kiyanna kawruth hithata gathayuthui.Mokada Meka, Eyai,eyage madyawedee Pitakasannoi kiyaganna hatiyata,JAYANTHA CHANDRASIRI kiyana sinama dawenthayage nisa.Mara Hitiyanam Pasal sisu/sisuwiyantath Aniwaryawenawa.(Divaina)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ජයන්ත චන්ද්‍රසිරිගේ ටෙලි නාට්‍ය නං හොඳයි නේද?හැබැයි ෆිල්ම් එක නං අජපල්.ඔය ප්‍රශස්ති කාරයෝ තමයි මිනිස්සුංගේ ඔළුව කන්නේ.

      Delete
  6. මොනවා කියන්නත් ඔ්ක බලලා ඉන්න උවමනායි.... කොහොමත් මේක ලංකාවනේ දිනුක..........

    ReplyDelete
    Replies
    1. අනිවා මචං බලපන්.ඒත් අනේ මන්දා

      Delete
  7. // දුටු ගැමුණු මට මහා වීරයෙක් නොවුනාට//
    මචං දිනුක, උඹ කැමති දේ ලියන්න උඹට අයිතියක් තියෙනවා..උඹ දොස්තරෙක් වූ පලියට වෙනත් විෂයන් පීචං කොට කතා කිරීම නම් එතරම් සුදුසු නැති බවයි මගේ අදහස..අනික උඹ දුටුගැමුණු දකින්නේ මර්වින්ගේ සමයං මත පිහිටා හෝ සමහරුන් මහින්ද රාජපක්ෂට සමාන කරන අකමැත්ත නිසා හෝ විය හැකියි..මේ ප්‍රකාශයට එවන් දේශපාලනික අදහසක් නොගෑවෙන්නත් පුලුවන්..ඒක උඹට හිතෙන හැටි..විද්‍යාව අසංවේදි නැහැ හැබැයි සංවේදීත් නැහැ..නමුත් ඉතිහාසය සහ කලාව එහෙම නෙවෙයි..ලංකාවේ සිනමාව ගැන නම් උඹ කියූ දේ ඇත්ත..අවුරුදු 70ක් වෙලත් පරිණත නොවුණු සිනමාවක් අපට තියෙන්නෙත් එහි 50%ක වගකීමක් ප්‍රේක්ෂකයාටත් ඇති බව මගේ අදහසයි..

    ReplyDelete
    Replies
    1. දොස්තරෙක් වීම මෙතනට අදාල නෑ මචං. යුධ වීරයෙක් මට වීරයෙක් නෙමෙයි.ප්‍රෙක්ෂකයා මොනවා කරන්නද මචං.නිර්මාණකාරයා දෙනකොට මිනිස්සු කට්ටියක් දෙන දෙ බලන්ඩ පුරුදු වෙනවා.අනිත් කට්ටිය ඒක නොබලා වෙන දෙයක් බලන්ඩ හොයා ගන්නවා.නිර්මාණකාරයා දැන ගන්න ඕනේ ප්‍රේක්ෂකයවත් ගොඩ දාන්ඩ.

      Delete
    2. මචං ඔරිජිනල් දුටුගැමුණු වටින්නේ යුධ වීරයෙක් විදියට විතරක්ම නෙවෙයි..ඒක ගැන එක සැරේ එහෙම අදහස් දෙන්න කලින් පොඩ්ඩක් හොයල බලපන්..උඹ දොස්තරෙක් වීම වක්‍රාකාරව අදාළ වෙන්න පුළුවන් මොකද උඹේ විෂය ඉතිහාසය එක්ක නොගැටෙන එකක් නිසා..
      ප්‍රේක්ෂකයොයි ඡන්ද දායකයොයි හැටියට දෙන දේ බලන් ඉන්න එක ට්‍රෙන්ඩ් එකක් නේ මචං..ඇයි ප්‍රේක්ෂකයට බැරි අපිට මෙහෙම එව්වා වැඩක් නෑ කියන පණිවිඩේ දෙන්න..? ඒක 50-50 කේස් එකක්...

