20 December 2012

ලෝක විනාසේ හෙටයි......




විභාගයක් ඉවරය.මමත් ඉවරය.ඒවායින් වැඩක් ලෝකයාට නැත.මටද වැඩක් නැත.මොකද දැං වෙන්ඩ ඕනේ ලබ්බ වෙලා ඉවර හින්දාය.ඉහිරුණු කිරට අඬා පළක් නැතුවාක් මෙන්ම අස්පයා ගියාට පසු ඉස්තාලය වහලා වැඩක් ද නැත.මේ වෙලාවේ මට කියන්ඩ අවශ්‍ය වන්නේ දැනට මාසයක් පමණ බ්ලොග් ලෝකයෙන් මම හැංගී හිටිය බවය.කරන්ඩ දෙයක් නැත.මගේ හිතාදර පාඨක ජනතාව 'වැදගත් විශය' ලිපි පෙළේ ඊළඟ ලිපිය එන තුරු කෙළ හලාගෙන බලා ඉන්ට ඇත.අහෝ මා දයාබර පාඨක සහෘදයිනි අනේක වාරයක් සමා වෙත්වා!.

උඩ ජුන්ඩ ලිව්වේ පොර ටෝක් එකක් හැටියටය.මම නොලියා හිටියාට කාටවත් දැනෙන්නේ නැති බව මම දනිමි.මන්ද මම මේ සිංහල බ්ලොග් ලෝකයේ තවත් එක් ක්ෂුද්‍ර ප්‍රාණියෙකු පමණක් වන නිසාය.එහෙම දැන දැනද අපි පොර ටෝක් දීමේ මහත් වූ ආශා ඇති ජාතියක් වෙමු.එබැවින් එකී ජාතියේ අනන්‍යතාව සුරකිනු වස් පොර ටෝක් දීම ව්‍යාපාරයක් සේ කරගෙන යාමට බලාපොරොත්තු වෙමි.

පොර ටොක් එක ගැන පොර ටෝක් දීලාද හමාරය.දැං අවුල ඇත්තේ ලියන්ඩ අත හුරු නැති එකය.ආයෙත් වැරදුනාය.කී බෝඩ් එකේ කොටන්ඩ හුරු නැති එක කියා එය නිවැරදි විය යුතුය.නමුත් ඇත්තටම අවුල ඇත්තේ මොළයේය.අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති කාර්යශූර, නිර්මාණශීලී, සහ ක්ෂිතිජයට ඉහලින් බෝට්ටු එනවා බලන්ඩ හැකි දරු පිරිසක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය නිසා මොන විභාගය තිබ්බත් ළමයා අන්තිමට එළියට එන්නේ 'සොZම්බී' එකෙක් වගේය.එහෙව් එකේ විශ්ව විද්‍යාලය කියා වෙනසක් නැත.විභාගය අවසන් වන විට ඔබට ඔබ කවුද යන්න පවා අමතක වේ.එනිසා මම මහත් අපේක්ෂාවෙන් හිටියේ මේ විභාගයටත් මොකක් හරි අකරතැබ්බයක් සිද්ද වී 'එස් බී' ලොක්කා පච හලන හැටි බලමින් මාසයක් පමණ ගෙදරට වී ඉන්නට හැකි වේවි කියලාය.නමුත් අවාසනාව හින්දා එහෙව් කිසි එකක් උනේ නැත.රටේ හැම විභාගෙම කොස්සක් තියෙද්දි මේ විභාගේ විතරක් අවුලක් නැතුව තිබ්බ එක මටනං දරාගන්ඩ බැරිය.

වල් පල් කියෙව්වා ඇතිය.දැං අවස්ථාව එළඹ තිබෙන්නේ හෙට සිදු වීමට නියමිත ලෝක විනාශය ගැන මාගේ කුඩා මොළයේ ඇතිවූ මෙව්වා එකක් ඒ කියන්නේ සංකල්පනාවක් ජනසතු කිරීමේ මහා පුණ්‍ය කර්මයට  අවස්ථාවය.

ලෝක විනාශය හෙට සිද්ධ වෙන්නෑ කියන අය අත උස්සන්ඩ බලන්ඩ.


