01 May 2018

අවුරුදු උත්සවය





සූර්යයා මීන රාසියෙන් මේස රාසියකට නොව මේස කීපයකට යනවා කියා කිව්වේ මහින්ද අයියා ගේම් එකේ ඉන්නා කාලයේ ය. දැං වෙන්නේ සූර්යයා ඒ මේස කීපයෙන් මේ මේස කීපයට මාරු වීම මිස අපේ මේස පැත්තේවත් පැමිණීම නොවේය.සූර්යයාගේ ආදරේද තියෙන්නේ අපට නොව උන්ට බව පසක් වෙන කොට ඩොලර් එක එකසිය හැටටත් කිට්ටු වෙලා ය.සම්බන්ධන්ලා වෙනම රටක් ඉල්ලුවත්, මේ අවු අස්සේ තාමත් විල්පත්තුවට වැඩේ දුන්නත් ලෝකය ඉර වටේ යන එක නවතින්නේ නැතිය. ඒ නිසා අවුරුද්දකට පාරක් අළුත් අවුරුද්දක් එනවාය. සල්ලි සතපහ අතේ නෑ කියන උන් රෙදි කඩ අස්සේ මරා ගනිති.රෙදි තෝරති.හැපෙති.බැණ ගනිති.

ඔය අස්සේ අවුරුදු උත්සවයක් ලක ලෑස්ති කරන්ඩ යෙදුනෝය.කලිං පාර වගේ නැතුව පට්ටෙට අඩු වියදමින් යසට කරනවා කිව්වෝය.හමබන්තොටදි වගේ භාතිය සංතුෂ්ලාට සල්ලි දෙන්නේ නෑ කිව්වෝය.කොරඥ්ඥං කොරඥ්ඥං කිව්වාට සංවිධායක මණ්ඩලේ සංවිධානය කරගන්න බැරුව තාමත් ඒ මේ අත දුවනවාය. ලොකුම ප්‍රශ්නය සංවිධායක මණ්ඩලය හදා ගන්න එකය. සභාපතිට බැරි බව කට්ටියක් කීවෝය.වෙන සභාපති කෙනෙක් ඕනෑ කියලා ගමම ගිනි තියලා පස්සේ සමිති මීටිමේදී "විරුද්ධයි" කියා සභාපතිට එක් වූවෝය.එහෙම කියන්න බැරි අය "ඉල්ලෛ" කීවෝය. ජනයා රැවටුනෝය.

පාරෙං අහුලාගෙන සංවිධායක මණ්ඩලේට රිංගවාගත් දාසයක් "පස්සයි" කියලා අනිත් පැත්තෙන් ඉඳගත් නමුත් ඒ ගේම් එක තවම අපිට හරියට තේරෙන්නේ නැත.තේරුම් ගිය දාට ආයේමත් තරු පෙනෙනු ඇත.

පස්සේ සංවිධායක මණ්ඩලේ උන්ට කන්ඩ බොන්ඩ දෙන ගමන් ගමේ උන්ම එකතු වී අවුරුදු උත්සවය යාන්තං අටවාගෙන කරගෙන ගියෝය.

අලියාට ඇහැ තැබීමේ තරගයට විශේෂ අවධානයක් යොමු වීය.මේ ගමේ එහා ගමේ උන් පමණක් නොව කරණවෑමි වීසා පිට තරගය අස්සට රිංගා සිටි චීනුන් පවා උත්සාහ කළද ආසන්නතම තැන ලෙස ඇස ළකුණු කරනු ලැබුවේ අලියාගේ අධෝ මාර්ගයත් වෘෂණ කෝෂයත් අතරය. රංගේ අයියා අජිත් අයියා ආදීන් කොච්චර උත්සාහ කළත් සජිත් අයියාට තෑග්ග දිනා ගන්නට ලැබුනේ නැත.තරගයට සහභාගී නොවී සිටි සභාපතිතුමාම තෑග්ගද ගෙදර ගෙන ගියේය.