      Delete
    3. දුටුගැමුණු යුධවීරයෙක් හැටියට තමයි මම දන්නේ.ශාසනයේ චිරස්ථිතියවත් ජාතිය රැක ගැනීමවත් මගේ විශ්වාසයේ හැටියට වීර ක්‍රියා නෙමෙයි.හිට්ලරුත් කළේ තමංගේ ජාතියේ අභිවෘද්දියට යුද්ධ කරපු එක නේ.
      ප්‍රේක්ෂකයින් චිත්‍රපටි බලන්ඩ නොයෑමෙන් තමයි අකමැත්ත පෙන්නන්නේ.ඒක තේරුම් ගන්ඩ බැරි සිනමා කරුවෙක් ගැන කතා කරලා වැඩක් නෑ.ගැමුණු බලන්ඩ ඇවිත් හිටියේ සිනමා ලෝලීන් නෙමෙයි.වන්දනාකාරයෝ ටිකක්.

      Delete
    4. ඔබ දකින ආකාරයට වීරයා යනු කවුද?

      Delete
    5. මම දකින විදිහට වීරයා කියන්නේ මිනිස්සුන්ට වෙනසක් නැතුව ලැබිය හැකි සේවාවක් කරපු කෙනා.
      උදාහරණයක් විදිහට වැවක් හැදුවොත් ඒකෙන් ජාති ආගම් බේදයක් නැතුව ප්‍රයෝජන ගන්න පුළුවන්.රෝහලක් උනත් එහෙමයි.ඒ උනත් පන්සලක්, පල්ලියක්, කෝවිලක් කියන්නේ සීමිත කොටසකට ප්‍රයෝජනයක් ලැබෙන ප්‍රදර්ශනකාමී සේවාවක් විතරයි.
      දුටුගැමුණුටත් මට මතක විදිහට යුද්දෙන් පස්සේ මහින්ද සින්ඩ්‍රෝම් එක හැදුනා.යුද්ධෙට දායක වෙච්ච නිළධාරීන් යට ගිහිල්ලා දුටුගැමුණු විතරක් මතු උනා.යෝධයෝ දෙතුන් දෙනෙක්ම කළකිරිලා වෙන් උනා වගේ දෙයක් කොහේ හරි කියෙව්වා.

      Delete
    6. Niranjan KarunathilakeJanuary 28, 2015 at 12:18 AM
      මටත් අහන්න තියෙන ප්‍රශ්නය ඕකයි

      දිනුක, ඔබගේ දැනීම සහ ආකල්පය පිලිබඳ බොහොම කණගාටුයි..දුටුගැමුණු රජතුමා බෞද්ධ ශාසනයේ චීරස්තිථිය වෙනුවෙන් ක්‍රියා කලාය කියන එක ඔබට රිදුණු දෙයක් වෙලා හැඩයි..හැබැයි දුටුගැමුණු එසේ නොකලා නම් අද වෙද්දි ඉතිහාසය බොහොම වෙනස් වෙන්න තිබුණා..අනික් අතට කතෝලික ආගම එවකට ලංකාවේ පැවති බවට සක්ෂි නැහැ..ඔබේත් මුතුන් මිත්තන් එවකට ඉන්නට ඇති..අනික ඔහු දාගැබ් හැදෙව්වා වාගේම රටේ කෘෂිකර්මය, වාරි මාර්ග වැඩි දියුණු කරවලා නැද්ද?මට පේන්නේ ඔබත් ඉතිහාසය විකෘති කළ ඊනියා ඉතිහාසඥයන්ගේ සම්ප්‍රපලාප බොහෝම තදේට වැලඳගෙන හැඩයි..මම කිව්වා හරි නේද? මහින්ද රාජපක්SHඅ කෙරෙහි ඇති අකමැත්තට ඔබ හරියට නොදන්නා දුටුගැමුණුගෙන් පළිගන්නවා..කමක් නෑ..බ්ලොග් ලෝකයේ පවතින්නත් එපැයි නේ නෙද? අනික ඉතින් ඔබේ මේ ප්‍රකාශ ටික සිහි නුවණින් බලන අයෙක්ට සැඟවුණ ඇත්ත වැටහෙනවා..

