26 April 2012

කාලය




මිනිස්සු ජීවත් වෙනවද?

මනුස්සයෙක් නිදාගන්න පැය හය, හත හෝ අට ඇරියාම මනුස්සයෙක් ඇහැරිලා ඉන්න කාලෙන් ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ කොච්චර ටික වෙලාවක් ද?උදේට ගම්පහින් කොළඹ එන්න දුම්රියට මිනිස්සු ස්ටේෂන් එකට එන්නෙ උදේ හයටත් කළිං.ඒ කියන්නෙ ඒ මනුස්සයා අඩුම තරමේ පහටවත් කළිං අවදි වෙන්න ඕනෙ.ඊට පස්සෙ පැය අටක් වැඩ.හවසට හතරහමාරෙ ඉඳන් කෝච්චිවල මිනිස්සු ගෙදරට තමංගෙ දරුවො, බිරිඳ බලන්න දුවනවා.ඒත් හවස හයවත් වෙනකන් යා ගන්නනං බෑ කියලා මේ මහ පොළොවේ පය ගහලා ඉන්න මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු දන්නවා.

25 April 2012

ලෙඩේ


කාලෙකට පස්සෙ බ්ලොගේ මොනවත් ලියන්න හදන්නෙ.ඇයි හත් දෙයියනේ හැමදාම ලොග් වෙලා අනුන්ගෙ පොස්ට් කියවලා ඇහැක් විදිහට කොමෙන්ට් කොරලා යනවා මිසක්කා මට ඇත්තටම ලියන්න කියලා දෙයක් ඔලුවට ආවෙම නෑ.මොකද මේ ලෝකෙ තියෙන භයානකම රෝගය විසින් ළපටි වනාන්තරයකට ඇතිවුණු දරුණු රෞද්‍රඝාතයක් වගේ මගේ සියළුම චිත්ත ශක්තිය, මගේ ස්මරණය, ආත්ම විශ්වාසය, ජීවිත තෘප්තිය, හැඟීම් දැනීම් මේ ආදී එකී නොකී හැම ඉලව්වක්ම මොට කරලා දාපු හින්දා.

01 April 2012

තැඹිලි





ඔන්න දැං වහින්න පටං ගත්තනෙ.පාඨලී චම්පක ලොක්කට දැං ඉතිං ටිකක් හුස්මක් කටක් ගන්න පුළුවං වෙයි.මොකෝ ආයෙමත් ජල විදුලිය පැත්තට හැරෙන්න පුළුවන් නොවැ.වහින්ඩ කළිං දවස් ටිකේම අහස පාරම් බබා ඉන්න කොට දරාගන්ඩ අමාරු රස්නයක් තමයි තිබ්බෙ.තාමත් දවාලට ඒ වගේම රස්නෙයි.වතුර වගේ දාන දාඩිය කමිසේ මිරිකලා බේසමකට එකතු කලැහැකි.

24 March 2012

නව ජීවන ක්‍රමය





ලියුමක් ඇවිත්
බෝඩිමට
ආවමයි ලියුමක් මට
බෝඩිමට කෙසේ වෙතත්
ජීවිතේටම
පළවෙනි වතාවට

11 March 2012

දොළහක්


අද ඔන්න යානතං එග්සෑම් ඉවරයි.අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ වැඩවර්ජනයෙන් කල් ගිය අපේ අවසාන විශයත් අද තියලා ඉවර උනා.ආයේ ලබන මාසේ අග වෙනකං විභාග නෑ.ඉතිං දෙයියනේ කියලා මනස නිදහස් උන ගමං ඒ නිදහසේ පූර්ණ තෘප්තිය අත්විඳින්න හිතාගෙන මම මගේ මිත්‍රයො කීප දෙනෙකුත් අහුලගෙන ලයනල් වෙන්ඩ්ට් එකට ගියා.ඇත්තටම මම ලයනල් වෙන්ඩ්ට් එකට එච්චර ආසා නෑ.මම මීට කළිං එක වතාවක් ඒකෙ නාට්‍යයක් බලලා තියෙනවා.

