11 November 2013

පාප්තුමා තලේබාන් ද මචං?


'ඒ මාර සීන් එක නේ බං වෙලා තියෙන්නේ...'
කොටා කඩාගෙන ආපු පාරට මම බත් එක අහක් කරේ නැත්තං ඌ නතර වෙන්නේ බිත්තරේ ගිලලා.ඒවා කොහෙද මාත් එක්ක.අපිත් ගියේ ඕල්කට් ඉස්කෝලෙකට තමයි.

'මොකක්ද මචං?'

මම බිත්තරේ කටේ දාලා ආපහු අරං පිඟානෙ පැත්තකිං තියලා ඇහුවා.අරූගේ මූණ ඇඹුල් උනා.

'මචං ඩිවයින් ප්ලෑන් එක ලීක් වෙලා..'

'මොන ප්ලෑන් එකද බං? උඹලා චෝගම් එක පටං ගන්න කොට එතන ඉස්සරහට ගිහිල්ලා වීදි නාට්‍යක් කරන්ඩ ගහපු ප්ලෑන් එකද?'

'නෑ බං ඩිවයින් ප්ලෑන වනාහී මෙකී සකල ලෝක වස්තුවත් අහස් තලයත් සූර්යයා, චන්ද්‍රයා ඇතුලු සියලු ආකාශ වස්තූන් මෙන්ම මිහිමත වාසය කරන්නා වූ සියළුම ජීවී අජීවී සංඝටකයන්ගේ අණුවේ පරමාණුවේ සිට නිර්මාණය කර ඇත්තා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින් මවන ලද්දා වූද පසුව ජීවය පිඹින ලද්දා වූද මනුශ්‍ය වර්ගයාට නිදහස් චින්තනය පිරිනමා පසුව එයින්මැ මිනිසා ලෝකයත් වනසා ඌත් නැසී යෑම වළකනු වස් එකී එක් එක් මනුශ්‍යයා සහ සකල විශ්වයේම සිදුවිය යුතු ආකාරය ගැන එකලදීම ඇති කළා වූ දිව්‍යමය සැලැස්ම වේ...'

එක හුස්මට කිව්ව ඌ කසුනාගේ මාලු කෑල්ලට විද්දා.

'හුටා..කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ? ෂුවර් එකටම අපේ පොලීසියේ වැඩක් වෙන්ඩැති.දැක්කනේ අර අනුරාධපුරේ ඩයල් එකට වෙච්ච දේ.දවසක් යන්ඩ කළිං ඇල්ලුවා මොනවද නිකං බබා වගේ කිව්වේ ඔක්කොම මරපු විදිහ.'

'නෑ බං අපේ උන්ට මේ දවස්වල ඕවට වෙලාවක් නෑ.චෝගම්නේ මචං.චෝගම් නම් වූ දැවැන්ත වෛවර්ණ සාටකයෙන් රටේම ජනතාවගේ දෑස් වසා බඩට හුළං ගසා කුසගින්න අමතක කරවා ඇති මෙවන් වූ අවස්ථාවක අපේ පොලීසියට දෙයියංගේ දෙයක්වත් පේන්නේ නෑ.පේන්නේ සාටකේ විතරයි.'

'ඉතිං කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ?'

'ඇමරිකාවේ එන් එස් ඒ එක පාප්තුමාගේ ෆෝන් එකත් ටැප් කරලා තිබ්බ කියලා අර ස්නොව්ඩන් කාරයා කියලා තියෙන්නේ.පාප් තුමා කියන්නේ මචං දෙවියන් වහන්සේ එක්ක සෘජු සම්බන්ධතා තියෙන කෙනා.මනුශ්‍ය සංහතියේ නියෝජිතයා.ඉතිං උන්නාන්සෙගේ ෆෝන් එක ටැප් කළා කියන්නේ ඩිවයින් ප්ලෑන දැං ඔබාමලා දන්නවා.'

'පාප්තුමා තලේබාන් ද මචං?'

'පිස්සුද මචං.පාප් තුමා තලේබාන් නෙමෙයි.මට ඒක ශුවර්.'

'උඹ කොහොමද ඒක ටක්කෙටම කියන්නේ?ඇමරිකන්කාරයෝ මේ අපේ උං වගේ නිකං ආවට ගියාට වැඩක් කරන්නෑ.'