      Delete
    7. එච්චර දුරට හිතන්න අවශ්‍ය නෑ.බුද්ධ ශාසනය ගැන ඔබේ දැක්ම මට නෑ.ඒ හින්දා බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට වැඩ කිරීම මගේ දැක්මට අනුව සමාජ සත්කාර්යයක් නෙමෙයි.කුරුස යුද්ධ, මුස්ලිම් අන්තවාදය වගේ දේවල් ඒ ඒ පුද්ගලයාගේ දැක්ම අනුව වීර ක්‍රියා හෝ ත්‍රස්ත ක්‍රියා වෙනවා නේද? ආගම ප්‍රචාරය සඳහා ජනතාවගේ අභිවෘද්ධියට වෙන් කළ හැකිව තිබූ ධනය වැය කිරීම මම දකින්නේ පාලකයින් ඔවුන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමට භාවිතා කළ උපක්‍රමයක් පමණක් බවයි.මහින්ද රාජපක්ෂට පමනක් නොවේ මේ රටේ සිටි සහ සිටින සියලුම ජනතා පීඩිතයින් ගැන මගේ පැහැදීමක් නෑ.එනිසා දුටුගැමුණු හෝ මහින්ද වෙත එල්ල වූ හුදෙකලා වෛරයක් මට නෑ.කවුරුත් එකයි.

      Delete
    8. මෙන්න සුපිරි ලිස්සායාමක්!
      ඔබේ අගම්වාදයේ හෙළුව හොඳට පේනවා දිනුක..බුද්ධ ශාසනයේ දියුණුවට කලේ විනාශ මුඛයට යමින් තිබූ දේ බේරාගැනීම සහ එළාර ප්‍රමුඛ සොලීන් විනාශ කළ දේ යලි ගොඩ නැංවීම..ඒ ඇරුණු කොට ඔහු කළ සංවර්ධන කටයුතු බොහොමයි ඒවා බෞද්ධයන්ට පමණක් විඳින්න හදපුවා නෙවෙයි..ඔබේ මුතුන් මිත්තනුත් පස්සේ කතෝලික ආගම වැලඳගන්නාතුරු ඒවා පරිභෝජනය කරන්නට ඇති..එතකොට ඔබේ දැක්මේ හැටියට කවුරුවත්ම කතෝලික ක්‍රිස්තියානි ආගම් වෙනුවෙන් දේවල් කොට වීරත්වයට පත් වෙලා නැද්ද? බලෙන් ආගම පැතිරවීම සහ ඔබලාගේ තිබෙන විවිධ නිකායන් අතර ඝට්ටනය හරිද? බුද්ධාගම බේරාගත්තම මොනා කළත් දුටුගැමුණු වැඩක් නැද්ද? මාරයි!! ඔබේ දැක්ම ආගමක් වෙනුවෙන් යමක් කළ කෙනා වැරදී කියන එක නම් ඔබේ ආගමේ ජීවමාන සංකේතයවන පාප්තුමාත් වැරදි වෙන්නැති නේද?

      ජනතා පීඩිතයෝ පත්කරන්නෙත් අපිමයි..සහ උන්ව වෙනස් කරන්නේ මූණෙන් විතරයි..ඒකත් කරන්නේ අපි අපිම තමයි..පැහදීමක් නෑ කිව්වත් ඔබත් ඒ පත්කිරීම්වල කොටස්කාරයෙක් ඡන්දය භාවිතා කරනා තාක්කල්..

      Delete
    9. ඔන්න ඔබ වරද්දාගත් තැන.මම බෞද්ධයෙක් නොවූ පලියට ඔබ හිතනවා මම කතෝලිකයෙක් කියලා.මට ආගමක් නෑ මහත්තයෝ.ඒ නිසා බුද්ධාගම ගැන විතරක් මගේ වෙනම අපැහැදීමක් නෑ.මට ඔක්කොම එකයි.

      දෙවන කාරණය වන ජනතා පීඩිතයන් අපිම පත් කර ගැනීම කියන කාරණේදීත් කියන්ඩ තියෙන්නේ මම අරාජිකවාදියෙක් විදිහට මේ පවතින ක්‍රමය පිළිගන්නේ නෑ.නමුත් බහුතර මතයට ඉඩ දීලා ඉන්න නිසා අවම පීඩිතයාට බලය ලබා දීම උදෙසා චන්දය භාවිතා කරනවා.

      ඔබගේ කොමෙන්ටු අනුව මට තේරෙන්නේ දුටුගැමුණු ඔබට වීරයෙක් වන්නේ ඔහු බුද්ධ ශාසනයට කළ සේවය නිසා පමණයි.මොකද අනිකුත් සමාජ සේවා කටයුතු පාලකයෙක් විදිහට එළාර පවා කළ නිසා.මාහාවංසයෙත් ඒ ගැන සඳහන් වෙනවා නේද?

