25 June 2011

වේදනාව දන්නේ කඩු පාර කෑ එකාය.....


විශයයන් 5ක්.උ/පෙ වගේ දෙගුණයකටත් වැඩි.ඒ මදිවට පාඩම් කරන්න තියෙන්නෙත් කඩ්ඩෙන්.උත්තර ලියන්න තියෙන්නෙත් කඩ්ඩෙන්.කඩ්ඩ කියන්නෙ මට එච්චර හුරු දෙයක්නං නෙමේ.මවු බසෙන් නං ඕනෙ කෙංගෙඩියක්.සිංහලෙන් තිබ්බනං මේ උලව්ව ඉවර කරල මම ගෙදර ගිහිල්ල ගොඩක් කල්.

එහෙමනං මට තිබුණ මෙතන පොර වෙන්ඩ.දැනුත් මම පොර තමයි.ඒත් ඉතිං ඒ අධ්‍යාපනේ පැත්තෙං නෙමෙයි.හරි අමාරුවෙං කඩ්ඩ අල්ලගෙන ගොඩ දාගන්න හදන කොට ඒ අස්සෙ ලතින් වචනත් තියෙනවලු.මම හිතුවෙ ඒවත් කඩු වචනමයි කියල.මොකෝ මට ඔය දෙකේ වෙනසක් තේරෙනවයැ.දෙකම තියෙන්නෙ එකම අකුරුවලින් නෙ.මමත් හරියට ඇමරිකාවෙදි චීන හෝටලේක වැඩ කරල කඩ්ඩ කියල හිතාගෙන චීන ඉගෙනගත්තු එකා වගේ.කඩ්ඩත් බැහැ.ලතිනුත් බැහැ.දැං දැං හෙලුවත් බැරි වේගෙන එනවද මන්දා.කුණු හරුප ටික විතරයි ටක්කෙටම මතක.මොකෝ ඉතිං උදේ හවා පාවිච්චි වෙන්නෙ ඒ ටික විතරනෙ.

අපේ ඉස්කෝලෙ හිටියෙ හෙලයො සහ බොදුවො.ඉස්කෝලෙං සෑහෙන්ඩ උත්සාහ කළාට ඉස්කෝලෙං කඩ්ඩ ඉගෙන ගත්තු එවුන් හිටියෙ නැති තරමයි.කඩ්ඩ පුළුවං එවුන් හිටියා.උං ඒ ශිල්පය ඉගෙනගෙන තිබ්බෙ උන්ගෙ ගෙවල් වලින්, එලකියුෂන් පන්තිවලින්.මේ දුප්පත් අපිට මොන එලකියුෂන් ද?.අපේ ගෙදර මිනිස්සුත් කඩ්ඩ කියන්නෙ සුදු ඒජන්තවරුන්ගෙ බාසාව කියල දැනං හිටිය මිසක් පාවිච්චි කරන්ඩ දැනං හිටියෙ නැහැ.

ඉතිං දේශාභිමානෙං ජාතිවාත්සල්‍යයෙං යුතුව මමත් කඩ්ඩෙන් තොර ලංකාවක ප්‍රෞඪ හෙලයෙක් වෙන්න හිතා ගත්තා.උ/පෙ දක්වා කඩ්ඩ ඉවසං පන්තියෙ හිටපු මම උ/පෙ පන්තියෙදි තීරණය කළා කඩ්ඩ වර්ජනය කරන්ඩ.ඉතිං කඩ්ඩ මැඩම් පන්තියට එද්දි තවදුරටත් දිනුක ජයකොඩි කෙනෙක් ඒ පන්තියෙ හිටියෙ නැහැ.

අපිට අපේ ඉස්කෝලෙ දෙයියො මවල දීපු තැනක් තිබුණා සෞඛ්‍යදානය කියලා.මේක මරු තැන පීරියඩ් එක කට් කරන්ඩ.මුළිං මම මේකෙ දීර්ඝ කාලීන රෝගියෙක් වෙලා හිටියා.පස්සෙ මම ඒකෙ යාවජීව සාමාජිකයෙක් උනා.ඉතිං මේ පුංචි පාරාදීසයට වෙලා අර යක්ෂ බාසාව උගන්නලා ඉවර වෙනකං ඉන්න මම පුරුදු වෙලා හිටියා.මම විතරක් නෙමෙයි, අපි කීප දෙනෙක්ම.එකම අරමුණක් තියෙන ඒ වෙනුවෙන් කැපවෙන යෞවනය.