'පාප්තුමාට රැවුලක් තියෙනවද? නෑනේ.ඉතිං කොහොමද තලේබාන් වෙන්නේ? මචං තලේබාන්කාරයොත් නිකං මේ දිවදෙකේ ඩයල් නෙමෙයි.උංගේ එකෙක් වෙන්ඩනං දිගට රැවුල තියෙන්ඩ ඕන.උන්ට තියෙනවා ප්‍රතිපත්ති.උන්ට චින්තනයක් තියෙනවා, දැක්මක් තියෙනවා.'


'ඒ මචං අද සම්බෝලෙට හොඳට උම්බලකඩ දාලා නේද?'
චාමරයා මගෙ පිඟානෙං ලොකු උම්බලකඩ කෑල්ලක් අරං කටේ දා ගත්තා.ෂිඃ ඌට කලිං මං දැක්කේ නෑනේ.

'මචං උම්බලකඩ වනාහී මේ දිනවල ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වන දෙයක්.අවුරුදු 75 - 80 ආච්චිලවම නේ රේප් කරන්නේ.'
කොටාත් උගේ බත් එක බෙදාගෙන ආවා.

'නෙද්දකිං බං.මළ අප්පිරියයි.කන වෙලාවට ජුගුස්සාජනක කතා කියන්නේ.'

'ඕකුංව මචං එල්ලන්ඩ ඕනෙ.කොහෙද මේ එල්ලුං ගහ ගේන්නෑනේ.'
කසුනා කිව්වේ හරියට උගේ එල්ලුං ගහ නැතිවෙලා වගේ.

'ඇයි මචං දැං එල්ලුං ගහ කොහෙද තියෙන්නේ?'

'ඕක හරියන ලබ්බක් නෙමෙයි.එල්ලුංගහට කඹේ ගේන්නේ ජර්මනියෙං.ඕක එක කඹයක් ගෙනල්ලා මේ ඉන්න ඔක්කොම හැත්ත එල්ලන්ඩ බෑ.ඉතිං කඹ ගේන ටෙන්ඩර් එකෙනුත් කොමිස් ගහලා අපේ ලොක්කො මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතෙනුයි, නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතෙනුයි ඉඩං අරගන්නවා.අනික මචං දැං ඕක ගෙනාවත් දැනට මරන්ඩ ඉන්න සෙට් එකේ හැටියට සෑහෙන දිග පෝළිමක් හැදෙනවා ශුවර්.එතකොට අර 'බයිපාස්' වලට දින දෙනවා වගේ මේ දවස්වල අල්ලලා මරන්ඩ තීරණේ කරන උංට එල්ලන්ඩ දින ලැබෙන්නේ තව අවුරුදු දහයකිං පහළවකිං විතර.වැඩක් නෑනේ.'

'ඉතිං බං ආණ්ඩුවට තියෙන්නේ ඔය කොහෙ හරි කැලෑ ඉඩමක් අරගෙන ගස් ටික කපලා උං බෙදාගෙන ලොකුවට 'ඇරීනා' එකක් හදන්ඩ.ඊට පස්සේ ඔය ඉන්න අපරාධකාරයෝ සෙට් එක දාලා ග්ලැඩියේටර් ලා වගේ උං උං මරාගන්ඩ කිව්වනං ටිකට් කඩලා සෑහෙන ගානක් හොයාගන්ඩ තිබ්බා.මිනිස්සු එහෙම මරාගන්න එක පව් නං හරි ආගමට සංස්කෘතියට පටහැනියි නං අපේ රටේ මිනිස්සුන්ට ඒක බලන එක තහනං කරලා විදෙස් සංචාරකයින්ට විතරක් විවෘත කරානං ඉවරයි.'


'අනේ උඹේ ටිකිරි මොළේ.ඇත්ත කියහං උඹත් හිටියද චින්තනේ පොත හදන මන්ඩලේ?'
චාමරයා මාව බදාගෙන ඉඹින්ඩයි ආවෙ.මම ටක් ගාලා නැගිට්ටා අයිස්ක්‍රීම් අන්තිම ටිකත් ඇඟිල්ලෙං හූරං කටේ දාගෙන.ලොවක් හමුවන රටක ලොවෙත් පුරවැසියෝ වෙන අපි අයිස්ක්‍රීම් ටික කන්නෙත් බත් කාපු පිඟානෙම දාගෙන අතිං.