28 February 2012

මෙරුවෝ සහ මරුවෝ


තටු ලැබිලා
උද්දාමයෙන්
මහ පොළවෙන් මතුවෙලා
මම පියාඹගෙන එනකොට
අවඥාවේ එක අතුල් පාරකින්
ගහපන් මගෙ තටු කැඩෙන්න
මම වැටුනාම
ආයෙත් 
පටන් ගත්තු
මහ පොළොවටම
දත්මිටි කාගෙන
'නොදකිං මේ කාළකන්නි සත්තු'
 කියලා
පාගලා දාපන් චප්පම වෙලා යන්න
ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?

16 February 2012

විමසුම


අපේ රටේ ජනතාව නැවතත් කුපිත කරවනු ලැබ ඇත.රට පුරා සිදුවන වර්ජනයන්ගේ නිමක් නැත.රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට තැන් තැන්වල බැණවැදීමෙන්ම අපේ රටේ ජනතාවගේ අවස්ථාවාදී කුහක මානසිකත්වය මනාව ප්‍රදර්ශනය වේ.රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් එතුමා ඉන් නොනැවතී ආරම්භ කළ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ ප්‍රථිපල තවමත් ජනතාවට ලැබෙන්නට පටන් ගත්තා පමණි.

මෙකී සංවර්ධනයෙන් රට ඉසුරට ඇදී යද්දී ඩොලර් කාක්කන්ගෙන් පිරී ඇති විපක්ෂය රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා විවිධ කරුණු ඇද දක්වමින් ජනතාව මුලා කොට රට ආගාදයට ඇද දැමීමට කටයුතු කරගෙන යන්නේ ය.රුධිර පිපාසිත ජේවීපී ය මේ ජනතා කුපිත කිරීමේ ක්‍රියාදාමවලදී දැනටමත් ජීවිත දෙකක් බිළිගෙන ඇත.මෙසේ රටේ අහිංසක ජනතාවගේ මළ සිරුරු මතින් ඉදිරියට යාමට උත්සාහ දරන ජේවීපීයත් බටහිර ගැති, බටහිරට අප රට පාවා දීමට උත්සාහ කරන යූඇන්පීයයත් අතිගරු ජනාධිපතිතුමාගේ යෝධ වැඩ පිළිවෙල අසාර්ථක කරවීමේ නිශ්ඵල කුමන්ත්‍රණයක නිරත වී සිටිති.

විපක්ෂයේ මේ අමනෝඥ ක්‍රියාවන් අපේ රටේ බුද්ධිමත් ජනතාව හොඳ හැටි වටහාගෙන සිටිති.පසුගිය මැතිවරණයේ දී ඔවුන් ඒ බව රටටම හඬ ගා කීවේ යූඇන්පී‍යට කොළඹ පමණක් ඉතුරු කරමින් සහ ජේවීපීයට තිස්සමහාරාමයද අහිමි කරවමිනි.මැතිවරණයෙන් පසුවද වත්මන් රජයේ ජනතාවාදී ප්‍රතිපත්තීන් හඳුනාගත් විපක්ෂයේ සැබෑ ජනතා නායකයන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එක් වන්නේ තමන්ගේ පරම අභිප්‍රාය ජනතා සේවය මිස තමාගේ පක්ෂය රජ කරවීම නොවන බව හඬ ගා කියමිනි.