ඉතිං අපි ඉස්කෝලෙ හිටපු තරමක් ලොකු ලොකු කට්ටියව ඔට්ටුව විදිහට දාලා 'ඕමි' ගැහුවා.මම කට් කලේ කඩ්ඩයි රසායන විද්‍යාවයි විතරයි.අනිත් එව්වයෙදි පන්තියෙ හිටියා.ඉගෙනගන්ඩම නෙමෙයි.ඒත් ඉතිං ඉස්කෝලෙ ආපු එකේ පන්තියෙත් ඉන්න ඕනෙ නිසා.

අනිත් විශයක් ඉවර වෙලා කඩ්ඩ හරි රසායන විද්‍යාව හරි තියෙනකොට පන්තියෙන් පනින එක ටිකක් අමාරුයි.මේ මැඩම් යනකන් ඉන්නත් ඕනෙ.අනිත් කෙනා එන්න කළින් යන්නත් ඕනෙ.අපේ පන්තිය තිබුණෙ කොරිඩෝවෙ කෙරෝලෙම.ඉතිං මම කරන්නෙ කළිං මැඩම් යද්දිම යනව අපේ පන්තියට කළිං තියෙන පන්තියට.ගිහිං ඉන්නවා කඩ්ඩ මැඩම් හරි කෙම් සර් හරි අපේ පන්තියට යනකං, මමත් අර පන්තියෙ එකෙක් වගේ.එයා අපෙ පන්තියට ගියාම මම ෂේප් එකේ පැනගන්නවා එළියට.

මගේ මොන කරුමෙකටද මන්දා කඩ්ඩ මැඩම් මාව අඳුරගෙන තිබුණා.මම අනිත් පන්තියෙ ඉන්නකොට එයා අපේ පන්තියට යන ගමන් නැවතිලා මගෙන් අහනවා "ජයකොඩි මොකද මේ පන්තියෙ?යනවා යනවා පන්තියට.කවදාවත් පන්තියෙ නැහැ."කියල.එයා අනිත් අයට බැන්නෙත් කඩ්ඩෙන්.වෙන වෙලාවට මට උනත් බණින්නෙ කඩ්ඩෙන් තමයි.එදා මැඩම් සිංහලෙන් කියන්ඩ ඇත්තෙ එයාට හිතෙන්ඩ ඇති මූට කඩ්ඩෙන් බැණීමට වඩා මං කියන දේ මේ මොහොතේ තේරුම් යාම වැදගත් කියලා.ඉතිං ඔහොම ටික දවසක් ගියා.මම තීරණය කළා මේ විකාර අපබ්‍රංස බසට කන් දීමට වඩා දිවි පරදුවට තබා ජනේලයෙන් පැනීම වටිනවා කියලා.

එදා කළිං විශය(මට හරියටම මතක නැහැ මොකක්ද කියලා ) කරපු මැඩම් පන්තියෙං ගියා.මම අප්‍රතිහත දහිරිය අතට අරගෙන වීරයා වගේ ගියා ජනේලෙ ළඟට.එක කකුලක් තිබ්බා මේසෙට.අනිත් කකුල ජනෙල් පඩියෙ.ඉගිලුමට තව තප්පර බාගයයි.


