11 April 2013

ඔන්නොහේ හිනා වෙමු අනේ!!!




අන්තර්ජාලේ කියන එක පටං ගත්ත සහ සාමාන්‍ය මිනිස්සු ඒක පාවිච්චි කරන්ඩ ගත්ත දා ඉඳං ඒක වැල එහෙම නැත්තං පෝර්න් වලින් පිරෙන්ඩ ගත්තා.ඒ වගේම අධ්‍යාපනේට වැදගත් කියලා ඉන්ටර්නෙට් අරගෙන කට්ටිය ෆේස්බුක් යනවා ඇරෙන්ඩ කළාතුරකින් නේ ඔය කියන ඊනියා අධ්‍යාපන කටයුත්තකට ජාලේ පාවිච්චි කරන්නේ.ඇත්තටම මට හිතාගන්ඩ බෑ මේ හැම වෙඩින් එකකටම පස්සේ, හැම ට්‍රිප් එකකටම පස්සේ ෆේස්බුක් කට්ටියගේ දත්ත ගබඩා පිරෙන පිරිල්ලට මොකක් හරි අලුත් දත්ත ගබඩා ක්‍රමේකට යන්නැතුව මේක පවත්වගෙන යන්නෙ කොහොමද කියලා.ඇයි දෙයියනේ ඕවා කොහේ ගබඩා කරලා තියාගන්ඩද?

කොහොම වෙතත් මම උනත් බොහොම කළාතුරකිං තමයි අධ්‍යාපන කටයුත්තකට ජාලේ පාවිච්චි කරන්නේ.ජාලෙ මට වැදගත් වෙන්නේ රසවින්දන මාධ්‍යයක් විදිහට.චිත්‍රපටි එකක් දෙකක් මාසෙකට බලා ගන්ඩ, ටීවී සීරීස් එකක් බාගෙන බලන්ඩ වගේම මගේ අවධානය යොමු වෙන මොනවා හෝ විශය කරුණක් ගැන කියවන්ඩ ජාලේ හරිම ප්‍රයෝජනවත්.මම බ්ලොග් බැලුවට බ්ලොගක් ලිව්වට ෆේස්බුක් හෙවත් මූනුපොතේ නං ඇත්තේ නෑ.මාස දෙකක් තුනක් විතර මට මතක විදිහට මූනු පොතේ සැරිසරපු මට ඒක එපා වෙලාම ගියා.මෙලෝ වැදගත්කමක් ඇති තැනක් නෙමෙයි.කවුරුහරි අපි දන්න එකෙක් දානවා ඌට දවස් පහකට පස්සේ බඩ බුරුලට මළපහ උනා කියලා.එතකොට උගේ යාළුවෝ ඔක්කොම ඇවිත් ලයික් කරලා යනවා.'ලොල්' කියනවා.කවුරු හරි කෙල්ලෙක් කොහෙ හරි ගිහිං ගත්තු ෆොටෝ එකක් දානවා.හැමෝම ඇවිත් 'අනේ මේකෙ ඔයා හරි හැඩයි' කියනවා.එතකොට ඒ කෙල්ලත් 'ඇයි යකෝ අනිත් ඒවයේ මම කැතද?' කියලා අහන්නැතුව 'තැංකූ..........අනේ...' කියලා රිප්ලයි කරනවා.මොකෙක් හරි එකෙක් ලව් එකක් පටං අරං 'ඉන් අ රිලේශන්ෂිප්' කියලා දානවා.හැමෝම ඇවිත් ගුඩ් ලක්ද අරකද මේකද කියලා සුභපතනවා.ටික දවසකින් අරූ අර දාපු එක වෙනස් කරනවා 'ඉට්ස් කම්ප්ලිකේටඩ්' කියලා.කවුරුත් මොකුත් කියන්නෑ.හැබැයි කැන්ටිමෙයි අතනයි මෙතනයි හැමතැනම හොරාට කතාවෙනවා.ඊට පස්සේ අරූ අරක වෙනස් කරනවා 'සිංගල්' කියලා.කට්ටිය මොකුත් නොකියා බලං ඉන්නවා ඌ ආයෙත් 'ඉන් අ රිලේශන්ෂිප්' කියලා දානකං ආයෙත් සුභපතන්ඩ.

බ්ලොග් ඒ අතින් වෙනස්.ලියන කියවන පිරිස ටිකක් හිතන මිනිස්සු ටිකක්.ඒ හින්දා බ්ලොග් ලෝකේ තාම මට අල්ලලා ගිහිල්ලා තියෙනවා.


