16 May 2018

ආරෝග්යා පරම අලාභා... 4





මරදානේ ඉස්කෝලෙකට ගියාට මොකද කොළඹ වෛද්‍ය පීඨය තියෙන්නේ කොහෙද කියලා මම දැනං හිටියේ නෑ.ඒක ඉස්සරහින් කීප වතාවක් එහෙට මෙහෙට ගිහිල්ලා තිබ්බට ඒක වෛද්‍ය පීඨය බවක් මට නිකමටවත් හිතිලා තිබ්බෙත් නෑ. සමහරවිට ඔය කියන වෛද්‍ය පීඨයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බ හින්දා වෙන්න ඇති. පොඩි කාලේ මගේ ආසාව තිබ්බේ පුස්ථකාලාධිපති කෙනෙක් වෙන්න. ඒ රස්සාව කරන ගමන් පොත් කියවන්න තිබ්බ ආසාව හින්දා. ඒත් ඉතිං පොඩි කාලේ හිතන දේවල් ලොකු උනාම ඒ විදිහටම සිද්ද වෙන්නේ නෑනේ.

කොහොම හරි අත්දිග කලිසමකුත් කමිසෙකුත් ඇඳගෙන සපත්තුත් දෙකක්ම දාගෙන මමත් ගියා කැම්පස්. ටයි නං දැම්මේ නෑ. දාන්න ඕන උනත් ගැටේ දාන්න දන්නෙත් නෑ. ඒක ඉගෙන ගත්තත් ගෙදර ඉස්කෝලේ ටයි එක ඇර වෙන ටයි එකක් ඇත්තෙත් නෑ.

කළිං දවසේ හතර අතේ කෝල් කරලා කොළඹ මෙඩිකල් ෆැකල්ටිය තියෙන තැන අහගෙන මමත් යන්ඩ නියමිත දවසේ උදෙන්ම එතනට ගියා.

කැම්පස් කිව්වම කාගෙ උනත් හිතේ මැවෙන්නේ පේරාදෙණිය. මල් පිරිච්ච, ගස් වැවිච්ච, කඳුවලින් වට වෙච්ච, කොල්ලො කෙල්ලො පෙම් කෙළින පාරිසරික සුන්දරත්වයෙන් සෞන්දර්යයෙන් අග්‍ර වෙච්ච ප්‍රේම පාරාදීසයක් වගේ තැනක්. කොළඹ විශ්ව විද්‍යාලයේ අනිත් පීඨ පිහිටලා තියෙන තැනත් ක්ෂුද්‍ර ප්‍රමාණයකින් හරි මේ සෞන්දර්යය පෙන්වලා දුන්නත් පුංචි බොරැල්ලේ තියෙන වෛද්‍ය පීඨය නම් හරියට ඉස්සර ගෙවල්වල ඈතින් හදපු වල කක්කුස්සියක් වගේ නොසළකා හැරිලා තිබුණා.

අක්කර එක්දාස් පන්සීයක් විතර වෙන පේරාදෙණියත් එක්ක සසඳලා බලද්දි අක්කර බාගයක්වත් නැති කොළඹ වෛද්‍ය පීඨය හරියට දීපිකා පදුකෝන් එක්ක දෙනවක හාමිනේ සංසන්දනය කරනවා වගේ මහා විළි ලැජ්ජා නැති වැඩක් බවට පත්වෙනවා.