      Delete
    10. හරි අපි හිතමු ඔබ කිසිම ආගමක් අදහන්නේ නෑ කියන එක ඇත්තක් කියලා..එහෙම වුණත් ඔබ ඔය කියන විදියට ශාසනයට කළ මෙහෙය නිසා දුටුගැමුණු වීරයෙක් නොවන බව කීම කොයිතරම් දුරට සාධාරණද? ඔව් මම බෞද්ධයෙක් තමයි..මම කියන්නේ නැහැ මට ආගමක් නැහැ ජාතියක් නැහැ මම හරි සර්වජන සර්වාගමික එකෙක් හෝ ඕපාපාතිකයෙක් කියලා..හැබැයි ඔබේ ප්‍රකාශය සාධාරණ නැහැ..ඔබ යම් ආගමක් නොඇදහූ පලියට ඊට සම්බන්ධ දේ නිසා ඔවන් ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නැහැ..මට දුටුගැමුණු වීරයෙක් තමයි..හැබැයි ඒ බුද්ධ ශාසනය වෙනුවෙන් කළ දේ හින්දාම "විතරක්" නෙවෙයි..! ඒ බව මගේ කලින් කමෙන්ටු කියෙව්වත් තෙරේවි..ඔව් එළාර සාධාරණ දේ කළ බව කියැවෙනවා..නමුත් ඒ අතරම දාගැබ් වෙහෙර විහාර කඩා බිඳ දැමීම්, කොල්ලකෑම් සහ නොයෙකුත් අපරාධ වුණ නිසාත්, ඔහුගේ අනුගාමිකයන් දැන් ඉන්න ඇමැත්තෝ වගේම වූ නිසාත් තමයි යුධ වැදීමේ අවශ්‍යතාවක් ඇතිවෙලා තියෙන්නේ..ඒ එක්කම දුටුගැමුණු එළාර වෙනුවෙන් දෙමළ මහා සෑය හදවා ගෞරව කළ බවත් මහා වංශයේ සඳහන්..එළාර කළ මෙහෙයන්ට වඩා ඉන් සිදුවූ විනාශය වැඩී..පොඩ්ඩක් එහාට වෙන්න වල්ගේ පෑගිලා නම් මගේ කමෙන්ටු නැවත කියවන්න..

      //නමුත් බහුතර මතයට ඉඩ දීලා ඉන්න නිසා අවම පීඩිතයාට බලය ලබා දීම උදෙසා චන්දය භාවිතා කරනවා.//
      ඕක මනින්නේ මොන මානයෙන් ද?බලය ලැබෙන තුරු උපාසකයෝ බලය ලැබුණු පසු මොක්කු වෙනවද කියලා සාස්තර කියතහැකි නම් කොච්චර ප්‍රශ්න මග හැරගන්න තිබුණාද?

      Delete
    11. පාප්තුමා මේ ළඟදි ඇවිල්ලා ශාන්තුවරයට ඔසවපු ජුසේවාස් පියතුමාත් ඔබට වීරයෙක්ද? මම අහලා තියෙන විදිහට ඔහුත් සෑහෙන කට්ටක් කාලා තියෙනවා කතෝලික ආගම ප්‍රචාරය කරන්න.එතකොට ඔබේ තර්කයට අනුව ඔබ බෞද්ධයෙක් වූ පලියට අනිත් ආගම්වල මිනිස්සුන්ගේ වීරක්‍රියා (ඔවුන්ගේ දෘෂ්ඨි කෝණයට අනුව ) නොපිලිගන්න එක සාධාරණද? ඔබේ මේ අදහස් දැක්වීමත් ඔබම හෙලා දකින මේ පාලන ක්‍රමයේම එක් අනුරුවක් නෙමෙයිද? මගේ වීරයන් තෝරාගන්න මට ඉඩදෙන්න.මම දුටුගැමුණුට අපහාස කළේ නෑනේ.මම කිව්වේ ඔහු මට වීරයෙක් නෙමේ කියලා විතරයි.