පොර්න් ගැන මගේ මතය පස්සේ දවසක වෙනම ලිපියකිං ලියන්ඩ හිතං ඉන්නවා.මම මේ ලිපියෙන් කියන්ඩ හදන්නේ මම අන්තර්ජාලයෙන් ලබාගන්න වැදගත්ම සේවය ගැන.ඒ තමයි හාස්‍යය.ඇත්තටම මම අනිත් දේවල්වලදි පොරක් නොවුනට මගේ හාස්‍ය රසවින්දන හැකියාව ගැන මම ආඩම්බරයි.මම හිතං ඉන්නවා මට හොඳ හාස්‍ය රසඥතාවයක් තියෙනවා කියලා.ඒක පෘතග්ජන මිනිස්සුංගේ හැටිනේ නේද?.තමුන්ට මොකක් හරි පුළුවං කියලා ඇඳගෙන ඉන්නවා විතරක් නෙමෙයි අනිත් උන්ට ඒක බෑ කියලා බණින එකත් කරනවා.මාත් ඉතිං පෘතග්ජනයෙක් විදිහට එහෙමම තමයි.

දැං මේ හාස්‍යය කියන දේ එක එක විදිහට උපද්දවන්ඩ පුළුවං.අපේ සිංහල සිනමාවේ නිතරම දකින්ඩ ලැබෙන 'බඩ අල්ලං හිනාවෙන්ඩ, පවුලේ සැමට රස සාගරයක්' කියලා ප්‍රදර්ශනය කරන චිත්‍රපටිවල තියෙන වැටෙන පෙරලෙන ඒවා හරහා හාස්‍ය ඉපැද්දවීමට උත්සාහ කරන ඒවා මම දාන්නේ 'මෝඩ ජෝක්' කියන කාණ්ඩය යටතට.එතකොට ඔය 'කොමඩි' කියන කාණ්ඩය යටතේ එන අඩු වියදම් බටහිර චිත්‍රපටිවල තියෙන අසූචි, මුත්‍ර සහ ශුක්‍ර හරහා හාස්‍යය මතුකරවන්ඩ හදන ජුගුප්සාජනක ඒවා 'ඩර්ටි ජෝක්' කියන කාණ්ඩයට අයිති වෙනවා.ඔය කියන ඒවාට අමතරව මිනිස්සුංගේ මුග්ධ ක්‍රියාවන් උපුටා දක්වමින් ඒවා සියුම් උපහාසයට ලක් කරන නිර්මාණශීලී 'සිරා ජෝක්' කියලා කාණ්ඩයකුත් තියෙනවා.ඒවා හරිම සීමිතයි.මොකද ලෝකේ බහුතරයක් මිනිස්සු නිර්මාණශීලී නැති හින්දා.විශේෂයෙන්ම හාස්‍යය සම්බන්ධව.ඕනේම කලා ක්ෂේත්‍රයක් අරගෙන බලන්ඩ.හිනාව උපද්දන්ඩ පුලුවන් නිර්මාණ අතළොස්සක් විතරක් තියෙද්දි අඬවන නිර්මාණ වැහිවැහැලා.හස්‍යෝත්පාදක පොත් කීයද තියෙන්නේ? සින්දු කීයද තියෙන්නේ? චිත්‍රපටි කීයද තියෙන්නේ? ටෙලි නාට්‍ය කීයද තියෙන්නේ? මම කියන්නේ සාර්ථක වෙච්ච ඒවා.හැබැයි අඬන ඒවා, සීයට අනූ නමයක්ම තියෙන්නේ අඬන ඒවානේ.

උපහාසය ගැන කියද්දි උපහාසය අපහාසයෙන් වෙනස් වෙනවා කියලත් කියන්ඩ ඕනැ.අපහාසය නිර්මාණශීලී නෑ.මම උනත් ගොඩ වෙලාවට අපහාස කරනවා මිසක් උපහාසය මතුකරගන්ඩ දන්නේ නෑනේ.බලමුකෝ කවදා හෝ සියුම් උපහාසයේ කෙළ පැමිණීමයි මගේ ඒකායන පරමාර්ථය.බලමුකෝ ලංකාවේ අපි උපහාසයේ ඉහළට ආවා කියලා දැනගන්ඩ එක නිර්ණායකයක් තියෙනවා.ඒ තමයි හාස්‍ය නිර්මාණයක් දේශපාලකයෙක්ගේ චරිතයක් ගාවගන්නැතුව කිරීමේ හැකියාව.