ඔය බොරුවටනෙ මෙයා ඔයාලා කියන්නේ හෙට ලෝකෙ විනාස වෙන්නෑ කියලා.ඕක මිනිස්සුංගේ විතරක් නෙමෙයි හැම සත්වයෙක්ගෙම ජීවිතේට තියෙන ආශාව.ඒක හින්දා මේ හෙට අපි සෙට් එකම ජම්මාන්තර ගත වෙනවා කියන එක අමතක කරලා දාලා විසි පස් වෙනිදට නත්තල් කන්ඩත් ලෑස්ති වෙනවා.

දැං මම මේ ඉදිරිපත් කරන්ඩ යන සංකල්පය මගේ මොළයේ අනුමස්තිශ්කයෙන් ඇරඹිලා මැද මොළය හරහා මස්තිශ්කයට ආවේ මම රෑ නිදාගෙන කරුවලේ කල්පනා කර කර ඉන්න විටදී ය..කට්ටිය කියනවනේ හොඳ හොඳ සංකල්ප, මතවාද සහ ප්‍රවාද ජනිත වෙන්නේ වැසිකිළියේ ඉද්දි කියලා.මටත් වැසිකිළිය කියන්නේ සංකල්පනා සඳහා තෝතැන්නක් තමයි.ඒත් ඒ වෙලාවට මට එන්නේ පීඩනය, පරිමාව, ඝණත්වය, චලිතය වගේ භෞතිකමය සංකල්ප.ලෝක විනාශය වගේ උත්කෘෂ්ඨ සුන්දර සංකල්ප ඇතිවෙන්නේ රෑට නිදාගන්ඩ ගියාම.පුංචි කාලේ අපිව නිදි කරවලා ඇඳේ තිබ්බට, පහු කාලෙදි අපි නිදා ගන්ඩ කියලා ඇඳට යන්ඩ පටං ගන්නේ හීන බලන්ඩනේ.කොට්ටෙකුත් බදාගෙන ලයිට් එකත් නිවලා අර බදාගත්තු හඩු ගඳ කොට්ටෙ සුන්දර කෙල්ලෙක්ය කියලා හිතේ මවා ගන්න පටං ගත්තු කාලෙ ඉඳං අපි කරන්නේ සංකල්ප මවන එක නොවැ.

මේකයි කතාව.හැබැයි කතාව ඔබේ විශ්වාස සහ සංකල්පවලට පටහැනි වගේ පේන්ඩ පුළුවං.අවසානය දක්වාම කියවලා මිසක් විවේඡනය කරන්ඩ එපා හොඳේ.

ඔන්න අපි එක එක අය එක එක විදිහේ විශ්වාසවල ඉන්නවා නොවැ.ඒවා අතරේ ගොඩක් දෙනා විශ්වාස කරන්නේ දේවවාදය නේ.හැබැයි බයිබලේ දෙවියන් වහන්සේ ලෝකය මවලා මිනිස්සු මැව්වා කිව්වට ඇයි එහෙම කළේ කියලා නං ලියවිලා තියෙනවා මට හම්බ උනේ නෑ.ඉතිං ඕක මට හෙන ගැටළුවක් උනා.ඇයි සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ උන්වහන්සේව ගණං වත් නොගන්න මිනිස්සුංව මැව්වේ.

ඒ ඔස්සේ පර්යේෂණ කරගෙන කැණීම් කරගෙන යනකොට ( මේ ඔක්කොම කරන්නේ ලයිට් නිමලා ඇඳේ නිදාගෙන හරිය!!! ) ඔන්න මට එක පාරට අහු උනා අර අතීතයේ මෙහෙ ආපු පිටසක්වල ජීවීන් මෙහෙ මිනිස්සුන්ගේ දියුණුවට උදව් උනා කියලා කියැවෙන වාර්ථා වැඩසටහන.හඃ හඃ හා...... ඔන්න අහු උනා තියරියකට පොටක්.දෙවියෝ කියන්නේ අතීතයේ ආපු පිටසක්වල ජීවීන් නම් උන් මොකටද අපේ වර්ධනයට උදව් උනේ.මොකෝ අපි වඳුරංව අල්ලගෙන උන්ට දියුණු වෙන්ඩ කියලා දෙනවයෑ.කියලා දුන්නත් කියලා දෙන්නේ සර්කස් එකක අපිට ආතල් ගන්ඩ පුළුවං දෙයක් මිසක් උන්ට දෝෂාභියෝග ගේන හැටි ගැන එහෙම කියලා දෙනවයෑ.