      පාලකයින්ගේ හොඳ නරක මණින්න මිණුම් දණ්ඩක් නෑ නේද?අපිට සිද්ද වෙන්නේ ඔවුන්ගේ ක්‍රියාව බලලා ඊළඟ ඡන්දෙන් ඔවුන් ගෙදර යවලා වෙන කෙනෙකුට අවස්ථාවක් ලබා දෙන එක විතරයි.මහින්දගේ කල්ක්‍රියාව හොඳ නැති බව තේරුණාම ඔහු කෙරේ ඇති මගේ ආකල්ප වෙනස් උනා.මයිත්‍රීත් පිස්සු නැටුවොත් මට ඔහුත් එපා වෙයි.එච්චරයි.ඒ මගේ දේශපාලනය.මොකද මිනිස්සු අනිත් මිනිස්සුන්ව පාලනය කළයුතු නෑ කියන අදහසේ මම හිටියට මට ඒක තනියම වෙනස් කරන්ඩ බැරි නිසා තියෙන ක්‍රමය ඇතුලේ මගේ වපසරිය ළකුනු කරගෙන අනුන්ට කරදරයක් නොවී ඉන්න එක තමයි මගේ දේශපාලනය.

      Delete
    12. දිනුක, අවාසනාවකට වගේ මට ලෝකේ සියලුම ආගම් සම්බන්ධව මහාචාර්ය දැනුමක් නැහැ ඔබට වගේ..මම හිතන්නේ ඔබට ආගමක් නෑ කියන්නෙත් ඒක නිසා වෙන්නට ඇති! හැබැයි මොන ආගමේ වුණත් යහපත් දේට මම ගෞරව කරනවා.ඔබ ඔය කියනා පුද්ගලයාගේ ආගම් ප්‍රචාරණයේ කටු කෑම් ගැන නම් මම දන්නේ නෑ..හැබැයි මම කිව්වේ බලයෙන් ආගම් ප්‍රචාරණය සම්බන්ධවයි..ඔබේ වීරයෝ ප්‍රභාකරන් වුණත් මට ගැටළුවක් නෑ පුදුමෙකුත් නෑ මොකද ඔබේම වචනවලින් කියල තියෙනවා මෙහෙම //බුද්ධ ශාසනය ගැන ඔබේ දැක්ම මට නෑ.ඒ හින්දා බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට වැඩ කිරීම මගේ දැක්මට අනුව සමාජ සත්කාර්යයක් නෙමෙයි//

      සිහිකල්පනාවෙන් මුල පටන් කියෙව්වා නම් හොඳයි නේද දැන්වත් දිනුක මහත්තයෝ..

      Delete
  8. සෙද්ද තමයි, ලන්කාවෙ හැටියට මට නම් ෆට්ට... පී. කේ. පිලුම් හෝල් 5500 ක පෙන්නනවලු, මේක 55ක, ඉතින් කොහොමද ඔය ලොකු ටෝක් දාන මල්ලිලා කියන විදිහේ පිලුම් 1ක් හදල ලාබ ලබන්නේ... ඔහේ යන්නන් වාලේ ඉතිහාසෙ ඒ විදිහටම හදපු, ගෙදර ගිහින් හිතන්න දෙයක් නැති පිලුම් වලට වඩා දහසක් දේවල් ගෙදර ගිහින් හිතන්න පිලුම් 1ක් හදපු ජයන්ත මහත්තයට ලන්කාවම ණයයි.... දුටු ගැමුණු පට්ට ගහනකන් අහල තිබ්බ නිසා ඔහේ කතාව යන්නන් වාලෙ යනවා කියල හිතල මාත් බලන්න ගියේ, හී හී :) ඒත් හැම සිදුවීමක්ම ඇතුලෙ පුදුම කුතුහලයක් තිබ්බෙ, මන් හිතන්නෙ ඔය ජයන්ත මහත්තයත් එක්ක පුද්ගලික තරහකට කොමෙන්ට් දාපු මල්ලිලාටත් ඕකම දැනෙන්න ඇති, ඔන්න බය නැතුව කියනව, ලන්කාවෙ මම බලපු පට්ටම පිලුම් එක, ආයි බලන්න ඕනි!! :ප්

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයා 'සංකාරා' කියලා ෆිල්ම් එකක් ගැන අහලවත් නෑ මං හිතන්නේ

      Delete
    2. ඔය කියන්නේ අර හෙට අනිද්දට මරාට කියන්න වෙන අනිඡාවත සංඛාරා නේද

      Delete
    3. මරා ගේම අත අරින එකක් නෑ.මරා සයිඩ් එකෙන් ඉඳගෙන නාරා ව ගේමට බස්සයි.

      Delete
  9. අපෙ පැත්තෙ ඉන්නව නියම සෙට් එකක්....එල එල නියමයි

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...