හරි දැං එහෙනං කට්ටියට මම ජාලේ බලන මේ හාස්‍යෝත්පාදක නිර්මාණ එකින් එක කියන්ඩයි හදන්නේ.කට්ටිය වැල බලන එක ඩවුන්ලෝඩ් කරන එක මේ මාසෙට අඩු කරලා මේ එකෙක් දෙකක් බලලා හොඳ නරක කියන්ඩ බලන්ඩ.මේවයිනුත් ලේ පිරිසිඳු වෙනවා කියලනේ කියන්නේ.ඔය කිව්වට ලේ පිරිසිඳු වෙන්නේ නෑ හොඳේ.එහෙම පිරිසිඳු වෙනවා නං ඩයලයිසිස් කරන්නැතුව වකුගඩු නරක් වෙච්ච ලෙඩ්ඩුන්ට විහිළු කතා කිය කිය ඉන්ඩ තිබ්බනේ.ලේ කෙසේ වෙතත් මනස නං පිරිසිඳු වෙනවා.

මේ දවස්වල මගේ තේරීමට අනුව අංක එකට ඉන්නේ 'ජෝර්ජ් කාර්ලින්' මහත්තයා.ඒ මහත්මයාගේ නිර්මාණ මම දකින්නේ 'දාර්ශනික විහිළු' විදිහට.ඔහුගේ භාෂා ශක්‍යතාව සහ කතාකරන මාතෘකාව පිළිබඳ දැනුම තමයි ඔහුගේ විශේෂත්ව විදිහට මම දකින්නේ.

මේ ඔහු ලෝකය සුරැකීමට වෙහෙසෙන්නන් ගැන කතා කරන කෙටි වීඩියෝව.



'රෝවන් ඇට්කින්සන්' මහත්මයා හෙවත් හැමෝම දන්න 'මිස්ටර් බීන්' කියන්නෙත් මගේ ප්‍රියතම චරිතයක්.බීන් චරිතයට අමතරව ඔහු වේදිකාවේ දැක්වූ සජීව රංගන කීපයක් මට සෑහෙන්ඩ අල්ලලා ගියා.රෝවන් ඇට්කින්සන් මහත්මයාගේ විශිෂ්ඨම හැකියාව විදිහට මම දකින්නේ සාත්වික අභිනය හෙවත් මුහුණේ භාව ප්‍රකාශන හැකියාව.ඒ මනුස්සයා රඟපාද්දි මූන විතරක් දැක්කම සම්පූර්ණ අවස්ථාව ගැන අවබෝධයක් ගන්ඩ පුළුවං.අනිත් දේ තමයි ඉතා සුළු ආංගික අභිනයන් මඟින් රංගනයට ලබාදෙන තාත්වික බව.

ඔහුගේ මේ නිර්මාණයේ බලන්ඩ මනුස්සයෙක්ගේ නමක් වගේ ඉතා කුඩා කරුණක් පාදක කරගෙන කොච්චර හොඳ නිර්මාණයක් කරන්ඩ පුළුවන්ද කියලා.


මේ වීඩියෝවනං මගේ හුඟක් මිත්‍රයෝ බලලා තිබුණත් බ්ලොග් බලන කාටහරි මිස් වෙලා තිබුනොත් කියලා ඒකත් ඔන්න ඔහේ දාන්නං.ඩ්‍රම් සෙට් එකක් නැතුව රෝවන් ඇට්කින්සන් ඩ්‍රම් ගහන හැටි.බලන්ඩ චලනයන් කොච්චර හොඳට පාලනය කරනවද කියලා.



ඒ වගේම ඔහු ඉදිරිපත් කරන මේ අඳ, ගොලු, බිහිරි යාලුවො තුන්දෙනාගේ මරණය ගැනත් බලලම ඉන්ඩ.