මිනිස්සු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ බැටළු පට්ටිය කියලා ඔය බයිබලේ තැං තැංවල සඳහන් වෙලා තියෙනවා මට මතකයි.ආ...හා..... එහෙනං මේ පිටසක්වලයෝ ඇවිල්ලා කරන්ඩ ඇත්තේ අපිව උංගේ කුකුල් කොටුවක් වගේ එහෙම නැත්තං බැටළු පට්ටිය වගේ හදන්ඩ පටං ගන්න එක.ඒ කියන්නේ මේ අපිට ආදරේට ද? අනේ නෑ සහෝදරවරුනි.එක්කෝ බිත්තර ගන්ඩ නැත්තං මස් හරි ලොම් හරි ගන්ඩ නෙමෙයිනං අපි ගොවිපලක් පටං ගන්නවද?අන්න ඒ වගේ මේ පිටසක්වලයෝ ඇවිල්ලා අපිව වර්ධනය කරන්ඩ පටං ගත්තේ අපේ ඉන්ද්‍රියයන් හරි මොනවා හරි ලබ්බක් උන්ට ඕනේ වෙලාවට අරං යන්ඩ.ඔය සැරින් සැරේ අහන්ඩ ලැබෙන්නේ පිටසක්වලයෝ මෙහේ එකා දෙන්නා පැහැරගෙන ගිය කතා.ඒ වගේම පැහැරගෙන ගිහිල්ලා සිහි නැති කරලා ශල්‍යකර්ම එහෙම කරපු අවස්ථා ගැනත් ඔය ඕනෙ තරම් අහන්ඩ ලැබෙනවනේ."දෙවියන් වහන්සේගේ රූපයට සමානව මිනිසා මවන ලදී" කියලා ලියලා තියෙන්නේ ඇයි කියලා දැං තේරෙනවද?

පිටසක්වලයෝ මෙහෙ මිනිස් ගොවිපොළ පටං අරං ඒක ස්වයං පාලනයට භාර දීලා යන්ඩ කළිං උන්ට ඕනේ වෙලාවට මිනිස්සුංව මරා ගන්ඩ පුළුවං වෙයිද බලන්ඩ පරීක්ෂාවක් කළා.ඒබ්‍රහම්ට කියනවා තමංගෙ පුතාව මරලා පුච්චලා දෙවියන්ට යාගයක් කරන්ඩ කියලා.කිව්ව ගමං ඒබ්‍රහම් ලෑස්ති වෙනවා පුතාව මරන්ඩ.අන්න එතකොට පිටසක්වලයෝ සෑහීමකට පත් වෙනවා.උං කියනවා 'අපි උඹව පරීක්ෂා කළා විතරයි.පුතාව මරන්ඩ එපා' කියලා.

දැං ඔය පිටසක්වලයෝ මායාවරුන් එක්ක හොඳ සම්බන්ධයක් තියාගෙන හිටියේ.මෙහේ ගොවිපලේ මූල්‍ය කටයුතු කළේ මායාවරු.ඒකයි උං ගාව එච්චර රත්තරං තිබ්බේ.ඒත් පිටසක්වලින් මෙහේ නවත්තලා ගිය නියෝජිතයා සල්ලි අරං පැන්නා.




ඔය කැටයමේ තියෙන්නේ පොර පැනලා ගිය සිද්දිය.

හරි කොහොම හරි මායාවරු පිටසක්වල කට්ටිය එක්ක ද්වීපාර්ශ්වික ගිවිසුමක් ගැහුවා මේ ගොවිපොල 2012.12.21 වෙනකං පවත්වගෙන යන්ඩ.ඒක ද්වීපාර්ශ්වික ගිවිසුමක් හින්දා අපි ඒක ගැන මොකුත්ම දන්නේ නෑ.අපේ ආණ්ඩුව ගහන ගිවිසුම්වල තියෙන්නෙ මොනවද කියලාවත් දන්නැති අපි මායාවරු පිටසක්වලයින් එක්ක ගහපු ගිවිසුම ගැන දැනං ඉන්ඩ විදිහක් ඇත්තෙම නෑනෙ.අන්තිමට හැබැයි මායාවරු උන්ට ලැබෙන ආධාරවලින් කොමිස් ගහලා බීලා පිස්සු නටලා නැත්තටම නැති වෙලා ගියා.මතයක් තියෙනවා මායාවරු විනාශ උනේ ගස් කපලා යෝධ බිලි පූජා පවත්වලා ඒ ප්‍රදේශයේම ගස් නැති වෙච්ච හින්දාය කියලා.ඇත්තටම මේ ගස් කපලා යෝධ ගිනි ගොඩවල් ගැහුවේ බිලි පූජාවලට නෙමෙයි.මායාවරු යෝධ ගිනි ගොඩවල් ගහලා නයිට් රේස් පැවැත්තුවා.ඔය අස්සේ 'කොල්ලු' මිල (අශ්වයින්ගේ ආහාරය ) ඉහල යෑමත් එක්ක භාණ්ඩවල මිල සෑහෙන්ඩ ඉහල ගියා.උද්ධමනය දරාගන්ඩ බැරුව මිනිස්සු පිට රටවලට පැනලා ගියා.අන්තිමට යෝධ ශිෂ්ඨාචාරයක් අනාචාරය හින්දා විනාශ වෙලා ගියා.

