17 November 2018

වැරදුනේ කාටද?





"අඩෝ මොනවද බං උඹ කරන්නේ?" සිතුමා ගේ ඇතුලටම ඇවිල්ලා. මුංගේ නෑනේ ඔය මැනර්ස් කියන ජාතිය ගෑවිලාවත්.ගෙවල් ඇතුලටම රිංගනවා නිකමට අහන්නෑ ඇතුලට එන්ඩද කියලා.සමහර විට ඌත් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවද දන්නෑ ගෙවල් ඇතුලේ ඉන්න උන්ට මෝල් අමාරුව තියෙනවද කියලා. මොනවා උනත් ගෙදෙට්ට ආපු එකෙක්ට බණින එක අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නිසා මම මොකුත් කිව්වේ නෑ.

"අඩෝ උඹ පාඩං කරනවද? මේ වයසට ගිහිල්ලා පිනක් දහමක් කරන් ඉන්නැතුව මොන විභාගද බං."

"විභාග රෙද්දක් නෙමෙයි බං, මම මේ ව්‍යවස්ථාව කියවනවා. සිරාගෙ අසූචි වැඩ හින්දා බලහං අපිට වෙච්ච දේ."

"ඉතිං යකෝ උබ ඕකේ මොනවද බලන්නේ? "
"ඇයි බං, එකෙක් කියනවා 42. ඇ. අනුව ඒක හරිලු.තව එකෙක් කියන්වා 70. ඉ. අනුව ඒක වැරදියිලු. තව එකෙක් කියනවා 58.ඒ. අනුව දැම්ම මතයක් කියන්ඩ බෑලු. අනික බං ඔය ලීගල් පොයින්ට් දෙන උං කරලා තියෙන වැඩ දැක්කම ඔය යක්කු කියන ඒවා සත පහකට විස්වාස කරන්ඩ බෑනේ."

"ඉතිං දැං උබේ නිගමනය මොකක්ද?"

මගේ අවසාන නිගමනය ඇවිල්ලා අපේ රටේ ඉන්න උංගේ සක්ෂරතාව අච්චරයි මෙච්චරයි කියලා පම්පෝරි ගැහුවට එකෙක්ටවත් හරියට ගලපලා වාක්කියක් ලියාගන්ඩ බෑ කියන එක. අපේ උංගේ වැඩ වගේම තමා උඩිං එකක් කියලා යටිං තව එකක් කියලා.මොකක්ද බලහං මේකේ වැඩේ. යකෝ රටේ වැදගත්ම ලියවිල්ල නේද? මොකෝ කෑල්ලටැ ලියන ලව් ලෙටර් එකක් නෙමෙයිනේ. හා නැද්ද? ඕක ටිකක් වෙලාව අරගෙන සෝදුපත් කියවලා එහෙමනේ බං සම්මත කරගන්න ඕනේ."

"මං ඔච්චර ඕවා දන්නෑ මචං පොඩ්ඩක් ඕක දියං අව්වට අල්ලලා බැලුවනං හිල් තියෙනවද කියලා පෙනෙයි. ඔය කට්ටිය කියන්නේ වියවස්ථාවේ හරියට හිල් කියලා. කාවො කාලා වෙන්ඩෑ මං හිතන්නේ."

" මෙන්න මෙහෙ දියං ඕක. කාවෝ කන්ඩ ඕනෑ තොගෙ අහවල් එක."

"මොනවා උනත් මචං මහින්ද මහත්තයා ආයේ අගමැති උනේ මේකේ හිල් තිබ්බ හින්දනේ මොකෝ කියන්නේ?"

"මහින්ද අගමැති උනත් අවුලක් නෑ.පොරට චන්දේ දුන්නත් අවුලක් නෑ. ඒ උනාට පොරට මහින්ද මහත්තයා කියන උං ඉන්නවා නේද? අන්න උං තමා නියම වහල්ලු."