කොළඹ වෛද්‍ය පීඨය කියන්නේ පුංචි මැද මිදුලක් වටේට තියෙන ගොඩනැගිලි හතරක් සහ ෆ්‍රැන්සිස් පාරෙන් එහා පැත්තේ තියෙන කායවිච්ඡේද ගොඩනැගිල්ලට. මැද මිදුළ මැද්දෑවේ අර මහා විශ්වවිද්‍යාල සංස්කෘතියේ ශේෂයක් වෙච්ච කණාටු රොබරෝසියා ගහක් තිබ්බා.තැනින් තැන දිරා ගිහිල්ලා තිබ්බත් විශ්වවිද්‍යාලයේ සාමාජිකයෙක් විදිහට මේ රොබරෝසියා ගහ හෙවත් 'පච ගහ' තමුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කෙරුවා. ඒ කියන්නේ පේරාදෙණියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය පිරෙන්න එහේ රොබරෝසියා මල් පිපිලා වැටෙන කාලෙට මෙහේ පුංචි බොරැල්ලේ කාෂ්ඨක අව්වේ තැම්බෙන පුංචි මැද මිදුලකට තමුන්ට හැකි පමණින් මල් හෙළන්න ගහ උපරිම උත්සාහය දැරුවා.අළුතෙන් ෆැකල්ටි එන ශිෂ්‍ය කණ්ඩායමක් වසරකට ආසන්න කාලයක් රැදෙන්නෙ මේ පච ගහ යට. අළුත් ආදර කතා ගොඩක් හිතේ තියාගෙන හැමෝටම යාන්තමට හරි හෙවනක් වෙන්න පචගහ සෑහෙන වීරියක් දැරුවා. ඒ ඔක්කොම අවසාන උනේ පාලනාධිකාරිය රථවාහන නැවැත්වීමේ ඉඩ වැඩි කරගන්න පච ගහ කපලා දැම්මට පස්සේ. ඒ මම කැම්පස් එකෙන් අයින් උනාටත් පස්සේ.

මම ඉස්සෙල්ලාම ෆැකල්ටියට ගියාම තැන් තැන්වල අළුතෙන් ආව අය හිටියා.පරිසරය නුහුරු බවක් පෙන්නපු මූණුවලින් නවකයි අඳුනගන්න පුළුවන් උනා.සමහරු මම වගේ තනියමත්, සමහරු අම්මා තාත්තා එක්කත් සමහරු නෑදෑ සනුහරේම සහ ගමේ සැට් එකත් එක්කත් ඇවිත් හිටියා.එක ඉස්කෝලවලින් ආපු උන් තැන් තැන්වල සෙට් වෙලා සතුටු සාමීචියේ. කොළඹ ඉස්කෝලවල කෙල්ලෝ බස බස ගාලා ඉංගිරිස් හරඹ කරනවා. සමහරවිට තමුන්ගේ තත්ත්වේ ඇවිත් ඉන්න ගොඩේ උන්ට පෙන්නන්න වෙන්න ඇති.
සරලව කිව්වොත් ලංකාවෙ හතර දික්බාගෙන්ම එක එක උන් ඇවිත් හිටියා.යාපනේ ඉඳං ගාල්ල මාතර ඉඳං මඩකලපුවෙන්, නුවරින්, බදුල්ලෙන්, ඇල්පිටියෙන්, අනුරාධපුරයෙන්, මොණරාගලින් වගේම බහුතරයක් කොළඹ සහ ඒ අවටින්. ඔක්කොම දෙසිය හයක් විතර වෙච්ච අපේ ශිෂ්‍ය කණ්ඩායමේ විසි එකක් අපේ ඉස්කෝලේ උං.  අවුලක් නෑ තනි නොතනියට අඳුරන උං කීප දෙනෙක් ඉන්න හන්දා මමත් බය නැතුව කැම්පස් ජීවිතේ පටං ගන්න ලැස්ති උනා.

හොඳිං නැත්තං ෂේප් න්‍යායෙන් හරිය!!!


4 comments:

  1. මරදානට... පුන්චි බොරැල්ලට... ඇස්වාට්ටුවට...කින්සි පාරට..නොරිස් ඇලට..අධිපති සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි.. ආරස්සාවයි...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා!!!

      Delete
  2. කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...
    අත වැනුවට නොවැටී මං මුලාවේ
    හිතට ගනින් ගෙදර යන්න පමාවේ....

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේ අපි හිටි ඒ ඉසව්වේ
      කිරිල්ලියෝ ඉගිලුනානේ නිදැල්ලේ
      අත වැනුවට නුවැටුනි උන් මුලාවේ
      අපට උරුම ගමේ කිකිළි තමයිනේ

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...