කොහොම හරි හෙටින් පිටසක්වලයෝත් එක්ක ගහලා තියෙන ගිවිසුම ඉවරයි.උන් මේ ගොවිපොල විනාශ කරලා වෙන ව්‍යාපෘතියක් පටං ගන්ඩයි යන්නේ.පිටසක්වල යානා, රතු වැස්ස, රෑ අහසේ එළි වගේ ඔක්කොම සෙල්ලං මේ ගොවිපොල අයින් කරන එක සහ අළුත් ව්‍යාපෘතිය පටං ගන්න එක සම්බන්ධව තමයි.එහනම් හෙට එකට මියෙමු.

කට්ටිය මේ අපහාස කළාය කියලා අමනාප වෙන්ඩ කාරි නෑ.ආයෙත් ලියන්ඩ මොළේ ටියුන් කරගන්ඩ ඔහේ ඔළුවට ආපු එව්වා ටිකක් කොටලා බැලුවේ.මම වගේ කිරි සප්පයෙක් කියන එව්වා හිතට ගන්ඩ කාරී නෑ ඕං.



12 comments:

  1. ලෝකෙ විනාසෙට කලින් විභාගෙ ඉවර කරපු එක හොඳයි නේද ? සමහරු ලෝකෙ විනාස වෙයි කියුවට ..එහෙම වෙන එකක් නෑ කියල හිතුවට.... මේ විදිහටම ලෝකේ පැවතුනොත් කොහොමත් විනාශ වෙන්න කලින් මිනිහා අතින්ම මේ ලෝකේ විනාස වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපරාදෙනෙ අප්පා ප්‍රථිඵල එන්ඩ කලිං ලෝකෙ විනාස උනානං එහෙම.

      ඇත්ත තමයි.මිනිස්සු මේක කොහොම හරි විනාශ කරලම තමයි පස්ස බලන්නේ.

      Delete
  2. අම්මෝ බං හිතල තියෙන දුර..

    ReplyDelete
    Replies
    1. දුරට රේස් පදින්ඩ බැරි එකේ දුරට හිතන එකවත් කරන්ඩ එපායැ බං

      Delete
  3. බලමුකෝ බන් ජීවත් වෙලා හිටියොත් හෙටින් පස්සේ ....

    ReplyDelete
  4. හික්ස් ආතල් කෝටියයි
    ලෝක විනාශේට බය වුනාමත් සමහරුන්ට එක එක ඒවා හිතෙනවා බන් :)

    ReplyDelete
    Replies
    1. යකෝ බය වෙලා නෙමෙයි බං.මොන ඉළව්වකට බය වෙන්ඩ ද?මැරුනොත් මැරෙන්නේ සෙට් එකත් එක්කමනේ බං.අපායට ගිහිල්ලත් ආතල් එකක් දාගෙන ඉන්ඩ ඇහැකි.

      Delete
  5. මම මේසයක් යට පහුගිය දවස් වල හිටියේ.

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසෙට මේසෙ යටට රිංගලා ඇති වෙයිද බං.උඹට තියෙන්නේ සිරා මේසයක් වෙන්ඩැති නේ???

      Delete
  6. හරි හරි ආයේ ලියමු එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. එළ එළ බලමුකෝ.දැං බ්ලොග පැත්තෙ එන්ඩ හිතෙන්නෙම නෑනෙ බං.මොන කරුමයක්ද මන්දා.....

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...