ඊළඟට මම කියන්නේ ජෙෆ් ඩන්හැම් මහත්තයා ගැන.මේ මහත්තයාගේ විශේෂත්වය තමයි අත් රූකඩ සමඟ තමුන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීම.ඔහුගේ විශේෂත්වය තමයි කට හොලවන්නේ නැතුව රූකඩයට හඬ කැවීම සහ තාත්වික සජීවී සංවාදයක් රූකඩය සමඟ පවත්වාගෙන යෑම.ඒ වගේම ඔහු සතුව රූකඩ චරිත කීපයක්ම ඉන්නවා වගේම ඒ එක් එක් රූකඩයට ආවේනික හඬක් සහ කතා ශෛලියක් ඔහු පවත්වාගෙන යනවා.මේ පළවෙනි වීඩියෝ එකත් කට්ටිය ගොඩක් දෙනා දැකලා ඇති.ඒත් බලන්ඩකෝ 'අක්මෙඩ්' කියන මරාගෙන මැරෙන බෝම්බකාරයා සමඟ ජෙෆ්ගේ සංවාදය.


මේ ඊළඟ වීඩියෝ එකේ අක්මෙඩ්ගේ පුතත් සෙට් වෙනවා සංවාදෙට.බලන්ඩ ජෙෆ් රූකඩ දෙකටම හඬ කවමින් සංවාදය ගෙන යන විදිහ.පට්ටයි ඈ.




කට්ටිය හවුස් එම් ඩී කියන ටීවී සීරීස් එක බලනවද? මෙඩිසින් කරන කට්ටියනං බලනවා.ඒ නැතත් ඉතිං බලනවනේ.අන්න ඒකේ ග්‍රෙග් හවුස් කියන චරිතයට පණ පොවන හියු ලෝරි මහත්මයත් විකට නළුවෙක් කියලා දන්නවද? මේ වීඩියෝ එකේ ඔහු අපිට ආරක්ෂිත ලිංගික එක්වීමකට සුදුසු ඉරියව් හඳුන්වා දෙනවා.රෝවන් ඇට්කින්සන් මහත්තයත් දායක වෙනවා රංගනයෙන්.




තමුංගේ ඩේටා ඉවරවෙයි කියලා මේ එකක්වත් බැලුවේ නැතත් මේ තත්පර හතලිහක් විතර දිග මේ සින්දුවනං අනිවාර්යයෙන්ම අහන්ඩ.




ඒක කියන්නේ මෙන්න මෙයා.



එහෙනං දැං නිදිමතයි.විහිලුත් ඉවරයි.මම ගියා නිදාගන්ඩ.කට්ටියට ෂුභ අනාගතයක්!!!

19 comments:

  1. ඇයි යකෝ රසල් පීටර්ස්!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. රසල් පීටර්ස් ගැන දැම්මේ නෑ මචං.රට දැං යන පැත්ත බැලුවම ඉන්දියන් කාරයෝ තරහ කරගන්ඩත් බෑ චීන්නු තරහ කරගන්ඩත් බෑනේ.සම්බොඩි ගොන ගෙට් හර්ට් රියල් බෑඩ්!!!

      Delete
  2. මරු මරු මරු... ඔය ඩන්හැම් උන්නැහැයි පස්සෙ උන්දලයි ගැන දැනගෙන හිටියෙම නෑ. චාමි කියන රසල් පීටර්ස් ගොයියත් ආසියාවෙ මිනිස්සුන්ව පට්ට ගහන පොරක්නෙ. තව ඉන්නව ලුවී සීකේ. ඔය කාලින් මහත්තයගෙ ගෝලයෙක් මගෙ හිතේ.

    හිනාගස්සවන එක අමාරු වැඩක්. විශේෂයෙන්ම තමන්ටම හිනාවෙන මට්ටමට විහිළුවක් නිර්මාණය කරන එක ඊටත් අමාරුයි. හැබැයි ඉතිං රැඳිල තියෙන්නෙ ඒව.

    ReplyDelete
    Replies
    1. ලුවී සීකේ ගැනනං අහලා නෑ.හොයලා බලන්ඩ ඕනේ.හිනා වෙලා ඉන්ඩ තියෙන ටික කාලේ හිනා වෙලා හිටියම ඉවරයිනේ බං.

      Delete
  3. විඩියෝ නම් දෙකයි බැලුවේ. අර ග්‍රෙග් හවුස් විකට නළුවෙක් කියලා අදයි දන්නේ. මම නම් පට්ට ලයික් ඒ චරිතේට. ;)

    ReplyDelete
    Replies
    1. හවුස් චරිතෙනම් පට්ටයි තමයි.ඒ වගේම මිනිහා වැඩ කාරයා.බෙස්ට් සෙලිං තිබ්බ පොත් දෙකක් ලියලා තියෙනවා.පියානෝ ගහන්ඩ දක්ෂයි.කොලේජ් එකේ රෝවිං ටීම් එකෙත් ඉඳලා තියෙනවා මට මතක විදිහට.ඒකට අපේ ඇත්තෝ.චිත්තරපටි දෙක තුනක ඉඳලා තියෙනවා, පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා.එච්චරයි.