"ඇයි යකෝ අපි වැදගත් විදිහට මනුස්සයෙක්ට කතා කළාම මොකද?"

"පොරට විතරක් මහත්තයා කියන්නේ කියහංකෝ සිරාටත් මහත්තයා කියලා. එහෙම නැත්තං මහින්ද වටේ ඉන්න අනිත් උන්ට මහත්තයා කියලා කියලා බලපං. ප්‍රසන්න රණවීර මහත්තයා, බැසිල් මහත්තයා, නාමල් මහත්තයා, රත්තරං මහත්තයා, මහින්දානන්ද මහත්තයා මරු මහත්තුරු ටික බං."

"ඇයි එතකොට උඹ කියන්නේ අනිත් පැත්තේ ඉන්නේ මහත්තුරුද?"

"මම දැං එහෙම කිව්වද? නෑනේ. රාජිතයා, රනිලා, සජියා, සුජියා ඔය ඔක්කොම හොරු, මංකොල්ලකාරයෝ තමා."

"ඉතිං දැං උඹලා මහලොකුවට සිරාට දීලා ඔය කරගත්තේ. ලැජ්ජ නැද්ද යකෝ. ඌ දිනපු එකෙං වෙච්ච හොඳේ මොකක්ද කියහං."

" ඇයි යකෝ ඒ හිපාටුවා දින්න හින්දනේ මහින්දයා පැරදුනේ. මහින්ද එදා දින්නනං උබ හිතන්නේ අද රට සුඛිත මුදිතයි, ඕස්ට්‍රේලියාවේ උනුත් ලංකාවට බෝට්ටුවෙං හොරෙන් එන සයිස් එකට නග්ගලා ඇමරිකන් ඩොලර් එක සත ගාණට ගිහිල්ලා අපි ඇමරිකාවට ආර්ථික කුළී ඝාතකයො බස්සන ගාණට එන්ඩ තිබ්බා කියලද? නෑනේ බං. රනිලා කෑව විදිහටම උංගෙ සෙට් එකත් මේක කාලා අද අපි අරුන්ට බණිනවා වගේ මුන්ට බැණ බැණ ඉන්න තිබ්බා."

"උඹට එහෙම කියන්ඩ බෑනේ. මහින්ද මහත්තයා රට ගොඩදාගෙනනේ බං ආවේ."

"උඹ මැරිලා ඉපදුනාට මම මැරිලා ඉපදුනේ නෑ බං.මහින්ද අන්තිම කාලේ දාපු ඩිස්ටි ඩිඩිං මටනං මතකයි."

"දැං උඹ කියන්නේ රනිලට ඡන්දේ දෙන්ඩ කියලද? තොප්පිගලයා, සමනළයා"

"ඔය බලහංකෝ ඉතිං, මම දැං එහෙම කිව්වද කියහංකෝ. උං මහ පට්ට හොරුනේ බං. දීපං ස්වාධීන එකෙක්ට. මුං දෙගොල්ලොම හොරු කියලා සීයට සීයක් ෂුවර්නේ බං. අලුතෙන් එන එකෙක් හොරකං නොකරන්ඩ පොඩි හරි චාන්ස් එකක් තියෙනවනේ බං. ඉතිං ඒ චාන්ස් එක ගම්මු."

"අළුත් උන්ට තේරෙනවද බං රටක් පාළනේ කරන්ඩ? දෙනකොට දෙන්ඩ ඔනේ පරිණත කෘතහස්ත ඩෑල් එකකට."

"ඔය පරිණත කෘතහස්ත ඩෑල් එකකින් උගේ අමාත්‍යංශේ ගැන හරි ව්‍යවස්ථාව ගැන හරි රටේ ආර්ථිකේ ගැන හරි අහලා බලපං අන්න එතකොට උඹට තේරෙයි උං රෙද්දේ පරිණත කම. උං දන්නවට වඩා දේවල් අපි දන්නවා බං. උඹ උනත් දන්නවා උංට වඩා."