ඒ අසාධාරණකම්ව්ලට කිසිම අවුලක් නැතුව හිටපු ජෝසප් අංකල් රවී කොල්ලා බනිස් කෑමේ තරගයේදී අනුන්ගේ බනිස්ද කාලා කප් එක ගැහුවාම තෑගි දුන්න එකට අමනාප වෙලා ගෙදර ගියේය. ඒ ජෝසප් අංකල් රවියා එක්ක කළිං ඉඳං තියෙන මලකට බව එතන හිටපු උං කිව්වෝය.රවියා ජෝසප් අංකල්ගේ ගෙදරටම ගිහිල්ලා අංකල්ගේ කොල්ලාගේ පස්ස අතගාලා අංකල්ට මාට්ටු වෙලා තිබුණාලුය.

කඹ ඇදිල්ලේ තරගයට කණ්ඩායම් මහා හුඟක් එක්වෙලා හිටියෝය.විස්ස ගේන කණ්ඩායම, මහින්ද අයියාගේ කණ්ඩායම,සිරා අයියගේ කණ්ඩායම, රනිල් සභාපතියාගේ කණ්ඩායම බාසා ප්‍රස්නෙට වෙනම රටක් ඉල්ලන කණ්ඩායම වගේම වෙසක් තියෙන්නේ මැයි මාසේ විතරයි බොල කණ්ඩායමද එක් වීමේන් එකම චොර හොද්දක් වී ගියේය.හැමෝම එකම කඹේට පොර කෑ අතර එක එක කණ්ඩායම්වල ශක්ති මට්ටම් අනුව කඹ කෑල්ල බැගින් කඩාගෙන ගියෝය.ඒ ඒ කණ්ඩායම්වලට හුරේ දැමූ නරඹන්නෝ තම තමුන් හුරේ දැමූ කණ්ඩායම් දිනූ බව තනි තනියම සිතා ගනිමින් ස්වයං වින්දනයක් ලබා ගත්තෝය.

කොට්ටා පොර තරඟය අති උත්කර්ෂවත්ව ළොමුදැහැගැන්වෙන පරිදි අතිශය ත්‍රාසජනක ලෙස පැවැත් වුනු අතර නරඹන්නන් අමන්දානන්දයට පත්ව ස්වප්නමෝචනයෙන් ස්වර්ගප්‍රාප්ත වී සිටියහ. නමුත් කොට්ටා පොරය වීඩියෝ කරලා ස්ලෝ මෝෂන් දාලා බැලුවාම පෙනුනේ උන් දෙන්නේ කොට්ටා එහෙ මෙහෙ වනනවා විනා එකදු පහරක් හෝ ප්‍රතිවාදියාට වැදෙන්නට දුන්නේ නැති බවය.ළඟටම වෙලා කට ඇරගෙන බලා උන් ප්‍රේක්ෂකයින් නම් කීප දෙනෙක්ම කොට්ටා පහරවල් වැදී රෝහල් ගත කරන ලදී.

කණා මුට්ටි තරගය දේශයට උචිත ලෙස සංවිධානය කර තිබූ අතර සියළුම ප්‍රේක්ෂකයන්ගේ ඇස් වැසෙන්නට රෙදි කඩ බැගින් බැඳ තරගකරුවෝ පාළු ගෙයි වළං බිඳින්නා සේ මුට්ටි බින්දෝය.අඳුරේ අත පත ගාමින් මුට්ටි බිඳෙන හඬට කන්දෙමින් ප්‍රේක්ෂකයෝ හුරේ තිබ්බෝය.තරගය අවසානයේ දෑස් විවර කරගත් ප්‍රේක්ෂකයන්ට හරි මුට්ටිය බින්දේ තමන් බව ආඩම්බරයෙන් කීවෝය.

සැඟවුනු අමුත්තා සෙවීම ඉතා අපහසු විය. ලබා දුන් තොරතුරුද නිසි ලෙස නියම සැඟවුනු අමුත්තා සොයා ගැනීමට ප්‍රමාණවත් නොවුනි. කට්ටියක් සැඟවුනු අමුත්තා සෙවීමට ඩුබායි ගොස් තිබූ නමුත් තරග නීති අනුව පිටට තට්ටු කොට සැඟවුනු අමුත්තා ප්‍රකාශ කිරීමට අවකාශ නොලැබුනි. තවත් කණ්ඩායමක් සිංගප්පූරුවේ සිට උදර්පණ නීතිය හරහා පිටට තට්ටු කොට සැඟවුනු අමුත්තෙක් සෙවීමට උත්සාහ කළද සැඟවුනු අමුත්තා තවමත් සැඟවී සිටී.ඒ තරගය සඳහා ඇති තෑග්ගද සභාපතියා ගෙදර ගෙන යා හැක.