'උඹ කොහෙද යන්නේ?'

'මගෙ බඩ ගුරු ගුරු ගානවා, මම යනවා සරීර් කෘත්‍ය කරන්ඩ'

'ඒයි උඹට ශුවර් නේද බඩේ වෙන අවුලක් නෑ කියලා? මචං මේක බඩ රිදෙනවා කියලා ඉස්පිරිතාලේ ගෙනිච්චම ළමයි වදන කාලයක් ඈ..'

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

කන්ඩ බොන්ඩ තිබිච්ච සල්ලි ටික ඉවර වෙච්ච හින්දා විභාගෙ පෙනි පෙනී ගෙදර දුවලා එන්ඩ ගියා.ගේ ළඟට යද්දි මගේ ඇස් ගෙඩි දෙක පැන්නා එළියට.

අම්මා ගහයි බැට් එකෙං කිව්වලු.ආච්චි දණිහෙං ජුන්ඩක් උඩට වෙන්ඩ රෙද්දත් ඇඳගෙන මිදුලේ එහේ මෙහේ යනවාය.

'ආච්චි මොකෝ මේ රූ රැජින තරඟෙටවත් යන්ඩද?'

'උඹ නිකං නක්කලේ නොදා ඉඳිං.අර ලෝකෙ හතර දිබ්බාගෙං ලොකු ලොක්කො ඇවිල්ලා මෙහේ මෙච්චර උස්සවයක් තියෙනවා.අපිත් වගකිවයුතු පුරවැසියෝ විදිහට ඒවට යන්නැතුව බෑනේ බොල.'

'ඉතිං මේ මොකද මේ ගිනි මද්දහනේ මිදුලේ එහේ මෙහේ ඇවිදින්නේ?'

'එහා ගෙදර කෙලීගෙං මං අහගත්තා කොහොමද ඒ වගේ වැදගත් තැංඔල ඇවිදින්නේ කියලා.මං මේ කැට්ටෝක් එක පුරුදු උනේ.ඒත් මේ හන්දි කැක්කුං එක්ක අමාරුයි බං.'

'ආච්චි කැට් වෝක් දාලා සුද්දන්ට මොකක් පෙන්නන්ඩද මෙන්න මේ ගෙට යං.'

'අනේ පලයං ඉරිසියාකාරයා. තෝ දන්නැති උනාට ඒ දවස්වල මම කෙල්ල කාලේ නාන්ඩ ළිඳට ගියාම ඔය සුද්දප්පුවලා, චන්දරේගේ මහ එකා එහෙම ළිඳ අයිනේ මූකලානේ හැංගිලා බලං හිටියේ.'

'හරි හරි ඒ ඒ කාලෙනෙ ආච්චි.දැං මේ නහින දෙහින කාලේ බණක් අහං ඉන්ඩ මෙන්න මේ ගෙට වෙලා.'

'අනේ තෝ පල ගෙට.මං මේ කරාඹු දෙකත් උගස් තියලා පන්දාහේ කොළ දෙකක් අරං ආවේ හැට්ටේ අස්සෙ පේන්ඩ ගහගෙන යන්ඩ.අර උත්තමයා කිව්වේ ඔය එන උංට අපි ගාව සල්ලි තියෙනවා කියලා පෙන්නන්ඩ තියෙන චෑන්ස් එකක්ය කියලා මේක.'

'හරි දැං ඔය සල්ලි ටික රන්ද ගන්ඩ පුළුවංද?'
මම ඇහුවේ කින්ඩියට.

'මම එහා ගෙදර කෙලීගෙං පුසබ්බා එකක් ඉල්ලගත්ත බොල.බලහංකෝ චාල්ස් කුමාරෝත්තමයගේ ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි වගේ එළියට එන්නැද්ද කියලා'.

'ඔව් ඔව් චාල්ස් කාරයගේ විතරක් නෙමෙයි එන හැම එකාගෙම ඇස් ගෙඩි ලොවි ගෙඩි වගේ එළියට පනියි තමා...'
සීයා එක පාරට මැදට කඩං පැන්නාම දෙන්නා දෙමහල්ලංගේ ප්‍රශ්න ඒ අයටම විසඳ ගන්ඩ දී මම ගෙට පැනගත්තෙමි.



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප.ලි.