"උඹ දීලා බලහංකෝ ඔය ආධුනික ඩෑල් රට කරන්ඩ ගිහිල්ලා පිස්සු නටනකොට උඹට තේරෙයි."

"එහෙම වෙන්නෑ බං.මොකා හිටියත් වෙනසක් වෙන්නෑ. මොකෙක්වත් නොහිටියත් මොකුත් වෙන්නෑ. දැං මේ සති දෙකක් තිස්සේ රට දුවන්නේ අගමැතියා මොකාද, ඇමති මණ්ඩලේ මොක්කුද ඉන්නේ කියලා කවුරුවත් දන්නේ නැතුව.එකම වෙනස මොකෙක් හරි පත් උනොත් ඌට අළුතෙන් වාහන ගන්නවා, බිල්ඩිමක් ගන්නවා සබීතාපාය වගේ, ඊට පස්සේ ලේකම්ලා අරුං මුං ඔක්කොම අරගෙන ලෙටර්හෙඩ්, ෆයිල් කවර හිටං වෙනස් කරන්ඩ සල්ලි වියදං කරන එක තමා වෙන්නේ. උඹ ඔය කොහෙද යන්නේ? හිටහං තවම කියලා ඉවර නෑ."

"වැඩක් නෑ බං. උඹලා වගේ හැම එකාටම බණින ගන්ධබ්බයෝ එක්ක කතා කරලා වැඩක් නෑ. ජෙප්පංගේ හැටි ඔහොම තමා."

"ඔන්න බලහංකො ඉතිං. දැං මම කිව්වද මම ජෙප්පෙක් කියලා.උං කරන සමාජවාදයක් නෑ.ශේප් එකේ රනිලගේ ගේම් ටික ගහනවා ඇරෙන්ඩ.හොර යක්කු.පව් උංගේ පෝස්ටර් අලෝන පෙලපාලිවලට යන කොල්ලො."

"වැඩක්ම නෑ බං.වාද කරන්ඩ පුළුවං කාට හරි කඩේ යන එකෙක් එක්ක බං. උඹලා වගේ උං එක්ක මේවා කතා කළාම අපි නිකං බැණුං අහන එක වෙන්නේ."

"ඇත්ත බං.වැඩක් නෑ තමා.මම කොච්චර කිව්වත් මහින්ද කොච්චර හොරකං කළා කිව්වත් උඹලා ඌට ඡන්දෙ දානවා. රනිලට කඩේ යන උං මහබැංකුව ඉස්සරහ ඡන්ද පෙට්ටියක් තිබ්බත් පයින් හරි ඇවිල්ලා රනිලට ඡන්දෙ දානවා. ඕක මචං අන්ධ භක්තියක්. උඹලත් එක්ක මේක ගැන කතා කරන එකයි මුස්ලිම් එකෙක්ට අල්ලා නෑ කියලා කියන එකයි දෙකම එකයි බං.මාත් යනවා ලයිබ්‍රියට දණ්ඩනීති සංග්‍රහයෙ කොපියක් හොයා ගන්ඩ.නඩුව කල් දැම්මට ඒක අහන්ඩ ගත්තම ඒක ගැනත් දැනං ඉන්න එක හොඳයි."


4 comments:

  1. wenasak awashyayi...pallewaththa ( mahaththaya ) gena mokada adahasa....

    ReplyDelete
    Replies
    1. වැදගත් වෙන්නේ ඔය කවුරුවත් එන්නේ අපිට ආදරේට නෙමෙයි කියලා තේරුම් ගන්න එක.

      Delete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. දිනපතාම නම් ලිපි කියවන්නේ නෑ. කම්මැලි කම හින්දා. ඒත් වෙලාවක් ලැබුනම පුලුවන් තරම් කියවන එක තමා කරන්නේ. එන්නම් ඔබේ බ්ලොග් එකටත්.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...