විශේෂ පොලිස් ආර්ක්ෂාවක් දී තිබුනේ පොල් ගෑමේ තරගයටය.පොල් බෑය රැගෙන තරගකරුවන් පලා යාමේ අවධානමක් තිබුණි.

ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයද වෙනස්කොට තිබුණි. ඇට නැති ගස්ලබුද දැන් වෙළඳපොලේ බහුල බැවින් තරග කරුවන් බොහොමයක් බින්දුව කියා උත්තරය දීමේ අවධානමක් තිබුණු නිසාවෙන් තරගය ගස්ලබු ගෙඩියේ ඇට වෙනුවට සිරාගේ කොන්දේ ඇට ගණන් කිරීම ලෙස වෙනස් කර තිබුණි.එයටද වැඩි දෙනා උත්තර දී තිබුණේ බින්දුව ලෙසින් වූ මුත් ඒ හැම දෙනාටම තෑගි ලබා දීමට ගමේ අය තීරණය කළෝය.

අවුරුදු කුමාරයා ලෙස චතුර පුතාව තෝරාගත් නමුත් ඔහු එම පදවිය ප්‍රසිද්දියේ ප්‍රතික්ෂේප කළේය.පසුව රාජිත අංකල් අතින්ද ප්‍රතික්ෂේප වූ අවුරුදු කුමාරයා පට්ටම සභාපතිතුමා නැවතත් කරේ දා ගත්තේය.අවුරුදු කුමාරි ලෙස තේරී පත්වුනේ අකිල ය. කලින් පාරකුත් තරගයට ඉදිරිපත් වුවද වයස මදි වීම නිසා කලින් අකිලට අවුරුදු කුමාරි වෙන්නට බැරි විය.මෙවර සභාපතියාගේ වැඩි මනාපයෙන් අකිල අවුරුදු කුමාරි තරගයෙන් දිනුවාය.

දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ තරගය ජයගත්තේ අනුසාසක සිරාය.තරගය පටන් ගන්නා විටම පය පැකිලී වැටී සරමද කැඩී ගිය අතර හැණ්දත් දෙහි ගෙඩියත් ගිරිය පලාගෙන ආමාශ ගතවීම නිසා එකක්වත් බිම නොවැටුනා සේ සළකන බව සභාපතියා පැවසූවෙන් ඔහු ගේමක් නැතුව ජය ගත්තේය.

ගෝනි රේස් එකේ වැඩිම තරඟයක් තිබ්බේ රාජිත, සුදු බණ්ඩා හා දයාසිරියා අතරය.ගෝනි නැතුව කරේ යාම මෙන්ම ඒ පැත්තට මේ පැත්තට පැන පුරුදු නිසා ගෝනි රේස් එක ප්‍රේක්ෂකයින්ට මනා උත්තේජනයක් ලබා දීමට සමත් විය.එහෙත් අන්තිම මොහොතේ දීර්ඝ පිම්මක් පැන්න සුදු බණ්ඩා තරගයේ ජයග්‍රාහකයා විය.

උදේ ඉඳන් එක එකාට ලිස්සන ගහ නගින්නට උදවු දුන් අනුරලා සැට් එක ලිස්සන ගහ මුදුනේ විස්ස තිබෙනු දැක ලහි ලහියේ තනියම නගින්නට පටං ගත්තෝය. කරන එක කියන එක තරම් ලේසි නැති බව තේරුනු අනුරලාට මහින්දලා උදව් කරන්නට ලෑස්ති වූහ.තත්ත්වය මෙසේ තිබියදී අවුරුදු උත්සවය මොහොතකට අත් හිටවන ලදී.

ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්නට සැදී පැහැදී පිළිවෙතින් පෙළ ගැහෙමු.


1 comment:

  1. අදයි ආවේ මේ ඉසව්වට දේශපාලනය හා පාර්ලිමේන්තු විගඩම් බලා තිත්තවී සිටි මුත් වෙනස් ආකාරයේ ලියවිල්ලක් නිසා රසක් දැනුනා. ජය‍වේවා!!!

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...