මේ දවස්වල බ්ලොග් කියවන්ඩ වෙලා නැති බවත් එනිසා බ්ලොග්වල කොමෙන්ට් කරන්ඩ වෙන්නේ නැති බවත් මේ සියල්ල තව මාසයකි පමණ අවසන් වීමට නියමිත විභාගයෙන් පසු යථා තත්ත්වයට පැමිණීමට නියමිත බවත් ඉඳ හිට කම්මැලිකමට බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන බවත් කරුණාවෙන් සළකා උක්ත සියළුම කරුණු වෙනුවෙන් කමාව අයදින බවත් දන්වා සිටිමි.

ප.ප.ලි

මාගේත් මාගේ ප්‍රියම්භිකාවගේත් අමරණීය, රමණීය, අති සුන්දර, විශ්වීය, පාරිශුද්ධ, මරණීය ප්‍රේම වෘතාන්තය අද දිනයේදී දස වර්ශ පූර්ණය ලබා ඇතත් මටත් ඇයටත් දෙදෙනාටම ඇති විභාග කටයුතු නිසා සහ චෝගම් නිසා ප්‍රේමය සැමරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බවත් ලබන වසරේ එකොළොස්වන වර්ශ පූර්ණය ඉහළින් සැමරීමටත් කටයුතු යොදා ඇත.

එතෙක් කියවා තලු මැරීමට මීට වසර දෙකකට පෙර පල කළ මාගේ ප්‍රේම කතාව නැවත විකාශය මෙන්න

වාසනාවට ඇත්ත කතාවක්




18 comments:

  1. ඔන්න එහෙනම් දශ වර්ෂ පූර්ණයට සුබ පැතුවා!

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ඉස්තූතියි කිව්වා ඈ...

      Delete
  2. දිනූක අනගිරත්නගෙ නරලෝ හොල්මන් තීරය !!

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඒ ගාණට එන්ඩ පස්සේ කාලෙක සරත් අයියේ...

      Delete
  3. ප්‍රේමයට සුබ පතනවා දිනුක... අහන්නත් සතුටුයි දස වසරක් කිව්වම... ළමයි ලපටි දැකලා ජීවිතේ ලස්සනය ගෙවේවා කියල ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සහන්...ළමයි ළපටි තමයි වැඩේ.බලමුකෝ බඳින්ඩත් එපෑ...

      Delete
  4. පළමුව සුභ පැතුම්.......පුතෝ මේකනම් සුපිරිම ලියවිල්ලක්......කළුදොදොල් වගේ ...පත්තරේකට දාන්න බැරිද....උන් බයයි....ඉස්සරනම් ස්වාධීන පත්තර තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මචං.මොන පත්තරවල දාන්ඩ පිස්සුද බං.ඊට පස්සේ උඹලට බැරියෑ හදිසි අනතුරකින් වියෝ වූ දිනුකට නිවන් සුව කියලා උඹලගේ බ්ලොග්වල මෙව්වා එකක් එල්ලන්ඩ.

      Delete
  5. අවුරුදු දහයක ප්‍රේමයක් කියන්නේ ලේසි පහසු වැඩක්ද මම අහන්නේ.. ඒකට සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.නොහැක්කක් නොමැත, නොනැවතී ඉදිරියට වගේ හමුදා ආදර්ශ පාඨ එක්ක නෙව අපි හැදුනේ වැඩුනේ..ඉස්තූතියි මචං

      Delete
  6. මගෙනුත් උබේ ප්‍රේම පුරාණයට උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  7. බොහොම රසවත් ලියවිල්ලක්....

    ReplyDelete
  8. අර මොකද්ද සැමරුමේ පාටි එකට අපිටත් එන්න බැරි‍ය දවසක. ඕයි මේ බ්ලොග් මල ඉලව් නෙමෙයි ගිහින් පාඩම් කරනවකෝ. විභාගෙට මම බ්ලොග් ලිව්වා කියලාද ලියන්න ඉන්නේ?

    මොනවා උනත් ආච්චි නම් මරු....

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිව්වා විභාගෙට බ්ලොග් ලිව්වා කියලා...හොඃ හොඃ හෝ.....

      Delete
  9. උඹේ ලියවිල්ල් නම් පට්ට හිටපන් වෙලාවක් දාගෙන බ්ලොගම කියවන්න ඕන එල

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...