ඔන්න එතකොටම අපේ සෙක්ෂන් එකට කොන්වන්ට් එක කියන්නෙ ඇයි කියන එක මට ප්‍රත්‍යක්ෂ කරමිං එකෙක් මගෙ කකුල අල්ලගෙන කෑගහන්න ගත්තා."මැඩම් මෙන්න එකෙක් පන්තියෙන් පනිනෝ.........". බල බලා ඉන්න කාලයක් නැහැ.අල්ලගත්තෙ මොකාද කියල බලන්න මේක නෙමෙයි වෙලාව.ජනෙල් පඩිය උඩ තිබ්බ කකුල මම මගේ පූර්ණ පාලනයට නතු කර ගත්තා.හුචක්කු බයිසිකලයක් ස්ටාර්ට් කරනවා වගේ මම දුන්නා 'කික්' එකක්.සපත්තුව දාල තිබුණත් මට දැනුනා හරි මෘදු ප්‍රදේශයක කකුල වදිනවා.ඒ එක්කම ලැබුණු ගම්‍යතාවෙන් මම කෙළින්ම ගුවන්ගත උනා එළියට.මට ගාණ හදාගන්න බැරි උනා වියෝග ප්‍රවේගයෙ.එච්චරයි.මම නිදහස්.මම කෙළින්ම දිව්වා.සෞඛදානෙට.ටිකකින් අපේ පන්තියෙ එකෙක් ආවා මැඩම්ගෙන් පණිවිඩයක් අරන්.වහාම පන්තියට එන්න කියලා.මොන අලුගුත්තේරු වැඩ කළත් අපි හරි කීකරු ළමයි.මම ඉතින් ගල උඩ පහරපු එකා වගේ බිම බලාගෙන පන්තියට ගියා.

මැඩම් සෑහෙන වෙලාවක් බැන්නා.මට හරියට තෙරුණේ නැහැ.මොකද එයා බැන්නෙ කඩ්ඩෙන්.මම පස්සෙ මිත්‍රයෙක්ගෙන් අහගත්ත එයා මොනවද කිව්වෙ කියලා.මට ලියුමක් ලියල දෙන්න කිව්වලු ආයෙ පන්ති කට් කරලා අයාලෙ යන්නෙ නැහැ කියල කඩ්ඩෙන්.මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.මම කොහොමත් ලියුං ලියන්ඩ ටිකක් හොරයි.ටිකක් නෙමෙයි හොඳටම හොරයි.අඩුම තරමෙ කෙල්ලෙකුටවත් ලියුමක් ලියල නැති මට රාජකාරී මට්ටමේ ලියුමක් ලියන්ඩලු.ඊටත් කඩ්ඩෙන්.මම කොහොම හරි මගේ මිත්‍රයො දෙතුන් දෙනෙකුගෙනුත් සප් එක අරං ලිව්වා ලියුමක්.(මගෙ මිත්‍රයො නිසා උන්ටත් එච්චර කඩ්ඩ බෑ).

මැඩම් මුළු ලියුමෙම රතු පෑනෙන් වැරදි හැදුවා හදලා මටම දුන්නා.කලිං වෙච්ච ඔක්කොටම වඩා මට අවුල ගියේ මේ මම පට්ට කට්ටක් කාල ලියපු ලියුමෙත් වැරදි අම්බානට තිබිච්ච එකට.මම නිල් පෑනෙන් ලියපු ඒ කුළුඳුල් කඩු ලියුම පුරාම මැඩම් එයාගෙ රතු පෑනෙන් වැරදි හැදුවා.කොටින්ම කිව්වොත් මගෙ ලියුම උඩ එයා එයාගෙ ලියුම ලියුවා.

අදටත් මට කඩ්ඩ හරියට බැහැ.යන්තං ගැටගහගෙන තමයි වැඩේ ගොඩ දාගෙන යන්නෙ.මේක කියවන හැමෝටම මම මේ බොහොම කරුණාවෙන් කියන්නෙ.පොඩි මොකෙක් හරි ඉන්නවනං තමංගෙද අනුංගෙද කියල බල බල ඉන්න එපා කඩ්ඩ ටිකක් තොල ගාවන්න.සිංහල උං ඉගෙනගනී.හැබැයි කඩ්ඩනං උං තනියෙන් ඉගෙනගනී කියල බලං ඉන්න එපා.


10 comments:

  1. ඛේදජනක ඇත්තට හිනා වෙලා ඉල ඇදෙනව.දැන් ඉතින් බෑවනන් නේද හොඳ

    ReplyDelete
  2. පුහ්... පොර....
    පාඩම් කරපන්...