වර්ථමාන රජය යටතේ තරම් සංවර්ධන ව්‍යාපෘතීන් ඇරඹුණු කිසිඳු රජයක් ඉතිහාසයේ පැවතී නැත.එක් නිමේෂයකින් රටේ ඕනෑම තැනකට යාමට හැකිවන පරිද්දෙන් රටේ මහා මාර්ග පද්ධතිය යෝධ සංවර්ධනයකට ලක්වෙමින් පවතී.අමතක කොට දමා තිබූ සිංහල දේශය එනම් දකුණ, නව වරායක් ගුවන් තොටුපලක් ඇතුලු සියළුම යටිතල පහසුකම් සහිතව නැවත අවදි වී ඇත.ජනාධිපතිතුමාගේ යෝධ වැඩපිළිවෙලෙහි එක් අදියරක් ලෙස උතුරට වසන්තය ගෙන ආවේය.ත්‍රස්තවාදයෙන් මුදාගත් ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කෙරෙමින් පවතී.නව ක්‍රීඩාංගන, රංගශාලා අප රටේ ජනතාවට සිහිනයක්ව පැවති යුගයක්ද තිබුණි.ඒ අඳුරු යුගය අවසන් කරමින් අතිගරු ජනාධිපතිතුමා සූර්යයෙක් සේ අප අතරට පායා ආවේ මේ රටේ ජනතාවගේ පෙර පිනකටය.






මේ සංවර්ධනයන් ජනතාවගෙන් සැඟවිය නොහැක.නමුත් විපක්ෂය අසරණ ලෙස සිය ඡන්ද අතලොස්ස රැකගනු පිණිස එළවලු කූඩ ප්‍රශ්නයක් බවට පත් කොට ජනතාව කුපිත කරන්නට උත්සාහ කළේය.පුද්ගලික සේවක විශ්‍රාම වැටුප යක්ෂයෙක් ලෙස හුවා දැක්වූවෝ ය.ඔවුන් පවසන ලෙසට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහල යන්නේ ද රජයේ අකාර්යක්ෂමතාව නිසාය.ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යන විට ඒ හා සාපේක්ෂව රටක තෙල් මිලද ඉහල යන බව කුඩා දරුවෙකුට වුවද අවබෝධ කරගත හැක.ඒත් සමඟ තෙල් හා බැඳී ඇති සියළු නිශ්පාදන හා සේවා මිළද ඉහල යෑම ඉස්ථිරවම සිදුවන්නකි.මේ සරල සත්‍ය තේරුම්ගත නොහැකි අමනෝඥ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විපක්ෂයට ජනතා කැමැත්ත ලබා ගැනීම කිසිසේත්ම පහසු නැත.


රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දූෂණ චෝදනා ඉදිරිපත් කරන විපක්ෂය ඔවුන් බලයේ සිටියදී කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.ස්ත්‍රී දූෂකයින් නිදහස් කළ ජේ ආර් ගේ පක්ෂයේ කිසිවෙකුටත් දුමින්ද සිල්වා ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත.අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව ගෙන ආ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව හඬ නැගීම විහිළුවකි.චීනයෙන් ආනයනය කළ සමාජවාදය කරපින්නාගෙන සිටින ජේවීපී ය චීන ආධාරවලට විරුද්ධ වීම ප්‍රහසනයක් නොවන්නේද?

කෙසේ වෙතත් තව නොබෝ දිනකින් ඉඳිවන නෙළුම් කුළුණ මතද නැග විපක්ෂය උපවාස කරනු ඇත.මත්තලගොඩට ගුවනින් ගොස් දකුණේ පා ගමන් සංවිධානය කරනු ඇත.උතුරු නැගෙනහිර සිය ප්‍රචාරණ කටයුතු දියත් කරනු ඇත.ජනපතිතුමාගේ නමින් ඉඳිවන බේස්බෝල් පිටියට බැණවදිනු ඇත.නමුත් අතිගරු ජනාධිපතිතුමා මෙකී සංවර්ධනයන් සිදු කරන්නේ තමාට ගෙන යෑමට නොව රටේ ජනතාව වෙනුවෙන් බව ජනතාව මතක තබා ගනු ඇත.

අද විමසුම පිටපත - දිනුක ජයකොඩි