      Delete
  4. .බලමුකෝ ලංකාවේ අපි උපහාසයේ ඉහළට ආවා කියලා දැනගන්ඩ එක නිර්ණායකයක් තියෙනවා.ඒ තමයි හාස්‍ය නිර්මාණයක් දේශපාලකයෙක්ගේ චරිතයක් ගාවගන්නැතුව කිරීමේ හැකියාව.
    අපෙ අයියල හාසයයට දේශපාලක චරිත ගාවනොගන්නෙ ටිකක් වැඩි කාලයක් ජීවත්වෙන්න ඇති ආසාව හින්දයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.අර සරණවාහිනියේ ගිය ඇන්ඩ් කොම්පැනි එකේ මුලිං ලොක්කාගේ චරිතේ තිබ්බට පස්සේ ලොක්කගේ අතක් විතරක් තිබ්බා මතකද?

      Delete
  5. ආතල් කෝටියයි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෝටි එකහමාරයි.වෙලාවක් තියෙනවානං ජෝර්ජ් කාලින් මහත්තයගේ අනිත් ඒවත් හොයාගෙන බලන්ට රජතුමනි.පට්ට දර්ශනයක් තියෙන්නේ මිනිහට.

      Delete
  6. සැක් එයාටෙල් විසිඅහේ කාඩ් එකෙන් ඕවා බලන්න බැහැ බන්.අනිවා වෙලාවක බලනවා!

    ReplyDelete
    Replies
    1. පඩි දවසට ඩයලොග් පනහේ එකක් දාගෙන ඔක්කොම ඩවුන්ලෝඩ් කරගනින්.මමනං එහෙමයි කරන්නේ.

      Delete
  7. කට හොල්ලන්නේ නැතුව හඬ කවන්නේ කොහොමද? පුහුණුවීමෙන් කරන දෙයක්ද සහජ හැකියාවක්ද?

    ReplyDelete
    Replies
    1. මිනිහට හැකියාවක් තියෙනවා කට චුට්ටක් ඇරගෙන හනුව හොල්ලන්නැතුව උගුරෙන් විතරක් පැහැදිලිව කතා කරන්ඩ.හැකියාවට පුහුණුවත් එකතු උනාම පට්ටයි නේ.

      Delete
  8. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩකාරයෝ. ලංකාවේ ඉන්නේ දුවද්දී ලෙස්සලාඅ වැටෙන ගස්වල හැපෙන අයනේ :D

    ReplyDelete
    Replies
    1. චූටි මල්ලි, පොඩි මල්ලි දෙන්නයි සුදු මල්ලියි නං වැඩ කාරයෝ.අනික බන්දු සමරසිංහ උනත් වැඩකාරයෙක් මගේ මතයට අනුව.මිනිහ කරපු 'නාන කාමරේ' කියන නාට්‍යය මතකද?ඔය චිත්‍රපටිවලදි අධ්‍යක්ෂක කියන දේනේ කරන්ඩ වෙන්නේ.

      Delete
  9. එසේම වේවා නලින් අයියා!!!

    ReplyDelete
  10. ජෝර්ජ් කර්ලින් අඳුන්නලා දුන්නට ස්තුති. අනිත් ඈයින්ගේ එව්වා නම් බලලා තියනවා.

    ඇත්තටම උඹ රසල් පීටර්ස් ගැන කිව්වේ නැත්තේ ඇයි. ? ඌ ටිකක් ගානට වැඩියි තමයි. අනවශ්‍ය විදිහට අප/උප හාස කරන බවත් ඇත්ත. ඒත් කියන සමහර දේවල්වල නම් ගත හැකි දේවල් නැත්තෙත් නෑ නේද? ඌ මොනවා කීවත්, මධ්‍යස්ථ විදිහට මම නම් එයාගේ ෆෑන් එකක්..

    ReplyDelete
    Replies
    1. රසල් පීටර්ස් හොඳයි ඒත් අනිත් උන්ගේ ඒවත් එක්ක බලද්දි මට හිතුනා ඌ පොඩ්ඩක් මදි කියලා.උගෙ අනුකරනය නං පට්ටයි.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...