    මේක කලින් එකට වඩා හොඳයි...

    ReplyDelete
  3. උඹ අපේ පන්තියට වෙලා ඩියොල්ගෙන් බේරුණාට මුල ඉඳන් අපේ පන්තියෙම හිටියනම් කරන්නෙත් ඔය ටිකමයි. මොකද අපේ මැඩමුත් වැඩි වෙනසක් නැහැ.....

    ReplyDelete
  4. kadda pissuwen pannala igena ganna one ne..boru newei kiyanne..ubath maha gon katha kiyanne...onema language 1kak hodai..kadda loku ne..lokui kiyala penawa witharai..man me japanese igena ganna try karanwa..hehe

    ReplyDelete
  5. අකූ: අනේ මචං ඇත්තටම කම්මැලියි අල බාන්න.ඒ උනත් ටික ටික ඇදං යනවා.හිහ් හිහ් හී

    පණ්ඩිත්: මම පොර තමයි ඩෝ.අනං මනං කියල අහුවෙන්ඩ එපා උඹ තනියෙන් පාරෙ යද්දි හරිය!

    විකී:අනේ මන්ද බං මේ මිනිස්සු කඩ්ඩ රස කරල අපිට දෙන්නැද්ද නැත්තං අපි රස බලන්ඩ දන්නැද්ද කියල මටනං තේරෙන්නෑ.

    නෙගටිව් එකා: උඹ මේ කැනඩාවට වෙලා ඉඳගෙන කඩ්ඩ චාටර් කියල පොර ටෝක් දෙන්න එපා.භාෂාවක් ඉගෙනගන්න ලේසි නැහැ.පට්ට මතකයක් ඕනෙනෙ.මම කියන්නෙ අපි ඉගෙනගන්නවනං.ඒත් ඒක අපිට නොදැනිම ඇඟට බහිනවනං එච්චර අවුලක් වෙන්නෑ.ඒකට ඉතිං ඒ වගේ වටපිටාවක ලංකාවෙ ඔක්කොම පොඩි උං හැදෙන්න ඕනෙ.

    ReplyDelete
  6. man kiwwe kadda anith baasa walata wada loku ne kiyala...anith baasa walata dena thenama aekata diyan..wadinne nethuwa..

    ReplyDelete
  7. අය්‍යා ආනන්දේ නේද? මමත් එහේ මේ පාර (2013) උ/පෙ කරන්න ඉන්නේ මමත් බයෝ... කෙරවලේම පංතියේ ඒ කියන්නේ B1 ඒ... ජනේලෙං පනින එක තාමත් එහෙමමයි.

    අයියා ඔහොම ඉදන් පාස් උනා නම් මටත් දෙවෙනි පාර හරි ගොඩයන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  8. අය්‍යා ආනන්දේ නේද? මමත් එහේ මේ පාර (2013) උ/පෙ කරන්න ඉන්නේ මමත් බයෝ... කෙරවලේම පංතියේ ඒ කියන්නේ B1 ඒ... ජනේලෙං පනින එක තාමත් එහෙමමයි.

    අයියා ඔහොම ඉදන් පාස් උනා නම් මටත් දෙවෙනි පාර හරි ගොඩයන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  9. අය්‍යා ආනන්දේ නේද? මමත් එහේ මේ පාර (2013) උ/පෙ කරන්න ඉන්නේ මමත් බයෝ... කෙරවලේම පංතියේ ඒ කියන්නේ B1 ඒ... ජනේලෙං පනින එක තාමත් එහෙමමයි.

    අයියා ඔහොම ඉදන් පාස් උනා නම් මටත් දෙවෙනි පාර හරි ගොඩයන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඕක හොඳ වාසනාවන්ත පන්තියක් මචං.මම වගේ වැදගත් ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෝ බිහි වෙච්ච පන්තියක්.අනිවා ට්‍රයි කළොත් ගොඩ යන එක සිම්පල්.ජය වේවා!!!

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...